ආදරේ පේන්න නෙවෙයි දැනෙන්නයි ඕන

“ආදරේ පේන්න නෙවෙයි දැනෙන්නයි ඕන” කියලා මම කිව්වොත් ඔයාලා ඒක විශ්වාස කරනවද?

 ඇහැට පෙනෙන ලෝකෙට වඩා, අපේ හිතට දැනෙන ලෝකෙ ගොඩක් ලොකුයිනෙ. සීමාවක් නැති තරම්. මොකද හිතේ තියෙන ලෝකෙ සීමාව create කරගන්නෝන අපිමයි. ඇස්වලට පේන්නෙ කෙනෙක්ගෙ පිටත රූපෙයි, තත්ත්වයයි විතරයි. ඒත් හිතට දැනෙන්නෙ ඒ අපිට පේන මනුස්ස රූපෙ ඇතුළෙ ඉන්නෙ කවුද කියන එක. හැබැයි අපි ඒක කවදාවත් ගණන් ගන්නෙ නෑ. එහෙම නැත්තම් ඒ reality එක පිළිගන්න අපි කැමති නෑ. මොකද ඊට වඩා හරි ලස්සනයි අර හිත ඇතුළෙන් create කරගත්ත perfect බොරුව.

අපි හැමෝම ජීවිතේ කෙනෙකුට “දැනිච්ච” ඇත්ත ආදරේ හොයමින් තමයි ඉන්නෙ. ඒත් ඒක “පෙනිච්ච” ඇත්ත කෙනා ළඟ නෙවෙයි, සමහර වෙලාවට තියෙන්නෙ අපේ හිත අස්සෙ create කරගත්ත, මේ ඇත්ත ලෝකේ කිසිම කෙළවරකින් හොයාගන්න බැරිවෙච්ච විදියෙ “නොපෙනිච්ච” මනඃකල්පිත රූපයක් ළඟ වෙන්න පුළුවන්.

 ඇහැට පෙනිච්ච කෙනා කියන්නෙ හැමදාම ළඟ හිටපු, අතට අහුවෙන, අඩුපාඩු තියෙන කෙනා. ඒත් නොපෙනිච්ච රූපය කියන්නෙ අපේ හිතේ විතරක් හිටපු, අපි මවාගත්තු කෙනා. අපි හිත ඇතුළෙ ඒ මවාගත්තු රූපෙට ආදරේ කරනවා. ඒ ආදරේ අපිට කොච්චර සැනසීමක් දුන්නද කියනවා නම්, අපි හිතනවා ඒ ලස්සන ආදරේ අපිට මේ ඇත්ත ලෝකෙදි, මොකක් හරි පෙර කරපු පවකට “miss වෙලා” තියෙනවා කියන එක. 

ඒ වගේම ඒ මවාගත්තු රූපෙට අපි කොච්චර ආදරේ කරත්, අපිට කවදාවත් බෑ නොපෙනිච්ච රූපෙට ආදරේ කරපු විදියට ඇත්තටම ළඟ ඉන්න කෙනාට ආදරේ කරන්න.

ඇයි දන්නවද?

මොකද හිත ඇතුළෙන් කෙනෙක්ට ආදරේ කරන තාක්කල්, අපිට ඒ කෙනාව සහ ඒ ආදරේ අපිට ඕන ඕන විදියට වෙනස් කරගන්න හදාගන්න පුළුවන්. ඒ හීනෙ ඇතුළෙ එයාලගෙ වැරදි අපිට නොපෙනුණා වගේ ඉන්න පුළුවන්. එයාලා කතා කරන විදිය, හැසිරෙන විදිය අපේ හිතේ ලස්සනට පින්තාරු කරන්න පුළුවන්. ඒක හරියට අපිටම ඕන විදියට හදාගත්ත පරිපූර්ණ දෙයක් වගේ. ඒකෙ කිසිම හිස් තැනක් නෑ. Loopholes නෑ. වැරදි අඩුපාඩු නෑ. Perfect ආදරයක්.

හැබැයි හිත ඇතුළෙන් අපි ආදරේ කරන කෙනා එක්ක ඇත්තටම ජීවත්වෙන්න ගත්තම, අපි තේරුම්ගන්නවා “එයාලා මං හිතපු අයම නෙවෙයි” කියන එක.

ළඟ ඉන්න කෙනා කියන්නෙ අපි හිතේ ඇඳපු පින්තූරෙ නෙවෙයි. එයාලට ඇත්ත ජීවිතේ ඕනම මනුස්සයෙක්ට තියෙන්න පුළුවන් විදියෙ වැරදි තියෙනවා, අඩුපාඩු තියෙනවා, කේන්ති යන වෙලාවල් තියෙනවා, කම්මැලිකම් තියෙනවා. අපේ මනඃකල්පිත රූපෙට බැරි වෙච්ච සාමාන්‍ය දේවල් කරන්න ළඟ ඉන්න කෙනාට පුළුවන්. නොපෙනුණු රූපෙට බැරි වුණ දුකක් බෙදාගන්න ළඟ ඉන්න කෙනාට පුළුවන්. ඒත් අපි ආසයි අපේ හිතේ තියෙන අර perfectionist ට ආදරේ කරන්න. ඒ හින්දා තමයි ඇත්තටම ළඟ ඉන්න කෙනාට එයා ඉන්න විදියටම ආදරේ කරන්න අපිට අමාරු වෙන්නෙ.

අපි කල්පනා කරනවා නේද ඇයි එයාලා මං හිතපු විදියට නැත්තෙ? ඇයි එයාලා ටිකක් වෙනස් වෙන්නෙ නැත්තෙ? අපි උත්සාහ කරනවා, ඒ මනඃකල්පිත රූපෙට එයාලව ගලපගන්න. ඒත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. මොකද ජීවිතේ ඇත්ත තමයි, ආදරේ කියන්නෙ ඔයා හිතේ මවාගත්තු කෙනාට ආදරේ කරන එක නෙවෙයි, ඒක ඇත්ත අඩුපාඩු තියෙන කෙනෙක් එක්ක එකතු වෙලා ජීවිතේ හදන එක කියන එක.

ඒක නිසයි, ආදරේ වැඩිපුරම පරිස්සම් කරන්න ඕනෙ හිමි වෙන්න කළින් නෙවෙයි, හිමි වුණාට පස්සෙ කියලා මම කියන්න කැමති.

කරන්න අමාරුම දේත් ඒක.

මොකද ළඟ නැති දෙයක් පරිස්සම් කරන එක ලේසියි ළඟ තියෙන දේ පරිස්සම් කරනවට වඩා!

ළඟ නැති කෙනා හැමදාම ලස්සන හීනයක්. අපි ඒක damage වෙන්නෙ නැතුව පරිස්සම් කරනවා. ඒත් ළඟ ඉන්න කෙනා, අපේ ඇස් ඉස්සරහා ඉන්න කෙනා එයාලා අපේ ජීවිතේට බද්ධ වෙලා ඉන්නවා. එයාලා කැඩෙනවා, රිද්දගන්නවා, තරහා යනවා, අඬනවා, දුක්වෙනවා. එයාගෙ අඩුපාඩු දිනපතාම අපි දකිනවා. එතකොට හිත අර perfect හීනෙ පස්සෙ යනවා.මොකද ඕනම මනුස්සයෙක් ආසයි perfect දේවල්වලට, perfect dreams වලට. එහෙමත් නැත්තම් reality එක perfect වෙනවට.

ඒත් ආදරේ කියන්නෙ හීනයක් නෙවෙයි, ඒක ඇත්තක්. හැමදාම දකින අඩුපාඩුත් එක්ක, ආදරේ කරන්න පුළුවන් නම් විතරයි ආදරේ රඳා පැවතීමක් තියෙන්නෙ. මොකද අපි අර කිසිදාක ඇත්ත නොවෙන perfection එකක් පස්සෙ යනවා නම් ඒ ආදරේ අඩුපාඩු දකිද්දි අපේ හිත ඒ අඩුපාඩු සහිත ආදරේ reject කරන්න පුරුදු වෙනවා.

ඉතින්, අපි ඉගෙන ගන්න ඕනෙ ළඟ ඉන්න කෙනාට, එයාලා ඉන්න විදියටම ආදරේ කරන හැටි. ඒක තමයි අමාරුම පාඩම. ඒක තමයි ඇත්ත ආදරේ. ඒ නිසා තමයි ආදරේ දැනෙන්න ඕනෙ, නිකං පේන්න විතරක් නෙවෙයි. ඒ දැනෙන ආදරේ තමයි අපේ ඇස් වැහුණට පස්සෙත් පරිස්සම් වෙන්නෙ.

මොකද අන්තිමේදී, ආදරේ කියන්නෙ ඔයා දකින දෙයක් නෙවෙයි, ඒක ඔයාට දැනෙන දෙයක්.

ඇස් රවට්ටන්න පුළුවන් ලස්සනෙන්, perfect වෙන්න edit කරපු social media වල upload කරන බොරුවකින් . 

ඒත් හදවතට දැනුණ දේ අපේ හිතට මතක තියෙනවා. උණුසුම, ආරක්ෂාව, තේරුම්ගැනීම වගේ දේවල් අපිට පේන්නෙ නෑ, ඒවා අපිට දැනෙනවා මිසක්.

කවදහරි දවසක ඉතුරු වෙන්නෙ ඒ හැඟීම, ඒ දැනිච්ච දේ. ඇහැට විතරක් පෙනුණ නෙවෙයි, ඇත්තටම හිතට දැනුණ ආදරේ.

ඒ නිසා පරිපූර්ණ කෙනෙක්ව හොයන්න එපා. ලෝකෙ මොන විදියට වෙනස් වුණත් ඔයාගෙ හදවතට සැනසීමක් දෙනා කෙනා හොයන්න. 

මොකද දවසක, පේන්න තියෙන හැමදේම මැකිලා යන්න පුළුවන්, ඒත් හදවතට දැනිච්ච දේ ඉතුරු වෙනවා.

Related Articles

Don't Miss


Latest Articles