ඉඩෝරයක මල් වැස්සක් – 55

“මහත්තයා දෙන්නා අතර සම්බන්ධකමක් නැති උනාට අපේ පුතා අර ළමයට කැමැත්තෙන් ඉන්නවා.”

නයනා යහන මත දිග ඇදී ජංගම දුරකථනය මත ඇඟිලි තුඩු එහෙටත් මෙහෙටත් යවමින් උන් සැමියාට පැවසූයේ කණ්නාඩියට එබීගෙනය. කිමෝ ප්‍රතිකාරයෙන් පසුව තට්ටය පෑදෙන්නටම හැලී ගිය කොණ්ඩය ඉක්මනින් වැවුනේ ලක්ෂ ගණනක් වියදම් කරමින් කළ වෛද්‍ය ප්‍රතිකාර නිසාය. මුල් දිනවල ඕ කෘතිමව සකස් කළ කොණ්ඩයක් ආධාරයෙන් හිස කේවල අඩුව පුරවා ගත්තාය. ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යමින් ප්‍රතිකාර ලබා ගත්තේ ඉන් පසුවය. මාස හයක් පමණ යනතුරු නයනා නිවසින් පිටතට යාම පවා මගහැර සිටියාය. බොහෝ ආසාවෙන් සාත්තු කරමින් වැවූ දිගුකෙස් කළඹ එකින් එක ගැලවී යද්දීත් ඕ සිටියේ ජීවිතයේ අනිත්‍ය බව පසක් කරගෙනය. ගෙවා ආ ජීවිත ගමනේදී තමා අතින් කුරා කුහුඹුවෙකුටවත් වරදක් නොවූ බව විශ්වාසය. මේ පෙර ආත්මයක හෝ තමන් විසින් කරන ලද පවක්යැයි ඈ විශ්වාස කළේ එනිසාය. දැන් නයනා නිවසින් පිටතට යන්නේ නොයාම බැරි කාරණයකට පමණය.

“ඔයා කොහොමද දන්නෙ…”

ජයවර්ධන එසේ විමසූයේ තත්පර දෙක තුනකට පසුවය. 

“මට ඇහුනා බිනර පොඩි දුවත් එක්ක ඒ ගැන කතා කරනවා.”

“කවද ඉදලද දරුවන්ගේ කතා හොරෙන් අහන් ඉන්න පටන් ගත්තේ. සාම්ප්‍රදායික අම්මා කෙනෙක් වෙලා. ඒ ළමයට කැමතියි කියලා බිනර එක හෙලාම කිව්වද..”

“නෑ. බිනර කියනවා ඉසුරිගේ මූණේ හිනාව දකින එක දැන් මගේ එකම සතුට වෙලා කියලා.”

“මේ අපේ එකා…”

“ඒකනේ මහත්තයා මං කියන්නේ. ඒ දරුවා පුදුම විදිහට වෙනස් වෙලානේ. මට තියෙන බය මේ සම්බන්ධය යාළුකමකට එහා යයි කියලා. එහෙම නැතුව අපේ පුතා ගෑනු දරුවෙක් වෙනුවෙන් මේ තරම් කැප වෙනවා මම දැකලා නෑ.”

“ඒ සම්බන්ධකම යාළුකමකට එහා යනවා නයනා…”

ජයවර්ධනගේ වදන්වල වූ ස්ථිර බවට නයනා තිගැස්සුනාය.

“අපි මොකද කරන්නේ…..”

ගෙල තෙක් කෙටි වූ කෙස් කලඹට රාත්‍රියේ ගල්වන්නට විශේෂයෙන් ලබාදුන් තෙල් වර්ගය ගල්වා නයනා සැමියා දෙසට හැරුණේ දෑස් විසල් කරගෙනය. ලොකු දුව මෙන්ම පොඩි දුව පවසන්නේත් අම්මාගේ සැබෑ ලස්සන ඉස්මතු වී පෙනෙන්නේ දැන් බවය. මේ කෙටි කොණ්ඩය තමාගේ රුවට මනාවට ගැලපෙන බවය. 

“අපි මොකද කරන්නේ කියලා ඔයා අදහස් කරේ මොකක්ද?”

“ඒ දරුවාගේ ගෙදර මේ තරම් ප්‍රශ්න තියෙනවනම් අපේ පවුලට ඒ දරුවා ගැලපෙයිද මහත්තයා. ලොකු දුවගෙත්, පොඩි දුවගෙත් සම්බන්ධකම්වලදී එයාලට තහංචි දාන්න අපිට වුවමනාවක් තිබුනේ නෑ. ඒත් මෙතන ඊට වඩා හාත්පසින්ම වෙනස් තැනක්. බිනර කොහොමද දවසක කට ඇරලා කියන්නේ මේ මගේ රිලේෂන්ස්ල කියලා. මං ඒ දරුවා ගැන අහිතකින් කතා කරනවා නෙමෙයි. එදා මම හිටියේ ඒ දරුවටත් වඩා අන්ත අසරණ දුප්පත් තැනක. හැබැයි මගේ අම්මා, තාත්තා, අක්කා ඕනෙම කෙනෙක් ළඟට එක්කරගෙන ගිහිල්ලා මේ මගේ අය කියලා අඳුන්වල දෙන්න පුළුවන්කමක් ඔයාටත් තිබුණා මටත් තිබුණා.” 

“මමත් ඒ ගැන සෑහෙන්න හිතුවා…”

“ඒ දරුවා විතරක් අපේ පවුලට අරගෙන නෑදෑකම් නැති කරලා දාන්නේ කොහොමද මහත්තයා.”

“ඔව්…එහෙම කරන්න බෑ. මොන තත්ත්වෙ හිටියත් තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ගැන වටිනාකමක් තියෙන්නේ තමන්ට.” 

“දෙයක් වෙලා ඒකට මුහුණ දෙන්න කලින් අපි මේ ගැන කතා කරලා ඉන්න එක හොඳයි කියලා මට හිතුනා. ඒකයි මං මහත්තයාගෙන් මෙහෙම අහන්නේ.”

“ඒක හරි. ඒ උනාට නයනා බිනර කියන්නේ ඔය හොඳ තරමටම හිතුවක්කාරයෙක්. තද තීරණ ගන්න කෙනෙක්. එයා නමන්න ලේසි පහසු කෙනෙක්ට බෑ. එයා ඉසුරිට ආදරේ කරනවනම් අපි කාටවත් බෑ ඒක නවත්තන්න. ඔයාට නොකියා මම මේ ගැන සෑහෙන්න දුරට හිතුවා. මගේ අම්මා මාව දාලා වෙන මනුස්සයෙක් එක්ක යද්දී මට අවුරුදු හයයි. තාත්තට තිබුණා ඕනනං වෙන කසාදයක් කරගන්න. ඒ උනාට එයා පිටකොටුවේ  තට්ටුවක් ගහගෙන ගිනි අව්වෙ පොත් විකුණලා මට ඉගැන්නුවා. බස්වලට නැගලා පොත් විකුණුවා. අම්ම අපිව දාල යද්දි තාත්තට අවුරුදු විසි අටයි. තාත්ත හැමදාම කියන කතාවක් තමයි නයනා  අපේ ජීවිත වලට සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්න ඕන හොඳම දේ කියලා. තාත්තා ඒ  දවස්වල නිතරම කිව්වා මම ගෑණු දරුවෙක් වුණානම් තාත්තා අද මෙතන නෑ කියල.  මොකද එහෙනම් මාව බලාගන්න අනිවාර්යෙන්ම තාත්තට දෙවෙනි කසාදෙකට යන්න සිද්ධ වෙනවා. තාත්තා මුලින්ම පිටකොටුවේ පොඩි කඩයක් අරගෙන මේ පොත් සාප්පුව පටන් ගනිද්දි මට අවුරුදු පහළොවයි නයනා. 

“තාත්තා අර කතාව කියන්නේ විහිළුවට නෙමෙයි…”

“මොන කතාවද….”

“ඇයි අර ඔයාට කියන්නේ ඔයාගේ ජීවිතයේ වාසනාව අරන් ආවේ ගෑනියෙක්  හැබැයි මගේ ජීවිතයට වාසනාව ආවේ ගෑනි ගියාට පස්සේ කියලා.”

ජයවර්ධන හිනැහුණේ උස් හඬින්ය. තාත්තා ඒ කතාව නිරතුරුවම පවසන අයුරු ඔහු අසා තිබේ. මේ දියුණුව කරා යන ගමනේදී ඔහු රැයක් දහවලක් නොබලා කැප වූ ආකාරය ජයවර්ධනට මතකය. අවුරුදු විසි හයේදී ඔහු මෙම ව්‍යාපාරය බාර ගනිද්දී තාත්තා ඔහුට ලබා දුන්නේ ලංකාවේ අංක එකේ ව්‍යාපාරයකි. පිට කොටුවේ තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ජයවර්ධන බුක් ෂොප් ප්‍රධාන නගර පහකට ගෙන ගියේත්, ජයවර්ධන ප්‍රකාශන ආයතනය පටන් ගත්තේ ඔහුය. වයස අවුරුදු අසූ හතරක්  වුවත් අදටත් තාත්තා මනා ශාරීරික සෞඛ්‍යයකින් ජීවත් වේ. නිවසින් පිටතට නොගියාට නිවසේ සිට අදටත් ව්‍යාපාර පාලනයට ඔහු තම පුතුට සහාය වේ. මුදල් බලය වූ මේ පියපුතු දෙපළ අතරට නයනා පැමිණියේ වැදගත්කමත්, පිළිවෙලත් රැගෙනය.

“හිනා නෙමෙයි මහත්තයා. මට පුතාගේ ජීවිතේ ගැන කවදාවත් නොදැනුණු විදිහේ බයක් දැනෙනවා. මං මේ අර දරුවාගේ දුප්පත් කමටවත් අසරණකමටවත් අපහස කරනවා නෙමෙයි. බිනර කියන්නේ එදා ඔයාට වඩා අද මේ සමාජෙත් එක්ක ගැටෙන දරුවෙක්. වැදගත් මිනිස්සු එක්ක ගැවසෙන දරුවෙක්”

“ඒ  මොනව උනත් බිනර මේ වෙනකල් ඉසුරි වෙනුවෙන් කරපු දේවල් ගැන මටත් පොඩි අවබෝධයක් තියෙනවා. මම හිතන්නෙ නෑ එයා ඉසුරිව අතෑරගන්න  කැමති වෙයි කියලා. අපිට මේ සම්බන්ධකම් වලට විරුද්ධ වෙන්න හරි හේතු පහදන්න හරි පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට යන්න අපිට බෑ. ඉස්සර වගේ අපිට කියන්න බෑ ‘හිතුවක්කාර තීරණ අරගෙන අසරණ වුණාට පස්සේ අම්මයි තාත්තයි උඹට නෑ කියල හිතාගනින් කියලා’ මොකද බිනර කියන්නේ ඕනම තැනක ගිහිල්ලා එක්ස්සෙකටිව් ලෙවල් එකේ ජොබ් එකක් කරන්න තරම් දැනුමක් තියෙන කෙනෙක්. ඉසුරි වුනත් තමන්ව ගොඩනගා ගන්න ශක්තියක් තියෙන ගෑණු ළමයෙක්. එයාලා අසරණ වෙන්නෙ නෑ. අනිත් එක අපේ මේ කෙල්ලො දෙන්නා මල්ලිව අසරණ කරන්නෙත් නෑ. අනිත් පැත්තෙන් බැලුවහම ‘උඹ මේ සම්බන්ධෙ නවත්තපන් උඹට මේ කසාදෙ කරගන්න වෙන්නේ අම්මගේ තාත්තගෙ මිනිය උඩින්’  ‘අම්මයි තාත්තයි උඹව අයින් කරනවා’  ‘උඹ මැරුණ කියල හිතාගෙන අපි දානයක් දීලා හිත හදා ගන්නවා’  මේ වගේ කතා අපිට කියන්න පුළුවන් ද නයනා. යාළුකමට මෙච්චරක් දුර ගෙනාපු ගෑණු දරුවාව බිනර කොතැනකදිවත් අතාරින්නේ නෑ. ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි.”

“අපි දැන් මොකද කරන්නේ……”

“මේ ගෑණු දරුවත් උස්සලා උස තැනක තියෙන එක තමයි අපි දැන් කරන්න ඕනේ. මං හිතන්නේ පොඩි දුව දැනටමත් ඒක කරන්න පටන් අරගෙන ඉන්නේ. අපි ලෝකෙට දායාද කළේ මනුස්සකම් පිරිච්ච දරුවෝ තුන් දෙනෙක්. ‘අරක මට දියං.. මේක එයාට දියන්’ කියලා කා කොටා ගන්න දරුවෝ තුන් දෙනෙක් නෙමෙයි. ඊයේ පෙරේදා ලොකු දුව කතා කරද්දි මම මල්ලි ගැන ටිකක් කතා කළා. එයා මට එක හෙලාම කිව්වා මේ ජයවර්ධන ගෘප් එක කවද හරි දවසක අපි තුන්දෙනාට බෙදන්න හිතන් ඉන්නවනං ඒක දෙන්නෙක් කරන්න කියලා. මොකද එයාලට ලංකාවෙ දේවල් වලින් හම්බ කරගෙන ජීවත් වෙන්න අවශ්‍ය නෑ කිව්වා. නංගි ලංකාවේ ජීවත් වෙන හින්දා නංගිට පබ්ලිකේෂන් එක බාර දෙන්න කියලා ලොකු දුව කියනවා. බුක් ෂොප්  පැත්ත සම්පූර්ණයෙන්ම නිරවුල් කරලා බිනරට බාර දෙන්න කියනවා.”

“මමත් එක්කත් ලොකු දුව ඒ ගැන කතා කළා මහත්තයා.” 

“හෙට අනිද්දම බිනර කවුද කියන එක කම්පැනි එකට අඳුන්වල දෙන්න ඕනේ. දැනටමත් ඒ ගැන කසු කුසු තියනවා කියලා  මට කීපදෙනෙක්ම කිව්වා. එදා මට වගේම අද බිනරටත් තරහ කාරයෝ ඉන්නවා නයනා. මං හිතන්නේ බිනර ඒකට අකමැති ඉසුරි නිසා.”

“ ඔයා කාගේ කවුද කියලා දැනගත්ත දවසේ මතකද මට කලන්තේ හැදුණා.”

“කලන්තය හැදිලා විතරක් නතර වුණා ඇති,  ඇස් දෙකයි කටයි ලොකු කරගෙන මගේ දිහා බලන් ඉඳපු විදිහට මට හිතුනේ ජීවිත කාලෙ පුරාම කතා කරගන්න බැරි වෙයි කියලා. ඇයි පැය භාගයක් විතර මම කතා කරනවා.. කතා කරනවා ඔයා එක වචනයක්වත් කතා කළේ නෑ.”

“ඔයා ටිකක් ඉසුරි එක්ක කතා කරන්න මහත්තයා. අර කියන්න වගේ අපේ දරුවට ඒ තත්වෙට බහින්න බැරි හින්දා අපි එයාලව උස්සලා උඩින් තියාගමු. මමත් පිළිගන්නවා මේ පවුලට ඕනේ නිදහසේ පාවෙලා යන ගෑනු දරුවෙක්  නෙමෙයි. මේ හැම බැඳීමක්ම එකතු කරල තියාගන්න පුළුවන් ගෑණු දරුවෙක්. එහෙම වුණොත් විතරයි මේ ජීවත් වෙන්න තියෙන පොඩි කාලේ මට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න. අපේ පවුල කියන්නේ බැඳීම් වලින් සතුට හොයපු පවුලක් මහත්තයා. ඒක ඉස්සරහටත් වෙනස් වෙන්නෙ නෑ.”

ජයවර්ධන හිස වැනුවේ තම බිරිඳට එකඟවය. ඔහු මේ වන විටත් ඉසුරි පිළිබඳව බොහෝ දේ දැන උන්නේය. ඇගේ පියා පිළිබඳව සේම මව පිළිබඳවත් බොහෝ දේ සොයා බැලුවේය.

                                         ************** 

පාරින්ද  තවත් මිතුරන් දෙදෙනකු සමග මත්පැන් බෝතලයක් හිස් කලේ  වොලිබෝල් පිටියේම අඳුරු කෙලවරක හිදය. ඔහු මිතුරන් දෙදෙනාට ඇමතුමක් ලබා දුන්නේත් මේ මත් පැන් බෝතලය මිලදී ගත්තාට පසුවය. මාමාගේ දුරකථනයට මධාරා  පිළිතුරු ලබාදුන් වේලේ පටන් ඔහු සිටින්නේ හිත් හොඳකින් නොවේ. 

“මං කියන්නෙ බං ඒ ගෑනිට මොන අයිතියක්ද ඉසුරියි මමයි ගැන කතා කරන්න තියෙන්නේ. මට ඔය කතාව මාම කිව්වනම් දුකක් නෑ…”

“මාමයි ඒ ගෑනියි ගෙදර කතා වෙන දේවල් තමයි බං උඹට ඔය කියන්න ඇත්තේ. මමනම් කියන්නේ උඹ දැන් මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් හොයාගන්න ඕනේ…”

එක් මිතුරෙකු පැවසූයේ  කටගැස්ම සඳහා ගෙන ආ මුරුක්කු පැකට් එකෙන් භාගයක්ම කටට හලා ගත්තාට පසුවය.

“ඔව්..මම දැන් යනවා…..මෙච්චර දවසක් මං ඔය ගෙදරට ගියේ නැත්තේ මට අර ගෑණිගේ මූණ බලන්න හිතෙන්නෙ නැති නිසා. ඒ උනාට තවදුරටත් එහෙම ඉන්න බෑ. අර ඔෆිස් එකේ කෙල්ල මට කිව්වෙ ඇත්තම කතාව. මේකි එතනට ගිහිල්ලා රඟපානව ඇත්තේ කොල්ලෙක්ගේ හුස්මක්වත් වැදිලා නෑ වගේ. අදම මේකෙන් දෙකෙන් එකක් කෙළවර කරගන්න ඕනේ. මඟුල්  ඕනේ නෑ. කතා කරගතපු දවසට රෙජිස්ට්‍රර් ගාවට යන්න ඕනේ කියලා මං අද ඕකිට කියනවා. උඹල දෙන්න විතරක් සයින් කරන්න හිටියහම ඇති. උඹල මට ඒ උදව්ව කරල දෙනව නේද?”

“අනිවා…අනිවා……උඹ වගේ හිත හොඳ එකෙක් වෙනුවෙන් අපි නොකරන දෙයක් නෑ.”

“ඒ උනාට මචං උඹ මං කියන දේත් පොඩ්ඩක් අහපන්. මේවා බීලා විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. උඹ ඉසුරි හම්බවෙන්න අද යන්න එපා. සිහියෙන් ගිහිල්ලා කෙල්ල එක්ක කතා කරපන්. වැදගත් වෙන්නේ  අම්මා, තාත්තවත්, නංගි, මල්ලිවත් නෙමෙයි. උඹ කවද හරි කසාද බඳින්නේ ඉසුරි විතරනම් ඉසුරිවම විතරයි වැදගත් වෙන්නේ.”

“අද කළ යුතු දේ අදම කරන්න ඕනෙ බං. ඒක නොකර හිටපු එකේ වැරැද්ද තමයි මේ. ඔය ඔක්කොම පටන් ගන්න කලින් මට තිබුණා ඉසුරිව රෙජෙස්ට්‍රර් කරලා ඉන්න. එහෙම උනානම් එයාට වෙන වෙන එවුන් එක්ක යන්න බෑ. මං එහෙම නොකරපු එකට අදටත් පසු තැවෙනවා. උඹ එන්න එපා මට උපදෙස් දෙන්න. උඹ හැමදාම ගත්තේ ඉසුරිගේ  පැත්ත. යකෝ…. මගේ පපුවේ තියෙන වේදනාව උඹල එකෙකුටවත් තේරුනේ නෑ….මට දුකයි බං. ඔය මම පොඩි කාලේ ඉඳලම බලා ගත්ත කෙල්ල. මාමයි අර ගෑනියි රණ්ඩු වෙද්දි ඕකි දුවලා ඇවිල්ල මගෙ පපුව අස්සේ හැංගෙනවා…උඹ දන්නවද මට ටොපියක් හම්බ උනත් මං ඒකෙන් බාගයක් ඒකිට ගෙනත් දෙනවා. ඒ කෙල්ල අයිති වෙන්න ඕනේ මට….වෙන පිරිමියෙක්ගේ හුස්මක්වත් වදින්න මං ඉඩ තියන්නේ නෑ….  මම මස්සිනා. හොඳින් නැත්තං නරකින් ඒක කරගන්න විදිහ මම දන්නවා. මං යනවා…උඹලට මදි නම් තව ගෙනත් බීපන්. මට ඇති. මම අද යන්නේ ප්‍රශ්නෙ විසඳගන්න. දැන් ඒකි මමත් එක්ක එන්න කැමති වුනොත් ගෙදරට ඇඳගෙන ඉන්න ඇඳුම පිටින් ම ඒකිව එක් කරගෙන එනවා. උඹල ලෑස්ති වෙයං අත්සන් කරන්න…”

පාරින්ද  ක්‍රීඩා පිටියෙන් නික්මුණේ වැනි වැනීය. මිතුරන් දෙදෙනාම ඔහු නවතා ගන්නට කුමක් පැවසුවත් ඉන් ඵලක් වූයේ නැත. අවසන නිහඬ වූයේ පාරින්ද නාහෙට නාහන පිරිමියෙකු බව සිහි වූ පසුවය.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles