ඉඩෝරයක මල් වැස්සක් – 62

දින කිහිපයක්ම ගෙවී ගියේ බිනරගේ සිතෙහි වූ සැනසීම අහිමි කරමින්ය. ඔහු සුලක්ෂාට කතාකර කුලී නිවස සම්බන්ධව වැඩකටයුතු ඇයට පහසු වන පරිදි කර දෙන්නයැයි ඉල්ලීම් කළේ එනිසාය. ඒ වෙනුවෙන් බලාපොරොත්තු වන මාස තුනක අත්තිකාරම් මුදලද ගෙවා දැමුවේ ඔහු විසින්ය. එහෙත් බිනරගේ ඉල්ලීම පරිදි සුලක්ෂා ඉසුරිට පැවසූයේ අත්තිකාරම් මුදලක් අවශ්‍ය නොවන බවය. නාවලත් රාජගිරියත් අතරතුර අතුරු මාර්ගයෙන් හැරී මීටර් පන්සීයක් පමණ ඉදිරියට ගිය විට පිහිටි නිවස නිහඬ නිස්කලංක වූ එකකි. 

“මේ පැත්තෙ ඉන්නෙ හොඳ සල්ලිකාරයෝ වගේ.”

රාජිනී ඉසුරිගේ කනට කර පැවසූයේ අවට බලමින්ය. ඉසුරිත් රාජිණිත් බසයෙන් ගිය අතර මදාරාත් සුරංගත් පැමිණ සිටියේ ඔවුන්ගේ යතුරු පැදියෙන්ය. 

“ආන්ටිලට කිසිම කරදරයක් නැතුව මෙහේ ඉන්න පුළුවන්. එහා පැත්තෙ ගෙදර ඉන්නේ ඩොක්ටර් කෙනෙක්. අනිත් පැත්තෙ ගෙදර ඉන්නේ රිටයර් වෙච්ච කපල් එකක්. එයාලගෙ දරුවෝනම් ලංකාවේ නැහැ. මෙහේ හරි නිදහස්. කවුරුවත් එහෙම අනිත් අයගේ ජීවිත වලට එබෙන්න යන්නේ නැහැ. ආන්ටිලත් අනිත් අයට කරදරයක් නොවී තමන්ගේ පාඩුවේ ජීවත් වෙයි කියලා මම හිතනවා. ගෙදර මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් ඉසුරි මට කතා කරන්න.” 

පර්චස් අට පුරාම නිවස සාදා තිබූ අතර මිදුලට  වූයේ සිහින් පටියක්වන් තීරුවකි. එහෙත් සියල්ල පිළිවෙලය.

“දරුවො වුනත් තමන් ජීවත්වෙන පරිසරයට අනුගත වෙලා ජීවත් වෙන්න ගන්නවා. ඉසුරුගේ තියෙන හිතුවක්කාර ගති උනත් අඩුවෙලා යයි. පරිසරය නිහඬ වෙනකොට එයාලත් නිකම්ම  නිහඬ සාමකාමී දරුවෝ බවට පත්වෙයි. ඇත්තටම රාජණී අක්කේ අපිට මේක කලින් ගන්න තිබුණු තීරණයක්.”

මධාරා පවා පැවසූයේ ඒ අයුරින්ය. අම්මා දැන් අන් සියල්ලටම වඩා ඇයව විශ්වාස කරමින් උන්නාය.ඇගේ ජීවිතයට කලක් තිස්සේ නොලැබුණු හොඳ යහළුකමක් ලැබී තිබිණ.

“එහෙනම් ඉසුරි අම්මයි තාත්තයි පුංචි අම්මයි එක්ක නිදහසේ කතා කරලා මට තීරණයක් දෙන්නකෝ.”

අවසන සුලක්ෂා පැවසූයේ ඔවුන්ගෙන් සමු ගනිමින්ය. බොහෝ දිනවල උදෑසන රූපවාහිනී තිරය මත මැවෙන මේ රුව දෙස සියල්ලෝම බලා සිටියේ ගෞරවයක් සිත තුළ තබා ගෙනය. දක්ෂයෙකු වූ තරමටම ජනප්‍රිය වූ තරමටම ඇය නිහතමානීයැයි සියල්ලන්ටම සිතෙන්නට ඇත. සුලක්ෂාට මුලින්ම ස්තූති කලේ සුරංගය. 

සිතූ පරිදිම අපරැක්ක මහතා රාජිණිලාගේ නිවස කුලියට දීම සඳහා තරුණ යුවළක් කැඳවාගෙන පැමිණියේය. ඔහු පැවසූයේ ඔවුන් දෙදෙනා අලුතෙන් ඉදි කළ පුද්ගලික විශ්ව විද්‍යාලයේ ගුරුවරුන් බවය. තරුණිය සිටියේ දරු ප්‍රසූතියකට සූදානමින්ය. තනි නොතනියට ඇගේ මවත් එහි නවතින බව පැවසූයේ නිවස බලන්නට පැමිණි දිනය. නීතිමය කටයුතු සඳහා සහාය වූයේ සුලක්ෂාගේ මිතුරු නීතිඥයාය. නිවස ඉක්මනින්ම අලුත් වැඩියා කලේ ඔවුන්ගේ අවශ්‍යතාවය උදෙසාය. ඒ සඳහා වියදම් කළේ අතිකාරම් මුදලෙන් කොටසකි. සැබවින්ම ඉසුරි සැනසීමෙන් හුස්ම ගනිමින් සිටියාය.

                                  ************-

තවදුරටත් තමා කවුරුන්ද යන්න සඟවාගෙන සිටිය හැකි කමක් බිනරට වූයේ නැත. එහෙත් ඒ බව පවසා ඇගේ සිතෙහි තමා ගැන වූ විශ්වාසය පළුදු කර දමන්නට හැකියාවක්ද නොවේ. 

“උඹ ඕකට ස්ට්‍රෙස් වෙන  එකේ තේරුමක් නෑ බං. ඇත්තම හේතුව ඇත්තම විදිහට කියලා දාපන්. බොරුවක් කලා මිසක් හානියක් කලේ නෑනේ”

“ඒ කෙල්ල අවුරුදු ගාණක්ම ප්‍රශ්නත් එක්ක හිරවෙල ඉඳලා මාව විශ්වාස කරන්න පටන් ගත්තා විතරයි බං.”

“ඒකට කරන්න දෙයක් නෑ ඉතින්. උඹ ඔෆිස් එකට ආවේ වෙනම අරමුණකින්. එන්න කලින් ඉදලා එයාව අඳුරගෙන ඉඳපු චරිතයක් නම් උඹ බොරු කරපු එක අසාධාරණයි කියලා කියන්න තිබුණා. ඒත් මේ එහෙම කෙනෙක් නෙමෙයි නේ. උඹේ ගමනෙදි අහම්බෙන් හම්බවෙච්චච කෙනෙක්.”

“මට මං කවුද කියලා කියන්න ඕන තරම් අවස්ථා තිබුණා. ඒ එක අවස්ථාවකවත් ඇයි මම ඒක කිව්වේ නැත්තේ කියලා එයා හිතයි. ඔය බොහොම අමාරුවෙන් හදාගත්තේ කැඩිලා බිඳිලා ගියපු හිතක් බං. අන්න ඒකයි ප්‍රශ්නෙ. ඔෆිස් එකෙත් පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා. මං හිතන්නේ ඒ මං සම්බන්ධව ප්‍රශ්න. එක පාරටම තාත්තා කොළඹින් පිට බ්‍රාන්ච්වල  සේල්ස් චෙක් කරන වැඩේ වෙන කෙනෙකුට පැවරුවා. මං හිතන්නේ මගේ අතින් ලොකු මිස් එකක් වෙලා තියෙනවා.”

“එතකොට දැන් උඹ මොනවද ඔෆිස් එකේ කරන්නේ?.” 

“තාත්තා කියන ඕනම දෙයක්. වෙලාවකට බෑන්ක් එකට යනවා. වෙලාවකට ට්‍රාන්ස්පෝට් පැත්ත බලනවා. වෙලාවකට සෙල්ස් පැත්ත බලනවා. වෙලාවකට එකවුන්ට්ස් පැත්ත බලනවා. ඉඳලා හිටලා නාට්ටාමි ජොබ් එකත් කරනවා.”

“හොඳ වැඩේ උඹට..”

“තාත්තල මොනතරම් අමාරුවෙන්ද මේ දේවල් ඇදගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා මට තේරෙන්නේ දැන් බං. අපි දැක්කේ ගෙදරට ආපු සල්ලි විතරයි. ඉල්ලන්න කලින් අපිට හැම දෙයක්ම ලැබුණා. පිටින් බලන් ඉන්න මිනිස්සුන්ට පේන්නේ සේවකයෝ සිය ගණනක් වැඩ කරනවා තාත්තා එයාගේ පුටුවට වෙලා එයාලව පාලනය කරනවා විතරයි. ඒ උනාට ඊට වඩා හරි සංකීර්ණ ක්‍රියාවලියක් එතන තියෙනවා බං. කොටින්ම කිව්වොත් මට අද මගේ තාත්තව, සීය තාත්තාව පේන්නේ හීරෝස්ලා වගේ.”

“ඒක හරි බං මෙච්චර පුංචි බිස්නස් එකක් කරගෙන යන මට සමහර වෙලාවට දැනෙන ස්ට්‍රෙස් එක වචන වලින් විස්තර කරන්න බැරි තරම්. මම පාලනය කරන්නේ සේවකයෝ දෙන්නයි. මට හිතා ගන්න පුළුවන්”

“ඒ හැම දේමත් කරගෙන තාත්තා තමන්ගේ පෞද්ගලික ජීවිතෙත් හරි ලස්සනට බැලන්ස් කරගෙන හිනා වෙලා ඉන්න හැටි. මටනං හිතා ගන්නන බෑ බං. එතනට යන්නම ඕනේ ඒක දැනෙන්න. මට ඒ තත්ත්වෙට එන්න තව අවුරුදු දහයක් පහළොවක්වත් ගතවේවි. අන්න ඒ මිනිස්සු තමයි බං අති සාර්ථක මිනිස්සු.”

“සීය තාත්ත පටන් ගත්තනම් තාත්තා මේ මට්ටමට දියුණු කලානම් මේ බිස්නස් එක මෙතනින් එහාට ගෙනියන්න උඹට බැරිකමක් නෑ. අනිත් එක අමතක කරන්න එපා. ඒ හයියත් උඹට තියෙනවනේ.” 

“තාත්තා උනත් තවදුරටත් මම කවුද කියන එක ඔෆිස් එකේ අයට හංගගෙන ඉන්නේ කැමැත්තකින් නෙමෙයි. පොඩි අක්කට මම බල කරන හැම වතාවකම එයා තාත්තට බල කරනවා. ඒත් ඒක තවදුරටත් කරන්න පුළුවන් වෙයිද කියන එක මම දන්නෙ නෑ. ඉසුරිලා රෙන්ට්  කරපු ගෙදර පදිංචියට ගිහිල්ලා ජීවිතය පිළිවෙලක් කරගන්නකල් මට ඇත්ත කියන්නත් බෑ බං. මොකද මං ඉසුරිව හොඳටම දන්නවා. මේ වෙද්දි එයාගේ හයිය මම. මම නැතුව ජීවත් වෙන්න එයාට තවම හයියක් නෑ කියන එක මට විශ්වාසයි.”

“මොකක්ද මං ඒ කතාවේ තේරුම මම නැතුව ජීවත් වෙන්න කියන්නේ.” 

“අනේ මන්ද බං…  මට මහ මොකක්දෝ දෙයක් දැනෙනවා. එයා යාළුකමකට එහා දෙයක් සමහර විට මගෙන් බලාපොරොත්තු වෙන එකක් නෑ කියලා හිතෙනවා. මං කවුද කියලා දැනගත්තට පස්සේ මාව ප්‍රතික්ෂේප කරයි කියලත් හිතෙනවා. මචං මගේ තාත්තා උනත් අක්කා වුණත් ඉසුරිට අනුකම්පා කරනවා විතරයි. එතනින් එහාට දෙයක් එයා ගැන හිතෙන එකක් නෑ සමහරවිට. දන්නෑ බං මේවා කල්පනා කරනකොට මට මාර අමාරුයි.”

මාලිංග මිතුරා දෙස බැලුවේ දිගු සුසුමක් මුදා හරිමින්ය. ඔහු මේ පවසන්නේ මුසාවක් නොවේ. ජීවිතයට මුහුණ දීම, සත්‍යට මුහුණ දීම සිතන තරමට ලේසි පහසු ක්‍රියාවක් නොවන බව විශ්වාසය. බොරුව සුන්දර වන්නේ තාවකාලික කාලයකටය. 

“දැන් නිකමටවත් ඉසුරි එයාගේ අනාගතය ගැන කතා කරන්නේ නැද්ද…”

“එයා නිතරම කියන දෙයක් තමයි බං ‘මං අද දවසේ ජීවත් වෙනවා’ කියන එක. එයා හීන දකින්න බයයිලු. එයා දකින හීන අන්තිමට කෙලවර උනේ දුකකින්ලු”

“අනේ මන්ද බං ඒ කෙල්ලට වෙච්ච දේවල් වල හැටියට එහෙම හිතන එකෙත් අසාධාරණයක් නෑ.”

“බණ කියන්නෙ නැතුව මට මං කවුද කියන එක එයාට කියන්න ක්‍රමයක් හොයපන්කෝ.”

“දැන් ඔය ඔක්කොම කලේ අපෙන් අහ අහනේ. පොඩි සප්‍රයිස් එකක් කියලා කියපන් එතකොට හරි.”

“එහෙම කියන්න තිබුණා අර ක්ලාස් යන කාලෙ හිටපු ශෂීලා, නර්මිලා, ඔනාදිලා වගේ කෙල්ලන්ට නම්. මේක එහෙම පිටින්ම වෙනස්ම ඩයල් එකක් බං.”

බිනර පැවසූයේ හිනහෙමින්ය. සැබවින්ම ඇය දෙවියන්ගේ වෙනස්ම මැවීමකි. 

“උඹ දැකල තියෙනවද අඬල අඬලා ඇස්වල කඳුළු තියාගෙන හිනාවෙන කෙල්ලෝ. මේ හෙන ගහන්න වගේ අඬනවා බං. ඒ තත්පරෙන් ආයෙ හිනාවෙනවා. මං එයාට මාර ලෝභ වෙලා බං.” 

“ඒක දන්නවා. ඉදහන් මම අරය එකත් කතා කරලා මොනවා හරි උඹට සොලියුෂන් එකක් දෙන්නම්. ඉක්මන් වෙන්න ගිහිල්ලා අනාගන්නනම් එපා රජෝ.”

අවසන මාලිංග පැවසූයේ මිතුරාගේ පිටට තට්ටුවක්ද යොදමින්ය. මිතුරා දැන් කීයටවත් ඉසුරිව අත් නොහැර ගන්නා බව විශ්වාසය. ජයවර්ධනලා නරක මිනිසුන් නොවේ. එහෙත් ඔවුන් තම පවුලට ඉසුරි කුමන ආකාරයකින් පිළිගනීදැයි යන්න ගැන අනුමානයෙන්වත් සිතාගත හැකි කමක් මාලිංගට වූයේ නැත. බොහෝ විට මුදල් තිබෙනා මිනිසුන් ඔවුනට එකතු කරගන්නට බලන්නේ මුදල්, තත්ත්වය, වත්පොහොසත්කම් හෝ ජනප්‍රියතාවයය. ඉසුරිට ඒ කිසිවක් නැති බව විශ්වාසය. ඊයේ පෙරේදා මාලිංග තම පෙම්වතිය සමග කතා කරමින් සිටියේත් ඒ ගැනය.

“එහෙම දෙයක් වුණොත් මූ අනිවාර්යයෙන් පිස්සු කෙලිනවා. ඒක නවත්තන්න අපි කාටවත් බෑ. බිනර කියන්නේ උගේ අම්මටයි තාත්තටයි මාර ආදරේ කොල්ලෙක්. දවසක ඌ  ඉසුරියි ජයවර්ධන ෆැමිලි එකයි අතරේ අතරමං වෙනවා කියන්නේ මට තේරෙන්නේ නෑ ඌට කොතනකින් නතර වෙන්න සිද්ධ වෙයිද කියලා.”

“හැමදේටම කලින් ඉසුරි එයා කවුද කියලා දැනගන්න වෙයි නේද. එයාලගේ එෆෙයාර් එකේදී වෙන ප්‍රශ්න වලට එක්කෙනෙක් තනියම මුහුණ දෙනවට වඩා දෙන්න එකතු වෙලා මුහුණ දෙන එක වඩා පහසුයි. මං හිතන්නෙ නෑ මොනම හේතුවක් නිසාවත් බිනර අයියා ඉසුරිව අතෑර ගන්න කැමති වෙයි කියලා. එයා මාර ආදරෙයි අප්පා.”

“මොනවා කරන්නත් මූ ඉස්සර වෙලා කියලා ඉන්න එපැයි මුන් දෙන්න අතරෙ තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්ද එෆෙයාර් එකක්ද කියලා.”

“ඔයාට ඒක තේරෙන්නේ නැද්ද අනේ….

“ඔව් ඉතින් අපි දෙන්න මේ කරන දේම තමයි උන් දෙන්න කරන්නෙත්. සමහර දේවල් ඉතිං චුට්ටක් අඩු වැඩි වෙනවා ඇති. අර අපි දෙන්නා අඳුර ගත්ත මුල් කාලෙ මෙහෙම ශාන්ත දාන්ත විදිහටනේ හිටියේ. ඒකට යාළුකමක් කියලා කියන්න බෑනේ.”

මාලිංග පැවසූයේ උස් හඬින් හිනැහෙමින්ය. මේසය මත වූ ජංගම දුරකථන කොටසක් ඒ මේ අත කරකවමින් බිනර තවමත් කල්පනාවේය.

                                         ***************

මාමා නිවසට පැමිණ ගියේ ඉසුරු විසින් දීර්ඝතම පණිවිඩයක් පාරින්දට යැව්වාට පසුවය. කලෙක සිට ඕ  කලකිරීමෙන් පසු වූ බවත් සියල්ලටම වඩා අම්මා සේම සහෝදරයාත් සහෝදරියත් ඇයට වැදගත් බවත් එහි පුන පුනා ලියා තිබිණ. වසර ගණනක් තිස්සේම අනාදරය මැද හැදී වැඩී කරදරකාරී ජීවිතයක් ගෙවූ ඇය සදාකාලිකවම කඳුළ මැද ජීවත්විය යුතුදැයි අසා තිබුණේ ප්‍රශ්නාර්ථ ලකුණක්ද යොදමින්ය. 

ඒ දීර්ඝ පණිවිඩය කියවූ පාරින්දට හෙළුනේ දිගු සුසුමකි. 

“ජීවත් වෙන්න කසාදයක් ඕනෙම නෑ අයියේ. ජීවත් වෙන්න අවශ්‍ය සතුටයි, මානසික නිදහසයි විතරයි. ඒක මං තේරුම් ගත්තේ මට ඒ දෙකම අහිමිවුන නිසා. කවුරු කොහොම මොන විදිහට කිව්වත් ඔයාගේ හිත දන්නවා මම හරිම පරිස්සමට ජීවත් වෙච්ච කෙල්ලෙක් කියලා. ආපහු හැරිලා යන්න තැනක් මට නෑ අයියේ. අදටත් අම්මගේ තාත්තගේ ජීවිතේ සිද්ධ වෙච්ච ප්‍රශ්නවල අමිහිරි මතක මගේ හිතේ ශේෂ වෙලා තියෙනවා. ඔයත් මමත් දවසක වෛරක්කාරයෝ වෙන්න ඕනෙ නෑ අයියේ. හැමදාම මං ඔයාගෙන් හෙව්වේ ආදරය රැකවරණය කරුණාව විතරයි. ඒ වගේම මට නොලැබුනෙත් ඒ දේවල් විතරයි. ජීවිතේ වෙනත් මානයකට ඔයාව ගෙනියන්නෙ නැතුව හැමදාම මගේ ලොකු අයියා විතරක් වෙලා හිටියනම් ඒක කොච්චර හොඳයිද කියලා මම පහුගිය කාලය පුරාම හිතුවා. එහෙනම් අපි පස් දෙනාම අදටත් ඉස්සර සෙල්ලම් ගෙවල් දාපු කාලෙ වගේ ආදරයෙන් ඉන්නවා.”

ඇගේ ඒ පණිවිඩයේ සමහර තැන් දෑස් වලට කඳුළු උනාඑන තරමටම හදවතට දැනුණු වදන්ය. ඊට පිළිතුරු ලෙස කුමක් සටහන් කරන්නදැයි පාරින්දට සිතා ගත හැකි වූයේ නැත. ඔහු සිටියේ කෝපයත් වේදනාවත් අතර අතරමංවය.

“සමහර විට මගේ ජීවිතය තනියෙන් ගත වේවි. ඒ ගැන මට දුකක් වේදනාවක් නෑ අයියේ. විශ්වාස කරන්න ඔයා මගේ ලඟ ඉන්නවා කියලා දැනිච්ච දවස්වලට වඩා අද මං සතුටින් සැනසීමෙන්. සතා සර්පයා උනත් හොයන්නේ මිනිසුන්ගේගේ ආදරේ. ගෑණු අය විශේෂයෙන් ආදරේට හරි ලෝබයි. ඒක මට කියලා වෙනසක් වෙන්න විදිහක් නෑ අයියේ. ඔයාගේ ජීවිතයට හැමදාම හොඳක්ම වෙන්න ඕනේ. ඉවසීමෙන් ජීවත් වෙන්න අයියේ. සමහර හදිසි තීරණ වලට වඩා සතුටක් අපි ඉවසීමෙන් ගන්න තීරණ ඇතුළෙ තියෙනව කියල ඔයාට දවසක දැනේවි. කැඩුණු බිඳුණු පළුදු වෙච්ච හිත් ආපහු හදන්න බෑ. ඒක ඔයාට මට විතරක් නෙමෙයි. නැන්දට, අපේ අම්මට, තාත්තට මේ හැමෝටම පොදුයි.”

පාරින්ද සිය වතාවකට වඩා ඒ දීර්ඝ පණිවිඩය කියවන්නට ඇත. එහෙත් ඔහු තම මව සමග සමග හෝ මිතුරන් සමග ඒ කිසිවත් නොකීවේය. පසුගිය දින කිහිපය පුරාම බොහෝ විට නිවසින් පිටව යන ඔහු යළි නිවසට පැමිණෙන්නේ බීමත්වය. කලක සිට පැවැති ඒ පුරුද්ද තවදුරටත් වෙනස්කල නොහැකි එකක්  බව දැන් නාලනීට විශ්වාසය. ඊයේ පෙරේදා රැකියා ස්ථානයෙන් පවා ඔහුට ලිපියක් ලැබී තිබුණේ නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් විනය පරීක්ෂණයකට සූදානම් විය යුතු බව පවසමින්ය. සොහොයුරා පැමිණෙද්දී ඉසුරිලා  හොර රහසේම ගෙවල් හැරදා යාමට සූදානම් වන පුවත නාලනීට ආරංචි වී බොහෝ වේලා ගතවී තිබුණේ නැත. ඕ සිටියේ පරල වීගෙනය.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles