ළතෙත් ආදර හැඟුම් ගංගා – 54

*නාද්‍යා සොනාලි සල්වතුර*

මංජුයි, කාන්ති අක්කායි දෙන්නම එදා රෑ ගෙදර උන්න හන්දා ඊළඟ දවස උදේ වෙනකම්ම මට දැනුණේ පොඩියට හරි නිදහසේ ලොකු හුස්මක් පිටවුණා වගේ හැඟීමක්. ඒත් මගේ හිතේ තිබ්බ ගින්දර ඒ විදිහටම තිබ්බා. මම හරියට පුපුරන්න ලෑස්ති වුණු ගිනි කන්දක් වගේ තමයි ඒ රෑ ගෙවලා ඉවර කරේ මම දැනගෙන හිටියා, ගයාන් ආයෙත් එනවා කියලා. මොකද මිනිහ මේක අත ඇරලා දාන්න ලෑස්ති නෑ කියන එක මම එදා මිනිහගෙ ඇස් අස්සෙන් දැක්ක නිසා.

හරියටම මම හිතුවා වගේම පහුවෙනිදා ඉර පායලා පැය දෙක තුනක් යනකොට, ගයාන් ගෙදර ඉස්සරහ පඩිය උඩ හිටගෙන ගෙදර දොරට තට්ටු කරනවා මම දැක්කා. හැබැයි මෙදා පාර මම උන්නෙ එහෙම දෙයක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් හන්දා කලින් වතාවෙ වගේ තිගැස්සෙන්නෙ නැතුව ගයාන්ව පිළිගන්න මට පුලුවන්කම තිබ්බා. අනික  ගයාන් දොරට තට්ටු කරෙත්  එදා වගේ කඩාගෙන බිඳගෙන ආව පිස්සෙක්ගේ තට්ටු කිරීමක් වගේ නෙවෙයි. හරියට කරුණාව ඉල්ලන හඬක් වගේ. අනුකම්පාව ඉල්ලන කෙනෙක් වගේ. ලැජ්ජාවෙන් වගේම මූණ අස්සෙ ප්‍රශ්නාර්තයක් ඇඳගෙන.

“ප්ලීස් ගයාන් ඔයා මගේ ජීවිතේ අවුරුදු කීප…” කියලා මම කතාව කියන්න ගියාට ගයාන් මට ඒ වචන කම්ප්ලීට් කරන්න කිසිම ඉඩක් දුන්නෙ නෑ.

“නාද්‍යා මට කතාකරන්න දෙන්න ප්ලීස්. මම දන්නවා මම එදා ඇවිත් ඔයාට කතාකරපු විදිය වැරදි. මං එදා හැසිරිච්ච විදිය වැරදි. ඒ උනාට මෙච්චර කාලයක් තිස්සෙ මම නැහැයි කියලා හිතාගෙන උන්න දෙයක් මම දන්නෙ නැති උනාට මෙච්චර කාලයක් පුරාවට පැතිරිලා තියෙනවා කියලා දැනගත්තම මම නෙවෙයි නාද්‍යා ඕන මනුස්සයෙක් ඒ වගේ හැසිරෙනවා. මං හිතන්නෙ ඔයාට උනත් පොඩ්ඩක් හිතලා බලද්දි ඒක ඇත්ත කතාවක් කියන එක පිළිගන්න පුලුවන් වෙයි. මං එදා හැසිරිච්ච විදිය ඔයාට අනුව වැරදි වෙන්න පුලුවන් උනත් තමන්ට දාව දරුවෙක් මේ ලෝකෙ ඉන්නවා කියන එක දැනගත්ත ඕනම තාත්තා කෙනෙක් හැසිරෙන්නෙ එදා මම හැසිරිච්ච විදියට තමයි නාද්‍යා.”  කියලා ගයාන් කියද්දි මං ඇත්තටම උන්නෙ කියන්නෝන මොකද්ද කියලා හිතාගන්න බැරුව. ඇත්ත අහස්ගෙ තාත්තා ගයාන් කියන එක නීතිය ඉදිරියේ කොහොමත් මට පිළිගන්න වෙන ඇත්තක් බව ඇත්ත උනත් මගේ හිත කවදාවත් ඉඩ දුන්නෙ නෑ මේ ඉන්නෙ අහස්ගෙ තාත්තා කියලා පිළිගන්න. තාත්තා කියන තනතුරු නීතිය ඉදිරියේ ගයාන්ට ලැබෙන්න කොච්චර සුදුසුකම් තිබ්බත් මනුස්සකම අගයන තැනක, ලෝකෙක අහස්ගෙ තාත්තා කියන තනතුර ලැබෙන්නෝන ගයාන්ට නෙවෙයි කියන එක මම හොඳාකාරවම දැනගෙන හිටියා.

“ගයාන්, ඔයා කියන කතාවේ ඔයා මේ දරුවගෙ තාත්තා වෙන්නෙ ඔයාගෙ ලේ මේ දරුවගෙ ඇඟේ දුවන හන්දා විතරයි. කතාවෙ ඒ කොටස ඇත්ත. ඒත් තාත්තා කියන වචනයට දරුවගෙ ඇඟේ තමන්ගෙ ලේ දුවනවා කියන එක විතරක් මදි. ඔයාට අමතක නම් මීට අවුරුදු දෙකකට කලින් මම ඔයාට මම ප්‍රෙග්නනට් කියලා කිව්ව වෙලාවෙ ඔයා හැංගිලා ගිය වෙලාවෙ ඔයා ඒ තාත්තා කියන තනතුර ඔයාගේ අතින්ම අතෑරලා දැම්මා කියන එක ඔයාට අමතක වෙන්න විදියක් නෑ නේද?”

“මං දන්නවා. මං දන්නවා නාද්‍යා. මං දන්නවා මං එවෙලෙ කරේ ලොකුම ලොකු වැරැද්දක් කියන එක. මට ආයෙ ආපස්සට අතීතෙට යන්න පුළුවන්කමක් තිබ්බා නම් මම ඒක නොකර ඉන්නෙ නෑ නාද්‍යා. ඒ උනාට මට ඒක කරන්න විදියක් නෑ. ඒකයි මේ ඇවිත්  මම සමාව ඉල්ලන්නෙ නාද්‍යා. මම දන්නවා මම ඔයාගෙන් සමාවක් ඉල්ලන්න සුදුසු නෑ කියලා. ඒත්… ඔයා දන්නවා මම මේ දරුවෙක් වෙනුවෙන් කොච්චර කාලයක් දුක් වින්දාද කියලා. මම තාරුකා එක්ක ජීවත් වුණේ දරුවෙක් ගැන හීන මව මව කියලා ඔයා හොඳටම දන්නවා. මං ඔයාට ඒක කියලා තියෙනවා. තාරුකාගෙ බඩට එන්නෝන මගේ දරුවා මම විනෝදෙට ආස්‍රේ කරපු ඔයාගෙ බඩට ඇවිත් කියලා දැනගත්තම ඕනම පිරිමියෙක් වගේ මටත් මතක් උනේ මම කොහොමද මගේ කසාදෙ බේරගන්නෙ, මම කොහොමද මෙ හැමදේම තාරුකාගෙන් හංගලා තියාගන්නෙ කියන එක විතරයි. මං එවෙලෙ කරගත්තෙ මහම මහ මෝඩ වැඩක් කියන එක මට තේරුණේ කොච්චර ට්‍රයි කරත් තාරුකාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ කියන එක තේරුම්ගත්ත දවසෙ. මං හිතුවෙ ඔය තරුණ කෙල්ලෙක් හන්දා ලැබෙන්න උන්න දරුවව නැති කරන්න ඇති කියලා. මම එදා නිකමට හරි දැනගෙන උන්නා නම් ඔයා ඒ දරුවව නැති කරේ නෑ ඔයා ඒ දරුවව හදාගත්තා කියන එක මම මේ ගමන එන්නෙ මීට කලින් නාද්‍යා.

ප්ලීස් මට සමාව දෙන්න. ඔය දරුවා මගේ කියන එක ඔයයි මමයි දෙන්නම හොඳටම දන්නවා නාද්‍යා. මගෙන් මං මුලු ජීවිත කාලයක් පුරාවටම බලාපොරොත්තු වෙච්ච ඒ තාත්තා කම අන්තිමේ ලැබිච්ච වෙලාවෙ ඒක ආයෙ මගෙන් උදුරගන්න හදන්න එපා” කියලා කියද්දි ගයාන් උන්නෙ අඬන්න වගේ කියන එක දැක්කත් ආයෙ වතාවක් මේ වගේ මිනිහෙක්ගෙ කිඹුල් කඳුලු වලටයි, බොරුවලටයි රැවටිලා මගෙ ජීවිතේ විනාස කරගන්න මට උවමනා උනේ නෑ. මොකද මේ වතාවෙ රැවටුනොත් රැවටෙන්නෙ, විනාස උනොත් විනාස වෙන්නෙ මගෙ ජීවිතේ විතරක් නෙවෙයි මගෙ දරුවගෙත් ජීවිතේ කියන එක මට හොඳට මතක තිබ්බ හන්දා.

“ඔව්, මම දන්නවා. මට ඒ කලෙ තේරුම්ගන්න බැරි උනාට ඔයාට හැමදාම ඕන උනේ තාරුකා එක්ක කසාදෙ පරිස්සම් කරන්න අපි වගේ අය එක්ක විනෝද වෙන්න කියන එක මට දැන් ඒක හොඳට තේරුම්ගන්න පුළුවන්. ඒත් ඒක ඔයාගේ පුද්ගලික වේදනාවක් ගයාන්. ඔයා දැන් මේ මෙතන ඇවිත් මගෙ දරුවව ඉස්සරහට දාලා මාකට් කරන්න හදන්නෙ ඔයාගෙ දුක නම් සොරි ඔයා හිතන්න එපා මම ඒකට අහුවෙයි කියලා. අවුරුදු දෙකක් මම මිනිස්සුන්ගෙන් එක එක කතන්දර අහගෙන, මගෙ ගෙදර මිනිස්සුන්ගෙන් පවා ඈත්වෙලා ඒ මිනිස්සුන්ට පවා ලොකුම ලොකු ගින්දරක් දීලා මේ දරුවව හදද්දි අඩුම තමුන් ගියේ මට කියලවත්ද? හරියට නිකන් මම මේ තනියෙන් බඩක් හදාගත්තා වගේ හැම ප්‍රශ්නෙකටම මට තනියෙන් මූන දෙන්න ඉඩ සලස්සලා යද්දි තමුන්ට හිතුනෙ නැද්ද ඒ කරන්නෙ මහම මහ ලොකු වැරැද්දක් කියන එක? දැන් මේ එහෙම මනුස්සයා නේද වැරැද්දකට සමාව ඉල්ලගෙන මෙතනට මේ ඇවිත් තියෙන්නෙ. තමුන් දැන් ඇවිත් මගෙන් ඉල්ලන්නේ මොකක්ද? තමුන්ගෙ වේදනාවට බෙහෙත් දෙන්න කියලාද? එහෙම දැන් මෙතන ඇවිත් නාහෙන් අඬලා උදව් ඉල්ලන තමුන්ම මීට අවුරුදු දෙකකට කලින් මාව මහම මහ බලු විදියට අත ඇරලා දාලා ගියපු ඒවා තමුන්ට මතක නැද්ද?

තමුන්ට ඕන දැන් මගේ මුලු තරුණ කාලෙම විනාස කරලා දැම්මා වගේ ආයෙ මගෙ දරුවවත් මගෙන් උදුරගෙන මගෙයි දරුවගෙයි දෙන්නගෙම ජීවිත විනාස කරලා දාන්නද?”

“නෑ, උදුරගන්න නෙවෙයි! මට ඕන බලාගන්න. මම දන්නවා ඔයාට මෙතන ඉඳන් තනියම මේ දරුවට හොඳ අනාගතයක් දෙන්න අමාරුයි කියලා. මම ඔයාට හොඳම ජීවිතේ දෙන්නම්. අපි කසාද බඳිමු නාද්‍යා. මම තාරුකගෙන් දික්කසාද වෙලා එන්නම්. මම ඔයාවයි, දරුවවයි දෙන්නවම බලාගන්නම්, දරුවෙක්ට අම්මයි තාත්තයි දෙන්නවම ඕන නාද්‍යා. දරුවෙක් හැදෙන්නෝන අම්මයි තාත්තයි දෙන්නම මැද්දෙ.

ඔයා කොහොමද අපි දෙන්නගෙම දරුවා ගැන මේ වගේ තනි තිරණයක් ගන්නෙ? තාත්තා විදියට මට මේ දරුවා ගැන කිසිම තීරණයක් ගන්න බැරිද? මට අයිතියක් තියෙනවා නාද්‍යා මේ දරුවා ගැන අමතක කරන්න එපා මේ දරුවගෙ ඇඟේ දුවන්නෙ මගෙ ලේ. ඒක තමයි මේ දරුවට මාත් එක්ක තියෙන ලොකුම බැඳීම.ඔයා අම්මා උනා කියලා ඔයාට බෑ නාද්‍යා කවදාවත් මේ දරුවගෙ තාත්තා මම නෙවෙයි කියලා කියන්න.අමතක කරන්නෙපා ලෝ එක ඉස්සරහට උනත් මම යන්න ලෑස්ති ඔයා මාත් එක්ක මේ දරුවා සම්බන්ධයෙන් සෙල්ලම් කරන්න ආවොත්. 

මං මේ බොහොම හොඳින් කියන්නෙ. අපි ආයෙ කසාද බඳිමු. අතීතෙ වෙච්ච හැමදේම අපි අමතක කරමු. අපි අලුතෙන් ජිවීතේ පටන් ගමු. මං තාරුකාට කියන්නම් ඔයාට මගෙන් දරුවෙක් ඉන්න හන්දා මට ඔයාව භාරගන්න වෙනවා කියලා. තාරුකාව මං ඩිවෝස් කරන්නම්” කියලා ගයාන් කියද්දි ඇත්තටම මට මිනිහා ගැන මහ පුදුම පිළිකුලක් තමයි දැනුනෙ.

මට මිනිහාගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත වෙලාවෙ මාව බැල්ලියෙක් වගෙ දාලා ගිය මිනිහාම අද මං ඉස්සරහට ඇවිත් තමන්ගෙ ගෑනිට දරුවො නැති හන්දා ඒ ගෑනිව ඩිවෝස් කරන්න යනවා කියලා ඇහුවම ඇත්තටම මං උන්නෙ ඒකට මං දෙන්නෝන උත්තරේ මොකද්ද කියලා හිතාගන්න බැරුව.

මම දොර තදින් වහලා අගුළු දැම්මෙ ඒ නිසාමයි. ‘දඩං’ ගාලා දොර වැසෙන සද්දේත් එක්ක, මගේ හිතේ තිබ්බ හැම සැකයක්ම හිත අස්සෙ ආයෙ ආයෙ ආයෙ දෙදර දෙදර මට දුන්නෙ මහ ලොකු ඔලුවෙ කැක්කුමක්.

මේක යුද්ධයක් නම් මේ  තමයි ඒකෙ ස්ටාටින් පොයින්ට් එක කියන එක මට ඒ එක්කම මතක තිබ්බා. ගයාන් මේ එන්නේ තමන්ට එපා කියලා අවුරුදු කීපෙකට කලින් අතෑරලා දැම්ම අයිතියක් තහවුරු කරගන්න.

දැන් මට තාරානාත් ගැනවත්, අතීතය ගැනවත් හිතන්න වෙලාවක් නෑ. තියෙන්නේ අනාගතය විතරයි. මගේ දරුවගෙ අනාගතේ විතරයි. ඒ අනාගතේ කවුරු උන්නත් නැතත් එක දෙයක් මම මගේ හිතට ආයෙ ආයෙ කිව්වා. 

ඒ අනාගතයට ගයාන් අයිති නෑ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles