තම සැමියා වෙනුවෙන් ජනප්‍රිය නිලි අනුශ්කා ලියූ අපූරු ආදර සටහන

ක්‍රිකට් ලෝලී ශ්‍රී ලාංකිකයන්ට විරාත් කෝලි කියන චරිතය නාඳුනන චරිතයක් නම් නොවෙයි. ක්‍රිකට් ක්‍රීඩාවට අපි මොන තරම් ආදරේද, ඒ තරමටම අපි විරාත් කෝලිට අකමැතියි කිව්වොත් මම නිවැරදියි. ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ගත්තම විරාත් කෝලිට අපේ වැඩි කැමැත්තක් නොතිබුනාට, ආදරේ පැත්තෙන් ගත්තොත් විරාත් කෝලි කියන්නෙ මුලු ලෝකෙම මිනිස්සුන්ගෙ හදවතේ සැබෑ ආදරය පෙන්නුම් කරන වත්මන් ලෝකයේ පිළිරුවක් කිව්වොත් ඔබත් මා සමග එකඟ වෙයි.

ඒ විරාත් කෝලි කියන අපූරු පෙම්වතාගේ, සැමියාගේ හදවත කියන නිවහනේ සදාකාලිකව නැවතුණ ආදරණිය අනුෂ්කා ෂර්මා නිසා.

විරුෂ්කා – එහෙමත් නැතිනම් විරාත් අනුෂ්කා ප්‍රේම කතාව කියන්නෙ අපි හැමෝම සැබෑ ආදරයේ වත්මන් සංකේතයක් විදියට දකින ආදර කතාවක්.

එහෙම නේද?

මේ ලෝකේ සැබෑ ආදරණීය බැඳීම් දකින්න ලැබෙන්නෙ ඉතාම අඩුවෙන්. ඉතින් එහෙම ලෝකෙක එකිනෙකා සමග සුන්දර ආදරයකින් බැඳී හිඳිමින්, එකිනෙකා සමග යහපත් ජීවිතයක් ගෙවන අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි කියන්න අදහන්න වටින ආදරවන්තයින් දෙදෙනෙක්.

ඒ වගේම අනුශ්කා ෂර්මා සහ විරාත් කෝලි කියන්නේ කාලෙන් කාලෙට එක එක විදියෙ පුවත් මවන ජෝඩුවක්නෙ. ඉතින් මේ ලිපියට හේතුව වුණේ පහුගිය දවසක අනුෂ්කා තමන්ගෙ සැමියාගෙ උපන්දිනේ වෙනුවෙන් තියපු ආදරණීය සටහනක් ගැන.

දෙන්නා මුලින්ම හමුවුණේ රූගත කිරීමකදි

අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි මුලින්ම මුණගැසුණේ ඔවුන් එකට පෙනී සිටි රූපවාහිනී වෙළඳ දැන්වීම් රූගත කිරීමක රූගත කිරීම්වලදීය. අපි හිතනවනෙ සැබෑ ආදරයක් නම් ඒක Love at first sight වෙන්න ඕන කියල. ඒත් මේ ආදර කතාව එහෙම ඇරඹුණ ආදර කතාවක් නොවුණට, රූගත කිරීම් අවසාන වුණායින් පසුවත් විරාත් අනුෂ්කා මිතුදම අවසන් වුණේ නෑ.

මේ ජෝඩුව එක එක තැන්වලදි හමුවුණා, තම තමන් ගැන දේවල් හුවමාරු කරගත්තා. මෙහෙම ඉන්න අතරවාරෙ තමයි ලෝකයේ නෙත් ඉදිරියේ මේ දෙන්නව නිරාවරණය වෙන්න පටන් ගත්තෙ. මේ දෙන්නව කාගේත් අවධානයට ලක්වූයේ 2014 අවුරුද්දේ තිබුණ දකුණු අප්‍රිකානු සංචාරයෙන් අනතුරුව මුම්බායිහිදී ඉන්දීය කණ්ඩායම ආවයින් පස්සෙ විරාත් කෙලින්ම අනුෂ්කාගේ නිවසට ඒමත් එක්ක.

බොලිවුඩ් නිලියක් විදියට වගේම ලෝකෙම දන්න ක්‍රිකට් තරුවක් විදියට මේ දෙන්නට අනිත් ගොඩක් අය වගේ “අපි යාලුවො විතරයි” කියල ඉන්න තිබුණට මොකද මේ දෙන්න නම් තමන්ගෙ සම්බන්ධෙ හංගන්න උත්සහ ගත්තෙ නෑ. 2014 අවුරුද්දෙදි අනුෂ්කා මාධ්‍යයට කියනවා “ඔව් අපි දෙන්න අතරෙ සබඳතාවයක් තියෙනව, ඒකෙ එහෙම විශේෂත්වයක් නෑ. අපි දෙන්නත් අනිත් සාමාන්‍ය ජෝඩුවක් වගේම තමයි” කියල.

මේ ආදර කතාව ඇත්තටම සුවිශේෂී වෙන්න පටන් ගත්තෙ අන්න එතනින්.

ගොඩක් වෙලාවට අපි දකින දෙයක්නේ මේ ජනප්‍රිය චරිත තමන්ගෙ ප්‍රේම කතා ගැන හංගන්න හදනවා. ඒත් අනුෂ්කා සහ විරාත් අපි වගේම හරිම සාමාන්‍ය විදියට එයාලගෙ ආදර කතාව පවත්වාගෙන ගියා. සමහරවිට ඒකට ලොකුම හේතුව වෙන්න ඇත්තෙ “අපි දෙන්නට දෙන්න අතරෙ තියෙන්නෙ සැබෑ ආදරයක්” කියන එක ඒ දෙන්නටම තේරුම් ගිහින් තිබීමම වෙන්නත් පුලුවන්.

2014 නොවැම්බර් මාසයේදී පූනේ හි පැවති ඉන්දීය සුපර් ලීග් පාපන්දු තරඟයකදී තමන්ගෙ ප්‍රියතම කණ්ඩායම වෙනුවෙන් Cheer කර කර ඉන්න මොහොතක තමයි මාධ්‍ය කැමරා ඉදිරියේදි “අනුෂ්කා-විරාත්” ජෝඩුවක් විදියට මුලින්ම සටහන් වුණේ.

එකිනෙකා වෙනුවෙන් වෙලාව වෙන් කරගත්තෙ මෙන්න මෙහෙම

අනුෂ්කා තමන්ගෙ නිළියක් විදියට කාර්‍යබහුල ජීවිතේ ගෙවාගෙන යද්දි විරාත් තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට කාර්‍යබහුල ජීවිතේ ගෙවාගෙන ගියා. ඒත් ඒ කාර්‍යබහුලකම මේ දෙන්නගේ ආදරයට නම් පොඩ්ඩක්වත් බාධා වුණේ නැති බව අපි ඒ ආදර කතාව ඇතුලෙ බොහෝ තැන්වලදි අත්වින්දා.

තම තමන්ගෙ කාර්‍යබහුල කාල සටහන් ඇතුලෙ “එකට ගෙවන නිමේෂයන්” වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න මේ ආදරණීය ජෝඩුව අමතක කලේ නෑ. ඒ වගේම තමයි දෙන්න ලෝකෙ දෙකෙළවරක දෙතැනක හිටියත් තමන්ගෙ ආදර කතාවේ විශේෂ අවස්තා සමරන්න එකට එකතු නොවී සිටියෙත් නෑ.

සැබෑ ආදරයක් ඇරඹෙන්නෙ තමන්ගෙ ජීවිතේ කාර්‍යබහුලත්වය ඇතුලෙත් එකිනෙකා වෙනුවෙන්, එකිනෙකාගෙ වගේම දෙන්නගෙම ජීවිතේ සුවිශේෂී නිමේශයන් වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න දෙදෙනාම කැපවීම තුළ බව බොහොමයක් ආදරවන්තයින්ට කියල දීපු ජෝඩුවක් විදියට අනුෂ්කා – විරාත් හඳුන්වන්න පුලුවන් වෙන්නෙ අන්න ඒ නිසා.

අනුෂ්කා, විරාත් ක්‍රීඩා කරන ක්‍රිකට් තරග වලට වගේම, විරාත් අනුෂ්කගෙ රූගත කිරීම් වලට ආවේත් ඒ සැබෑ ආදරය දෝතින් අරගෙන බව පැපරාසි කැමරා කාචවල සටහන් වුණ සිත්තම් වලින් තේරුම් ගන්න මුලු ලෝකෙටම පුලුවන් වුණා.

මේ ආදරේට බාධා ආවෙ නැතුවම නෙවෙයි

මොනතරම් ආදරේ ගැන කතාකරත්, දෙන්නට දෙන්න බෙදාගත්තෙ ලස්සන ආදරයක් වුණත් මේ ආදරේටත් බාධා ආවෙ නැතුව නෙවෙයි.

විරාත්ගෙ තරග වලට එන අනුෂ්කව දැකපු මිනිස්සු “විරාත් හරියට සෙල්ලම් කරන්නෙ නැත්තෙ එයා නිසා” කියල කියපු වාර අනන්තයි.අප්‍රමාණයි.

අනුෂ්කා ඒ ගැන වචනයක්වත් නොකිය ඉද්දිත් විරාත්ව සමාජ මාධ්‍ය වල Troll වුණ වාර අනන්තයි. අප්‍රමාණයි.

මේ හැමදෙයක්ම මැද්දෙ 2016 අවුරුද්දෙදි “විරාත් අනුෂ්කා ආදර කතාව නිම වේ” කියල කිසිම පදනම් නැති කතා සමාජ මාධ්‍ය වල පියඹපු වාර අනන්තයි. අප්‍රමාණයි.

ඒ සිදුවීමෙන් පස්සෙ අනුෂ්කා සහ විරාත්ව අපිට එකට දකින්න වුණ අවස්තා නැතිම වෙලා ගියා. ලෝකෙ විශ්වාස කලා තවත් එක් ආදර කතාවක් අවසන් වුණා කියලා.

ඒත් සැබෑ ආදරයකට එහෙම නවතින්න පුලුවන්ද?

ඒ ප්‍රශ්න මේ මොහොතෙ ඔබටත් මටත් ඇතිවුණා වගේම අනුෂ්කා සහ විරාත්ටත් එදා ඇතිවෙන්න ඇති.

තමන් බෙදාගත්ත සැබෑ ආදරයට ආව බාධක අනන්තයි.

ඒත් තමන් බෙදාගත්ත ආදරයත් අනන්තයි නේද?

ඉතින් වෙන් වුණා කියල ලෝකෙම හිතපු ජෝඩුවක් ඒ විදියට ආයෙ එක්වුණා.

විරාත් වෙනුවෙන් අනුෂ්කා ප්‍රේක්ෂකාගාරයේ ඉඳල යවපු “Flying Kiss” එක මුලු ලෝකෙම දැක්ක. බාධක දහසක් මැද්දෙත් වෙනස් නොවුණ, නොබිඳුන විරාත්-අනුෂ්කා ආදරයට ලෝකෙම ආදරේ කරන්න පටන් ගත්තෙ අන්න එතනින්.

සුරංගනා කතාවක් වගේ ලස්සන විවාහයක්

2017 දි ටස්කනි හි දි පැවැත්වෙච්ච සුරංගනා කතාවක් තරම් ලස්සන විවාහ උත්සවයකදි බොලිවුඩ් Romance Movie එකකටත් වඩා ලස්සන ආදර කතාවක් තිබුණ “විරුෂ්කා” ආදරය විවාහයකින් උත්කර්ෂවත් වුණා.

ඒ මුලු ලෝකෙම ආදරය, ගෞරවය සහ ආශිර්වාදය මැද්දෙ.

ලා රෝස පාට ලෙහෙන්ගා ඇඳුමකින් සැරසිච්ච අනුෂ්කවත්, අනුෂ්කගෙ ආදර මනමාලයා කඩවසම් විරාත්ගෙත් විවාහ ජායාරූප මේ මොහොතෙදිත් බලන මිනිස්සු මේ ලෝකෙ හැම අස්සක මුල්ලකම ඉන්නවා.

2021 ජනවාරි මාසේ පුංචි වාමිකාට උපත දීලා අම්ම කෙනෙක් සහ තාත්තා කෙනෙක් වුණ මේ ආදරණීය ජෝඩුව අදටත් අපේ හිත්වල සැබෑ ආදරයේ සැබෑ ලොවේ සංකේතයක් විදියට වැජඹෙනවා.

පහුගිය දවසක පැවතුණ විරාත්ගේ උපන්දිනේ වෙනුවෙන් අනුෂ්කා සුන්දර සටහනක් මුහුණු පොතේ තියල තිබුණෙ ඒ අතරවාරේ.

ඔහුගේ ජීවිතයේ සෑම භූමිකාවකදීම ඔහු වචනයේ පරිසමාප්ත අරුතෙන්ම සුවිශේෂී යි! මම ඔබට මේ ජීවිතයෙන් සහ ඉන් ඔබ්බට නිමක් නැතිව ආදරෙයි හැම විදියකටම”

ඒ වචන ඇතුලෙ සැඟවිලා තිබුනා මුලු ලෝකයක්ම දැකපු සුන්දර ආදර කතාවක තවත් එක් පරිච්ජේදයක්.

ආදරය කියන්නෙ එකිනෙකාව දරාගැනීම, විශ්වාස කිරීම සහ අත් නොහැරීම ගැන අනුෂ්කාත් විරාතුත් අපිට කියල දුන්නෙ අපූරුම පාඩමක්.

ඒ වගේම අනුෂ්කා තමන්ගෙ සටහනේ කියල තියෙනව වගේ පෙම්වතා, සැමියා සහ පියෙක් විදියටම විතරක් නැතුව තමන්ට කරන්න වෙච්ච හැම Role එකකටම උපරිම සාදාරණය කරන්න කැපවෙච්ච විරාත් වගේ මිනිස්සු කොච්චර අඩුවෙන්ද ඉන්නේ?

ඒ වගේ පරිපූර්ණ මිනිස්සු කොච්චර අඩුවෙන්ද අපිට හමුවෙන්නෙ.

එහෙම නේද?

සැබෑ ආදරේ කියල දෙයක් මේ ලෝකෙ තියෙනවද කියන ප්‍රශ්නෙ අපි අපෙන්ම මොන තරම් අහල ඇතිද? හිතෙන් හිතල ඇතිද?

ඔව්! සැබෑ ආදරයක් මේ ලෝකෙ තියෙනවා. අපි ඒකට එක් උදාහරණයක් මේ ආදර කතාව ඇතුලෙන් දැකලත් තියෙනවා.

ඉතින් ආදරේ අපූර්වත්වය ගැන, සැබෑ ආදරය තවමත් ලෝකෙ පවතින බව අපිට පෙන්නල දීපු ආදරණීය විරුෂ්කාට මුලු ලෝකයක්ම ආදරය කිරීම, ගෞරව කිරීම ගැන අපි පුදුම වෙන්න ඕන නෑ නේද!

Related Articles

Don't Miss


Latest Articles