දෑත දරා – 81

මනුජ නිවැසියන් මඟ හරිමින් සති අන්තය ගෙවා දමන්නට උත්සාහ කලේය. ජංගම දුරකතනය සතුව නොවූ නිසා, ඔහු යම් බලාපොරොත්තුවක් සඳහා වන බීජය පැල කරමින්ද උන්නේය.

“ සමහරවිට , සින්දූ දිගටම මට කොල් කරනවද දන්නෙ නෑ …. එයා කොච්චරක් වුනත් එහෙම එක පාරටම මේ දේවල් ඔක්කොම අතාරීවිද ? ඒත්, එයාට විශ්වට හරි ගන්න පුලුවන් නේ …. එයාට මට පණිවිඩයක් එවන්න ඕනිකමක් තියෙනවා නම් එක අතකට මේ වෙද්දී කොයි තරම් නම්  විදි හොයාගන්න පුලුවන්ද ?… මම එවෙලේ කිව්ව දේවල් සින්දුගේ ඔලුවෙන් අයින් වෙන්නේ නෑ.. ඒකේ සැකයක් නෑ … කොච්චරක් දුර්වල කෙල්ලෙක් වුනත්, දරාගන්න බැරි තරමට හයිය වෙනවා එක තැනකට පස්සේ…….”

ඒ අතර වාරයේ දියණිය මනුජ සොයා කාමරයට ආවේය. මනුජ මඟ හැරී තිබූ නිසාත්, මනුර්‍යාගේ ඇසුරේ කාලය ඇය උදාසීන බවක් සමඟින් ගෙවෙමින් තිබූ නිසාත් ඇයට අවශ්‍ය වූයේ මනුජගේ ඇසුරය. මනුජ හා සමඟින් සෙල්ලම් කරන්නටය. මනුජ සමඟින් දියතලාවේ නිවසට යන්නටය. මනුජ සමඟින් කඩචොරුවක් කමින් අහස දෙස බලා සිටින්නටය. ඒ නැතත් මනුජ ට ගුලි වී නිදාගන්නටය. මනුජ උන්නේද යම් තරමක බීමතින් නිසා ඔහු දියණියව  මනුර්‍යා වෙත යවන්නට උත්සාහ කරමින් දියණියව සිප ගත්තේය.

“පුතා යන්න නැන්දි එක්ක දොය්යගන්න ..”

ඔහු කිහිපවතාවක්ම එලෙසින් කීවේය.  එහෙත් දියණිය එයට එකඟ නොවෙමින් මනුජගේ ළය මතට ගොඩ වෙමින් ඔහු හා නිදාගන්නට අවැසි බවත්, පාරේ යන්නට අවැසි බවත් කියමින් හඬා වැටෙන්නට වූවාය. මනුජ තවත් ඉවසීමෙන් ඇය සිප ගත්තේය.

“ අප්පච්චී එන්නම් .. මගේ පැටියා නැන්දි එක්ක දෝ ගන්නකෝ….”

“ අප්පච්චෝ එක්ක දෝ ගන්න ඕනි බබාට…”

දියණිය උස් හඬින් කෑ ගසමින් හඬා වැටෙන්නට පටන් ගත්තාය. මනුර්‍යා සහ සාරති දෙදිශාවක සිට මනුජගේ කාමරය වෙත එමින් උන්නෝය. ඒත් සමඟම මනුජගේ ඉවසීම අවසානය විය.

ඔහු දියණියගේ පසු ප්‍රදේශයට් රිදෙන්නට පහර කිහිපයක්ම ගැසුවේය. උස් හඬින් බැණ වැදුනේය.

“ අප්පච්චි  කිව්වා  නේද නැන්දි ළඟට යන්න කියලා… මොකක්ද මේ හිතුවක්කාරකම … හුරුතල් වෙන්න තියාගත්තා මෙතන .. දෙනවා දෙකක් මම ආයේ…. දුවන්න කිව්වේ නැන්දි ළඟට …”

මනුර්‍යා වහා විත් දියණියව වඩා ගත්තේය. දියණිය උන්නේ ගල් ගැසීගෙන මෙන් ය. ඇගේ හැඬුම්ද නැවතී තිබුණි. මනුජගේ කෝපය සිඳී තිබුනේ නැත. ඔහු කෝපයෙන්ම මනුර්‍යා සහ ඊට පිටුපසින් උන් සාරතී නැන්දා දෙසද බැලුවේය. මනුර්‍යා දියණියව රැගෙන කාමරයෙන් පිටතට ගියාය. ඒ සැණින්ම දියණිය සාරතී නැන්දා වෙත දී යලි මනුජ වෙත ආවාය.

“ මහ තිරිසනෙක් තමුසේ … බලාගෙන ඉන්නවා මම තමුසේට කරන දේ …           කිරි සප්පයට ගැහුවා…. යනවා අයියේ අපිට සැනසීමෙන් ඉන්න දීලා… එහෙන් අර කෙල්ලෙක්ගේ ජීවිතේ විනාස කලා… දැන් මේ දරු පැටියාගේ මුලු අනාගතේම විනාශ කරන්නද යන්නේ.. නිර්ධා අක්කා නම් පුදුම පිනක් කරලා තියෙන්නේ අර අයියාව එයාගේ ජීවිතේට එන්න තරම් … තමුසේ වගේ මිනිහෙක්ගෙන් ඈතට වෙලා ඉන්න ඒ ගෑණිට පිනක් තිබිලා… ඔක්කොම මඟුල් තමන්ගේ තීරණේට අරගෙන, බිබී බේබද්දෙක් වගේ .. ඕනි මඟුලක් .. මගේ ජීවිතේ නෙවෙයිනේ .. හැබැයි … දරුවට අත උස්සපු එක අතාරින්නේ නෑ මම …”

මනුජ කිසිඳු හැඟීමක් නැතිවා සේ බලා උන්නේය. ඉන් පසුව මුලු නිවැසියන්ම මනුජගේ හැසිරීම් හා සම්බන්ධව තමන්ගේ මතිමතාන්තර බෙදාගනිමින් කතා බස් කරමින් උන් හ.

“  ඔහොම පිස්සෙක් වගේ හැසිරෙනවා නම්, එයා එක්ක දරුවාව එහෙ යවන්න කොහොමටත් බෑ තාත්තේ… දරුවාව මෙහෙම තියාගෙන, අම්මලාම බලාගන්න එක තමයි හොඳම …. එයාට දැන් තියෙන්නේ වෙන වෙන එව්වා…. එක්කෝ … මට දෙන්න දරුවාව…”

මනුර්‍යා එකහෙලාම කීවාය. මනුජගේ පියාගේ අදහස වූයේද, මනුජගේ වගකීම් රහිත බව පෙනි පෙනීම කුඩා දියණිය ඔහුගේ වගකීමක් කර අත් හැරීම කල නොහැඛි බවය.

“ මට මුලදී  නිකමට හිතුනා මේ මඟුල මේ විදියෙන් ඉවර වෙයි කියලා… ඒත්, පස්සේ මම හිතුවේ මුන් දෙන්නා එකිනෙකා ගැන අවබෝධයක් එක්ක මේ ගමන යන්න හදනවා ඇති කියලානේ… අපේ එකා වෙනස් වෙන්නේ නෑ .. ඌ හැමදාම ඌට ඕනි දේ කලා… “

නිර්ධා කිසිවෙකුට නොපවසා විදෙස් ගත වීම සඳහා සූදානම් ව උන්නාය.  ඇයට අවශ්‍ය වූයේ ජනිඳු තනා දුන් ලෝකයේ සුව පහසුවෙන් ජිවත් වීම පමණි. හිත තුල වූ එකම බර දියණියය. ඇය අතැර ජීවත් වීම කෙතරම් අපහ්සු වුවද, තම ජීවිතය තුළට දියණිය කැඳවා ගැනීම දියණියට කරන අසාධාරනයකැයි ඕ සිතන්නට උත්සාහ කලාය.

“ දෝණි ගැනද හිතන්නේ ..?..”
නිර්ධාගේ ගැඹුරු සුසුමකට වහා පසුව , ජනිඳු ඇය සිප ගනිමින් විමසුවේය. ඕ හිස සැලුවාය.

“ තවම ඔයාට ඕනි හිතෙනවා නම් අපි දෝණිව අරගෙන යන්න විදියක් බලමු බබා … මට ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ …”

“ බෑ … මගේ ජීවිතේට එයාව ගන්න බෑ … මම කොච්චර හයියෙන් හිතුවත්, මම අන්ස්ටේබල් මනුස්සයෙක් නේ… ඔයා ආදරේට මාව දරාගෙන ඉන්නවා මිසක්, මටවත් මව දරාගන්න බෑනේ…. එහෙව් එකේ .. ඕනි නෑ… මනුජ, අම්මලා, නංගී, සමහරවිට සින්දූපාත් දෝණිට හොඳම පවුලක් වේවි .. නේද?…”

“ ඔව් .. ඒක හරි.. මනුජ හොඳ තාත්තා කෙනෙක් වෙන එකේ සැකයක් නෑ… මං කියන්නේ, ඔයා ඒ ගැන දුක් වෙන එක ගැණ හිතලා..”

“ මට දුක හිතුනට මොකෝ ජනිඳු ?… දෝණි, ලොකු වෙන්න තරම් සුවපහසු වටපිටාවක එයාව දාලා ආව එක ගැන හිතලා ඒ දුක මම නැති කරගන්නම් …”

“ ම්ම්ම් .. දැට්ස් මා ගර්ල් ….  නිදාගන්න .. මම ඇහැරවන්නම් ටිකකින් .. කෝමත් තුනටවත් අපි පිටත් වෙමු ….”

ජනිඳු ඇය සිප ගත්තේය. නිර්ධා ඔහුගේ හාදුවට යට වූවාය.

සින්දූපා පසුදා කාමරයෙන් පිටතට එන්නට සූදානම් වූයේ, අම්මා සහ තාත්තා ඉදිරියේ හැකි තරම් සාමාන්‍ය හැසිරීමක් පෙන්වන්නට සිතාගෙනය. එහෙත්,  එක්වරම ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ඇසුණු හඬින් ඇය ආපසු හැරුණාය.

“ සින්දූපා … සමාවෙන්න, ඔයාව මේ වියවුලක දාලා මම මේ හැමදේකින්ම නිදහස් වෙනවට…. ඒත්, මේක ඔයාට නොකියා යන්න මට හිතෙන්නේ නෑ… ඔයා දැන් හිතාග්න ඉන්නේ මනුජ මා එක්ක සෙට්ල් වෙලා කියලා නම්, එහෙම දෙයක් අපේ ජීවිත වල වෙන්න අංශුමාත්‍රික ඉඩක්වත් නෑ … මනුජ මාව මීට් වෙලා කිව්වා, ඔයාට අඟවන්න ඕනි එයා මා එක්ක සෙට්ල් වෙලා කියලා.. එහෙම පෙන්නලා මේ ප්‍රශ්න වලින් ඔයාව ඈත් කරලා තියන්න ඕනි කිව්වා… එයා ඉල්ලුවේ ෆොටෝ කිහිපයක් ගන්න ඕනි කියලා….. ඒවා ඔයාට පෙන්නලා, කෝම හරි ඔයාට ඒත්තු ගන්වන්නම් කිව්වා.. ආයේ, ඔයාට පේන්න මාව හොස්පිට්ල් එක්ක එන්නත් එනවා කිවා.. ඒත් ඒකට කතා කලේ නෑ … සින්දුපා…  මනුජ කියන්නේ, ජීවිතේ නැති කරගන්න ඕනි පිරිමියෙක් නෙවෙයි … එයයි මමයි නොගැලපුනේ අපි දෙන්නා වෙනම ජාතියක මිනිස්සු නිසයි.. මගේ කතාවේ එයා දුෂ්ටයෙක් වුනාට, ඔයාගේ කතාවට එයා තරම් දෙයියෙක් නැති වෙන්නත් පුලුවන්… පුලුවන් නම්,  ඔයා ඉස්සර වෙන්න … මම , මගේ දරුවාව දෙවෙනි වතාව්ට දාලා යන්නේ, ඔයා ළඟ …..”

සින්දූපාගේ අතින් ජංගම දුරකතනය ගිලිහුනේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles