තාත්තා නිවසින් පිටව ගියේ රාත්‍රී දහයට පමණය. බිනරගේ ආගමනයත් සමඟ ඉසුරිගේත් සිත යම්තාක් දුරට සැහැල්ලු වී තිබුණත් ඒ තාවකාලික සුවයක් බව විශ්වාසය. යළිත් අම්මා සමග ඇති වූ බහින්බස්වීමකින් පසුව ඉසුරු නිවසින් පිටව ගියේ මිතුරාගේ නිවසට යන බව පවසමින්ය. ඒ ගමන වලකන්නට සියල්ලෝම උත්සාහ දැරුවත් පලක් වූයේ නැත.
හිටිහැටියේ යළිත් නිවස තුළ පුපුරා ගිය බෝම්බය යම් තරමකට හෝ සැනසුමකින් ජීවත් වූ මිනිසුන් සුණු විසුණු කර දැමුවේය.
බිනර දීර්ඝ පණිවිඩයක් එවා තිබුණේ ඔහු ගැන විශ්වාසය ඇති කරගන්නා ලෙස පවසමින්ය. පණිවිඩය කියවූ බවට සලකුණු කළත් ඉසුරි ඊට පිළිතුරු සැපයූවේ නැත.
“අක්කේ……”
නැගණිය ඉසුරිගේ ඇඳට පැමිණියේ හඬන්නට ආසන්න ස්වරයකින් එසේ පවසාගෙනය.
“නින්ද යන්නෙ නැද්ද….”
“නෑ…මට බයයි. අයියා කියන විදිහට අපිට පාරට බහින්න සිද්ධ වෙයිද…”
“එහෙම වෙන්නේ නෑ නංගි. මල්ලි ටිකක් කලබලයි. හැබැයි ඉතින් මේ වෙලාවෙදි එයාගේ කලබලේ අසාධාරණයක් නෑ. එයා වගේ කෑගහලා අම්මට බැනලා තාත්තට දොස් කියලා හිතේ තියෙන බය සැක නැති කරගන්න මට බෑ. එහෙම නොවුනට ඒ බය සැක වේදනාව ඒ විදිහටම මගේ හිතෙත් තියනවා.”
“ඇයි අක්කේ අම්මා අපිට එහෙම කළේ. අඩුගානේ ඔයා එක්කවත් කතා කරන්න තිබුණා. තාත්තා එක්කත් මේ හැමදේම කියලා තියෙන්නේ කර කියාගන්න දෙයක් නැතිවුනාට පස්සෙනේ.”
“අපි මොකක් හරි කරන්න බලමු නංගී. මේ විදිහට කෑ ගහලා හිත් රිදවගෙන ප්‍රශ්න විසඳන්න බෑ.”
“මට අපේ අම්මා ගැන කිසි විශ්වාසයක් නෑ අක්කේ. එක පාරක් වෙනස් වෙච්ච එයාට දෙවැනි පාර වෙනස් වෙන එක මහ දෙයක් නෙමෙයි. එයා අපි හැමෝටම හංගලායි මේ දේ කරලා තියෙන්නේ. කොහොමද අක්කේ එහෙම කලේ. ඔයා දන්නවද ශානිකාගේ තාත්තයි අම්මයි දැනටමත් එයා වෙනුවෙන් ගොඩක් දේවල් එකතු කරලා තියෙන්නේ. ඒගොල්ලෝ බලනවා ඒගොල්ලන්ගේ දරුවෝ තුන්දෙනාටම ඉඩකඩම් අරන් දාන්න. සමහර දෙමව්පියෝ එහෙම කරද්දී ඇයි අම්ම අපිට තිබුනු එකම තැනත් නැති කලේ. එහෙනම් ඇයි අම්මා නැන්දට පොරොන්දු උනේ ඔයා වෙනුවෙන් මේ ගේ ඒ ගොල්ලන්ට දෙනවා කියලා. අම්මට මේ වැඩේ කරද්දි අපි තුන්දෙනා පාරට වැටෙයි කියලා මතක් උනේ නැද්ද අක්කේ..”
ඉසුරිගේ සැහැල්ලු ගවුම තෙත්ව ගියේ නැගණියගේ කඳුළු වලින්ය. මෙවේලෙහි ඇයව සනසන්නට තරම් වචන ගලපාගන්නට ඉසුරිට හැකි වූයේ නැත. නොහඩා සිටියාට ඇය උන්නේ ගින්දරකින් දැවෙමින්ය.
“ඒ කාලේ තාත්තා වගේ අම්මත් අපිව දාල ගියා නම් අපිට හිත හදාගෙන ජීවත් වෙන්න තිබුණා අක්කේ. එහෙනම් අපිට ඔයා ඉන්නවා. කිරි අම්ම ඉන්නවා. නැන්දලත් මීට වඩා අපි ගැන බලයි. ඇත්තමයි එයා හිටියට වඩා හොඳයි…..”
“ජීවිතේට ඇත්තටම මුහුණ දෙන එක අපි හිතන තරං ලේසි නෑ නංගී. සමහරවිට අම්මටත් තනිකමක් දැනෙන්න ඇති. එයාගේ ඔලුවෙ තියෙන වගකීම් කාත් එක්ක හරි බෙදා ගන්න හිතෙන්න ඇති.”
“අවුරුදු හතළිස් පහකුත් උනාට පස්සෙද අම්මට වගකීම් මතක් උනේ. තනිකම දැනුනේ…මට ඇත්තමයි අම්මගේ මූණ බලන්නත් අප්පිරියයි.”
“දැන් නිදාගන්නකෝ..අපි දැන් කොච්චර මේ ගැන කතා කළත් හිත රිදෙන එක තමයි වෙන්නේ. අපි හැමෝටම වෙනස් වෙනස් කතා ඇති නංගි. කරන්න ඕනේ මොනවද කියන්න මම දන්නෙ නෑ හැබැයි ඔයාටවත් මල්ලිටවත් පාරට වැටෙන්න මම ඉඩ තියන්නේ නෑ. මාව විශ්වාස කරන්න.”
ඒ බිනරගේ වදන්ය. පැය කිහිපයකට පෙර ඔහු පැමිණ මේ සිතට දුන් හයියය.
“ඔයාව විශ්වාසයි අක්කේ. එදා ඉඳලම අම්මටයි තාත්තටයි වඩා විශ්වාස කළේ ඔයා.”
නැගණිය හඬමින්ම ඉසුරිව බදාගත්තේ එසේ පවසමින්ය. කාමරයේ දෙපසක වූයේ තනි යහන් දෙකකි. එනිසාම දෙදෙනෙකුට සිටින්නට තරම් එහි ඉඩක් වූයේ නැත. මේ රාත්‍රිය පුරාම නිදි වර්ජිතව ගත කරන්නට සිදුවන බව විශ්වාසය. එනිසාම තමාගේ ඇඳට යන්නයැයි ඉසුරි නැගණියට ඇවිටිලි නොකළාය. නිහඬ චරිතයක් වූ ඇගේ සිතුවිලි මේ අයුරින් හෝ තමා සමග බෙදා ගන්නට උත්සාහ දැරීම හොඳය. හඬමින් කියවමින් උන් නැගණියට නින්ද ගියේ කීයටදැයි ඉසුරි දැන සිටියේ නැත. නින්දත් නොනින්දත් අතර උන් ඈ ඇහැරී සිටියේ බියකරු චිත්‍රයක් තම දෑස් මානයේ මැවී නොපෙනී යද්දීය.
බැංකුවෙන් ගත් ණය මුදල වාරික තුනකින් ගෙවී තිබුණේ නැත. එය කෙසේ හෝ ගෙවා නිම කරන්නට තාත්තා පොරොන්දු වූයේ නිවසින් පිටව යන්නට ප්‍රථමවය. ඒ සඳහා බැංකුවට ගොස් කල් ඉල්ලා ගන්නයැයි ඔහු අම්මාට පැවසීය.
අම්මාගේ රට ගමන පිළිබඳව විශ්වාසය තැබිය හැකි කමක් නොවේ. එසේ යන සමහරුන් යළි පැමිණෙන්නේ ජීවිතයේ වූ සන්තකයම අහිමි කරගෙනය. ලියකියවිලි ඉදිරිපත් කලාට තවමත් ඊට නිශ්චිත දවසක් වූයේ නැත.
තම උරහිස මත වූ නැගණියගේ හිස සීරුවෙන් අයින් කළ යුවතිය ඇඳෙන් බැසගත්තේ තිබහක් දැනෙද්දීය. රාත්‍රියේ තම නිවසෙහි කිසිවෙකුත් ආහාර නොගත් බව ඇයට සිහි වූයේ එවේලෙහිය. පරිප්පු හොද්දක් ලිප තබා තිබූ කිරි අම්මා කිහිපවරක්ම පාන් ගෙන එන්නයැයි මල්ලිට ඇවිටිලි කළාය. එහෙත් සියල්ලන්ගේම සිත්වල වන ගින්දර කුසගින්න පරදා තිබිණ.
ආලින්දයට යන දොර හැරදා තිබෙන අයුරු යුවතිය දුටුවේ මුළුතැන්ගෙයට ගොස් වතුර වීදුරුවක් බී ආපසු එන අතරතුරය. ඉසුරි කාමරයට නොගොස් ආලින්දයට එබුණාය. අඳුරේම අම්මා කෙටි බිත්තිය මත වාඩි වී සිටින අයුරු ඇය දුටුවේ එවේලෙහිය. ආලින්දයේ විදුලි බුබුළ දල්වන්නට අත තැබූ ඕ යළිත් අත ආපස්සට ඇද ගත්තේ හිතාමතාමය. ඉන්පසු ඇය අසලට ගියේ ‘අම්මා ගිහින් නිදාගන්න…’ යනුවෙන් පවසමින්ය.
“ඉසුරි මමත් එක්ක තරහද…”
රාජිනීගේ කටහඬ බිඳී තිබිණ. ඇය හඬනවායැයි ඉසුරි වටහා ගත්තේ එනිසාය.
“ජීවිතේ මම ගතපු තීරණ හැම එකක්ම වැරදුනේ කොහොමද ඉසුරි…”
අවසන ඇය ඇසුවේ දැනමුත්තියකගෙන් යමක් විමසන අයුරින්ය. කොහොමටත් ඉසුරි ජීවිතය දෙස බලන්නේ තමාට වඩා ඇසූ පිරූ තැන් ඇත්තියක ලෙසයැයි රාජිණී විශ්වාස කළාය. මේ ප්‍රශ්නයේදී වුවත් ඈ දැරුවේ නිහඬ පිළිවෙතකි.
“කෑ ගහන එකේ තේරුමක් නෑ මල්ලි. අපි බලමු අපිට ඊළඟට කරන්න පුළුවන් මොනවද කියලා……”
ඕ කීප වතාවක්ම එසේ පවසමින් ඉසුරුව සන්සුන් කරවන්නට වෙර දරනා අයුරුත් රාජිනී බලාගෙනය.
“අපිට බැරිද තාත්තා බැංකුවත් එක්ක කතා කරලා ටික කාලයක් දීර්ඝ කරගෙන හරි මේ වාරිකය අඩු කරගන්න.”
තවත් වරෙක ඕ සුරංගගෙන් එසේ විමසන අයුරු රාජිනී අසාගෙනය.
“මම කසාද බඳිනකොට මට අවුරුදු විසි දෙකයි ඉසුරි. මට මේ ජීවිතේ ගැන ලොකු අවබෝධයක් තිබුණේ නෑ. අද ඔයාට තරම්වත් දැනුමක් තේරුමක් ඒ කාලෙ මට තිබුණේ නෑ. ඔයාගේ කිරිඅම්මට වගේම මාමටත් ලොකු උවමනාවක් තිබුණා මගෙන් නිදහස් වෙන්න. ඒකට එයාලට දොස් කියන්නම බැහැ. ඔයාගේ තාත්තා නිතරම මෙහෙට ආව ගිය හින්දා මිනිස්සු කතන්දර කියන්න පටන් ගත්තා. අන්තිමට තාත්තා බැඳලා මේ මහ ගෙදරට ඇවිල්ලා මං නොවිදිනා දුක් වින්දා. විසි හතර පැයේම තාත්තට තුරුළු වෙලා ඉන්න මිසක්කා අපේ දියුණුවක් ගැන හිතන්න වුවමනාවක් මට තිබුණෙ නෑ. මං හිතුවේ ජීවිතේ හැම දෙයක්ම තියෙන්නේ තාත්තගෙ ආදරේ ළඟ කියලා. අපි දෙන්නම තීරණ ගත්තෙ හරි හදිසියේ. විවාහයකට කලින් දෙන්නෙක් එකතුවෙලා සම්පූර්ණ කරගන්න ඕන කිසිම දෙයක් අපි දෙන්නා අතින් සම්පූර්ණ උනේ නෑ ඉසුරි. අපි ඒ හැමදේම කරගන්න බැලුවේ කසාද බැන්දට පස්සේ. අන්න ඒ නිසා තමයි අපි දෙන්න අතර හැම තිස්සෙම රණ්ඩු සරුවල් ඇති උනේ. ඔයා මගේ බඩට ආවෙත් ඒ කාලෙදි. ගෙදරදි මට නොලැබුණු හැම දෙයක්ම මම තාත්තගෙන් ලබාගන්න උත්සාහ කළා. අන්තිමට උනේ මට තාත්තවත් තාත්තට මමත් එපා වෙච්ච එක..”
“දැන් ඔය දේවල් ගැන කතා කරල වැඩක් නෑ අම්මේ…”
“කතා කරන්න ඕනෙ ඉසුරී ආපහු කවදාවත් ඔයා එක්ක මට මේ වගේ කතා කරන්න ලැබෙන එකක් නෑ. මම කතා කරන එකකුත් නෑ.”
“මොනවද අම්මා මේ කියන්නේ….”
“නංගීයි මල්ලියි මං ගැන හිතාගෙන ඉන්නේ ගොඩක් වැරදි විදිහට. ඉසුරි තාත්තා නැතුව කිසිම වරදක් නොකර මං අවුරුදු ගානක් ජීවත් වුණා ඉසුරි…ඔයාවත් මාව විශ්වාස කරයිද මන්දා”
යළිත් රාජිණීගේ මුවින් පිට වූයේ ඉකියකි.
“තාත්තා මාවයි ඔයාලා තුන්දෙනාවයි දාලා යද්දි මට අවුරුදු විසි අටයි ඉසුරි…”
“මම ඒක දන්නව අම්මේ..”
“ජීවිතයේ හොඳම කාලේ මට සිද්ධ වුණේ තනියෙන් ගෙවල දාන්න තනියෙන් තීරණ ගන්න. ඒක හරි අමාරුයි ඉසුරි. හරි අමානුෂිකයි.”
“මට අම්මව තේරෙනවා…ජීවිතයට හොඳ සහකාරයෙක් කියන්නේ මහ හයිය ගහක් වගේ ලොකු හෙවනක්. ලොකු රැකවරණයක්. මට එදා අම්මව නොතේරුනත් අද අම්මව හොඳටම දැනෙනවා. මල්ලිටයි නංගිටයි ඒ ඇත්ත තේරුම් ගන්න තව ටිකක් කල් ගතවෙයි. අපි කොහොම හරි මේ ගේ බේරගමු අම්මේ. අම්මා අපිට ඉන්නවා. ඒ ටික ඇති…”
ඉසුරි එසේ පැවසූයේ පසු පසින් ගොස් ඇයව වැළඳගෙනය.
“භාතිය මට හම්බවුණේ කෙමිකල් ප්‍රැක්ට්‍රි එකේ වැඩ කරද්දි ඉසුරි. භාතිය ළඟදී මට මාව පාලනය කරගන්න බැරිවුණා කිව්වොත් හරි. මිනිස්සු මට කතන්දර කියන බව මම දන්නව. මිනිස්සු මාව නරක ගෑනියෙක් කියලා හංවඩු ගහලා තියෙන බවත් මම දන්නවා. ඒත් ඔයාලා තුන්දෙනාගේ ඔලුවේ අත තියලා දිවුරලා කියන්න පුළුවන් භාතිය හම්බවෙනකල් මං ඔයාලට වැරැද්දක් කලේ නෑ පුතේ. භාතිය මට වඩා අවුරුදු පහක් බාලයි. කසාඳ බැඳලත් නෑ. ඒ කිසිම දෙයක් එයාට ප්‍රශ්නයක් වුණෙත් නෑ. අම්මෙක්ට දුවෙක් ළඟදි මේ විදිහේ පාපොච්චාරණයක් කරන්න සිද්ධ වෙච්ච එකත් මහ ලැජ්ජාවක් ඉසුරි..මහාම මහත් පවක්.”
“අම්මට හිතෙනවනං අම්මගේ හිත චුට්ටක් හරි නිදහස් වෙනවා කියලා, ඒ හැම දෙයක්ම මට කියන්න. හරියට යාළුවෙක්ට කියනවා වගේ. මං අද ඉන්නේ එදා අම්මා කසාද බැඳපු වයසේ. මමත් විශ්වාස කරනවා. අම්මට වඩා දෙයක් දැන් මට ලෝකෙ ගැන තේරෙනවා කියලා.”
“ඔයා හරි හොඳ දුවෙක්. සමහරවිට අපේ ජීවිත වලට ඔයා ආශිර්වාදයක්. දාල ගියපු තාත්තා මේ පවුලට එකතු කරගෙන තියාගෙන හිටියෙ ඔයා. මං ජීවිතේත් එක්ක හැප්පෙද්දි නංගි මල්ලි එකතු කරලා තියාගෙන හිටියේ ඔයා. ඔයා මට දුවෙක් නෙමෙයි.”
“අඬන්න එපා අම්මේ..ඇඬුවොත් අපිට හැමදාම සිද්ධ වෙන්නේ අඬ අඬා ඉන්න. අපි දෙන්නම එකතුවෙලා මේ ප්‍රශ්නෙට විසඳුම් හොයමු. සමහරවිට තාත්තත් අපි එක්ක ඉඳියි.”
“මට රකින්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ ඉසුරි. අවුරුදු ගානක්ම හංගගෙන ඉඳපු හැඟීම් භාතිය ගාවදී මට හංගන්න වුවමනාවක් තිබුනෙ නෑ. අවුරුදු දෙකක්ම අපි ඒ විදිහට නිදහසේ ආශ්‍රය කළා. භාතිය මට නැතිවෙයි කියලා බයෙන් මං එයා කැමති විදිහට අඳින්න පළඳින්න පටන් ගත්තා. මගේ රූපෙ ගැන හිතන්න පටන් ගත්තා. මම ජීවත් වෙන විදිහ වෙනස් කළා. කොටින්ම කිව්වොත් මං අවුරුදු විසිගානකින් ආපස්සට යන්න උත්සාහ කළා. සමහර වෙලාවට ඔයා දිහා බලාගෙන මං ඒ රූපෙට යන්න උත්සාහ කළා. දන්නෙම නැතුව මට මාව අමතක වුණා ඉසුරි. මං ලොකු මහත් වෙච්ච දරුවෝ තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් කියන එක මට අමතක වුණා. භාතිය හැම වෙලාවකම කිව්වා අපි බිස්නස් එකක් කරන්න ඕන කියලා. ඉසුරි දවසක් එයා මට පොරොන්දු වුණා මව කසාද බැඳලා මේ ගෙදර පදිංචියට එනවා කියලා. ඔයාටයි නංගිටයි මල්ලිටයි තාත්තා කෙනෙක් වෙනවා කියලා. එදා මට දැනුනේ මං මැරිලා ඉපදුනා වගේ හැඟීමක්. මට ඕන උනා ආපහු පවුල් ජීවිතයකට යන්න. මේ ගෙදර වගකීම් දරන පිරිමියෙක් ඉන්නව දකින්න. ඔයාල ගැන තීරණ ගනිද්දි පිරිමියෙක්ගෙන් අහලා තීරණ ගන්න. මං දෙපාරක් හිතන්නෙ නැතුව භාතියට එකඟ වෙලා එයාට බිස්නස් එකක් කරන්න ඕන කරන සල්ලි ටික දුන්නේ ඒ නිසා. ඒ මං ගැන විතරක් නෙමෙයි ඉසුරි ඔයාලා ගැනත් බලාපොරොත්තුවෙන්. මේ මනුස්සයා මාව අතරමං කරලා රවට්ටලා මේ විදිහට රටිනුත් පැනලා යයි කියල මං කීයටවත් හිතුවේ නෑ. මං ඔයාලව මහ පාරට ඇදලා දාන්නේ නෑ ඉසුරි. මට එහෙම කරන්න බෑ.”
රාජිණි යළිත් පැවසූයේ ඉකිබිඳිමින්ය. පෙරටත් වඩා තම ග්‍රහණය දැඩි කළ ඉසුරි ඇයව තම දෑතින්ම වැළඳ ගත්තාය. සිය දුකත් වේදනාවත් කළකිරීමත් පහව යවන්නට මෙන් රාජිණි උස් හඬින් හඬා වැටුනාය. ඉවසා දරා සිටිනවා හැරෙන්නට ඇයව සනසන්නට ඉසුරි උත්සහ දැරුවේ නැත. ඒ දුක කඳුලක්ව හෝ ඇගේ දෑස් වලින් පිටව යා යුතුය. හෝරාවක් පමණ කාලයක් තිස්සේම යුවතිය කළේ ඇයට හඬන්නට ඉඩදී ඇයව වැළඳගෙන බලා සිටීමය. මිනිසුන්ට ජීවිතය වැරදීමට බොහෝ වේලා ගතවන්නේ නැත. බිනර පවසන පරිදි එක අනුවණ තීරණයක් ප්‍රමාණවත්ය. අම්මා පාඩම් ඉගෙන ගත්තා පමණක් නොව තමාටත් පාඩම් ඉගැන්නුවේයැයි ඉසුරි සිතුවේ තම දිගු අතැඟිලි සීරුවට ඇගේ හිස කේ අතරේ ඇවිද්දවන ගමන්ය.
(යළිත් හමු වෙමු ආදරයෙන්)











