එදා හවසත් 138 බස් එක තිබ්බෙ පුදුම විදියට පිරිල. කොහොමත් ඔෆිස් ඇරෙන වෙලාවට 138 බස් එකක නුගේගොඩ ඉඳලා මහරගම පැත්තට යනවා කියන්නෙ එසේ මෙසේ ලේසි වැඩක් නෙවෙයි කියන එක කවුරු උනත් දැනගෙන උන්නා. අනික ඔක්කොටම වඩා එපා වෙච්ච කාරණාව තමයි වැස්ස. ඔෆිස් ඉවර වෙන වෙලාවට වහිනවා කියන එක තරම් සාපයක් තව නෑ කියලා තමයි නදීෂා ඇත්තටම හිතුවෙ. සාරි බාරි ඇඳන් ආවත්, කලිසම් සායවල් ඇඳන් ආවත් අනේ වහිද්දි බස් වල එල්ලිලා යන්න ගියාම එපා වෙනවනේ.
එදත් ඉතින් හවස බස් එක පිරිලා තිබ්බේ. මහන්සි වෙච්ච මූණුයි, වැහි වතුරේ තෙතබරියම් වෙච්ච මිනිස්සු ලඟින් ආව තෙත සුවඳක් බස් එක ඇතුළේ පිරිලා තිබුණා. නදීෂා උන්නේ ඔළුව ජනේලෙට හේත්තු කරගෙන. බස් එක වතුර වලවල් මැදින් ගැස්සි ගැස්සි යද්දි වැහි අන්ධකාරෙ මැද්දෙ නගරේ ලයිට් එළි, එක එක මිනිස්සුන්ගෙ එක එක ජීවිත දිහා බලන් ඉන්න නදීෂා හරිම ආසයි.
අන්න එහෙම යන වෙලාවක, නිකන් දෙල්කඳ හරිය පහු උනාම වගේ තමයි නදීෂා එයාගෙ ෆෝන් එක වයිබ්රේට් වෙනවා ඇහිලා නැගිට්ටේ.
හැබැයි ස්ක්‍රීන් එකේ තිබ්බෙ එයා කවදාවත් දන්නෙ නැති, කෝල් කරලා තිබුණෙ නැති නම්බර් එකක්.
නදිෂා සාමාන්‍යයෙන් ඔය නොදන්න අංක වලින් එක ෆෝන් කෝල් ආන්ස්වර් කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඕවට කතා කරන්නෙ මහ අසහනකාරී මනුස්සයො කියන එක නදීෂා දැනගෙන උන්නා. ඒ නිසාම එයා කෝල් එකට ඔහේ රින්ග් වෙන්න දීලා බලාගෙන හිටියා. අඩුම ටෲ කෝලර් එකෙන් හරි නමක් වැටුණා නම් ගන්න තිබ්බා කියලා හිත කියද්දිත් නදීෂා කරේ සද්ද නැතුව ස්ක්‍රීන් එක පත්තුවෙලා තිබිලා ඉන්පස්සෙ කෝල් එක ඉවර වෙලා තප්පර ගානකට පස්සෙ නිවිලා යන එක දිහා බලාගෙන. යන හැටි බලාගෙන ගියා. එයාගේ ෆෝන් එක බස් ගාලා ගැස්සුණා—ස්ක්‍රීන් එකේ දැල්වුණේ නොදන්නා අංකයක්.
“වෙන කාට හරි ගන්නෝන එකක් මට වැරදිලා ගන්නවා වෙන්න ඇති,” එයා හිතුවා.
හැබැයි එදා රෑ වැස්සෙ ගෙදර ගිහින්, තෙත ඇඳුම් ඔක්කොම අයින් කරලා වොශ් එකක් දාලා කෑම කාලා ආයෙ නිදාගන්න කාමරේට ආවම තමයි නදීෂා දැක්කෙ එයා චාජරේට ගහලා ගියපු ෆෝන් එකට අර නම්බර් එකෙන්ම ආය පාරක් මිස් කෝල් එකක් ඇවිත් තියෙනවා කියන එක.
ඒ තමන් දන්න කෙනෙක් උනා නම් ඒ මනුස්සයා කවුරු උනත් එයා මැසේජ් එකක් හරි තියන්න ඕනනෙ කියලා හිතුනට එහෙම දෙයක් තිබ්බෙ නැති හන්ද නදීෂා ඒ කෝල් එකට කෝල් බැක් කරන්න ගියේ නෑ. එහෙම නොකල යුතුයි කියන විදියෙ මොකක් හරි අමුතු හැඟීමක් තමන්ගෙ හිත අස්සෙ තියෙනවා කියන එකත් නදීෂාට තේරුණා වගේම එදා රෑ එ ෆීලින් එක එයාගෙ නින්ද හරිම අන්කම්ෆටබල් එකක් කරන්නත් හේතුවක් උනා.
ඒ කෝල් එක ආයෙ එන එකක් නැ කියලා තමයි නදීෂා හිතුවෙ. තමන් ආන්ස්වර් කරන්නෙත් නැති එකේ ඒ මනුස්සයා ආයෙ ආයෙ කෝල් කරන එකක් නෑ කියලා හිතුවට ඊළඟ දවසෙත් එහෙමම වුණා. ඊට පස්සෙ දවසෙත්. හැමදාම එක කෝල් එකයි, ඊට වඩා නෑ.
වෙලාවල් වෙනස් වෙවී උදේට, දවල්ට, රෑට ඒ කෝල් එක දිගටම ආව. ඒත් නදීෂා උන්නෙ හිත කිව්ව මොකක් හරිම හේතුවක් හන්දා ඒ කෝල් එකට ආන්ස්වර් කරන්නෙවත්, කෝල් බැක් කරන්නෙවත් නැතුව.
ටික දවසක් යද්දි ඔය කෝල් එක එන එක නදීෂාට මාර ආතල් එකක් උනා කිව්වොත් හරි. ඒක නිකන් හරියට ලස්සනම ලස්සන හැමෝම ආස ජනප්‍රිය කොල්ලෙක් එක්ක රහසින් ලව් කරනවා වගේ හරි හීනි ආතල් එකක්. ඒ ආතල් එක හන්දම නදීෂා එයාගෙ ඔෆිස් එකේ බෙස්ටි වෙච්ච රන්දිට කිව්වා “බලපන්කො, මට සීක්රට් ඇඩ්මයරර් කෙනෙක් හම්බවෙලා වගේ!” කියලා.
“ඇඩ්මයරර් කෙනෙක්ද ස්ටොකර් කෙනෙක්ද දන්නෙ නෑනෙ. ඒ හන්දා නදී මේ නොදන්නා නම්බර්වලට උත්තර දෙන්න එපා. අන්තිමේ මිස් කෝල් එකක් එක්ක මෙන්ටල් පීසුත් මිස් වෙලා නතර වෙන්නෙ”
රන්දි එහෙම කිව්වට, ඒක වරදක් නෑ කියන එක දැනගෙන උන්නට. ඒ එන කෝල් එක තමන්ට හානියක් සිදු කිරීමේ පරමාර්තෙකින් එන එකක් නෙවෙයි කියලමයි නදීෂාගෙ හිත කිව්වේ. එයාට දැනුනෙ එයා හොඳටම දන්න, ඒත් මෙච්චර කාලෙකට එයාට මුණ ගැහුනෙ නැති කවුරුහරි කෙනෙක් එයාට ලංවෙන්න හදනවා වගේ කියලා.
අන්න ඒ නිසාමයි ඉරිදා හවස ආයෙ කෝල් එක ආවම නදීෂා දෙපාරක් නොහිත කෝල් එක ආන්ස්වර් කරේ.
“හෙලෝ?” එයා ටිකක් බයෙන් තමයි ඇහුවෙ.
ඒත් ඒ වචනවලට පස්සෙ නදීෂා කොච්චර තදට ෆෝන් එක කණට කරගෙන තියාගෙන උන්නත් එහා පැත්තෙන් සයිලන්ස් එකක් ඇරෙන්න වෙන මුකුත්ම දෙයක් ඇහුණෙ නෑ එයාට. ඒක හරියට මහ අමුතු සයිලන්ස් එකක්. හරිම බර සයිලන්ස් එකක්.
තප්පර ගාණට සයිලන්ස් එකකින් පස්සෙ පාවෙලා වගේ ආව පිරිමි කටහඬක් නදීෂාට කතා කරා.
“අනේ අයෑම් සොරි. මම හිතන්නෙ මම ආයෙ පාරක් වැරදි නම්බර් එකකට අරගෙන වගේ”
“ආයෙමත්?” නදීෂා හිනා වුණා. “ඔයා මට සතියක් තිස්සේ මට මේ විදියට මිස් කෝල් වලින් කතා කරනවා.”
නදීෂා එහෙම කිව්වම එයා හෙමිං හිනා වුණා.
“ඇත්තද? සමාවෙන්න, මට ඔයාට කරදර කරන්න ඕන වුණේ නෑ. මම සාමාන්‍යයෙන් මේ නම්බරේට කතා කරනවා… මේක කලින් අයිති වෙලා තිබ්බේ මට හරිම සමීප කෙනෙක්ට. මම හිතන්නේ… පරණ පුරුදු මරන්න අමාරුයි කියනවනෙ. ඒක වෙන්නැති.”
ඒ කටහඬේ මොකක් හරි කටුක වේදනාවක් තැවරිලා තියෙනවා කියල නදීෂාට තේරුණත් ඒ වේදනාව මොකක් නිසා ඇතිවෙච්ච එකක්ද කියන එක තේරුම්ගන්න නදීෂාට පුලුවන්කමක් තිබ්බෙ නෑ.
“කමක් නෑ,” එයා හෙමිං කිව්වා. “මේ දවස්වල මට කතාකරන්නත් කෙනෙක් නෑ කොහොමත්. අපිටත් ඉතින් ඔය මිස් කෝල් එකක් ආවොත් තමා” කියලා නදීෂා කිව්වම එහා පැත්තෙ උන්න පිරිමි කටහඬ හිනා උනා.
“එහෙනම් මම වැරදිලා ගත්ත කෝල් එකකින් හරි හොඳක් උනා නේද?”
අන්න එදයින් පස්සෙ මෙච්චර දවසක් ආව මිස් කෝල් එක තවදුරටත් මිස් නොකරගන්න නදීෂා මහන්සි උනා. ආයෙ ආයෙ ඒ දෙන්නා කතා කරා. එයාගෙ නම තවීන්ද්ර කියලත්, ගෙවල් ගම්පහ කියලත් නදිෂාට එයාට තවීන්ද්රමයි. එයා පොත් එහෙමත් ලියලා තියෙනවලු. දැන් ගෙදර ඉඳන් එක එක වැඩ කරනවා කිව්වා. නිස්කලංක හවස්වරු වලට, කාඩමම් ටී වලට, ක්ලැසික් ෆිල්ම්, සෝන්ග්ස් වලට නදීෂා වගේම එයත් ආව බව නදීෂාට කිව්වෙත් තවීන්ද්රමයි.
ඒ විදියට තමයි නදීෂා එයාගේ කෝල් එක එනකම් බලාගෙන ඉන්න පටන් ගත්තෙ. සමහර වෙලාවට විනාඩි දහයක්, සමහර වෙලාවට පැයක් විතර මේ දෙන්නා කතා කරා. තවීන්ද්ර එයාගේ ජොබ් එක ගැන, ජීවිතෙ තනිකම ගැන, නදීෂාට කිව්වා. නදීෂාත් එයාගෙ තනිකඩ ජීවිතේ ගැන, ආදරේ කරන්න සුදුසු කෙනෙක් හමු උනේ නෑ කියන එක ගැන, වැස්ස ගැන තවීන්ද්රට කිව්වා.
“මට හිතෙනවා ඔයා වැස්ස වගේ කියලා,” දවසක් රෑ තවීන්ද්ර නදීෂාට කිව්වා.
“ඇයි එහෙම කිව්වෙ?”
“ඒ කියන්නෙ ඔයා හරිම සොෆ්ට් විදියට බිමට වැටිලා පැතිරිලා යනවා. ටික වෙලාවකින් පේන්නෙ නැතිවෙලා ගියත් ඒ ෆීලින් එක ගොඩක් වෙලා තියෙනවා.”
නදීෂාට ඒ වචන ඇහුනම අඬන්න හිතුන බව ඇත්ත. ඒ උනාට ඒ ඇයි කියලා එයාටවත් තේරුණේ නෑ. ඔය විදියට මාස දෙකක් ගියා. කෝල් වලින් කතා කරන තවීන්ද්රගෙ කටහඬ කතා කරන්න කලින් එයාගේ හුස්ම සද්දෙත් නදීෂාට එයාව අඳුනගන්න පුළුවන් වෙන තරමට මේ දෙන්නා ළං වුනා. හැබැයි මූණට මුණ ගැහෙන්නෙ නැතුව.
“අතින්වත් අත නොඅල්ලා
අපි කොහොම බැඳුනාද මන්දා
අතහරි..න්නේම නෑ ඒ නිසා” කියලා අබිශේකා විමලවීර කියද්දි ඒ වචන කොච්චර ඇත්තද කියන එක නදීෂා ආයෙ ආයෙ හිතුවෙත් ඒ කාලේ. හැමදාම හවසට කෝල් එකක් එනකම් නදීෂා බලාගෙන ඉඳියා.
ඒත් එක දවසක් හවස, කෝල් එක ආවේ නෑ. ඊළඟ දවසෙත් නෑ. ඊට පස්සෙත් නෑ.
නදීෂා ෆෝන් එක දිහා බලාගෙන හිටියා, ඒත් ඒ කෝල් එක ආවෙ නෑ.
අන්තිමට කරන්න දෙයක් නැතිම තැන නදීෂා තවීන්ද්රගෙ නම්බර් එකට කතා කරා. ඒත් බීප් බීප් ගාලා ඩිස්කනෙක්ට් උනා මිසක කෝල් එක කනෙක්ට් උනේ නෑ. දවස් ගණන් සති ගණන් ගෙවුනා.
නිශ්ශබ්දතාව හිතුවාට වඩා බරයි. නදීෂා උන්නෙ පිස්සු හැදිලා වගේ. ඒ පිස්සුව දරාගන්න බැරි වෙච්ච තැන තමයි නදීෂා ඒ නම්බර් එක ඔන්ලයින් සර්ච් කරේ. නදීෂාට ඕන උනේ ඒ නම්බර් එක ගැන කොහේ හරි විස්තරයක් තියෙනවද කියලා හොයලා බලන්න. අඩුම ඒ නම්බර් එකේ ඉන්න මනුස්සයා කවුද කියලා හරි හොයලා බලන්න. මොකක් හරි දෙයක් විකුණගන්න දාපු ඇඩ් එකක් හරි තියෙනවද කියල බලන්න.
ඒ උනාට නදීෂාගෙ ඒ බලාපොරොත්තුව නම් ඉස්ට උනේ නෑ. කිසිම තැනක ඒ නම්බරේ තියෙන තවීන්ද්ර කෙනෙක් ගැන විස්තරයක් තිබ්බෙ නෑ. ෆේස්බුක් එකේ හැම තැනම තවීන්ද්ර කියලා සර්ච් කරාට ආපු රූපවල උන්න කෙනා නම් තමන් දන්න තවීන්ද්ර වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙ නදීෂා තමන්ගෙන්ම ඇහුවා. තමන්ට ඇහිච්ච කටහඬ තියෙන්න පුළුවන් මොන වගේ කෙනෙක්ටද කියලා නදීෂා ඒ මූණු දිහා බලන් කල්පනා කරා.
ඊටත් එහා “මාසයක් දෙකක් කතාකරපු කවදාවත් නොදැක්ක කෙනෙක් වෙනුවෙන් තමන් මෙහෙම ඇබ්බැහි උනේ කොහොමද?” කියන එක නදීෂා තමන්ගෙන්ම ඇහුවා. ඒත් ඒකට උත්තරේ එයා ගාව තිබ්බෙ නෑ.
“දැන් ඉතින් හිත හදාගනින් බං. සමහර විට ඌ ආතල් එකට කෝල් කරන්න ඇත්තෙ” කියලා රන්දි කියද්දි නදීෂා ඇහුවා “ආතල් එකට සල්ලි කපන් කෝල් ගන්නවද?” කියලා. ඒත් හිත නම් කිව්වෙ රන්දි කිව්ව දේ වෙන්න බැරිකමක් නෑ නේද කියලා.
අන්න එහෙම ඉද්දි තමයි දවසක් නදීෂලට ඔෆිස් එකේ ෆීල්ඩ් ට්‍රිප් එකකට කොළඹින් එලියට යන්න උනේ. යන්න තිබ්බෙ කුරුණෑගලට. අතනින් මෙතනින් ඔෆිස් එකේ අයව පික් කරගෙන යන ගමනට අන්තිමටම ඔෆිස් එකේ එක්කෙනෙක්ව ගන්න තිබ්බෙ ගම්පහෙන්. නදීෂා උන්නේ උදේ පාන්දර කලුවර දිහා බලාගෙන දාහක් දේවල් කල්පනා කරන ගමන්, උදේ වෙන්නෙ නැතුව රෑ වෙලාම තියෙනවනම් කොච්චර ශෝක්ද කියලා කල්පනා කරන ගමන්. ගම්පහෙන් ඔෆිස් එකේ ළමයව අරගෙන ආපහු වාහනේ හරවන් එද්දි තමයි ඒ ගමේ තිබ්බ පොඩි සුසාන භූමියක් පාස් කරගෙන එන්න තිබ්බෙ.
“අම්මෝ මේ රෑ සොහොන් පිට්ටනි ළඟින් යනවද අනේ?”
“පිටිපස්සෙ බර පොඩ්ඩක් වැඩි උනා නේද? ඔන්න පොඩ්ඩක් හැරිලා බලන්න කවුද නැග්ගෙ?” වගේ විහිලු කතා කට්ටිය කිව්වත් නදීෂා උන්නේ ඒ කිසිම දෙයකට කිසිම රෙස්පොන්ස් එකක් නොදී තමන්ගෙ කළුවර කල්පනා ලෝකෙ හිරවෙලා.
“ඊයේ කරපු ෆියුනරල් එකක් වගේ නේද?”
“ඔව් තාම දුං දානවත් එක්ක”
“කොල්ලෙක් නේද මැරිලා තියෙන්නෙ?”
“ඔව් මේ තියෙන්නෙ 1994 මැයි 22 ඉපදිලා තියෙන්නෙ. තවීන්ද්ර භාණුක කුලතුංග. පව් නේද? අවුරුදු 31 නෙ තාම” කියලා කවුද කියද්දි තමා නදීෂා හරි සිහියට ආවේ. මහ හයියෙන් වාහනේ නවත්තන්න කියලා නදීෂා කෑගැහුවෙත්, වාහනේ නතර උනේත්, නදීෂා වාහනෙන් එළියට පැනලා වගේ ගිහින් ඒ මරණ දැන්වීම දිහා බලන් උන්නෙත් තප්පර ගාණක පරතරයකදි.
“ඔයා අඳුරන කෙනෙක්ද නදී මේ?” කියලා යාලුවො අහද්දි තමයි නදීෂාට අඬන්න පවා මතක් උනේ. ඒ ඉන්නෙ තමන් දන්න තවීන්ද්රද කියලා ෂුවර් නැතත් නදීෂා හයියෙන් ඇඬුවා. නදීෂාගෙ ඇඬිල්ලයි කතාවයි දරාගන්බ බැරිම තැන ෆීල්ඩ් ට්‍රිප් එක ටිකකට කල්දාලා ඔෆිස් එකේ කොල්ලො සෙට් එක මැරුණ තවින්ද්රගෙ ගෙදර හොයන් ගියා. තමන්ට කෝල් කරේ ඒ තවීන්ද්ර කියන එකත්, ෆෝන් එකට රීලෝඩ් එකක් දාගන්න කඩේට ගිහින් එද්දි ආව බස් එකකට හැප්පිලා තවීන්ද්ර මැරුණා කියන එකත් දෑනගත්තම නදීෂා කරෙ තව හයියෙන් අඬන එක.
එදා ෆීල්ඩ් ට්‍රිප් එක අතරමග නතර කරලා නදීෂා ආපහු එයාගේ ගෙදරට ආවාට පස්සෙ හොඳටම අඬල අඬලා නිදාගත්තා.
එයා ආයෙ පැය ගාණකට පස්සෙ ගැස්සිලා ඇහැරුණේ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට.
ස්ක්‍රීන් එකේ එළිය වැටුණා.
Incoming call — Thaveendra කියලා ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බා.
ෆෝන් එක ගන්න අත දික් කරනකොට නදීෂාගෙ අත් වෙව්ලන්න ගත්තා.
කෝල් එකට කනෙක්ට වෙච්ච නදීෂා රහසෙන් වගේතමයි, “හෙලෝ?” කිව්වෙ.
ඒත් එහා පැත්තෙ තිබ්බෙ ලොකුම ලොකු සයිලන්ස් එකක් විතරයි.
ඊට පස්සේ, හෙමිං හරියට ඇරපු ජනේලයකින් හමාගෙන එන හුළඟක් වගේ පිරිමි කටහඬක් ඇහුණා.
“මම ඔයාට කිව්වානේ… මම හැමදාම මේ වෙලාවට කතා කරනවා.”











