දෑත දරා – 82

සින්දූපා පියවි සිහියට එලැබෙන්නට යම් වේලාවක් ගත්තාය. ඉන් පසුව සාලයට ගොස් කිසිඳු වෙනසක් නොපෙන්වාම අම්මා සහ තාත්තා සමඟ උදෑසන ආහාරය ගත්තාය. ඉන් පසුව සිනාමුසු මුහුණින් කතා බහකද යෙදුනාය. ඉන් පසුව කාමරය තුලට වැදුනාය. හඬ නෑසෙන්නට ගීතයක් වාදනය කලාය. වහා මනුජගේ අංකය දුරකතන තිරය මතට ගත්තාය. එහෙත් සැනින් ඇගේ බලාපොරොත්තු සිඳි ගියේය. ජංගම දුරකතනය වූයෙ ක්‍රියා විරහිතව. ඕ යලි යලි ඇමතුවාය. එහෙත් ප්‍රතිපල වෙනසක් වූයේ නැත.

“ බූරුවා.. මේ වතාවේ, තමුසේ මගෙන් තමයි ඉගෙනගන්නේ හොඳම පාඩම …

ඕ නෙත් තෙත දෑතින්ම පිසදා ගත්තාය. විශ්වට ඇමතුමක් ගත්තාය.

“  විශ්ව අයියේ ඔයා ඉන්නේ මනුජ පේන මානේද ?..”

“ පේන මානේ නෙවෙයි …”

“ යන්න පුලුවන් දුරකද ?..”

“ ඔව් ඉතින්.. ඌ උගේ කාමරේ.. මම පහල…”

“ අයියේ …. ෆෝන් එක දෙන්න පුලුවන්ද ?..”

“ ඒ මොන එකකටද ?..”

“ දෙන්න …”

“ ඌ නිදි .. නැගිටින එකක් නෑ …”

“ ඇහැරවන්න ..කොහොම හරි …”

“ මට බෑ බං … ඌ ඊයේ හොඳ පිස්සුවක් කෙලලා නිදගත්තේ පාන්දරට වෙන්න … “

“ මොකක්ද වුනේ?….”

“ කෙල්ල ඊයේ උගේ ළඟ නිදාගන ඕනි කියලා ගිහින් .. ඊට පස්සේ මූ කෙල්ලට දෙක තුනක් ගහලා… කෙල්ල නිකන් ශොක් වෙලා වගේ.. පස්සේ මනුර්‍යා දිගින් දිගටම ඕකට කේස් ඇද්දා… අපි සාලේ කතා කර කර උන්නේ… ඌ සාලේට ඇවිල්ලා මනුරයා එක්ක පැටලුනා … ඌ මනුර්‍යාට ගැහුවා… විමුක්ති ඌට ගැහුවා… පස්සේ ඌ විමුක්තිටත් ගැහුවා… තාත්තා මනුජයාව ගෙදරින් එලියට ඇදලා දැම්මා.. පස්සේ අම්මයි, අපේ නෝනයි දෙන්නා එක්ක කාමරේට දැම්මේ.. ඒ ගිහිල්ලා මූ බියර් විස්සක් විතර ගහලා… මම යනකොට වමනේ ගොඩේ ….”

 සින්දූපා ඇමතුම විසන්ධි කලාය. විශ්ව වැඩිදුර කිසිත් නොසිතා ජංගම දුරකතනය පසෙක තැබුවේය. සින්දුපාට යළිත් මනුජ සමඟ කුමක් කතා කරන්නට ඇතිදැයි විශ්වට සිතාගන්නට හැකි වූයේ නැත. මනුජගේ සෑලසුම් ඔහුට අවැසි ලෙසින් දිග හැරී අවසන් වූවාට පසු කිසිවෙකුට කිසිවක් සිදු කරන්නට නොහැක. අනෙක් අතට මනුජගේ සැළසුම් නිසා කිසිවෙකුට සැනසීමක් ඇඨ්හි බවක් පෙනෙන්නෙටද නැත.

මනුර්‍යා පවසන ආකාරයට, මනුජ රැකියාව තුලද යම් පැටලීම් ඇති කරගෙන ඇත. ඒ මදිවාට ඔහු දියණිය රිදවන්නේය.

“ සැනසීමක් එකෙක්ටවත් නෑ මේ මඟුල් නිසා…”

විශ්ව නිවස තුලට ඇවිද ගියේය.

සින්දූපා යලි කාමරයෙන් පිටතට ගියාය. අම්මා සහ තාත්තා ට තවදුරටත් කිසිවක් සඟවා නොකරන්නෙමියි සිතුවාය.  විශ්ව පැවසූ තොරතුරු වලින් ඕ වටහා ගත් බිඳ, ගලපා කීවාය.

“ අම්මේ… මනුජ මං වෙනුවෙන්  එයාගේ ජීවිතේට, එයාගේ නමට එච්චරට  හානියක් කරගන්න සූදානම් වෙලා නම්, මම ඒක දැන දැනම එයාට ඒ අපායේ හිරවෙන්න දෙන්න බෑ අම්මේ… මං එහෙම කරන් නෑ …. මම රට යන්නම් … හැබැයි, මට පස්සේ අනිවාර්‍යෙන්ම මම මනුජවයි, දරුවාවයි ගෙන්නගන්නවා තාත්තේ… මට ඩ්‍රයිවර් කෙනෙක් දෙන්න .. ප්ලීස් .. මම මනුජව බලලා එන්න ඕනි …”

සින්දූපා හැඬුම් පාලනය කරගනිමින් කීවාය.

“ පුතා ලෑස්ති වෙන්න .. මම ඇරලවන්නම් …”

සින්දූපාගේ පියා එතෙක් කියා ආපසු හැරී මිදුලට බැස්සේය. ඇගේ මව සින්දූපාගේ දෑත , දෝතින්ම ගෙන සිප ගත්තාය. සින්දූපා තමාට පිටුපා යන පියා දෙස යලි හැරී බැලුවාය.

“ අම්මේ … මම යන්න ඕනි කිව්වේ එයාර්පෝර්ට් නෙවි .. මනුජගේ ගෙදර .. එයාව බලලා එන්න … තාත්තා .. ඒක කොහොමද ඒ තේරුම් ගත්තේ..”
සින්දුපාගේ මව කලකට පසු ඕ සතුවූ නිර්ව්‍යාජම සිනහවෙන් සැරසුනාය.


“ ලෑස්ති වෙලා එන්නකෝ මයේ පුතේ.. තාත්තාට ඔයා කීව එක නොතේරුනා වෙන්න බෑනේ… යන්න …. ලෑස්ති වෙන්න හෙමිහිට ….”

සින්දූපා අම්මා පවසන්නේ කුමක්දැයි කියාත් නොවැටහෙන බව පෙන්වමින් බලා උන්නාය.  එහෙත් ඕ වැඩි වෙලා රැඳී නොසිටම යළි කාමරය වෙත ගියාය. තවම යන්තමින් රිදුම් දෙන පාදය පවා ඕ අමතක කර දමා තිබුණි. දඩි බිඩියේ පහසු ඇඳුමක් ගත ලා ගත්තාය. ජංගම දුරකතනයද ගත්තාය.

ඇය පහලට එන විටත් මව සහ පියා සූදානම් වී කතා බහක සිටින බව දුටු ඕ අවසාන පඩියට වී යළි මොහොතක් බලා උන්නාය.

“ තාත්තේ … මනුජව බලන්න යන්න ඕනි කිව්වේ මම …”

“ අපිත් එන්නම් කිව්වේ ඒ දිහාවට යන්න තමයි … ගිහින් කතා බහ කරලා එමු …”

“ තාත්තේ .. විශ්ව අයියා කිවේ, මනුජ ඉන්නේ සෑහෙන්නම ටෆ් මූඩ් එකක කියලා… එයා  ගෙදර හැමොම එක්කල රණ්ඩු කරගෙන … අංකල් එයාව එලියට ඇදලා දාලා… එයා නංගිටයි දරුවාටයි ගහලා.. මං කිව්වේ… ඔයාලා එතනට ගිහින් ආයේ ආයේ එයාට කාරණා පහදන්න යන එකෙන් වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන එක නේද ?… ප්ලීස් තාත්තේ … මම ඔයාලාට ලැජ්ජ වෙන දෙයක් කරන්නේ නෑ .. ඒත්, මනුජ ඇත්තටම මේ බොරුව කියලා තියෙන්නේ මාව සුව පහසුවෙන් තියන්න නම්, අම්මලා ගැන හිතලා නම්, මම එයාව තනි කරන්නේ නෑ .. ලෑස්ති වුන විදියටම රට ගිහින්, මා එක්ක ජීවත් වෙන්න මම ඒ දෙන්නාව ගෙන්නගන්නවා… මම ආයේ ආයෙම මේක කියන්නේ, මාව නවත්තන්න අනේ තාත්තේ මොකක්වත් කරන්න එපා කියන්න …”

“ පරක්කු වෙන්න ඔනි නෑ … යමු …”

සින්දූපාගේ පියා ඉදිරියට ඇවිද යමින් කීවේය. සින්දූපා අම්මා දෙස බැලුවාය. ඇගේ අතින් අල්ලා ගත්තාය.

“ අනේ අම්මේ .. මට මේක පොඩ්ඩක් ලිහා ගන්න දෙන්නකෝ.. අපි ඔක්කොමලා එහෙ ගියාම ආයේ රණ්ඩුවක් අම්මේ… තාත්තා අරහෙම කාර්ම් ඉන්නේ මහ සුනාමියක් ලෑස්ති කරගෙන නේ අම්මේ…”

“ යමුකෝ පුතේ…”

සින්දූපාට අවසන අවනත වෙන්නට සිදුවිය.

සින්දූපා සහ ඇගේ දෙමාපියන් පැමීනි බව දුටු දියණිය සාරතීගේ උකුලෙන් පැන සින්දූපා වෙත දිව ගියාය.

“ අප්පච්චි බබාට ඌවා වෙන්න  ගැහුවා… මෙතනටයි .. මෙතනටයි .. මෙතනටයි …. අප්පච්චි නෝටි .. බබා ආදරේ නෑ… බබා එන්නද ඩොක්ටර් ආන්ටි එක්ක යන්න ?..”
 සින්දූපා දියණිය වෙත නැවෙන්නට නොහැකි වූ නිසා, ඇය කැටුව මිදුලේ වූ සකස් කල අසුනක හිඳගත්තාය

“ අප්පච්චිටත් ඌවා වෙලානේ පැටියෝ .. ඒකනේ ..”

“ නෑ .. බොරු .. අප්පච්චි නෝටි .. නැන්දිටත් ගැහුවා…”

සින්දූපා දියණියව සිප ගත්තාය. වට පිටේ උන් කිසිවෙකු ගැන දෙදෙනාටම වගක් වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles