ළතෙත් ආදර හැඟුම් ගංගා – 68

*නාද්‍යා සොනාලි සල්වතුර*

මම ඇඳේ කොනකට වෙලා ගුලිවෙලා හිටියත්, මගේ ඇස් දෙකේ තිබ්බේ එකම එක දෙයක් ලියවිල. නිදිනැතිකම අස්සට පෙරිලා ආව හිත් වේදනාව තිබ්බෙ ඒ රෑ පුරාවටම මාව නැගිටවලා තියලා. එළියෙ හඳ පායලා තිබ්බට, ඒ හඳ එළිය මගේ කාමරේට ආවත්, ඇත්තටම මගේ හිත තිබ්බෙ කළුවර වෙලා. ඒ හඳ එළිය මගේ ආදරෙන් අන්ධවෙලා තිබිච්ච මගෙ ඇස් අස්සට ඇවිත් වැදුණෙ හරිම වේදනාකාරී විදියට. මම හිටියෙ හරිම නොසන්සුන්ව, හිත ඇතුළේ දහස් ගණන් දේවල් හිතන ගමන්.

කාමරේට තිබ්බ එකම ඇඳේ එක පැත්තක මම හාන්සිවෙලා ඉද්දි, අනිත් පැත්තෙ කෙළවරේ උන්නෙ තාරානාත්. අපි දෙන්නා මැද්දෙන් කොට්ට දෙකක් දෙපැත්තෙ තියාගෙන හාන්සිවෙලා උන්නෙ අහස්. අහස් උන්නෙ හොඳටම නිදාගෙන. තාරානාත් උන්නෙත් හොඳටම නිදාගෙන වෙන්නැති කියලා මට හිතුනෙ කිසිම විදියක හෙල්ලිල්ලක් පෙරලිල්ලක් නැතුව එයා හාන්සිවෙලා උන්න හන්දා. අහස්ගෙ පුංචි අත පොඩි මල් වැලක් වගේ මගේ අතේ එල්ලිලා තිබුණා. මේ පාලු අන්ධකාර හීතල රෑ ඒක තමයි මේ ලෝකේ මට තිබ්බ එකම උණුසුම විදියට මට දැනුනෙ. 

මම හිත ඇතුළෙන් තාරානාත් එක්ක කතා කරා. මට ඕන උනා එයාට ආයෙ ආයෙ එක්ස්ප්ලේන් කරන්න. වරදක් වෙච්ච බව ඇත්ත නමුත් ඒක මට සමාව දෙන්න බැරි තරම් ලොකු වැරැද්දක්ද කියලා අහන්න.

 “ඔයාට තේරෙන්නේ නැද්ද, මම ඇයි එහෙම කළේ කියලා? මම බය වුණා, දහම්. මම ඔයාටයි, මේ දරුවාටයි ඕනවටත් වඩා ආදරේ වෙච්ච නිසා මම බය වුණා. ඒ වෙලාවෙ මට තිබ්බ ලොකුම හයිය වගේම දුර්වලකම උනෙත් ඒ ආදරේම තමයි.” කියලා එයාට කියන්න මට ලොකුවටම උවමනාව තිබ්බත් තාරානාත් මං කියන කිසිම දෙයක් අහන්න ඕනකමක් නොදැක්කුව එකේ මට ඒව කියන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.

මගේ හිතේ තිබ්බ සමාව ඉල්ලන හැම වචනයක්ම, එයාගේ ‘එක වචනයක්වත් කියන්න එපා’ කියන නියෝගය යටතේ මැරිලා ගිහින් තිබුණා. එයා මාව විශ්වාස කරන්නේ නෑ. එයා මාව අත්හැරලා ඉවරයි කියලා මම හොඳටම දැනගෙන හිටියා.

මගේ ඇස් පියවෙන්නේ නැති හන්දම මම හෙමීට ඔලුව හරවලා අහස් දිහා බැලුවා. ඒ පුංචි මූණ දකිද්දි හිතට ආව එකම එක කාරණාවක් මගේ හිත අළු කරලා දැම්මා. ඒ මම මගේ දරුවටත්, මගේ ආදරේටත් වරදක් කළා කියන එක.

මේ රෑ හරිම දිගයි. මම දන්නවා, හෙට උදේ වෙද්දිවත් මට එයාට මුහුණ දෙන්න පුළුවන් වෙයිද? තාරානාත් මාත් එක්ක කතා කරාවිද? මාව පිළිගනීවිද කියන එක ගැන මං කල්පනා කරලා බැලුවා.

නින්ද යන්නෙ නැතිහන්දම තමයි මම ඇඳෙන් හීන් සැරේ නැගිටලා ගිහින් කාමරෙන් එළියට යන්න හදලා තිබිච්ච බැල්කනියට ගිහිල්ල ඒ බැල්කනියෙ තියලා තිබිච්ච දිග සෙටියෙ ඇලවුනේ.

*තාරානාත් දහම් වංශනායක*

මම ඇඳේ හාන්සිවෙලා හිටියට, ඇත්තටම මගේ ඇස් පියවෙලා තිබුණේ නෑ. 

මම හිටියේ බලෙන් නිදාගන්න හදන ගමන්. මොකෝ ඇහැරගෙන ඉන්න තරමට මගෙ පපුවට මාර අමාරුවක් දැනුනෙ. පොඩි කාලෙකට හරි ඒ අමාරුවෙන් මිදෙන්න නිදාගන්න එක ලේසි කියල තමයි මට හිතුණෙ. මගේ මුළු ඇඟම තිබුණේ තද වෙලා. හිත ඇතුළේ නාධ්‍යාගේ වචන දහස් වාරයක් දෝංකාර දෙනවා. මම බය වුණා, දහම්… මම ඔයාටයි, මේ දරුවාටයි ඕනවටත් වඩා ආදරේ වෙච්ච නිසා මම බය වුණා.’ කියලා එයා කිව්ව වචන මතක් වෙද්දි මට හිනා ගියා. 

ආදරේ? ආදරේ නිසාද මාව මේ විදියට විනාශ කළේ? මට මේ විදියෙ දුකක් දුන්නෙ?

මම හෙමීට හැරිලා අහස් දිහා බැලුවෙ හිත ඔන්න ඔය විදියට කලබල කරද්දි. එයා හොඳටම නිදි. පුංචි අතක් හරි සැහැල්ලුවෙන් වගේ මගේ පපුවට උඩින් වැටිලා තිබ්බා. “මේ දරුවා හන්දා නේද මම තාම මේ විදියට මෙතන ඉන්නෙ, හුස්ම ගන්නෙ” කියන එක මට මතක් වුණා. ඊට පස්සේ තමයි මගේ ඇස් නාධ්‍යා නිදාගෙන උන්න පැත්තට ඇදිලා වගේ ගියේ. 

මගේ හිත එකපාරටම ගැස්සුණේ නාධ්‍යා නිදාගෙන උන්න පැත්ත හිස් වෙලා තියෙනවා දැක්කම.

මට ඇත්තටම කල්පනා කරන්න ඉතුරුවෙලා තිබ්බෙ එකම එක දෙයක් විතරයි.

“නාධ්‍යා ආයෙ මාව දාලා ගිහිල්ලද?”

මම හෙමීට, පරිස්සමෙන්, ඇඳෙන් නැගිට්ටෙ අහස් ඇහැරෙන්නෙ නැතිවෙන්නෙ. පොළොවට අල්ලලා තිබිච්ච ටෙරාකොටා එකෙන් මිදිලා ඇඉත් මගේ යටි පතුලට දැනුණේ අයිස් කැටයක් වගේ සීතලක්. ඒ හීතල එක්ක මගේ හිතේ තිබ්බ හැම තරහක්ම, දුකක්ම එකපාරටම පහවෙලා ගිහින් ඒ වෙනුවට “නාධ්‍යා ආයෙ මාව දාලා ගිහිල්ලද?” කියන විචිකිච්චාවක් රිප්ලේස් වෙලා තිබුණා. ඉතුරු වෙලා තිබ්බේ කිසිම හයියක් නැතිකමකුයි, දරාගන්න බැරි වේදනාවකුයි විතරයි. 

සීතල හඳ එළිය තිබ්බෙ බැල්කනියට වැටිලා. නාධ්‍යා හිටියේ එතන. එයා දිග සෙටියෙ හාන්සිවෙලා, අහස දිහා බලාගෙන උන්නෙ ලොකුම ලොකු කල්පනාවක් අස්සෙ ගුලිවෙලා. ඒ ඇස් දිලිහෙනවා වගේ මම දැක්කට දිළිසෙන සියල්ල රත්තරන් නෙවෙයි කඳුළු වෙන්නත් පුලුවන් කියන එක මට එක තප්පරේකට හිතුනා. එයා උන්නෙ සෙටියෙ ගුලිවෙලා වගේ තමයි. හරියට එයාට හොඳටම සීතලයි වගේ. එයා උන්නෙ මට පිටිපස්ස හරවගෙන.

අන්න ඒ වෙලාවෙ තමයි ඇත්තටම මෙච්චර දවසක් මම හිත අස්සෙ හිරකරගෙන උන්න නාද්‍යා ගැන හැම තරහක්ම හේදිලා ගිහින් මම නාද්‍යා දිහාව අනුකම්පාවෙන් බැලුවෙ. මම දැක්කෙ, මාව දාලා ගිය “නපුරුයි” කියලා මම හිතුව ගෑනි නෙවෙයි. බයෙන් වෙව්ලන, දුක් විඳින අහිංසක කෙල්ලෙක්ව. ජීවිතේ තිබ්බ හැම අඩියක්ම වගේ වැරදියට තිබ්බ කෙල්ලෙක්ව. මම මුලින් ආදරේ කරපු, මගේ අතින් ගිලිහිලා යන්න ගියපු මගේ නාද්‍යාව. 

මම එයාගේ පිටිපස්සෙන් නිහඬව හිටගත්තා. මම සද්දයක් කළේ නෑ. මට උවමනා වුණේ නෑ එයාගේ කල්පනාව බිඳින්න. ඒ නිසාම මම එයාට එයාගේ කල්පනාව අස්සෙ හිරවෙලා ඉඳලා ඒ තනිකම විඳින්න ඉඩ හදලා දුන්නා. 

“මේ දවස කොච්චර ලස්සන දවසක් වෙන්න තිබ්බද නාද්‍යා මේ පිස්සුව නැටුවෙ නැත්තම්?” කියලා හිතද්දි නොහිතම වගේ තමයි මගෙන් ගැඹුරු හුස්මක් හයියෙන් පිට වුණේ. 

ඒ සද්දෙට නාද්‍යා ගැස්සිලා වගේ හැරිලා බැලුවා. ඉන්පස්සෙ කලබල වෙලා වගේ සෙටියෙන් බහින්න හදද්දි තමයි මම හෙමීට කතා කළේ. 

“නින්ද යන්නෙ නැද්ද?” කියලා මම අහද්දි එයා ගැස්සිලා ආයෙ මං දිහාව බැලුවා. එයාගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. එයාගෙ මූණෙ තිබ්බෙ මහ පුදුමයක්. එයා හිතන්න නැතුව ඇති මම කීයටවත් මෙතනට එයි කියලා. එයා හිතන්න ඇත්තේ මම තාමත් තරහෙන් ඇඳේ නිදාගෙන ඉන්නවා කියලා.

“දහම්… මම…”

“මං ඒත් බැලුවා ඇඳේ නැතිවෙද්දි ආයෙ කියන්නෙම නැතුව ගිහිල්ලද කියලා” කියන ගමන් තමයි මම එයාට එහා පැත්තෙන් ඒ සෙටියෙ වාඩි උනේ. මගෙ ඒ වචන වලට ලැජ්ජ හිතිලද මන්දා නාද්‍යා කරේ හයියෙන් හුස්මක් ගන්න ගමන් ආයෙ ඈත් පේන හඳ දිහාව බැලුවා.

මම එයාගේ ඇස්වලට කෙළින්ම එබිලා බැලුවෙ ඒ ඇස් අස්සෙ තිබිච්ච වේදනාව අඳුරගන්න වගේ.

“මටත් නින්ද ගියේ නෑ”

“මං හන්දද?”

“හැමදේම වෙන්නෙ ඔයා හන්දා කියලා හිතන්න එපා නාද්‍යා”

“ඔයා හවස කිව්ව දේවල් එක්ක එහෙම ඇරෙන්න මට හිතන්න වෙන විදියක් නෑ නේද දහම්?”

“මං ආවෙ රණ්ඩු වෙන්න නෙවෙයි නාද්‍යා. මේ ගත්ත තීරණෙන් අපි දෙන්නයි දරුවයි දෙන්නම දුක් වින්ද එක විතරයි නේද නාද්‍යා උනේ. වෙන කිසිම හොඳක් උනේ නෑ නේද අපිට? අර පුංචි ගෙදර ඔයා මේ දරුවවත් තියාගෙන හිටියෙ කොහොමද කියලා හිතෙද්දිත් මට දරාගන්න හරි අමාරුයි නාද්‍යා. එහෙම දුකක් විඳින්න ඇත්තටම ඔයාට කිසිමාකාරෙක හේතුවක් තිබ්බෙ නෑනෙ. එහෙමෙකේ…”

“මට සමාවෙන්න දහම්”

“මෙච්චර දේවල් උනාට පස්සෙත් පිස්සෙක් වගේ ඔයාට ආදරේ කරන මගෙ හිතට බැරිකමක් නෑ නාද්‍යා ඔයාට සමාව දෙන්න. ඒත් මට තාම තේරෙන්නේ නෑ ඇයි කියලා, ඇයි කියලා ඔයා මට මේ විදියට වේදනාව්ක දුන්නෙ? මහ අන්ධකාර හීනයක් වගේ මට මෙ හැමදේම දැනෙන්නෙ නාද්‍යා”

එහෙම කියලා මම එයා දිහා බැලුවේ හරිම අසරණකමකින්. ඒ වෙද්දිත් නාද්‍යා මං දිහාව බලාගෙන උන්නෙත් හරියට සමාව ඉල්ලන්න වගේ. 

ඒත් මට ඕන උනේ එයාට සමාව දෙන්න නෙවෙයි.

මට ඕන වුණේ එයාට වේදනාවක් නොදී ඉන්න.

ආයෙ කිසිම දවසක.

ඒ නිසාමයි මම හීන් සැරේ පාත්වෙලා ඒ නාදළු වගේ තොල්වලට බර වුණේ.

“අනේ දහම්” කියලා නාද්‍යා මගේ බෙල්ල වටේ අත් දෙක යවද්දි මම එයාව මගේ උකුල උඩ වාඩිකරවගත්තා.

ඒ රෑ තිබ්බෙ හරිම නිස්සද්දෙට. හඳ එළියට මාවයි නාද්‍යාවයි වහගෙන අහසෙන් පොළොවට වැක්කිරිලා තිබ්බෙ ඕනවටත් වඩා රොමාන්තික විදියට.

ඒත් ඒ හඳ එළියෙ, දිගම දිහ උණුම උණු හාදුවකින් එහාට යන්න තරම් ඉඩක් අපිට එතන තිබ්බෙ නෑ.

හැබැයි…

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles