ඉඩෝරයක මල් වැස්සක් – 61  

ආලින්දයට වී දෑතින් හිස බදාගෙන සිටින පාරින්ද වෙත ගිය නාලනී තේ කෝප්පය දිගු කළේ ආ… යැයි පවසමින්ය. ඔහු ඉසුරිගේ නිවසට ගොස් කළ කෝලාහලය පිළිබඳව ඇයට විස්තර පැවසූයේ ඒ අසල සිටින ඇගේ මිතුරියයි. එවේලෙහි සිට නාලනී සිටියේ කෝපයෙන්ය.

“කිරි කලයක් දොවලා ගොම බිංදුවක් දාගත්ත වගේ වැඩක්නේ මේ ළමයා කරගත්තේ. හැමෝම දොස් කිව්වෙත් මේ ළමයට. උන්  කිසි දෙයක් නොවුණු ගානට යසට අද ලෑස්ති වෙලා රස්සාවල් වලටත් ගියේ.”

බීමත්ව සිටි පාරින්ද නිවසට රැගෙන ආවේ ගම්වැසි තරුණයන් දෙදෙනෙකු විසින්ය. දෙදිනක් පුරාම ඔහු සිටියේ කාමරයට වීගෙනය. 

“බලහං ඉතින් ඔය අත ආපහු පාර ගත්තනෛ්. දැන් උඹ මොකක්ද කරන්න හිතන් ඉන්නේ.”

නාලනී එසේ ඇසුවේ ආලින්දයේවන කණුවකට හේත්තු වීගෙනය. ඒ එක හෙළා ඉසුරි ගැන අසන්නට බැරි කමකින් සේය.

“මොකක්ද කරන්න හිතන් ඉන්නේ කියලා අහන්නේ?” 

“ඉසුරි ගැන.”

“මොකක් කරන්නද කසාද බඳිනවා මිසක්කා.” 

“උඹ හිතනවද උඹෙන් ගුටි කන්න ගෑනු දෙන්න රාජිනී වුණත් කැමති වෙයි කියලා.” 

“එයා ළමයි ගැන බලන්නේ නෑ.”

“උඹ හිතන් ඉන්නෙ එහෙම තමයි. ඒ ඉස්සර ඉඳපු රාජිණි දැන් ඒකි ළමයි ලෙවකන ගානටලු ඉන්නේ”

“දැන් අම්මා මාමට කතා කළාද.” 

“හ්ම්…”

“එයා මොකද කියන්නේ…”

“එයා කියන්නේ ඉසුරිවත්, ඒ අයියලා නගාලවත්  රාජිනීවත් දැන් උඹට කැමති නෑ කියලා. කොටින්ම කිව්වොත් මගේ සහෝදරයා දැන් උඹට කැමතිත් නෑ.”

“ඒවා කොහෙද මමත් එක්ක…” 

“ලොකු පුතා චන්ඩිකම් වලින් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා. මං උඹට කිව්වේ ඉසුරි හම්බවෙලා යාප්පුවෙන් කතා කරලා මේවා පිළිවෙලක් කරගන්න කියලා. එහෙම නැතුව ඔය විදිහට ගිහිල්ල කෑගහලා කලකෝලාහල කරගෙන  විසඳන්න කියලා නෙමෙයි.”

“එහෙනම් අම්මත් කලින් දවස ගිහිල්ලා රණ්ඩු උනේ.”

“මං රණ්ඩු උනේ මගේ ප්‍රශ්නෙකට. ඇයි යකෝ මගේ මහ ගෙදර උකස් තියන් කාල කියල දැනගත්තහම මගේ හිතේ ඇතිවෙන්නේ මොන වේදනාවක්ද. එදත් මං කිව්වා මේ ප්‍රශ්න වලට ඉසුරි සම්බන්ධ කරගන්න එපා කියලා. උඹලා දෙන්නගේ සම්බන්ධකම් වෙනයි අපේ තරහ මරහා වෙනයි.”

“අනේ මේ අම්මලත් මේවට උඩ ගෙඩි දීලා දැන් එන්න එපා සුද්දවන්තියෝ වගේ කතා කරන්න.”

“දැන් ඒකටත් පලි මමද…”

නාලනී  එසේ පවසමින් නිවස තුළට ගියේ කෝපයෙන්ය.  

“අම්මටයි  පුතාටයි දෙන්නටම රිදෙන්නේ ඉසුරි නැති වෙච්ච දවසට තමයි. කොච්චර උනත් ඒ කෙල්ල වගේ කෙල්ලෙක් ආයෙ කොහෙන් හොයන්නද..?”

සැමියා පවා පෙරදා රාත්‍රියේ පැවසූයේ ඒ අයුරින්ය. ඉසුරි පිළිබඳව වෙනදා නොවූ ලෝබකමක් නාලනීගේ සිතට දැනෙන්නට වූයේ එතැන් පටන්ය. යුවතිය ගෙදර දොරට වැඩ වලට හුරුබුහුටිය. කියන්නක් අසා සිටිනවා විනා කට ගැසීමේ හෝ ඊට උඩින් කතා කිරීමේ පුරුද්දක් ඈට වූයේ නැත. නිවසේ වැඩ කටයුතු අඩක් ඉසුරි වෙත පවරා නිදහස් වන්නට සිතූ නාලනී දිගු සුසුමක් මුදා හැරියේ සමහර අවස්ථාවල ඉක්මන් වූ තම සිතුවිලිවලටත් සාප කරමින්ය. තාත්තාවත් පුතාවත් ගෙදර සිටින දියණියවත් පොල් අඩලයක් ගා දෙන්නට හෝ ලූනු ගෙඩියක් සුද්ද කර දෙන්නට මුළුතැන් ගේ තුළට පැමිණෙන්නේ නැත. ඉඳහිට දිනක ඉසුරි නිවසට පැමිණ ගියත් ආපසු යන්නේ ගේදොර අතු ගා,  උයා  වලන් පිඟන් පවා පිරිසිදු කළාට පසුවය. ලොකු පුතාට යමක් පැවසුවේනම් ඒ ඉසුරිව ඒ තැනම තියාගන්නට අවැසි වූ නිසාය. පහළ ගෙදරත්, යාබද නිවසේ පිරිමි දරුවන් දෙදෙනාත් විවාපත් වූයේ මෑතකදීය. දැන් ඒ මව්වරුන්ට සිදුව ඇත්තේ ලේලිලාගේත් වැඩකටයුතු කර දෙන්නටය. රැකියාවන් වලට යන තරුණියන් දෙදෙනාම පැමිණ කාමරවලට රිංගා ගන්නවා විනා තේ එකක් සාදාගෙන බීමේ පුරුද්දක් නොවේ. ඒ නැන්දම්මා වරුන් අසල නාලනී ඉසුරිව වර්ණනා කරන්නේ “මගේ කෙල්ලවත් එච්චර මට ආදරේ නෑ යනුවෙන් පවසමින්ය..” එදා සිටම රාජිණී ගැන පැහැදීමක් නාලනීට වූයේ නැත. එහෙත් ඉසුරි නිවසකට සීදේවී කෙල්ලකි.

පාරින්ද  සිය ඇඟිලි තුඩුවලින් නළලත මිරිකා ගත්තේ අම්මා නිවස තුළට ගියාට පසුවය. ඉසුරි ඒ සා දරදඬු තීරණයක් ගත්තේ කෙසේදැයි සිතද්දිත් ඔහු වෙවුලා ගියේය. මේ දෑස් උස්සා මුහුණ දෙස එක එල්ලේ බලා යමක් පැවසූ කෙල්ලක නොවේ. පාරින්දට සැමදාමත් වුවමනා වී තිබුණේ ඉසුරිව තමාගේ යටතේ තබා ගැනීමටය.  මාමා  සමග රණ්ඩුවන අවස්ථාවල රාජිනී කෑ ගසමින් එකට එක කියාගන්නා අයුරු ඔහු ඕනෑ තරම් දැක තිබේ. රාජිනීගේ දියණියක වූ ඉසුරි  එසේ නොවේයැයි සිතන්නට වෙන සම්භාවිතාව අඩු එකකි. මිතුරන් පවා පවසන්නේ රාජිනී එතරම් හොඳ ජීවිතයක් ගත නොකරන බවය. ඇගේ ෆේස්බුක් ගිණුම සහ ටික් ටොක් ගිණුම ඊට හොඳම උදාහරණය. ඉසුරිව අත් හරින්නට බැරි කමින් මිස වරින්වර මිතුරන්ගේ උසුළු විසුලු වලට ලක්වී  තමා ලැජ්ජා වූ අයුරු පාරින්දට සිහිවූයේ එවේලෙහිය. සමහරු රාජනී ගැන පවසා තමාව අවඥාවට ලක් කළ අයුරු පාරින්ද සිහි කලේ කෝපයෙන්ය. එනිසාම ඔහුට අවැසි වී තිබුණේ ඉසුරිව කිසිදු පිරිමි ඇසකට නොගැටී රැක ගන්නටය. දරිද්‍රතාවය විනා ඇය  රැකියාවකට යනවාට ඔහු අකමැති වූයේත් එනිසාය. 

“ගෑණුන්ට ඕනවට වඩා උඩ පනින්න දෙන්න නරකයි. එහෙම වුනොත් තමයි උන් ගෝනි නැතුව කරේ නගින්න යන්නේ. පේනවනේ ඉසුරි ඉන්න හැටි. මං එක වචනයයි කියන්න ඕනේ ඒකි වෙව්ලනවා. ගෑනු ඉන්න ඕනෙ අන්න ඒ තැන”

කිහිප වතාවක්ම ඔහු එසේ පවසා උදම් ඇනුවේ මිතුරන් අබියසදීය. සැබවින්ම ඉසුරි සිටියේත් ඒ අයුරින්මය.

‘එසේ නොවිය යුතුයැයි’ පැවසූ මිතුරන් සමග ඔහු තර්ක කළේය. ඉසුරිව වර්ණනා කරන මිතුරන්ට බැණ වැදුණේය. කොහොමටත් ස්වභාවයෙන්ම කෝප ගන්නා තරුණයා සිතා සිටියේම ගැහැණුන්ට උරුම වන්නේ මුළුතැන් ගෙය පමණක් බවය. පාරින්ද  සැලසුම් කරගෙන සිටියේ ඉසුරි හා විවාහ වූ සැණින් ඇයව මවක කර නිවසට කොටු කර තබන්නටය. සියල්ල සිදුවූයේ තමාගේ ඉක්මන්කම නිසායැයි ඔහුට තවමත් සිතෙන්නේ නැත. ඉසුරිව බලෙන් හෝ රැගෙනවිත් විවාහ කරගන්නට තමාට අයිතියක් ඇතැයි පාරින්දට සිතුනේ එවේලෙහිය. 

“උඩ පැන්නට උන්ට මං නැතුව බෑ. අවුරුදු ගානක් මාත් එක්ක සම්බන්ධකමක් තිබුණා මුළු ගමම දන්නවා. කවුද ඕකිට කර ගහන්නේ..”

අවසන ඔහු එසේ සිතා සිත හදා ගත්තේය.

                                 ***************

ඉසුරි වෙනත් නිවසක පදිංචියට යමුයැයි නිවසේ අයට පැවසූයේ රාත්‍රියේදීය. අම්මා පැවසූ පරිදිම රාත්‍රී ආහාරය සඳහා බිත්තර ආප්පත් ප්ලේන් ආප්පත් ලුණු මිරිසුත් රැගෙන විත් තිබිණ. ඉඟුරු යොදා ප්ලේන් ටී සෑදුවේ ඉසුරිය. 

“ඒකනං මරු අදහසක් අක්කේ. අද සමීරගේ අම්මයි තාත්තයි ඕකම කිව්වා. ඒ ගොල්ලොනම්  කියන්නේ නැන්දාගේ ඇඬියාව හින්දා අපිට මේ ගෙවල් යා දෙන්නේම නෑ කියලා. මමත් හිතාගෙන ඉන්නේ ඒ ලෙවල් කරපු ගමන් හොටෙල් කෝස් එකකට යන්න.”

“අනේ අක්කේ ඒකනං ෂෝක්. අක්කගේ යාළුවා කිව්වේ කොහොම තැනක ගෙයක් ගැනද දන්නෙ නෑ නේද. අම්මෝ මේ වගේ මිනිස්සු නැති පළාතක් නං හරි සනීපයි. අපිට වෙන වෙනම කාමර තිබුණොත් හොඳයි.”

නංගිත් මල්ලිත් තමාගේ සතුට ප්‍රකාශ කලේ ඒ අයුරින්ය. 

“අද මධාරා පුංචි අම්මත් ඔය ටිකම කිව්වා…”

ඉසුරි අම්මා දෙස බැලුවේ තිගැස්සීගෙනය. ඇයට මධාරා පුංචි අම්මා කතා කළේ  කවදාදැයි ඕ සිතුවේත් ඒ අතරය. 

“මං හවස පරක්කු උනේ මධාරා පුංචි අම්මා මුණ ගැහෙන්න එයාගේ ඔෆිස් එකට ගියපු නිසා. මධාරා  පුංචි අම්මට මට වඩා මේ ලෝකෙ ගැන දැනුමක් තියෙනවා. ඉසුරි ඔයාගෙයි  ලොකු පුතාගෙයි ප්‍රශ්නෙට කරන්න ඕන දේවල් ගැන මම  පුංචි අම්මත් එක්ක කතා කරගත්තා. තාත්තා ඒ  ප්‍රශ්නෙ විසඳයි”

“ඒ  දවස්වල අපේ අම්මා කොහොමද මධාරා ගෑනි කිය කිය බැන්නේ. තව කියන්න බැරි දේවලුත් කිව්වේ ඕන තරම්. හෙනත් ඉල්ලුවා”

ඉසුරු පැවසූයේ උස් හඬින් හිනැහෙමින්ය. විශ්වාසය ඒ සිනහවෙහි වූයේ තරහවක් කෝපයක් හෝ අවඥාවක් නොවේ. සැහැල්ලුවකි.

“එහෙම බනින්නත්, කියන්නත් මට හේතු තිබුණා පුතා. මිනිස්සු එක්තරා වයසකදී සමහර සිදුවීම් වලින් පාඩම් ඉගෙන ගත්තට පස්සේ වෙනස් ඇහැකින් ලෝකෙ දිහා බලන්න පටන් ගන්නවා. අද මට ඒ කිසිම කෙනෙක් ගැන තරහක් නෑ. මට එක පැත්තකින් හරි සතුටුයි මේ ප්‍රශ්නෙදි මම තනි වුණේ නෑ. තාත්තා, මධාරා පුංචි අම්මා අපි ළඟ ඉඳපු නිසා තමයි මේ ප්‍රශ්න අපිට මේ විදිහට විසඳගන්න පුළුවන් උනේ. සමහරවිට එදා තාත්තා ගන්න ඇත්තෙත් එයාට ගන්න තිබුණු හොඳම තීරණය වෙන්න ඇති. ඒකයි මං ඕගොල්ලන්ට හැමතිස්සේම කියන්නෙත් ජීවිතේ වරද්ද ගන්න හේතුව වෙන්නේ අපේ ඉක්මන්කම කියලා. හැඟීම් වලට වහල් වෙලා ගන්න තීරණ කියලා. ඉවසීමක් නැතිකම කියලා”

රාජණී පැවසූයේ වෙනදා කවදාවත් නොවූ තරම් සන්සුන් වූ හඬකින්ය. තමා දැන් මේ ජීවිතයෙන් පැරදී අවසන් බව ඈ තේරුම් ගත්තේ ඊයේ පෙරේදාය. කාලයක් ගතව යන තුරුම දරුවන් දෙස පවා ඕ බැලුවේ කෝපයෙන්ය. ‘මේ සුරංගගේ දරුවන්ය..’ යන සිතුවිල්ල ඇගේ සිතට වද දෙමින් තිබිණ. නිවස තුළ කුමක් සිදු වුවත් ‘උඹලට මහ එකත් එක්ක යන්න තිබුණනේ මාව කන්න බලන් හිටියේ’ යැයි කෝපයෙන් ඇගේ මුවින් පිට වූයේ එනිසාය. තවත් කලක්ම ඇය වෙහෙස වූයේ තමාට මගහැරී ගිය ඒ ආදරණීය ජීවිතය සොයා ගන්නටය. සුරංගටත් මධාරාටත්  වෛර කළේ එනිසාය. එහෙත් ඒ සියල්ලටම වඩා සැපයක් සැනසීමක් මේ දරු තිදෙනා වට කරගෙන සිටිද්දී තමාට දැනේයැයි රාජණීට සිතෙන්නේ දැන්ය.

“ඇත්තටම මං අම්ම කෙනෙක් නේද කියලා මට ආඩම්බරයක් දැනෙන්නේ දැන්..”

ඔහු සවස මධාරා සමග පවා එසේ පැවසුවාය. 

උස් මහත් වූ දරු තිදෙනකු තමා වට කරගෙන සිටියදී රාජිනීට දැන් දැනෙන්නේ ආඩම්බරයකි. තමා සියල්ලෙන්ම සුරක්ෂිතය යන හැඟීමකි. 

“ජීවිතේ හැමදේම මේ විදිහට නරක අතටම සිද්ධ වෙන්න කලින් එක දවසක් දෙකක් මට ඔයාලත් එක්ක මේ වගේ ඉන්න තිබුනනම් ලැබිච්ච දේ රැක ගන්නවා මිසක්  නැතිවෙච්ච දේ හොයන්න වෙහෙස වෙන්නේ නෑ. මේ වගේ ඔයාල අතරට ඇවිල්ලා කතා කරන්නවත් මට පුළුවන් කමක් තිබුණෙ නෑ. මං හැම තිස්සේම හිටියේ නොපෙනෙන ලෝකෙක සතුට හොය හොයා. දන්නෙම නැතුව ඔයාලත් එක්ක ගත කරන්න තිබුණු ජීවිතේ ලස්සනම කාලයක් මට නැතිවුණා.”

රාජිනී එවේලෙහි සිතුවේ තමාගේ දරු තිදෙනා දෙස බලාගෙනය. 

“අර අපරැක්ක මහත්තයා පහුගිය දවස්වල ගේට්ටුව ගාවදි කියලා ගියා මේ පැත්තේ ගෙවල් කුලියට දෙන්න තියෙනවා නම් කියන්න කියලා. අර අලුතින් දාපු විශ්ව විද්‍යාල නිසා හරියට මේ පැත්තේ ගෙවල් හොයනවලු මිනිස්සු.”

කිරි අම්මා එසේ පැවසූයේ ඉසුරිගේ දෑස් වල මෙන්ම අන් සියල්ලන්ගේම දෑස් වල බලාපොරොත්තුවක් තබමින්ය. 

“මේක එහෙම දීලා ඒකෙ කුලිය අතනට  ගෙවන්න පුළුවන් වුනොත් අපිට ප්‍රශ්නයක් ඇත්තෙම නෑ නේද පුතේ.”

“රාජිනී එසේ ඇසුවේ ඉසුරි දෙස බලාගෙනය. ඈ හිස වැනුවේ ‘ඔව්’ යැයි පවසමින්ය. අම්මාගේ වැටුපෙන් ණය මුදලට කැපී ඉතුරු වන මුදල  පිරිමසා ගන්නේ අසීරුවෙන්ය. තාත්තා ඉඳහිට කරන උදව් නොමැති වූවානම් එය තවත් අසීරු වන බව විශ්වාසය. එහෙත් සිතට දුකක් වේදනාවක් කළකිරීමක් පමණක් ගෙන දෙන පරිසරයකින් මිදී  අලුත් ජීවිතයක් අරඹන්නට තිබුණානම් හොඳය. වේලක් හැර වේලක් කුස පුරවාගෙන හෝ සැනසීමේ ජීවත්වීම වටීයැයි දැනෙන්නේ ඒ සැනසීම අහිමි වූ මිනිසුන්ටය.

ඉන් පසු කතා කෙරුණේ නිවස කුලියට දිය යුතු ආකාරය පිළිබඳවය. 

“ඩොක්ටර් සුලක්ෂාගේ යාළුවෙක් ඉන්නවා ලෝයර් කෙනෙක්. එයා ඒවා පිළිවෙලකට ලෑස්ති කරලා දෙයි අම්මේ. ඒ ගැන බයක් තියාගන්න එපා. අපි හෙටම අපරැක්ක අංකල්ට කතා කරලා කියමු. ඊට කලින් මම තාත්තට කතා කරන්නම්.” 

“අක්කේ මං අහන්නමයි හිටියේ ඩොක්ටර් සුලක්ෂා කොහොමද ඔයාගේ යාළුවෙක් උනේ. අම්මෝ එයාගේ මෝටිවේෂන් ප්‍රෝග්‍රෑම් ඉදල හිටලා අපේ ඉස්කෝලේ උදේ රැස්වීමෙදිත් දාලා පෙන්නනවා. මට දැන් යාළුවන්ට කියන්න පුළුවන් ඩොක්ට සුලක්ෂා අපේ අක්කගේ යාලුවෙක් කියලා.”

“ජීවිතේ සමහර හොඳ කාලවල් ආවට පස්සේ නරක මිනිස්සු අපෙන් ඈත් වෙලා හොඳ මිනිස්සු අපිට ළං වෙනවා නංගි. ඩොක්ටර් සුලක්ෂාත් මට හම්බවුණේ අහම්බෙන්. මගේ හොඳම යාළුව නිසා. අපි මේ යන්න යන ගෙදරත් ඩොක්ට සුලක්ෂාගේ ලොකු තාත්තගේ.”

සියල්ලෝම ඈ දෙස බලා සිටියේ දෑස් හා මුව අයාගෙනය.

“අපිට වෙන වෙනම කාමර තියෙයිද අක්කේ?”

“තට්ටු දෙකේ ගෙදරක් කියලා කිව්වා කාමර හතරක් තියෙනවා කිව්වා. ඉඩමනම් මෙච්චර ලොකු නෑලු. සම්පූර්ණම පර්චර්ස් අටයිලු”

“මටයි කිරි අම්මටයි එක කාමරයක් හොඳටම ඇති. ඔයාල තුන්දෙනා අනිත් කාමර තුන බෙදාගන්න. එතකොට නිදහසේ ඉන්න පුළුවන්නේ.”

රාජිනී පැවසූයේ හිනැහෙමින්ය. පුදුමය….සියල්ල වෙනස් වී ඇත්තේ කාලයට අවනතවය. වෙනදා ඕ තම කාමරය දියණියන් සමගවත්  බෙදා ගැනීමට කැමති වූයේ නැත. ඉසුරිගේ මුව මත ඇඳී ගියේ බලාපොරොත්තුවේ හසරැල්ලකි. ලොකු අයියා අහිමි වී ගිය බව සැබෑය. හදවත කොණක වේදනාවක් වන බවත් සැබෑය. එහෙත් මේ උදා වී ඇත්තේ ඇය පැතූ ජීවිතයයි. ඉසුරි තාත්තාට දුරකථන ඇමතුමක් ලබාගෙන ආලින්දයට පැමිණියේ අන් සියල්ලෝම කතා කරමින් හිනැහෙමින් සිටියදීය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්……)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles