ඉඩෝරයක මල් වැස්සක් – 58

සුලක්ශාව හමුවීමට අවැසි බව පවසමින් ඉසුරි දුරකථන ඇමතුමක් ලබා දුන්නේ තාත්තාත් ඉන්පසු අම්මාත් නිවසින් නික්ම ගියාට පසුවය. 

“එන්න ඉසුරි අද උදේ වරුවේ මම මගේ ප්‍රයිවට් ක්ලින් එකේ ඉන්නේ. ඔයාට පුළුවන් නම් එකොළහමාරෙන් පස්සේ ආවොත් මට වඩාත් පහසුයි.”

ඇය පැවසූයේ හුරුපුරුදු ළෙන්ගතු හඬින්මය.

“ඇත්තමයි මං හිතුවේ නෑ මධාරා පුංචි අම්මා එච්චර හොඳ මනුස්සයෙක් කියලා. බලන් ගියහම අපිට තාත්තා නැති නොවුනේ එයාගේ හොඳකම නිසා. ඒ උනාට අපි හැමදාම මධාරා  පුංචි අම්මට වෛර කළා අපෙන් තාත්තා උදුර ගත්තා කියලා. අර කියන්න වගේ අපිට නොතේරෙන අපිට නොදැනෙන මොනවා හරි හේතු තියෙන්න ඇති. අඳුරේ අතපත ගාල වගේ ගිහිල්ලා අපිට නොගැලපෙන මිනිස්සු ගාව නතර උනහම වෙන්වීමක් මිසක් එකට ජීවත් වීමක් ප්‍රාර්ථනා කරන්නන බෑ.”

මල්ලිත් නංගිත් ආලින්දයට වී මධාරා  පුංචි අම්මා ගැනත් තාත්තාගේ සහ  අම්මාගේ දික්කසාදය ගැනත් හේතු පහදමින් උන්නේය.

“සුරංග.. බැන්නත් ගැහුවත් අපි දෙන්නා අම්මයි තාත්තයි විදිහට අක්කලගේ ගෙදරට ගිහිල්ලා මේ කසාදෙ නොවෙන්න හේතු කාරණා පැහැදිලි කරලා දීලා එමු. එතනින් එහාටත් ලොකු පුතා අපේ දරුවාට කරදර කරනවනම් පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා අපි මේවායින් නිදහස් වෙමු.”

අම්මා අවසන පවසද්දී තාත්තා හිස වනමින් එකඟ වූයේ ඒ තීරණ නිවැරදි බව පිළිගනිමින්ය. 

“මධාරා ඔය ටික මට කිව්වේ අද ඊයෙක නෙමෙයි. සමහරවිට මම ලොකු පුතා ගැන විශ්වාසයෙන් කතා කරද්දි එයා නිහඬ වෙන්න ඇති. ඇත්ත දුකක් බව දැන දැනත් අපි ඇයි අපේ මේ අහිංසක දරුවාව ඒ ගිනිගොඩට තල්ලු කරන්නේ.”

අවසන තාත්තා එසේ පැවසූයේ ඉසුරිගේ හිස අතගාමින්ය. 

“මොකක්ද ලොකු පුතේ ඔයාගේ තීරණේ. අපි මොන මොන තීරණ ගත්තත් ඔයාගේ තීරණය තමයි වැදගත් වෙන්නේ.”

තත්පර කිහිපයක් කල්පනා කරමින් සිට සුරංග ඇසුවේ ඉසුරි දෙසට හැරීගෙනය. 

“ලොකු අයියා දැක්කත් දැන් මාව ගැහෙනවා තාත්තේ. මට අතරමං වෙන්න බෑ. එහෙම වුණොත් මට විතරක් නෙමෙයි මල්ලිටයි නංගිටයි ජීවිතයක් නැතිවෙයි. ලොකු අයියා මට එපා තාත්තේ. මං ආයෙ කවදාවත් කසාදයක් ගැන හිතන්නෙ නෑ. මට මෙහෙම තනියම ඉන්න දෙන්න….”

ඉසුරි පැවසූයේ ඉකි ගසමින්ය. අම්මා තාත්තා වෙනුවෙන්වත් පවුලේ නම්බුව වෙනුවෙන්වත් තවදුරටත් වේදනාවෙන් ජීවත් වන්නට හැකි කමක් ඇයට වූයේ නැත. ඔහුගෙන් ගුටි කමින්, බැනුම් අසමින් නැන්දාගේ ඇනුම් පද වලින් පීඩා විඳිමින් සිරගෙයක ගත කරන ජීවිතයක් ගැන සිතද්දිත් ඉසුරි වෙවුලා ගියාය. වෙනදාට වඩා මේ සිත හයිය වී ඇති සෙයක් ඇයට දැනෙන්නට විය.

ඇය දහවල සුලක්ෂා  හමුවීමට පැමිණියේ ත්‍රී රෝද රථයකින්ය. ඒ ගමන ගැන බිනරටවත් ඕ පැවසූයේ නැත. 

විනාඩි කිහිපයක් වැය කර ඉසුරි ඇයට  සියල්ල පැහැදිලි කරද්දී ඕ අසා සිටියේ සුසුමකින්වත් බාධා නොකරමින්ය. 

“ඒ ගොල්ලෝ ගත්ත තීරණ ගැන ඒ ගොල්ලො පැහැදිලිවම කිව්වා. මට කියන්න ඔයාගේ තීරණය පැහැදිලියි ද කියලා.”

“ඔව් ඩොක්ටර්. තවදුරටත් මට ඒ මනුස්සයා එපා.”

“අංක එක තමයි ඔයාගේ පවුලේ අය. බලන්න කිසිම හිත් රිදීමක් නැතුව ඒ හැමෝම මේ වෙලාවේ ඔයා වෙනුවෙන් එකතු වුණා. ඒක තමයි පවුලක් ඇතුළෙ තියෙන බැඳීම කියලා කියන්නේ. ඇත්තමයි මං ඔයාගේ මධාරා පුංචි අම්මට රෙක්ස්පෙට් කරනවා. එක ඔයාගේ තාත්තා ඔයාලගෙන් ඈත් නොකර ඉඳීම ගැන. දෙවැනි කාරණය තමයි වරදක් වෙන්න යද්දි මොනම හේතුවකටවත් ඇත්ත හංගගෙන නොඉඳ ඉදිරිපත්වීම ගැන. මේ ශක්තිය ඇති ඔයාට ඔයාගේ ජීවිතය දිනන්න. ඇත්තටම කිව්වොත් ඉසුරි පාරින්ද කියන්නේ මානසික රෝඟියෙක්. එයාට එයාගේ පවුල් පසුබිමෙන් හෝ ආශ්‍රය කරන සමාජයෙන් ඉවසීම, හික්මීම කියන දේ ලැබිල නෑ. සමහරවිට ඒක ප්‍රථිකාර ලබන්න ඕන  තත්වයක් වෙන්නත් පුළුවන්”

“පොඩි කාලෙත් එයා මගේ දිහා කවුරු හරි බැලුවත් ඒ මනුස්සයට ගහන්න බනින්න යනවා. මට කිසිම පිරිමි යාලුවෙක් ආශ්‍රය කරන්න ලැබිලා නෑ. පන්තියේ පිරිමි ළමයෙක් මමත් එක ටිකක් වැඩිපුර කතා කළත් එයා හිතන්නේනේ අපි අතර එෆෙයාර් එකක් තියෙනවා කියලා. ලොකු අයියා කියන්නේ හැම තිස්සෙම සැකෙන් ලෝකෙ දිහා බලපු කෙනෙක්. ගෙදරදි උනත් එයා හරි සැර පරුෂ කෙනෙක්. නොදන්න කාලෙක මම උනත් හිතුවේ ඩොක්ටර් ඒ එයා අපිව ආරක්ෂා කරන හැටි කියල”

“ඔයාට පිරිමි යාලුවෙක් නොඉඳපු නිසා තමයි ඉසුරි පාරින්ද කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න බැරි වුණේ. තව කෙනෙක් එක්ක සසඳලා බැලුවනම් ඔයාට පාරින්ද කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා මීට කලින් තේරුම් ගන්න තිබුණා. මොනවා උනත් මේ වෙලාවේ ඔයා එහෙම හයිය තීරණයක් ගතපු එක ලොකු  දෙයක්.” 

“පෙරේදා  රෑ වෙනකනුත් මම හිටියේ මගේ පොරොන්දුව විශ්වාස කරගෙන. ඉරණමට, දෛවයට ඉඩ දෙන්න හිතාගෙන

 මැරේජ් එකක් කියන්නේ එක්ස්පෙරිමන්ට් එකක් නෙමෙයි කියලා මට හැම තිස්සේම බිනර කිව්වා. ඒත් ආපහු හැරෙන්න බැරි තැනක මම නතර වෙලා හිටියා. ඩොක්ටර්  ඒ වගේම හංසිකා මැඩම් මට මේ තීරණය ගන්න ගොඩක් උදව් කළා. ඩොක්ටර් අර කියන්න වගේම ඒ වෙලාවේ මගේ පවුලේ අය මම වෙනුවෙන් එකට එකතු වෙච්චච එක මට මාර ශක්තියක් වුණා.”

“දැන් මම ඉසුරිට තව යෝජනාවක් කරන්නද….”

“ඒ මොකක්ද ඩොක්ටර්.”

“ඔයයි පාරින්දයි ඉන්නේ එකම ගමේ දෙපැත්තක. ඉතින් ඔයාලා මුණ ගැහෙන එක වළක්වන්න බෑ. ඒ සියල්ලටම වඩා ඔයාලා ඥාතීන්. නැන්දා මාමා පාරින්දගේ සහෝදරියෝ වුණත් ඔයාට මුණ ගැහෙන එක වළක්වන්න බෑ. ඔයාට විතරක් නෙමෙයි ඔයාගේ අම්මට තාත්තට නංගිට මල්ලිට උනත් එහෙමයි . එහෙම මුණගැහිච්ච වෙලාවක බැල්මකින් වචනෙකින් හිත රිදෙන එක නවත්තන්නත් බෑ. අනිත් එක ඉසුරි ඔයා කියන විදිහට ඔයාලගේ කතාව ඉතිහාසයක් තිබ්බ එකක්. එතකොට ගමේ මිනිස්සු කාලයක් යනකල් ඔයාල ගැන කතා කරන එක වළක්වන්නත් බෑ. ඉසුරි නරකද අපි කෙටි කාලෙකට ඔතනින් එළියට බැස්සොත්. දැන් අම්මටත් ජොබ් එකක් තියෙන නිසා ඔයාලගේ ආර්ථික ප්‍රශ්නත් ටිකක් හරි අඩු ඇතිනේ.” 

“බිනරත්  ඒ ගැන තමයි ඊයේ පෙරේදා මමත් එක්ක කතා කර කර හිටියේ. අලුත් තැනකට ගිහිල්ලා ජීවිතයට හැඩගැහෙන්න පුළුවන් වෙයිද කියලා බයක් මගේ හිතේ තිබුණා. බිනර අපිට ගේකුත් හොයලා තිබුණා.”

“ඒක මගේ බාප්පගේ. එයාලා මේ වෙද්දි ලන්ඩන්වල පදිංචි වෙලා ඉන්නේ. මගේ තාත්තා තමයි ගේ බාරගෙන රෙන්ට් කරන්නේ. ඉසුරි  ඔයාලගේ ජීවිත වලට යහපතක් වෙනකල් අවුරුදු දෙක තුනක් නෙමෙයි පහ හයක් වෙනකල් උනත් ඔයාලට ඒ ගෙදර ඉන්න පුළුවන්. මට පුළුවන් ඉසුරි බාප්පලත් එක්ක කතා කරලා රෙන්ට් එක අඩු කරල දෙන්න. ඔයාලට ගැටළුවක් නොවන විදිහට”

“ඩොක්ටර්ට  හිතෙනවද මේ වෙලාවේ අපි කරන්න ඕන හොඳම දේ ඒක කියලා.”

“ඔව්…”

“ඒකෙන් ඔයාලා හැමෝගෙම හිතේ තියෙන බය සැක නැතිවෙලාම යන්න පුළුවන්. අලුත් ජීවිතයක් පටන් ගන්න. ඔයා විතරක් නෙමෙයි හැමෝම. අපිට වැරදුනු වැරදෙන තැන් වල තවදුරටත් අපි රැඳිලා හිටියොත් තමයි දුක වේදනාව හැමතිස්සෙම අපිට දැනෙන්නෙ. ඔයාලා යන අලුත් පරිසරයේ කවුරුත් ඔයාලගේ ජීවිත වල සිද්ධ වෙච්ච නරක දේවල් දන්නේ නෑ. මං හිතන්නේ ඒක ඔයාගේ නංගිගෙයි  මල්ලිගෙයි මානසිකත්වයට උනත් හොඳ දෙයක්. ඉසුරිගෙන් මං තව ප්‍රශ්නයක් අහන්නද?”

“මොකක්ද ඩොක්ටර්….”

“බිනර ගැන ඉසුරිට මොනවද හිතෙන්නේ.”

“ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මම දන්නෙ නෑ. හැමදේම එකතු කරලා කෙටි කරලා කිව්වොත් බිනර කියන්නේ මාව පරිස්සම් කරන අහසක් වගේ…”

සුලක්ෂා යුවතිය දෙස බලා සිටියේ දෑස් විසල් කරගෙනය. ඇගේ ඒ උපමාව පුදුමාකාර එකකි. ඒ දෑස් වල වූයේ කඳුලකි. 

“බිනරගේ පෞද්ගලික තොරතුරු ගැන ඔයා මොනවා හරි දන්නවද?”

“මං එහෙම කිසිම දෙයක් අහලා නෑ. හැබැයි එයත් කොතනකදි හරි කොහොම හරි තනිවෙච්ච කෙනෙක් කියලා මට හිතෙනවා. එහෙම කෙනෙකුට විතරයි ඩොක්ටර් තවත් කෙනෙකුගේ දුක තේරෙන්නේ. මට දැනෙනවා බිනර සමහර වෙලාවට මගේ ප්‍රශ්න එයාගේ ප්‍රශ්න කරගන්නවා කියලා. එයා කතා කරන්නේ නැති උනහම මට හරි පාළුවක් දැනෙනවා. මොනව හරි දෙයක් එයාට කිව්වහම එයාගේ ලඟ ඒවාට හරි පුදුම උත්තර තියෙනවා. මට හිනාව අමතක වෙච්ච වෙලාවට මාව හිනස්සන්න ඕන තරම් කතා එයාගේ ළඟ තියෙනවා. මට බඩගිනි වෙලාවට මට කලින් එයාට ඒ බඩගින්න දැනෙනවා. එයාගේ ලඟට ගියහම මට ප්‍රශ්න අමතක වෙනව ඩොක්ටර්. හරියට සුදු පාට මීදුමක්  අතරේ හරි සැහැල්ලුවෙන් පාවෙලා යනව වගේ හැඟීමක් දැනෙනවා. බිනරගේ උරහිසකට ඔලුව තියා ගත්තට පස්සේ මට දැනෙන්නේ මාව හැම පැත්තකින්ම ආරක්ෂිතයි කියන හැඟීමක්. ඩොක්ටර් මට වෙලාවකට හිතෙනවා හයියෙන් එයාව තුරුල් කර ගන්න. කවදාවත් තාත්තාගෙන් මට නොලැබුනු රැකවරණයක් මට එයා ලඟදි දැනෙනවා.”

“ඔයා ඒ යාළුකම විස්තර කරපු විදිහට අහන් ඉන්න හරි ආස හිතුනා.”

සුලක්ෂා එවර පැවසූයේ හිනහමින්ය. 

“පාරින්ද ලඟදී ඔයාට එහෙම හැඟීමක් දැනුනේ නැද්ද…”

“අනේ නෑ ඩොක්ටර්. එයා ලඟදී කවදාවත් මට මං වෙන්න බැරි උනා. එයා ලඟදී මං මාව හිරකර ගන්නවා. ආපහු ගියාට පස්සේ තමයි හයියෙන් හුස්මක් අරන් නිදහස් වෙන්නේ..”

“ඔයාගේ යාළුව කිව්ව තව විනාඩි පහළොවකින් එයා මෙතන  ඔයාට කොහෙවත් යන්න එපා කියලා”

“ඩොක්ටර්ට බිනර කතා කළාද.”

“ඔව්. ඔයා එන්න කලින්…”

සුලක්ෂා පැවසූයේ තම ජංගම දුරකථනය ඈ වෙත දිගු කරමින්ය. මෙතෙක් වේලා ඒ මුවෙහි වූ අඳුර පහව ගොස් සිනහවකින් විකසිත වන අයුරු ඈ බලා සිටියේ හිනැහෙමින්ය.

“එයාට මං කරන දේවල් දැනෙනවා. හරි පුදුමයි නේද ඩොක්ටර්”

සුලක්ෂා හිනැහුනේ ඉසුරි දෙස බලාගෙනමය.

                                  ***************

හංසිකා පියාගේ කාර්යාල කාමරයට ගියේ ඔහුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට පසුවය. ඔහු සිටියේ ෆයිල් කීපයක් මේසය මත තබාගෙනය. සිය දකුණතින් මේසය  ඉදිරිපස වූ සුවපහසු ආසනය පෙන්වූ ජයවර්ධන දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ගිණුම් අංශයේ ප්‍රධානියාටය. 

“ඇයි තාත්තා…..”

කුමක් හෝ බරපතල යමක් සිදු වී ඇති බව විශ්වාසය. එහෙත් ඔහු කිසිවක්ම පැවසූයේ නැත. 

“කුලසේකර අන්කලුත් ආවට පස්සේ කතාරමු.”

අවසන ජයවර්ධන එසේ පවසද්දී කුලසේකර කාර්යාල කාමරයෙහි දොර ඇරියේ ‘මම එන්නද සර්…’ යැයි අසාගෙනය. 

එන්න අන්කල්…ඉඳගන්න…

“හංසිකා…මේ තියෙන්නේ අපේ කලම්බු වලින් පිට බ්‍රාන්චස්වල සේල්ස් ෆයිල් එක. මේක හැන්ඩ්ල් කරන්නේ පර්චසින් ඩිපාර්ට්මන්ට් එකෙන්.”

“ඒක මම දන්නවනේ තාත්තා.”

“මේ සේල්ස් ගැනයි අපිට පිට බ්‍රාන්ච් වලින් ලැබුණු ඉන්කම් එකයි සති දෙකක ඉඳලා ලොකු පරස්පර විරෝධී භාවයක් තියෙනවා. ඇත්තටම මීට දවස් හතරකට කලින් ඉසුරිට තමයි මේ ෂෝට් එක අහුවෙලා තිබුණේ. පස්සේ ඉසුරි මේක මිස්ටර් කුලසේකරට කියලා තියෙනවා. මේක බොහොම සූක්ෂම විදිහට සිද්ධ වෙච්ච ෂෝටවුට් එකක්. ඉදිරි කාලයකදි අපිට ලොකු ඩැමේජ් එකක් වෙන්න තිබුණු දෙයක්. පස්සේ කුලසේකර අන්කලුයි මමයි හැම බ්‍රාන්ච් එකකම මේ දවස් විස්ස ඇතුළත සේල්ස් චෙක් කලා.”

පසුගිය දින දෙක තුනක් පුරාවට තාත්තා නිවසට පැමිණියේ මධ්‍යම රාත්‍රියේය. කුලසේකරත් ඔහුත් මධ්‍යම රාත්‍රිය වන තුරුම කාර්යාලයේ රැඳී සිටි බව ඇයට අද උදෑසන පැවසූයේ ආරක්ෂක නිලධාරියෙකි. 

“ඒ ගැටලුව ඇති වෙලා තියෙන්නේ මෙතනින්.”

“මෙතනින් කිව්වෙ.”

“අපේ ඔෆිස් එකට ආවට පස්සේ සෙල්ස්වල කොන්ටිටි වෙනස් වෙලා තියෙනවා.” 

“ඒක චෙක් කරන්නෙ මල්ලිනේ.”

“ඒක තමයි පොඩි දුව ප්‍රශ්නේ. මේක එක බ්‍රාන්ච් එකක වෙච්ච දෙයක්නම් මල්ලිගේ අතින් යම් අතපසුවීමක් සිද්ධ වුණා කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි දැන් හිතෙනවා මේක හිතා මතාම කරපු දෙයක් කියලා.”

“මං හිතන්නෙ නෑ සර් අපේ බිනර සර්ට එහෙම දෙයක් කරන්න වුවමනාවක් තියෙනවා කියලා.”

“එහෙම කියන්න එපා කුලසේකර මම ඉගෙන ගෙන තියෙන්නේ ව්‍යාපාර වලදී තමන්ගේ මිනිස්සුවත් විශ්වාස කරන්න එපා කියලා. මං කියන්නේ නැහැ මේක බිනරගේ අතින් සිද්ධ වෙච්ච වරදක් කියලා. හැබැයි බිනර එහෙම නොකරයි කියලත් හිතන්න අමාරුයි.”

“ඔතන කීයක වගේ මිස් එකක් තියෙනවද තාත්තා.”

“කෝටි එකයි ලක්ෂ තිස් දෙකක.”

ජයවර්ධන පැවසුවේ සුවපහසු වන සේ තම පුටුව පිටුපසට කරගෙනය. ඔහු උපැස් යුවළ  ගලවා සිය නළලත මත රඳවා ගත්තේත් එවේලෙහිය. 

“හැබැයි මේ සල්ලි කොම්පැනි එකවුන්ට් වලින් පිටට ගිහිල්ලත් නෑ මිස්. සමහර විට කාලයක් තිස්සේ මෙහෙම කරගෙන ගිහිල්ලා ඒ වගේ දෙයක් කරන්න බලාපොරොත්තු උනාද දන්නෙ නෑ.”

“තාත්තා මල්ලිගෙ යටතේ කව්ද මේ ෆයිල් වල වැඩ බලන්නේ. අශිකා, සහන්, දමයන්ති,  පූජනී අනෝමා…මේ අයගෙන් ෆයිනල් චෙක් කරන්නේ කවුද තාත්තා.”

“පූජනී…පූජනී කියන්නේ මෙච්චර කාලයක් ලොකු වගකීමකින් වැඩ කරපු දරුවෙක්. මං ඔය දෙන්නව ගෙන්නුවේ පූජනීව මෙතනට ගෙන්නලා ප්‍රශ්න කරන්න කලින්.”

“අපි එහෙම කරමු.”

පූජනී කාර්යාල කාමරයට පැමිණියේ ඉන් විනාඩි කිහිපයකට පසුවය. ඒ දෑස් වල වූ බියත් කලබලයත් ජයවර්ධනට හඳුනා ගැනීමට අපහසු එකක් වූයේ නැත. විවාහ වී වසර එකහමාරක් යන්නට මත්තෙන් ඇයට තනිවන්නට සිදුවූයේ මිතුරන් පිරිසක් සමග අනාරක්ෂිත ස්ථානයක දිය නාන්නට ගිය සැමියා සැඩ පහරකට හසුවී මියගිය නිසාය. 

ගිණුම් වාර්ථවල වූ පරස්පර විරෝධී භාවය ඇය ඉදිරියේ පහදා ලූ ජයවර්ධන ඊට හේතුව කුමක්දැයි ඇගෙන් විමසාලූයේ කාරුණිකවය. 

“මට ආපු රිපෝර්ට්ස් තමයි සර් මේ…”

හංසිකා පූජනී ගැන නිරීක්ෂණයේ ය. සුලක්ෂාගේ ඇසුරෙන් ලැබූ ආභාෂය නිසාවෙන්දෝ ඇයට මිනිසුන් හඳුනා ගැනීමේ කලාව අපූරුවට පිහිටා තිබිණ. එකිනෙක තද කරගෙන උන් දෑත්වල අතැඟිලි පවා වෙව්ලමින් තිබිණ. ඒ දෙතොල් පවා වෙව්ලමින් තිබිණ. ඇය උත්සාහ දරන්නේ  යමක් සඟවන්නටය.

“පූජනී මම හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම හොයාගෙන තමයි ඔයාගෙන් මේ ප්‍රශ්න කරන්නේ. කුලසේකර සර්, හංසිකා මැඩම් මෙතනට ආවෙත් දවස් කිහිපයක් තිස්සෙම මේ ගැන හොඳ නිරීක්ෂණයක් කරලා සම්පූර්ණ තොරතුරු එකතු කරගෙන. ඔය ළමයා තවදුරටත් බොරු කියනව කියල කියන්නේ ජොබ් එක නැති වෙන එක. අපිට අකමැත්තෙන් උනත් තීරණයක් ගන්න වෙනවා”

ජයවර්ධන එසේ පැවසූයේ බොහෝ කාරුණික වූ හඬකින්ය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles