*තාරානාත් දහම් වංශනායක*
“ඔයා මේ භාරගත්තෙ අනාථ වෙච්ච ගෑනියෙක්වයි දරුවෙක් වයි” කියලා නාද්‍යා කියන හැම වතාවකම මට එයාට දෙන්න තිබුණෙ එකම එක උත්තරයක් විතරයි. හැමදාම රෑට සිපගැනීම් දහස් ගාණකට පස්සෙ මගේ පපුවට තුරුල් වෙල නාද්‍යා ඒ කතාව අමතක නොකර වගේ කියද්දි මට කියන්න තිබ්බෙ එකම එක දෙයක් විතරයි.
“තාත්තා කෙනෙක් වීම කියන්නේ ලොකුම ලොකු වගකීමක් දරන එක බව මම දැනගෙන උන්නත්, මම ඒ වගකීම භාරගත්තෙ ආසාවෙන් නාධ්‍යා.
ආසාවෙන් කියන්නේ මම ඒ වගකීම භාරගත්තෙ “මං මේක කරන්නෝන යුතුකමක්” කියලා හිතලා නෙවෙයි මං ඇත්තටම ඔයාට වගේම අහස්ට ආදරේ කරන හන්දා. මට ඔයාලා දෙන්නව මගේ ළඟ තියාගන්න ඕන උනේ ලෝකෙට හොඳ මනුස්සයා වෙන්න නෙවෙයි. මගෙ හිත සන්තෝසෙන් තියාගන්න. එහෙම බැලුවම මං මේ හැමදේම කරන්නෙ මහ ආත්මාර්තකාමී හැඟීමකින් නාද්‍යා. මට ඔයාවයි දරුවවයි මගෙ කරගන්නයි ඕන. සදහටම මගෙ කරගන්නයි ඕන. ඒක මගේ ආත්මාර්තකාමී ආදරේ මිසක්කා වෙන දෙයක් නෙවෙයි.
අනික මං කවදාවත් ඔයාව අනාථ ගෑනියෙක් විදියටවත් අහස් අනාථ දරුවෙක් විදියටවත් දැක්කෙ නෑ. ඇත්තටම අනාථ වෙලා උන්නෙ මං නාද්‍යා. ඔයා මගෙ ජීවිතේට ආවට පස්සෙ තමයි නාද්‍යා ඇත්තටම මට මම ජිවත්වෙනවා කියලා තේරුම් ගියේ. මං ඔයාටයි ඇත්තටම තෑන්ක් කරන්නෝන මගෙ ජීවිතේට වටිනකමක්, තේරුමක් දුන්නට”
මං ඒ වචන ඇත්තටම මීන් කරා. එහෙම නැතුව අර ගෑනියෙක් එක්ක නිදාගත්තම ඉමෝශනල් වෙන පිරිමියෙක් දෙන උත්තර වගේ බොරුවක් නාද්‍යාට කරන්න මට කිසිමාකාර හේතුවක් තිබ්බෙ නෑ. මං ඇත්තටම ඒ දෙන්නට ආදරේ කරා. මාව බඩෙන් වදාපු අම්මා මාව දාලා ගියපු ලෝකෙක, අම්මාගෙ ආදරේ අහිමිවෙච්ච දරුවෙක් විදියට සදාකාලික හංවඩු ගැහිච්ච දරුවෙක් වෙච්ච මට ප්‍රශ්න කන්දක් මැද්දෙත් තමන්ගෙ දරුවව අත ඇරියෙ නැති නාද්‍යාව දැක්කෙ හරි උතුම් ගෑනියෙක්, අම්මෙක් විදියට. මං ආදරේ කරේ නාද්‍යා කියන ලස්සන කෙල්ලට නෙවෙයි. නාද්‍යා කියන ඒ හිත හයිය අම්මට. මගෙ ජිවීතේ කවදාවත් නොඉඳපු අන්තිමේ මට බිරින්දෑ කෙනෙක් විදියට හම්බෙච්ච අම්මාව. නාද්‍යාව.
ඒ වගකීම් සහගත ආදරේ තමයි, මගේ හිතේ තිබුණු තැලීම්, වේදනාව සහ ඔළුවේ කැරකෙන ප්‍රශ්න ගොඩ මැද්දේ වුණත්, මට කෙළින් හිටගන්න හයිය දුන්නේ. මගේ හිතේ තිබුණේ පුදුම හයියක්. ඒ හයිය ආවේ මගේ දරුවා ආරක්ෂා කරන්න ඕන කියන හැඟීම හන්දා.
සමහරවිට තාත්තා කෙනෙක් වෙනවා කියන්නෙ ඒක වෙන්නැති.
ඇත්තටම ‘දරුවෙක්ව දස මාසයක් කුසේ තියාගෙන ඉන්න අම්මා කෙනෙක්’ ගැන අපි කොච්චර කතා කරනවද නේද? ඒක ඇඟට දැනෙන බරක්. ඒක ඇත්ත. තාත්තා කෙනෙක්ට හිතේ කොච්චර බරක් තියාගෙන ඉන්න වෙනවද දරුවෙක් සම්බන්ධව කියන එක මට ඇත්තටම තේරුණේ මං තාත්තා කෙනෙක් උනාට පස්සේ තමයි.
ඒක මගේ ඇඟට දැනෙන බරක් නෙවිච්ච බව ඇත්ත, හැබැයි ඒක මුළු හිතටම දැනිච්ච බරක්. හරියට අර මහමේරුව වගේ විසාල ගලක් පපුව උඩ තිබ්බා වගේ බරක්. මොකද මේ දරුවාගේ මුළු අනාගතේම වගේම නාද්‍යාගෙ ජීවිතේ වහකීම තිබ්බෙත් මගෙ අත් දෙකේ හන්දා.
මගේ කතාවේදී නම් ඒ බර තව ටිකක් වැඩි උනා. මොකද මොකක් හරි මං පෙර ආත්මෙක කරපු පවකට අහස් මගෙ බයොලොජිකල් දරුවෙක් නොවිච්ච හන්දා. ඒ නිසා මට තිබ්බෙ හැම වෙලාවෙම යුද්ධ කරන්න බලාගෙන ඉන්න වෙච්ච ජීවිතයක්. මොකද අහස්ට මං කොච්චර ආදරේ කරාද ඒ හන්දම “මම තමයි මේ දරුවාගේ තාත්තා” කියලා ඔප්පු කරන්න මට සෑහෙන යුද්ධයක් කරන්න වෙන විත්තිය මම දැනගෙන උන්නා. ඒක නීතියට විතරක් නෙවෙයි. මගේ හදවතටත් හැමදාම ඔප්පු කරන්න සිද්ධ වෙන දෙයක් කියන එක මම දැනගෙන උන්නා.
ඒ බර තමයි මගේ ශක්තිය වුණේ. ඒ බර මම දරාගත්තෙ කැමැත්තෙන්.
ලෝයර් කිව්වා වගේම අපි ඉක්මනින්ම දරුවගේ භාරකාරත්වය ඉල්ලා පෙත්සමක් දාන්න ලෑස්ති වුණා. මම උත්සාහ කළේ පුළුවන් තරම් මගේ වැඩ කටයුතු සාමාන්‍ය විදියට කරගෙන යන්න.
මම එදා හිටියේ ඔෆිස් එකේ, පුරුදු විදියටම මගේ මේසයේ වාඩි වෙලා, කල්පනා ලෝකෙක අතරමං වෙලා.
ගයාන් මුලින්ම ගෙදරට ඇවිල්ලා වෙච්ච දේවලින් පස්සේ, මගේ හිතේ ලොකු බයක් තිබ්බා මිනිහා ආයෙ මොන විදියකට හරි අපිට කරදර කරාවි කියලා. මිනිහා නිස්සද්දව ඉන්න එකම මම භාරගත්තෙ මහ කුණාටුවක් එන්න ලෑස්තියි කියන අනතුරු ඇඟවීමක් විදියට. ගයාන් කොයි වෙලාවේ කඩා පාත් වෙයිද කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒ නිසාම නාද්‍යාවයි දරුවා අහස්වයි තනියෙන් ගෙදර තියලා වැඩට එන්න මට බය හිතුණා. මම ඒ දෙන්නවත් එක්කරගෙන ඔෆිස් ආවෙ “අඩුම ඔයාලා දෙන්න මං ළඟ උන්නම මගෙ හිතට සැනසීමයි” කියන්න වගේ.
“එහෙමයි කියලා ගයාන් මොකෝ මොනාහරි කරදරයක් කරොත් ඔයා මැදට පැනලා අපිව බේරගන්න කියලද අනේ?”
“ඇයි ඔයා හිතන් ඉන්නෙ මට එහෙම කරන්න බෑ කියලද?”
“බෑ කියලා නෙවෙයි දහම් මං අහන්නෙ ඔයා මමයි මේ දරුවයි වෙනුවෙන් එහෙම කරන්නෝනද කියලා”
“කරන්නෝනද කියලා ඔයා ඒ කතාව අන්තිමට ප්‍රශ්නාර්ථයක් දාන්නෝන නෑ. කරන්නෝන තමයි. ඔයාට වෙන කවුරුවත් ඉන්නවද මම ඇරෙන්න ම්ම්?” කියලා මම මගෙ කමිසෙ බොත්තම් දාන ගමන් උන්න නාද්‍යාගෙ ඉණ වටේ අත දාලා පපුවට තුරුල් කරගෙන කිව්වෙ ඇත්තටම.
“ඒත් අපි වෙනුවෙන් ඇයි එහෙම රිස්ක් එකක් ගන්නෙ?”
“ආදරේ හන්දා නාද්‍ය ආදරේ හන්දා. මේ හැමදේම මම කරන්නෙ ආදරේ හන්දා නාද්‍යා. ඔයාටයි දරුවටයි තියෙන ආදරේ හන්දා. ගයාන් ඉස්සරහට නෙවෙයි නාද්‍යා මරණෙ ඉස්සරහට යන්න උනත් මම ඕකේ ඔයයි පුතයි වෙනුවෙන්” කියලා මම කියද්දි නාද්‍යාගෙ හීනි ඇඟිලි මගෙ වචන නතර කරන්න වගේ මගෙ දෙතොල් උඩට ආවට මං කරේ ඒකට හිනාවෙච්ච එක.
“මගෙ වචන නවත්තන්න නම් ඔහොම කරලා මදි”
“එහෙනම්?”
“මෙන්න මෙහෙම” කියලා ඒ වෙලාවෙ හිතේ තිබ්බ බය, සැක ඔක්කොම හාදුවක් අස්සෙ හංගන්න මට පුලුවන් උනාට රියැලිටි එකෙන් බේරෙන්න එහෙම බෑ කියන එක මම දැනගෙන හිටියා. ඒ නිසාම මම ඔෆිස් එකට නාද්‍යාවයි දරුවවයි අරගෙන ආවා. මගේ ඇස් මායිම අස්සෙ ඒ දෙන්නා ආරක්ෂිතයි කියලා මම හිතාගෙන හිටියා. මම පිරිමියෙක් හන්දා තව පිරිමියෙක් එක්ක “මගේ ගෑනි” වෙනුවෙන් හැප්පෙන එක මහ දෙයක් නෙවෙයි කියලා මම හිතාගෙන උන්නා. හැබැයි මෙතන ඇත්තටම මට හැප්පෙන්න තිබ්බෙ පිරිමියෙක් එක්ක නෙවෙයි මහ විසඝෝර සර්පයෙක් එක්ක කියන එක මට අමතක වෙලා තිබ්බෙ.
මං වැරදි බව ඔප්පු වුණේ මං නොහිතුව වෙලාවක රිසෙප්ශන් එක පැත්තෙන් ඇහිච්ච මහ විසාල සද්දෙට.
“උඹලා ඔක්කොමලා බොරුකාරයෝ! මගේ දරුවව මගෙන් පන්නගන්න හදන බල්ලො! මහ ලොකු වංසක්කාරයා, අනුන්ගෙ ගෑනුයි ළමයිනුයි හොරෙන් පන්න ගන්න හදන වල් බල්ලා. එළියට වරෙන් මහ ලොකු චණ්ඩියා” කියාගෙන ආව ඒ සද්දෙ අයිති ගයාන්ට කියන එක වගේම උඩ තට්ටුවට නගින යකඩ පඩිපෙල දඩ දඩ ගාගෙන සද්ද කරගෙන උඩට එන්නෙ ගයාන් කියන එක තේරෙද්දි මට මාව අමතක උනා.
මං මාව අමතක කරලා දැම්මා.
මං මගේ පපුව අස්සෙ හංග ගත්තෙ මට මේ ලෝකෙ මගෙ කියන්න උන්න වටිනම වස්තු දෙක.
“මගෙ කෙල්ලයි මගෙ දරුවයි”
——————————————————————————————————————————-මේ දවස්වල අපේ පුංචි රටට වෙච්ච ලොකුම ලොකු කරදරේ මැද්දෙත් අපි එක්ක දිගටම එක්කහු වෙලා ඉන්න ඔයාලාට බොහොම ස්තුතියි.
කන්න බොන්න තියා හුස්මක් ගන්නවත් පුලුවන් කාලෙක, වාතාවරණයක නෙවෙයි අපි ඉන්නෙ. මේ අපේ රටේ අපේම මිනිස්සු වෙනුවෙන් අපේ හිත් වැලපෙණ කාලයක්. එහෙම කාලෙක අපිට ඇත්තටම කරන්න පුලුවන් මේ රටේ හැමෝටම සම්මා සම්බුදු සරණයි කියලා පතන එක වගේම පුලු පුලුවන් හැටියට අපේ මිනිස්සුන්ට මොනා හරි විදියකින් උදව්වක් කරන එක.
හිතට හරි මහන්සි කාලයක්.
Smartlady සමූහයේ අපේ සියල්ලන්ම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. කවුරුන් හෝ අවතැන් වෙලා ඉන්නවානම් අපෙන් යම් උදව්වක් ඕන නම් අපිට ඒ ගැන දැනුවත් කිරීම් කරන්න.පුලුවන් හැම විදියකින්ම අපි අපේ සහය දෙන්න සූදානම්!
මේ ප්‍රශ්නෙදි අපි හැමෝම ඉන්නෙ විපතට පත්වෙලා. අපි කවුරුවත් “බේරිච්ච මිනිස්සු” විදියට සලකන්න අපිට බෑ.
රටක් විදියට අපි ප්‍රශ්න කඳු ගොඩක් පහු කරගෙන ආව ගමනක් මේ. ආයෙ නැගිටින්න වෙච්ච අවස්ථාවක් මේ.
අපිට පුළුවන් එකතු වෙලා මේ කන්දත් නගින්න. මේ සටනත් දිනන්න.
ඒ සටනට මූණ දෙන ඔයාලා වෙනුවෙන් අපේ සහයෝගය හැමදාමත් අපි දෙනවා.
ආදරෙයි
බුදු සරණයි












