“මම මේ වැඩේට එච්චර කැමති නෑ..ඔයා හෙට උදේට ගිහිල්ලා ඉසුරිට මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවට කමක් නෑ. මේ වෙලාවේ ඔයාලා එතනට යන එක හරි නෑ.”
“මම යන්න ඕනේ පොඩි අක්කේ. සමහර ප්‍රශ්න වලට මුහුණ දෙන්න එයාට මගේ ශක්තිය ඕනේ. ඒක මං දන්නවා”
මෙවේලේ සොහොයුරාව නවතාලිය නොහැකි බව හොඳින්ම දැන සිටි හංසිකා අවසන ඔහුට ඉඩ ලබා දුන්නේ කිසිවක් නොකියමින්ය. බිනර රැගත් මෝටර් රථය නික්ම යන තුරුම ඈ උඩුමහලට වී බලා සිටියේ බියත් සැකයත් තුරුළු කරගෙනය. ඔහු ඉසුරිට ආදරය කරනා බැව් හොඳටම විශ්වාසය. ඒ විශ්වාසයේ තරමටම සොහොයුරා ගැන බියක් ඒ සිතෙහි විය.
අවසන මිතුරාත් ඔහුගේ පෙම්වතියත් රැඳී සිටි අවන්හලට ගිය බිනර ඔවුන්ව මෝටර් රථයට නංවා ගත්තේය.
“මොනවද බං මේ රෑ තිස්සේ කරන වැඩ.?”
මාලිංග ඇසූයේ මිතුරාගේ හදිසිය ගැන උපන් කෝපයකින්ය.
“කරන්න ඕන වැඩේ කරන්න ඕන වෙලාවට කරන්නම ඕනේ බං. උඹට ඕනනම් බැහැපං මට නංගි හිටියහම ඇති. නංගි ඔයාට හදිස්සියක් නෑනෙ ගෙදර යන්න.”
“රෑ දහය වෙනකල් අප්පච්චි ෆර්මිෂන් දීලා තියෙන්නේ අයියේ. ඔයාට ඊට කලින් ඔයාගේ වැඩ ඉවර කරගන්න පුළුවන් වුනොත් හරි.”
“අන්න එහෙම හිටහංකෝ. නංගි දිහා බලලවත් උඹට හැදෙන්න බැරි හැටි. වැඩේ නොකෙරෙන පැත්තට කතා කරන්න එපා. කෙරෙන පැත්තට කතා කරපන්.”
“දැන් උඹ ඉසුරිගේ ගෙවල් තියෙන තැන දන්නවද?”
“ඇයි බං මං දවසක් ඒකිට ත්‍රීවිල් එකකට ලොකේෂන් එක දැම්මා. ගේ ළඟටම නෙමෙයි. ඒ ළඟ කඩේකට. එතනට ගියොත් හොයාගන්න බැරිකමක් නෑ.”
බිනර වාහනය පැද වූයේ වේගයෙන්ය. එනිසාම දෙවරක් තුන්වරක්ම ඔහුට ඉදිරියෙන් ආ වාහනවලින් බේරෙන්නට තිරිංග තද කරන්නට සිදුවිය.
“යකෝ මේක ජෙට් එකක් නෙමෙයි කාර් එකක්. තොට මැරෙන්න ඕන උනාට මටයි අනූටයි දැම්ම මැරෙන්න බෑ.”
“ඔව් අයියා… හදිසි නොවී යමු.”
අඩ හෝරාවක් ගෙවී යන්නට මත්තෙන් ඉසුරි කලින් පවසා තිබූ ස්ථානයට පැමිණීමේ හැකියාවක් තිදෙනාට විය.
“ඔය ශොප් එකට තමයි බං ලොකේෂන් එක දාලා තියෙන්නේ. පොඩ්ඩක් බැහැලා අහපන්.”
“ඉසුරිගේ නම කියලා ඇහුවහම හරිද?”
“ඉසුරිගේ නම කියලා අහපන්කො, දන්නේ නැත්නම් මල්ලි ඉසුරු එයාගේ නම කියහන්කො. ඒත් දන්නෙ නැත්තං අම්මගේ නම රාජිනී එයාගේ නම කියහං.”
“උඹට පරම්පරාවෙම නම් කට පාඩම්ද?”
මිතුරා වාහනයෙන් බැස්සේ එසේ පවසමින්ය. ඒ ගිය වේගයෙන්ම ඔහු ආපසු පැමිණියේය.
“උඹ කියපු තරම් මහන්සි වෙන්න ඕනෙ වුණේ නෑ. ඉසුරිගේ නම කියපු ගමන් උන් දන්නවා. ඔතන වංගුවෙන් හැරිච්ච ගමන් කළු පාට ගේට්ටුවක් දාලා තියෙන පළවෙනි ගේ.”
ඉසුරිගේ නිවසෙහි ගේට්ටුව අසල රථය නතර වූයේ තවත් විනාඩි කිහිපයකට පසුවය. කලින් කතිකා කරගත් පරිදි මුලින්ම රථයෙන් බැස ගියේ බිනරත් අනුෂිකාත්ය. ඒ පසු පසින් මාලිංගත් පැමිණියේය. නිවස ඉදිරිපස සිටියේ ඉසුරිගේ හැඩ හුරුකම් වලට සමාන වුවත් තළෙලු පැහැයක් ගත් යුවතියකි. ඇය දෑස් විසල් කර බලා සිටියේ ගේට්ටුව ඇරගෙන වත්තට ඇතුළු වූ තරුණයන් දෙදෙනාත් යුවතියත් දෙසය.
“මම ඉසුරිගේ ඔෆිස් එකේ යාළුවෙක්. මේ මගේ අයියා, මේ අයියගේ යාළුවෙක්. ඉසුරි කලබලෙන් ඔෆිස් එකෙන් ආවා. ඊට පස්සේ එයාගේ ෆෝන් එකත් ඕෆ් කරලා. ඒ නිසා බලල යන්න ආවේ.”
අනුෂිකා පැවසූයේ පැහැදිලි වූ ස්වරයකින්ය. තත්පරයක්වත් පමා නොවූ යුවතිය නිවස තුළට දිව ගියේ.
‘අක්කලා ඉඳගන්න මං අපේ අක්කට එන්න කියන්නම්…’ යනුවෙන් පවසමින්ය.
නිවස තුළ කිසියම් පිරිසක් උස් හඬින් කතා කරමින් සිටියේය. මුලින්ම ඔවුනට ‘නිහඬවන්න..’ යනුවෙන් ඈ පවසන හඬ බිනර ඇතුළු පිරිස රැඳී සිටි ආලින්දයට පැහැදිලිවම ඇසුණේය. ඉන්පසු ආලින්දයට පැමිණියේ මැදි වයසේ උන් අයෙකි. ඔහුව හඳුනාගත් අනුෂිකා ඉස්සර වූයේ මුව මත සිනහවක් තබාගෙනය.
“අංකල්ට මාව මතක ඇති. එදා අපි ඩිනර් එකට ගියපු වෙලාවේ අන්කල් නේද ඉසුරි එක් කරගෙන යන්න ආවේ”
“ආ…මේ දරුවනේ..අනේ සොරි මට එකපාරටම අඳුනගන්න බැරි වුණා. ඉසුරි කාමරයේ හිටියා පොඩි දුව ගියා එක්කරගෙන එන්න.”
“ඉසුරි ටිකක් කලබලෙන් හිටියේ දවල් ෆෝන් එකත් ඕෆ් කරගෙන ඒකයි අපි බලල යන්න ආවේ. මේ මගේ අයියා. මේ අයියගෙ යාලුවෙක් එයාගේ වාහනයේ තමයි අපි ආවේ.”
“ඔයාලා ආපු එක හොඳයි දුව ඉඳගන්නකෝ…”
ඉසුරි ආලින්දයට පැමිණියේ එවේලෙහිය. බිනරත්, ඔහුගේ මිතුරාත් අනුෂිකාත් දුටු ඇගේ දෑස් විමතියෙන් විසල් විය.
“ඔයා ෆෝන් එක ඕෆ් කරගෙන හින්දා මම බලලා යන්න ආවේ.”
අනුෂිකා ඉස්සර වූයේ ඉසුරි යමක් පවසාවියැයි සැකයෙන්ය.
“ඔයාලා කතා කර කර ඉන්නකො දුව මං අම්මට කියන්නං බොන්න මොනවා හරි හදන්න කියලා.”
සංවාදයේ හැටියට ඒ ඉසුරිගේ පියාය. වෙනත් විවාහයක් කරගෙන නිවසින් පිටව උන් ඔහු මෙවේලෙහි ඉසුරිගේ නිවසෙහි රැඳෙන්නට විදිහක් නැත. ඒ සියල්ලටම වඩා හඬා ඉදිමී තිබූ යුවතියගේ දෑස් බිනරගේ සිතට එක් කළේ දුකකට වඩා බියකි. යළිත් නිවස තුළින් ඇසුණේ කිසිවෙකු උස් හඬින් යමක් පවසන හඬය. දිගු සුසුමක් මුදාහළ යුවතිය පැමිණ අසුන් ගත්තේ අනුෂිකා ආසන්නයේමය. යාබද පුටුවෙහි වූයේ බිනරය.
“ඇයි ෆෝන් එක ඕෆ් කරගෙන..
“ගෙදර ලොකු ප්‍රශ්නයක් වුණා බිනර.”
ඈ පැවසූයේ ඇසෙන නෑසෙන තරම් මද හඬකින්ය.
“මොනව උනත් ඔයාට තිබුණා මට කතා කරන්න.”
ඒ හඬෙහි වූයේ කෝපයකට වඩා වේදනාවකි.
“අපි වාහනේ ළඟට යමුද? එහෙම උනොත් නංගි ඔයාට ශේප් එකේ මූ එක කතා කරන්න්න පුළුවන්.”
ඉසුරියි හිස වැනුවේ මිතුරා එසේ පැවැසුවාට පසුවය. යළිත් ආලින්දයට පැමිණි සුරංග හා වදනක් දෙකක් කතා කළ අනුෂිකා සමුගත්තේ බොරු කලබලයක් මවාගෙනය. ඉසුරි ඔවුන් හා වාහනය තෙක්ම ඇවිද ගියාය. වාහනය නවතා තිබූ තැනත් ගේට්ටුව එහා පස වූ මල් වැටත් අතර වූයේ අඩියක තරම් පරතරයකි. මිතුරාත් ඔහුගේ පෙම්වතියත් වාහනයට නගිද්දී බිනර ඉසුරිගේ අතින් ඇදගත්තේ ඒ මල් වැටට ඇයව මුවා කර ගනිමින්ය.
“මොකක්ද උනේ? ඔයා හොඳටම අඬලා. මං ඔයාට කියලා තියෙනවනේ ඔයාට ඕනම ප්‍රශ්නෙකදි මං ඉන්නවා කියලා.”
“ඒක මං දන්නවා බිනර. ඒත් මේ හැම ප්‍රශ්නයක්ම…”
“ඔයාට පුළුවන් මමත් එක්ක කතා කරන්න මාව විශ්වාස කරන්න. ප්ලීස් මෙහෙම තනියම දුක් විදින්න එපා. දැන්වත් මට කියන්න මොකද වුණේ කියලා.”
“අම්මා මේ අපේ ගේ උකස් කරලා සල්ලි වගයක් අරගෙන. අද බැංකුවෙන් ලියුමක් ඇවිල්ලා.”
“ඕ මයි ගෝඩ්..ලොකු ගානක්ද?”
“ලක්ෂ තිස්පහක්. අවුරුදු තුනක්ම අම්මා හරියටම වාරිකය ගෙවා ගෙන ඇවිල්ලා. ඒත් මේ වෙලාවේ…”
“ඇයි ඉසුරි අම්මා එහෙම දෙයක් කරලා තියෙන්නේ.”
“අම්මා අලුත් රිලේෂන්ෂිප් එකක් පටන් ගෙන. මට ඒකට දොස් කියන්න බැහැ. එයා කාලයක්ම බලන් හිටියා බිනර. තනියම. ඒත් අම්මා එතනදි රැවටිලා. එයාලා එකතුවෙලා බිස්නස් එකක් පටන් ගන්න හදලා තියෙන්නේ. ඒකට සල්ලි ඕන නිසයි අම්මා ගේ උකස් කරලා ඒ මනුස්සයට සල්ලි දීලා තියෙන්නේ. අම්මා හදලා තියෙන්නේ එයා වගේම අපිවත් ස්ථාවර කරන්න. එයාට වගේම අපිටත් ආදරයක් රැකවරණයක් ලබා දෙන්න.”
“ඔව් එයාට බනින්න බෑ. ඒක මානුෂීය හැඟීමක්. ඒත් මේ කෙනා ඔයාලා දන්න කෙනෙක්ද?”
“නෑ අපි කවුරුවත් දන්නේ නෑ. මගේ එන්ගේජ්මන්ට් එකෙන් පස්සේ අම්ම රට ගිහිල්ලා කොහොම හරි ගේ නිදහස් කරගන්නයි ඉඳලා තියෙන්නේ.”
“එතකොට තාත්තා…”
“තාත්තා මේ විස්තරය දැනගෙන ඉඳලා තියෙනවා. මල්ලි කෑ ගහනවා, නංගි අඬනවා, කිරිඅම්මා බලා ගත්ත අතේ බලාගෙන ඉන්නවා. අම්මා ඊට වඩා අඬනවා. මට තේරෙන්නේ නෑ බිනර මං මොනවද කරන්නේ කියලා. නිහඬ වෙලා හිටියට මගේ පපුවව රිදෙනවා. මේ ගේ විතරයි බිනර අපිට තියෙන්නේ. මටයි නංගිටයි මල්ලිටයි කිරි අම්මටයි අම්මටයි මේ ඔක්කොටම වැටිලා ඉන්න තියෙන්නේ මේ ගේ විතරයි. අනිත් අයට කොහොම පේනවද කියන්න මම දන්නේ නෑ. ඒත් මට මේක රජ මාළිගාවක්.”
“මට තේරෙනවා ඔයා කියන කතාව..සම්පූර්ණ ගාන කීයක් ගෙවන්න තියෙනවද දැන්. මං කිව්වේ ගේ නිදහස් කරගන්නම”
“මම හිතන්නේ ලක්ෂ තිහක් විතර. අම්මා කියනවා බිනර කවදාවත් මේකේ අපිට නැතිවෙන්න දෙන්නේ නෑ කියලා. ඒත් මට බයයි අපිට අම්මව නැති වෙයි කියලා.”
යුවතිය සිය මුහුණ වසාගත්තේ දෑත් වලින්ය. මෙතෙක් වේලා ඇය දරා උන් සියලු දුක්ඛ දෝමනස්සයන් කඳුළක එතී පිටව යන්නට විය. ඇයට හඬන්නට ඉඩ දී බලා සිටිය හැකි කමක් ඔහුට වූයේ නැත. වැගන් ආර් වර්ගයේ රථය නිසා මල් වැටත් රථයක් අතර සිටි දෙදෙනා හරි හැටි මිනිසුන්ට පෙනුනේ නැත.
“දැන් හොඳ ළමයා වගේ ෆෝන් එක ඕන් කරන්න. මේ ප්‍රශ්නෙ විසඳන්න ඔයාටයි මටයි පුළුවන් වෙයි. මේ වෙලාවේ මේ දැන් අම්මටයි තාත්තටයි කියන්න ඔයා මේ ප්‍රශ්නෙ විසඳනවා කියලා. මල්ලිට කියන්න රිලැක්ස් වෙන්න කියලා. නංගිට කියන්න අඬන්න එපා කියලා.”
“බිනර මොනවද මේ කියන්නේ?”
“හැමදේකටම මං ඉන්නවා..හැමදේකටම කියන්නේ ඔයාගේ ජීවිතේ හැමදේකටම. ප්‍රශ්න ඇතිවෙද්දි මිනිස්සු ශක්තිමත් වෙන්න ඕන. අපි මේ ප්‍රශ්නෙ විසඳමු.”
“මේක විහිළුවක් නෙමෙ බිනර. අපි කාටවත් කරන්න කිසිම දෙයක් නෑ. තාත්තත් මේ වෙද්දි ලොකු ලෝන් එකක් ගෙවනවා. එයාල ජීවත් වෙන්නේ මධාරා පුංචි අම්මගේ සැලරි එකෙන්. අම්මට දැන් ජොබ් එකක් නෑ. ඔයා දන්නවද මගේ එකවුන්ට් එකේ තියෙන්නේ හත්දාස් නමසිය අසූ හතරයි. අනේ මං කොහොමද මේ ගේ බේරෙනවා කියලා හීනෙකින්වත් හිතන්නේ.”
“මං කියන දේ අහන්න ඉසුරි මාව විශ්වාස කරන්න්න. අපේ යාළුකම ඒක හරි දිගයි පළලයි කියලා දවසක් ඔයා කිව්ව නේද…ක්‍රමය මොකක්ද කියන්න මං දන්නේ නෑ. ඒ උනාට අපි ඒක කරනවා. අපි කිව්වේ ඔයයි මමයි..”
“අනේ බිනර…..”
යුවතිය තරුණයාගේ පපුවට හිස තබා ගත්තේ අඬාගෙනමය. වෙනදා මෙන් තම හැඟීම් හංගා සිටීමෙහි උවමනාවක් බිනරට වූයේ නැත. ඔහු සැකබිය හැර ඇගේ නළලත සිප ගත්තේය. ඉසුරිට දැනුනේ තමාගේ මුළු ජීවිතයම සැනහී ගියාක් බඳු හැඟීමකි.
“මාව දරාගන්නවට ඔයාට පින් බිනර..එන විදිහකට අපි ජීවිතයට මුහුණ දෙන්නම්. ඔයා මං ලඟ මෙහෙම ඉන්න මට ඒ ඇති. මේ අපිට කරන්න පුළුවන් දේවල් නෙමෙයි..”
අවසන ඈ පැවසූයේ ඔහුගේ කමිසය සිය දෑත් වලින්ම අල්ලාගෙනය.
(හමුවෙමු ආදරයෙන්)












