ඉසුරි බිනරට කෙටි පණිවිඩයක් යැවූයේ නිවසට පැමිණියාට පසුවය. ‘රාත්‍රියට පාන් කමු’ යැයි යෝජනා කළේ මල්ලීය. රැකියාවට යන අම්මා යළි නිවසට පැමිණෙන්නේ වෙහෙසකරවය. ඕ මුලින් රැකියාව කළේ කෙමිකල් විකුණුම් ආයතනයේ බිල් ලියන්නියක ලෙසය. එක තැනකට වී වැඩ කරනවාට වඩා දවසේම එහෙ මෙහේ ඇවිදිමින් වැඩ කිරීම ලෙහෙසි පහසු එකක් නොවන බව විශ්වාසය.
වඩාත්ම අපහසු කාර්ය වන්නේ සවසට සියල්ලෝම පැමිණි පසු කාර්යාලය පිරිසිදු කිරීමයැයි ඈ පැවසූයේ ඊයේය.
එහෙත් ඕ පසුගිය කාලයේ නිවස තුළත් තමා අතින් මගහැරී ගිය යුතුකම් වගකීම් යළි අරඹමින් උන්නාය.
ඉසුරි මුළුතැන් ගෙට පැමිණියේ රාජිණි විසින් ඇතිලියට දැමූ පරිප්පු සෝදන්නට සූදානම් වෙද්දීය.
“අම්ම තියන්න මං හදන්නම්.”
“කමක් නෑ ඉසුරි. ඔයා ඔහෙන් වාඩි වෙන්නකෝ.”
මල්ලී අසල කඩයට ගියේ පාන් ගෙන එන්නටය. ඊයේ පෙරේදා සිට ඔහු ක්‍රිකට් පුහුණුවීම් මගහැර සිටියේය.
“ප්‍රැක්ට්‍රිස් ගියා කියලා වැඩක් නෑ හලෝ. මොකද අපි ටීම් එකට තේරෙනවයැ. හැමදාම අපි ප්‍රැක්ටික්ස් මැච් ගහනවා විතරයි. කෝච් උනත් සමහර උන්ට ඇස් පනාපිටම අදිනවා. ඒක අතකින් බැලුවහම තාත්තාගේ උනත් සල්ලි වියදම් කරන එකනේ මං කරන්නේ. ක්‍රිකට් වලින් අනාගතයක් තියෙනවානම් කමක් නෑ. ඒ උනාට මට දැන් තේරෙනවා එහෙම බලාපොරොත්තුවක් තියාගෙන සෙල්ලම් කරන්න බෑ කියලා. ජොලියට හරි ගිහිල්ලා සෙල්ලම් කරලා එන්න තිබුනා කෝච් ෆී එක ගෙවන්න ඕනේ නැත්නම්.”
ඔහු පසුගිය දිනක එසේ පවසා තිබුණේ නංගී සමගය. ඉසුරි තාත්තා සමග ඒ බව පැවසුයේ පෙර දා සවසය.
“මං කෝච් එක්කත් ඒ ගැන කතා කළා ඉසුරි. සෙල්ලං කරනවා කියන්නෙත් කෙනෙක් සහජයෙන් ගේන දක්ෂතාවය පුහුණුවකින් ඔපදා ගන්නවා කියන එක. ඉසුරුට එහෙම දක්ෂතාවයක් තියෙනවා කියලා කෝච් උනත් විශ්වාස කරන්නේ නෑ. එයාට ව්‍යායාමයක්, හිතට සතුටක් විදිහට ඒ දේ කළාට කමක් නෑ. තේරුමක් නැතුව ඉගෙනීමත් නැති කරගෙන ක්‍රිකට් පස්සේ දුවන එක තමන්ට ගැලපෙන දෙයක් නෙමෙයි කියලා ඉසුරු වුනත් තේරුම් ගතපු එක හොඳයි.”
ඉන්පසු ඉසුරි මල්ලි සමග ඒ ගැන කිසිවක් කතා කරන්නට නොගියාය. ඒ ලෙවල් විභාගයෙන් පසුව වෘත්තීය පුහුණු පාඨමාලාවකට ඔහුව යොමු කරන්නට ඇය සිතා ගත්තාය. ඊයේ පෙරේදා සිට ඔහු හෝටල් ක්ෂේත්‍රය ගැන කතා කරන්නේ වෙනදා නොමැති උනන්දුවකින්ය.
“ඉසුරි ලොකු පුතා කතා කළේම නැද්ද…”
අම්මා එසේ ඇසුවේ පොල් මිරිකන අතරේය. හිස දෙපසට වැනුවත් තමාට පිටුපා සිටින ඇය එය නොදුටු බව ඉසුරිට සිහිවූයේ ඊළඟ තත්පරයේදීය.
“අද මැසේජ් එකක් එවලා තිබුණා.”
“මොනවා කියලද..”
“ඔෆිස් එක ළඟට එනවා කියලා. මම වේලාසනින් ආවා.”
“එහෙම ඉඳලා හරියන්නෙත් නෑනේ ඉසුරි. මේ වැඩ කටයුතු කතා කරගත්ත දවසටම සිද්ධ නොකළත් කවද හරි දවසක ඔයාලා එක තැනකට එකතු වෙන්න ඕනනේ. මේ ගෙවල්වල ප්‍රශ්න එදත් තිබුණා. හැබැයි ඉතින් ඔයාලට ඒ කිසිම දෙයක් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක හෙටත් ඒ විදිහටම තියාගන්න ඉසුරි.”
“මම තීරණයක් අරන් ඉවරයි අම්මේ…..තවත් මගේ ජීවිතයට ලොකු අයිය කෙනෙක් ඕනේ නෑ.”
රාජිණී පසුපස හැරුනේ තිගැස්සීගෙනය. අතෙහි වූ පොල් කිරි අතැගිලි අස්සෙන් බේරී බිමට වැටෙන අයුරුවත් ඇයට නොදැනුණු තරම්ය.
“ඔයා මොනවද දරුවෝ මේ කියන්නේ.”
“අවුරුදු ගානක්ම විඳව විඳව ජීවත් වෙලා මට හිතෙනවා අම්මේ දැන් තමයි මං හරිම තීරණය ගත්තෙ කියලා. ඒ තරමටම මගේ හිතට සැනසීමක් දැනෙනවා. කවද හරි දවසක මාව තේරුම් ගතපු මගේ අම්මට, තාත්තට, නංගිට, මල්ලිට ගෞරව කරන කෙනෙක් ලැබුනොත් ඔයාගේ ලොකු දුව කසාද බඳිවි අම්මේ. ලොකු අයියා කියන්නේ එදා මගේ ළඟ තනියට හිටි කෙනා උනාට මගේ ජීවිතේ බාරගන්න සුදුසු කෙනා නෙමෙයි අම්මේ”
“අනේ දරුවෝ….මේ මුළු ගමම දන්නවා ඔයාලා දෙන්න අතර සම්බන්ධයක් තිබුණා කියලා. ඔයා හිතනවද නැන්දා මේක ලේසියෙන් අතාරියි කියලා. නැන්දට වඩා ලොකු පුතා. ඔයා හිතනවද එයා මේක ලේසියෙන් අතාරියි කියලා.”
“මොනවද අම්මා කියන්නේ? මොනවද එයා අතාරියි කියල හිතන්නේ නෑ කියන්නේ..”
පාන් රාත්තල් දෙකකුත් රැගෙන ඉසුරු මුළුතැන් ගෙයට එබුණේ එවේලෙහිය.
“ඔයාට ඒ කතා වලින් වැඩක් නෑ පුතේ. ඒවා ලොකු මිනිස්සුන්ගේ කතා.”
“ලොකු මිනිස්සුන්ගෙ කතා වුණත් පොඩි මිනිස්සුන්ගේ කතා වුණත් අම්මේ අක්ක කියන්නේ මොකක්ද අපි ඒකට එකඟ වෙන්න ඕනේ. අම්මා දැක්කේ නැති උනාට ඔය ලොකු අයියගෙන් අක්කා ඕන තරම් බැනුම් අහනවා මම දැකලා තියෙනවා. ඒ මිනිහා මේ ගෙදරට ඇවිල්ලා යන හැම වෙලාවකම අක්කගේ ඇස් වල තිබුණේ කඳුළු. එහෙම උනේ කසාද බඳින්න කලින් මේ ගෙදර ජීවත් වෙන කාලේ. අම්මට පුළුවන්ද එහෙම මිනිහෙක් ළඟට අක්ක යවලා බලාගෙන ඉන්න. ඌත් එක්ක මට තරහ හිතුනේ අද ඊයෙක නෙමෙයි. මගේ අක්කව රිදවලා මෙතනට ඇවිල්ල යන හැම වතාවකම මට හිතුනා උගේ පස්සෙන් ගිහිල්ලා බෙල්ල මිරිකන්න.”
“මල්ලි…..”
“කසාද නොබැද හිටියත් මං මගේ අක්කව ජීවිත කාලෙම බලා ගන්නවා අම්මේ. හැබැයි එකක් මතක තියාගන්න මං කීයටවත් අක්කට ඕකා ලඟට යන්න ඉඩ දෙන්නේ නෑ. මෙන්න පාන් ගෙඩි දෙක. පරිප්පු එක හදලා කියන්න. අලුත් ක්‍රමයක් තියෙනවා. මං ඒ විදිහට තෙම්පරාදුවක් දාන්නම්.”
ඉසුරු මුළුතැන් ගෙයින් නික්ම ගියේ කෝපයෙන්ය. රාජිනී ආපසු හැරී පරිප්පු ඇතිලිය ලිප තැබුවාය.
“මට බය ඔයාගේ ජීවිතයට කරදරයක් වෙයි කියලා. තාත්තත් කිව්වා ඉසුරි කැමති තීරණයක් ගන්න ඉඩ දෙන්න කියලා. ඒ උනාට අපි ඔක්කොම එක තැනකට එකතුවෙලා ලොකු පුතා එක්ක කතා කළා නම් හොඳයි කියලා මට හිතෙනවා.”
“එපා අම්මේ තේරුමක් නෑ. එයාගේ කකුල් දෙක අල්ලල වඳින්නද ඕගොල්ලෝ හදන්නේ. මොනවා කියලා ඉල්ලන්නද මාව සතුටින් තියන්න කියලද. ආදරයෙන් වචනයක් කතා කරන්න බැරි මනුස්සයෙක් කොහොමද අම්මේ මාව සතුටින් තියන්නේ. ඉවසීමක් නැති මනුස්සයෙක් කොහොමද තවත් කෙනෙක්ගේ සතුට අඳුනන්නේ. මල්ලි ලඟදි මුකුත් නොකිව්වට මල්ලි කියපු දේවල් හරියටම හරි. මේ ගෙදරට ඇවිල්ල යන හැම වතාවකම මගේ ඇස් දෙකේ කඳුළු තියෙන්න ඇති අම්මේ. එයා හැමදාම කැමති වුණේ මං එයාගේ පයට පෑගෙන දූවිල්ලක් වගේ ඉන්නවට. මල්ලි කිව්වා වගේ අම්මට ඕන කරන්නේ මං හැමදාම කඳුළුත් එක්ක ජීවත් වෙනවා දකින්නද?”
“අනේ ඉසුර් පව් පිරෙන කතා කියන්න එපා. ඔයා ලස්සනට කුමාරිකාවක් වගේ ජීවත් වෙනවා දකින්නයි මට ඕනේ.”
“එහෙනම් මං මේ ඉන්න විදිහට ඉන්නම් අම්මේ. දිගින් දිගටම ලොකු අයියා අපිට කරදර කරන්න ආවොත් අපි පොලිසියේ ඇන්ට්‍රියක් දාමු. එයාට බලෙන් මාව කසාද බඳින්න බැහැනේ. ඕන්නං මිනිස්සු මට කතන්දර කියයි. මට ආයෙ කසාදයක් බඳින්න බැරිවෙයි. හැබැයි මට ඔයයි, මල්ලියි, නංගියි එක්ක සතුටින් ඉන්න පුළුවන්. ලොකු අයියා කියන්නේ මොනම ගෑනියෙක්ටවත් හම්බවෙන්න ඕන පිරිමියෙක් නෙමෙයි අම්මේ. අඩුම තරමේ මනුස්සයෙකුට ගරු කරන්න තියා අනුකම්පා කරන්නවත් දන්න කෙනෙක් නෙමෙයි ඒ.”
“ඔයාට හොඳයි කියලා හිතෙන තීරණයක් ගන්න පුතේ.”
රාජිනී එසේ පැවසූයේ දිගු සුසුමක්ද පිට කරමින්ය. අවසන ඉසුරි මුළුතැන් ගෙයින් පිටවූයේ මල්ලී පැමිණ පරිප්පු තෙම්පරාදුව තබන්නට සූදානම් වද්දීය. ගත වූයේ තත්පර කිහිපයකි පරිප්පු තෙම්පරාදුවේ සුවඳ මුළු නිවස පුරාම පැතිර යන්නට විය.
**************
පාරින්ද යළි නිවසට පැමිණියේ කෝපයෙන්ය. ඉසුරි තමාව නොසලකා හැරීම පිළිබඳව ඔහුට දැනෙන්නට වූයේ මහත් වූ මදි පුංචි කමකි. එහෙත් ඒ කිසිවක්ම අම්මා සමග පවසන්නට පාරින්ද ඉස්සර නොවූවේය. බොහෝ වේලා කල්පනා බරව කාමරයට වී සිටියාට පසුව අවසන ඔහු තීරණය කළේ මාමාට දුරකතන ඇමතුමක් ලබා දෙන්නටය.
රාත්‍රී කෑමට යමක් රැගෙන එන්නට සුරංග හන්දියට ගියේ ජංගම දුරකථනය නිවසේ තබා ය. දෙතුන් වරක්ම දුරකථනය නාද වද්දී මධාරා ඒ දෙස බැලුවේ ඇමතුමට පිළිතුරු දෙන්නේද නොදෙන්නේද සිතමින්ය. වරක් දෙවරක් නිහඬ වූ දුරකථනය යළි නාද වෙද්දී ඈ ඇමතුමට පිළිතුරු දුන්නේ කුමක් හෝ සිදුව ඇත්දැයි සැකයෙන්ය.
“මාමේ..මට දැන් තේරෙනවා ඉසුරි මාව මගහරිනවා කියලා. කරුණාකරලා එයාට කෝල් එකක් දීලා කියන්න හෙට උදේට මාව හම්බවෙන්න කියලා.”
දුරකථනයට පිළිතුරු දෙන්නේ කවුරුන්ද වගවත් නොසොයමින් එහා පසින් ඇසුණේ පාරින්දගේ නොඉවසිලිමත් කටහඩය. පාරින්ද යනු මධාරා එදාවත් අදවත් ප්‍රිය කළ පුද්ගලයකු නොවේ.
“ලොකු පුතා මාම නෙමෙයි මම ඉන්නෙ ෆෝන් එකේ. මාමා ආප්ප ගේන්න කියලා හන්දියට ගියා. ෆෝන් එක තියලා ගියේ.”
“ආ..එහෙනම් මාමට කියන්න ආවට පස්සේ මට කෝල් එකක් ගන්න කියලා.”
“මං කියන්නම් ලොකු පුතා. ඔයා මොකක්ද කිව්වේ? ඉසුරි ඔයාව මඟ හරිනවා කියලා. එදා ඇති වෙච්ච ප්‍රශ්නයෙන් පස්සේ ඔය දෙන්න කතා කළේම නැද්ද.”
“නෑ…”
තමාගේ නිවසේදීත් මාමාගේ නිවසේදීත් මධාරාව කිහිප වරක්ම පාරින්දට හමුවී තිබුණත් ඇය හා වැඩි ඇඟෑළුම් කමක් ඔහුට වූයේ නැත. එනිසාම පාරින්ද ලබා දුන්නේ කෙටි පිළිතුරුය.
“හැම ගෑණු ළමයෙක්ම ආසයි පුතා තමන්ට ආදරය කරන තැනක නතර වෙන්න. තමන්ට රැකවරණයක් ශක්තියක් වෙන තැනක නතර වෙන්න. ඔයා හොඳට හිතල බලන්න පහුගිය කාලේ ඉසුරිගේ ආදරේට ඔයා සාධාරණයක් ඉෂ්ට කරාද කියලා. එම හිතල බලනකොට ඔයාට දැනෙයි ඉසුරි මග හරින එක වරදක් නෙමෙයි කියලා. එහෙම හිතලා බලද්දිත් ඔයාට හිතෙනවනම් ඉසුරි වැරදියි කියලා තවදුරටත් මේ කිසිම කෙනෙක් ඔයාලා දෙන්නව එකතු කරන්න හදන එකේ තේරුමක් නෑ. ඉසුරි කියන්නේ කාටවත් වරදක් කරන්න පුළුවන් ළමයෙක් නෙමෙයි ලොකු පුතා. එහෙම කෙනෙක්ගේ හිත හරි පරිස්සමට රකින්න ඕනේ. මං දන්නෙ නැහැ ඔයාලා දෙන්න අතර මොන තරම් දුර දිග ගිය බැඳීමක් තියෙනවද කියලා. හැබැයි ඔයාගේ තාත්තට අම්මට වගේම ඉසුරිගේ තාත්තට අම්මටත් වැරදිලා. ඉසුරි මගේ දුවෙක්නම් කවදාවත් මං ඔයාට මගේ දරුවාව දෙන්නේ නෑ. ආදරය කියන්නේ ඕක නෙමෙයි ලොකු පුතා. ඕකට කියන්නේ ලෝභකම කියලා. ඔයා හොඳට මතක තියාගන්න ඉසුරි තරං හොඳ දරුවෙක් කවදාවත් ඔයාට ලැබෙන්නෙ නෑ. මං හිතන්නෙ නෑ ඒ දරුවාගේ කඩල බිඳල දාපු හිත ඔයාට ආපහු හදන්න පුළුවන් වෙයි කියලා.”
පාරින්ද දුරකථනය විසන්ධි කළේ කෝපයෙන් දත්මිටි කමින්ය. එහෙත් ඔහු මධාරාට කිසිවක්ම පවසන්නට නොගියේය.
“ඒ ගෑණිට එච්චර හයියක්. මට එහෙම කතා කරන්නේ…”
අවසන එසේ සිතූ ඔහු ජංගම දුරකථනය මේසය මතට දමා ගැසුවේ දුරකථනය දෙපසකට විසිවයන ලෙසය.
“ඉසුරි මගේ දුවෙක් නම් කවදාවත් මං ඔයාට මගේ දරුවාව දෙන්නේ නෑ…”
ඇගේ ඒ වදන් පාරින්දගේ දෙසවන් තුළ දෝංකාර දෙන්නට විය. අසල තිබූ පුටුවකටත් පයින් ගැසූ තරුණයා දොර ඇරගත් වේගයෙන්ම නිවසින් පිටව ගියේ කිසිවෙකුටත් නොකියමින්ය.
(යළිත් හමුවෙමු ආදරයෙන් …)












