අන්තර්ජාලය හරහා ගොදුරු සොයාගත් පළමු දාම ඝාතකයා

කතාව පටන් ගන්නෙ 1985 අවුරුද්දේ.

එදා අවුරුදු 19ක් විතර වුණු ලීසා ස්ටේසි කියන තරුණ අම්මා, මාස හතරක් වයස පොඩි දුව ටිෆනිවත් අරගෙන ගෙදරින් එළියට යනවා. ඒ වෙනකොට ලීසාගේ විවාහ ජීවිතේ හොඳ තැනක තිබුණේ නෑ. 

නිතරම රණ්ඩු, ප්‍රශ්න

අන්තිමට එයා තීරණය කරනවා මේ හැමදේම දාලා අලුත් ජීවිතයක් පටන් ගන්න.

ඒත් ප්‍රශ්නයක් තිබුණා.

එයාට ඉන්න තැනක් නෑ. රස්සාවක් නෑ. අතේ සල්ලිත් නෑ.

ඒ නිසා ලීසා නතර වෙන්නේ අසරණ කාන්තාවන්ට තාවකාලිකව නවාතැන් දෙන Hope House කියන ආයතනයේ.

ඒක තමයි මේ කතාවේ හැමදේම වෙනස් වෙන තැන.

මොකද එතනදී ලීසාට හමුවෙනවා ජෝන් රොබින්සන් කියන ධනවත් ව්‍යාපාරිකයා. පිටින් බැලුවම මිනිහා හරිම හොඳ කෙනෙක් වගේ පේන්නෙ. ව්‍යාපාරිකයෙක් විතරක් නෙවෙයි, සමාජ සේවකයෙක්. අසරණ කාන්තාවන්ට රස්සාවල් හොයලා දෙනවා. ඉන්න තැන් හොයලා දෙනවා.

ලීසා වගේ කෙනෙක්ට මේක ජීවිතේ ලැබුණු ලොකුම අවස්ථාවක්.

ඒ නිසා එයා දෙපාරක්වත් හිතන්නේ නැතුව ඒ උදව්ව භාරගන්නවා.

ඒත්…

ඒ තීරණය තමයි එයාගේ ජීවිතේ ගත්ත අන්තිම තීරණය වෙන්නෙ.

ජනවාරි 9 වෙනිදා රොබින්සන් ලීසාවයි ටිෆනිවයි හෝටලයක නතර කරනවා.

එදා රෑ ලීසා එයාගේ නැන්දම්මාට කෝල් එකක් ගන්නවා.

හැබැයි ඒ කතාබහ ටිකක් අමුතුයි.

මුලින්ම ලීසා අඬනවා.

“ඔයාලා මාව නරක අම්මා කෙනෙක් කියලා හිතනවද? මගේ දුව මගෙන් අරන් යන්න හදනවද?” කියලා අහනවා.

නැන්දම්මා ඒක අහලා පුදුම වෙනවා.

“අපි එහෙම දෙයක් හිතලාවත් නෑ” කියලා කිව්වට පස්සේ ලීසා ටිකක් සන්සුන් වෙනවා.

ඊට පස්සේ එයා කියන දෙයක් තමයි මේ කතාවේ පළවෙනි ලොකු Red Flag එක වෙන්නෙ.

“රොබින්සන් මගෙන් හිස් කොළ හතරකට අත්සන් ගත්තා”

නැන්දම්මාට ඒක තේරෙන්නෙ නෑ.

ලීසාට දේපළක් නෑ.

සල්ලි නෑ.

එතකොට හිස් කොළවල අත්සන් අරගෙන මොනවද කරන්න යන්නේ?

ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්න කලින් ලීසා කියනවා

“අන්න… එයාලා ආවා…” කියලා. එයා එහෙම කියලා කෝල් එක කට් කරනවා.

ඒ තමයි පවුලේ අය ලීසාගේ කටහඬ අහපු අන්තිම දවස.

පහුවෙනිදා හෝටලේට කෝල් කරද්දී කියනවා “ලීසායි දුවයි මේ උදේම Check-out වෙලා ගියා.” කියලා

ඒත් ඒක පවුලේ අය විශ්වාස කරන්නේ නෑ.

මොකද ලීසා කොහේ යනවා වුණත් අනිවාර්යයෙන්ම කියලා යන කෙනෙක්.

ඒ අතරේ තවත් අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා. කෙනෙක් තමන්ව පූජකයෙක් කියලා කෝල් කරලා කියනවා ලීසා හොඳින් ඉන්නවා කියලා. හැබැයි පස්සේ හොයලා බලද්දී එහෙම පූජකයෙක්වත් නැහැ. ඊටත් ටික දවසකට පස්සෙ ලීසාගෙන් ලියුම් දෙකක් එනවා.

“මං හොඳින් ඉන්නවා. අලුත් ජීවිතයක් පටන් ගත්තා.”

හැබැයි ඒ ලියුම් දෙකම ටයිප් කරපු ඒවා.

ලීසාගේ අම්මා එකපාරටම කියනවා “මගේ දුවට ටයිප් කරන්න බෑ.” කියලා

එතකොට හැමෝටම තේරෙනවා මේ ලියුම් ලීසා ලියපු ඒවා නෙවෙයි කියලා.

කාලය ගත වෙනවා. අවුරුදු දෙකකට පස්සේ තවත් තරුණියක් අතුරුදහන් වෙනවා. ඊටත් පස්සේ තවත් කෙනෙක්. ඊටත් පස්සේ තවත් කෙනෙක්. අමුතුම දේ කියන්නේ මේ හැම කාන්තාවක්ම අතුරුදහන් වෙන්න කලින් හම්බවෙලා තියෙන්නේ එකම මනුස්සයාව.

ඒ තමයි ජෝන් රොබින්සන්.

හැබැයි ඒ කාලේ පොලිසියට එයාව අල්ලගන්න තරම් සාක්ෂි තිබුණේ නෑ.

ඒ නිසා මේ හැම කේස් එකක්ම ටික ටික අමතක වෙලා යනවා.

ඒත් 2000 අවුරුද්දේ හැමදේම වෙනස් වෙනවා.

තවත් තරුණියක් අතුරුදහන් වෙනවා. එයාගේ කේස් එක හොයද්දී පොලිසියට එකම නම ආයෙත් මතු වෙනවා.

ජෝන් රොබින්සන්.

මේ පාර නම් පොලිසිය එයාව රහසින් Follow කරන්න පටන් ගන්නවා.

එතකොට එළියට එන්නේ පිටින් පේන හොඳ මනුස්සයාගේ අනිත් මුහුණ.

රස්සාවල් දෙනවා කියලා පත්තරවල දැන්වීම් දානවා. අන්තර්ජාලයෙන් කාන්තාවන් හොයනවා. BDSM Community එක ඇතුළේ “Master” කියන නමින් ඉන්නවා.

පිටින් බලද්දී ආදරණීය සැමියෙක්. හොඳ තාත්තා කෙනෙක්. හැබැයි ඒ හැම දේම අස්සේ වෙනම අඳුරු ජීවිතයක් ගත කරනවා.  2000 ජුනි මාසයේදී පොලිසිය අන්තිමට රොබින්සන්ව අත්අඩංගුවට ගන්නවා.

ඊට පස්සේ එයාගේ ගෙවල්, ස්ටෝරේජ් යුනිට්, ෆාම් එක හැම තැනක්ම පරීක්ෂා කරනවා.

ඒ වෙලාවේ තමයි මේ කතාවේ බිහිසුණු ඇත්ත එළියට එන්නේ. ෆාම් එකේ තිබුණු ලොකු බැරල් කිහිපයක් පොලිසියට හම්බ වෙනවා. මුලින්ම ඒවා සාමාන්‍ය බැරල් කියලා හිතුවත් ඒකක් අරිද්දී ඇතුළේ තිබුණේ මිනිස් මළ සිරුරක්.

තව එකක් ඇරියා තවත් මළ සිරුරක්.

ඊට පස්සේ තවත් බැරල්. තවත් මළ සිරුරු.

එකක්… දෙකක්… තුනක්…

අන්තිමට හයක්.

ඒ අතරින් සමහර කාන්තාවන් ගැන කිසිම Missing Person Report එකක්වත් තිබුණේ නෑ.

එයාලගේ පවුල් අද වෙනකම් හිතාගෙන හිටියේ “එයාලා කොහේ හරි හොඳින් ජීවත් වෙනවා ඇති…” හැබැයි මේ හැමදේටත් වඩා කම්පනයක් වුණේ නඩු විභාගය අතරතුර එළියට ආපු රහස.

පොලිසිය දැනගන්නවා 1985දී රොබින්සන් තමන්ගේ සහෝදරයාට ඩොලර් 5000කට පොඩි ගැහැණු ළමයෙක් හදාගන්න ලබා දීලා තියෙනවා කියලා.

ඒ ළමයා කවුද කියලා හොයද්දී හැමෝම ගල් ගැහෙනවා.

ඒ ලීසාගේ මාස හතරක් වයස තිබුණු දුව ටිෆනි.

DNA සහ Footprint පරීක්ෂණවලින් ඒක තහවුරු වෙනවා.

අවුරුදු 15ක් තිස්සේ තමන් වෙන පවුලක හැදී වැඩුණු බව ටිෆනි එදා තමයි දැනගන්නේ.

ඒත් ඒ පවුල ඇයට ආදරෙන් සැලකපු නිසා එයා තීරණය කරනවා තමන් හැදුණු දෙමාපියන් එක්කම ඉන්න. 2003දී ජෝන් රොබින්සන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙනවා.

හැබැයි අදටත් විසඳුමක් නැති ප්‍රශ්න තුනක් ඉතිරි වෙලා තියෙනවා.

ලීසාගේ මළ සිරුර කොහෙද?

පෝලාට මොකද වුණේ?

කැතරින්ට මොකද වුණේ?

ඒ වගේම රොබින්සන්ගේ සැබෑ ගොදුරු ගණන හයද?

නැත්නම් තව කී දෙනෙක් අදටත් හොයාගෙන නැද්ද?

ඒ ප්‍රශ්නවලට උත්තර දන්නේ ඉතින් වෙන කවුරුවත් නෙවෙයි ජෝන් රොබින්සන් විතරයි.

Related Articles

Don't Miss


Latest Articles