මේක සිද්ධ වුණේ 1972 අවුරුද්දේ ඔක්තෝබර් 13 වෙනිදා.
පුංචි ප්ලේන් එකක් උරුගුවේ ඉඳන් චිලී වලට පියාඹනවා. ඇතුළේ 45 දෙනෙක් හිටියා. ඒක රග්බි ටීම් එකක් සහ එයාලගේ යාළුවෝ, පවුලේ අය උන්න ප්ලේන් එකක්. හැමෝම හිටියේ හරිම සතුටින්. එයාලා හිනා වුණා, ෆොටෝ ගත්තා, මැච් එක ගැන කතා කළා. හැබැයි ඒ සන්‍තෝසෙ ගොඩක් වෙලා තියෙන්නෙ නෑ කියලා එයාලා දැනගෙන හිටියෙ නෑ.
ටික වෙලාවකින් කාලගුණය වෙනස් වෙන්න පටන් ගත්තෙ හිතුවෙ නැති විදියට.
අහස තිබ්බෙ වලාකුළු වලින් වැහිලා. පයිලට්ට හරියට පේන්නේ නැහැ තමන් ඉස්සරහා මොනවද තියෙන්නෙ කියන එක. ප්ලේන් එක ගැහෙන්න ගත්තෙ හරියට දෙදරනවා වගේ. වීදුරු ටක ටක ගාලා සද්ද උනා. හැමෝම “මේක දැන් ඉවරවෙයි” කියලා හිතුවට ඒක එහෙම උනේ නෑ.
ඒ විදියට හෙල්ලිච්ච ප්ලේන් එක විනාඩි කීපයක් ඇතුළත, කන්දක වැදුණා. මහා සද්දයක් එක්ක ප්ලේන් එකේ තටු ගැලවිලා ගියා, ප්ලේන් එකේ බඳ හිම වල හැප්පිලා කැඩුණා.
ඊට පස්සේ ඉතුරු වුනේ ලොකු සයිලන්ස් එකක්.
මෙච්චර වෙලා ප්ලේන් එක අස්සෙ පිරිලා තිබ්බ හිනා සද්ද ඔක්කොම නැති වුණා. හීතල සුළඟ විතරයි ඉතුරු වුණේ.
දිවි ගලවා ගත්ත අය ඇස් ඇරලා බලනකොට, හැමතැනම දකින්නෙ හිම සුදු පාට විතරමයි.
එයාලා වටේටම තිබුණේ උස හිම කඳු විතරයි. පාරක් නැහැ, ගස් නැහැ, සද්දයක් නැහැ. හිමයි, සීතලයි විතරයි. වාතය හරිම සීතල නිසා හුස්ම ගන්නත් අමාරුයි.
ප්ලේන් එකේ කැඩිච්ච කෑල්ල තමයි එයාලට ඉතුරු වුණ එකම නවාතැන වුණේ. එකිනෙකා එකිනෙකාට උදව් කරගත්තා. කට්ටිය අඬද්දි අනිත් කට්ටිය හිත සැනසුවා. සමහරු යාඥා කළා, සමහරු උන්නේ තිගැස්සිලා.අනික එයාලා උන්නෙ හීතල දරාගන්න බැරුව. රෑට සීතල කොච්චරද කියනවා නම්, හම කැපෙනවා වගේ තමයි එයාලට දැනුණෙ.
එයාලා විශ්වාස කළා, දෙයියන්ගෙන් ඉල්ලුවා එයාලව බේරගන්න ඉක්මනින් උදව් ඒවි කියලා. “අපිව හොයාගෙන බේරාගැනීමේ ටීම් එක ඒවි” කියලා එයාලා තමන්ගෙ හිත්වලට වගේම අනිත් අයටත් කියාගත්තා.
ඒත් දවස් ගෙවිලා ගියා, කවුරුත් ආවේ නැහැ.
නිකන්ම බලාගෙන ඉන්න එකෙන් කාටවත් කිසිම සැනසිමක් අත්වෙන්නෙ නෑ කියලා තේරිච්ච තැන එයාලා ළඟ තිබුණ පුංචි කෑම ටික බෙදාගත්තා. එතන මහ ගොඩක් කෑම තිබ්බෙ නෑ. චොකලට් බාර් ටිකක්, වයින් ටිකක්, පුංචි ස්නැක්ස් වගේ දේවල් හරිම පොඩි ප්‍රමාණයක් තමයි තිබ්බෙ.
වතුර බොන්න හිම දිය කරගත්තා. එයාලා උත්සාහ කළා මෙච්චර දේවල් මැද්දෙ උනත් හිතේ තිබ්බ බලාපොරොත්තු වලට මැරෙන්න නැතුව පණ ගහන්න ඉඩ දෙන්න. හැම උදේකම එයාලා අහස දිහා බැලුවේ ප්ලේන් එකක් එනකල් තමන්ව ගලවගන්න බලාපොරොත්තුවෙන්. මෙයාලා ළඟ තිබිච්ච රේඩියෝ එකකින් මෙයාලට තමන්ගෙ එළියෙ ලෝකෙ වෙන දේවල් දැනගන්න වාසනාවක් තිබිලා තියෙනවා. ඒත් ඒ රේඩියෝව හැමදාම එයාලට අරගෙන ආවෙ වාසනාවන්ත පණිවිඩම නෙවෙයි.
දවසක එයාලට අහන්න ලැබෙන්නෙ මේ ලෝකෙ එයාලට අහන්න ලැබිච්ච අවාසනාවන්තම පණිවිඩේ.
ඒ තමයි ප්ලේන් එක හොයන එක නතර කරලා කියන එක.
ලෝකය හිතුවේ එයාලා මැරිලා කියන එක දැනගත්තම පණ ගැහෙන හිතකට දැනෙන වේදනාව කොච්චරද කියලා අමුතුවෙන් කියන්නෝන නෑනෙ නේද?
ටික වෙලාවකට කවුරුත් කතා කළේ නැහැ. එයාලා එකිනෙකා දිහා බලාගෙන හිටියා.කල්පනා කරා. ඇත්තටම මෙහෙම දෙයක් වෙනවද කියන එක එයාලා එයාලගෙ හිත්වලින් ඇහුවා. මොකද කවුරු උනත් හිතුවෙ නෑ ලෝකෙ මිනිස්සු තමන්ව එච්චර ලේසියෙන් අතෑරලා දාවි කියලා.
එයාලට තේරුණා, තවදුරටත් තමන්ව බේරගන්න කවුරුත් එන්නේ නැහැ. එයාලා ඇන්ඩීස් කඳුකරේ මැද තනි වෙලා කියන එක.
දවස් ගෙවෙන්න ගත්තම, හිතේ ගින්නට වඩා බඩගින්න තවත් වැඩි වුණා.
ඇඟ දුර්වල වුණා. සමහරු ක්ලාන්ත වුණා. වැඩි කාලයක් යන්න කලින්, කෑම ඔක්කොම ඉවර වුණා. මිනිස්සු බඩගින්නට ප්ලේන් එකේ සීට් කෑලි පවා කන්න හැදුවා. ඒත් බඩගින්න නැවතුණේ නැහැ.
ඊට පස්සෙ තමයි භයානකම දේ පේන්න ගත්තෙ.
මෙයාලා දකිනවා තමන්ගෙ මැරිච්ච යාළුවන්ගේ සිරුරු තවමත් එළියේ හිම වල ශීතලට පරිස්සම් වෙලා තිබුණා කියන එක. තව කල් ජීවත් වෙන්න ඕන නම් තමන්ට කරන්න තියෙන්නෙ කවදාවත් කරන්න හිතුවෙ නැති දෙයක් කියන එක එයාලට තේරුණා. ඒත් ඒක පාපකාරී දෙයක් වරදක් කියන එක ඒ දේ කරන එකෙන් එයාලාව පොඩ්ඩක් ඈත් කරලා තිබ්බා. දවස් ගාණක් එයාලා වාද කළා, යාඥා කළා. සමාව ඉල්ලුවා.
අන්තිමට, කරන්න දෙයක් නැතිම තැන එයාලා ඒ අමාරුම තීරණය ගත්තා.
ඒ තමයි තමන්ගෙ මිය ගිය යාළුවන්ව ආහාරයට ගන්න. කැමැත්තෙන් නෙවෙයි, ජීවත් වෙන්න වෙන විදිහක් නැති නිසා. එයාලා විශ්වාස කළා, අනිත් අය ජීවත් වුණා නම්, එයාලත් ඒ දේම කරන බව.
මේ විදියට දෙසැම්බර් වෙද්දී, එයාලා මාස දෙකකට වඩා හිම වල හිටියා.
උදව් හොයාගෙන යන්න ඕනේ නැත්නම් එයාලා එතනම මැරෙනවා කියන එක එයාලා ඒ වෙද්දි තේරුම් අරගෙන උන්නෙ. Nando Parrado සහ Roberto Canessa කියන දෙන්නා කඳුකරයෙන් එළියට ඇවිත් උදව් හොයාගෙන යන්න තීරණය කළා.
තමන්ගෙ යාළුවන්ට සමු දීලා, පුංචි කෑම බෑග් එකක් අරගෙන, එයාලා ගමන යන්න පටන් ගත්තා.
ඉතුරු අය බලාගෙන හිටියා, එයාලා සුදු කඳු අතරින් නැතිවෙලා යනකල් බලාගෙන උන්නා.
ඒක ලේසි ගමනක් උනේ නෑ. හිම ගැඹුරුයි. දවල්ට අව්වෙන් මූණු පිච්චුණා, රෑට සීතලෙන් ගැහුණා. කකුල්වලින් ලේ ගලන්න ගත්තා. එයාලා හිටියේ හරිම දුර්වල වෙලා. ගෙවෙන හැම තප්පරයක්ම තමන්ගෙ අන්තිම මොහොත කියලා හිතුණත් එයාලා ගමන නතර කරන්නෙ නැතුව ගියා.
දවස් දහයක් එයාලා හිම අතරින් ඇවිදගෙන ගියා.
ඊට පස්සේ දවසක එයාලගෙ ඇහැ ගැටෙන්නෙ හරිම බලාපොරොත්තු සහගත දසුනක්. ඒ තමයි ගඟක් ළඟ ඉන්න චිලී එඬේරෙක්. ඒ තමයි මාස ගානකින් එයාලා වෙන පිට මනුස්සයෙක්ව දකින පලවෙනි වතාව. එයාලා මේ මනුස්සයව දැක්කෙ නිකන් දෙයියෙක් වගේ ඒ වෙලාවෙ තමන් ඉස්සරහට ආව.
මුලින් ඒ මනුස්සයට මෙයාලව ඇහුණේ නැහැ, ඒත් එයාලගේ මූණු දැක්කම, එයා දැනගත්තා එයාලට උදව් ඕන කියන එක.
වැඩි වෙලාවක් යන්න කලින් හෙලිකොප්ටර් කඳුකරයට ආවා.
බේරාගැනීමේ ටීම් එක කැඩිච්ච ප්ලේන් එක ගාවට ආවා. ඇතුළේ හිටපු අය ඇඬුවා, හිනා වුණා, බදාගත්තා. දවස් හැත්තෑ දෙකක වේදනාවෙන් පස්සේ, අවසානයේදී එයාලා බේරුණා කියන හැඟීම එයාලව emotional කරලා තිබුනා.
45 දෙනාගෙන් 16 දෙනෙක් ඒ වෙද්දි ජීවත් වෙලා උන්නා.
හෙලිකොප්ටරේ එයාලව අරගෙන යද්දී, එයාලා පහළ සුදු කඳු දිහා බැලුවා.අවසාන වතාවට තමන්ගෙ ජීවිතේ බේරගන්න උදව් වෙච්ච තමන්ගෙ මිය ගිය යාලුවන්ට ස්තුතිවන්ත වුණා.
ගෙදර ආවත්, ඒ මතක එයාලව කවදාවත් දාලා ගියේ නැහැ.
බේරුණ කෙනෙක් වුණ Nando Parrado පස්සේ කිව්වා “මම ඇන්ඩීස් වල මැරුණා, ආයෙමත් එතනදී ඉපදුණා.” කියලා.
මුළු ලෝකයම මේකට කිව්වේ ‘ඇන්ඩීස් වල ආශ්චර්යය’ කියලා.
මේක ජීවත්වීම ගැන කතාවක් විතරක් නෙවෙයි. බලාපොරොත්තුව ගැන කතාවක්. මිනිස් හිතේ තියෙන බලය ගැන කතාවක්. ලෝකය අතෑරලා ගියත්, තමන් තමන්ව අත්හරින්න හොඳ නෑ කියලා මිනිස්සුන්ට කියලා දෙන කතාවක්.
ජීවත් වීම කියන්නේ විශ්වාසය මත රැඳිච්ච කතාවක්.
තමන් ගැන විශ්වාසය, අනිත් අය ගැන විශ්වාසය, අඳුරුම වෙලාවකදී පවා, ජීවිතයට ඉස්සරහට යන්න පුළුවන් කියලා තියෙන විශ්වාසය ගැන කතාවක්.











