*නාද්‍යා සොනාලි සල්වතුර*
“මං පොඩ්ඩකට එලියට යනවා හරිද? අමරසූරිය එක්ක යන්නෙ. ඔයා පරිස්සමෙන් දොර වහන් ඉන්න. අද ඔෆිස් යන්නෝන නෑ. දැන් ඒකට මාකටින් ස්ටාෆ් එකක් ඉන්න නිසා බයවෙන්නොන නෑනෙ” කියලා තාරානාත් ගෙදරින් ගියේ උදේ පාන්දරම වගේ.
අමරසූරිය එක්ක යනවා කිව්වට යන්නෙ කොහෙද කින්ද මන්ද කිසි විස්තරයක් කිව්වෙ නැති හන්දා මං ඇත්තටම උන්නෙ මුකුත් හිතාගන්න බැරුව. අනික තාරානාත් එයා කොහෙද ඉන්නෙ කියලා බලන්න මම දුන්න ෆෝන් කෝල් කට් කරද්දි ඇත්තටම මගෙ හිත තිබ්බෙ පුදුම විදියට බයවෙලා. කරදර ඉවරයි කියලා අපි හිතාගෙන උන්නට ඒවා එහෙමමයි කියල විශ්වාස කරන්නෙ කොහොමද කියන බය මගෙ හිතේ තිබ්බා.
“අනේ මන්දන්නෙ නෑ අක්කෙ මෙච්චර විනාසයක් උනාට පස්සෙත් මේ මනුස්සයට මේ රස්තියාදුවෙ නොයා ඉන්න පුලුවන්කමක් තිබ්බෙ නැති හැටි. මං ඉතින් දැන් හිතේ ගින්දර තියාගෙන බිත්තර තම්බ තම්බ ඉන්නෝන මෙයා ගෙදර එනකම්” කියලා මම කාන්ති අක්කා එක්ක පිටකලේ ඇත්තටම ඒ හිතේ තිබ්බ බයයි වේදනාවයි.
“දැන් ඔයා ඔය හෙට උදේම යන්න දාගත්තෙ කොහෙද?” කියලා මම ඇහුවෙ කලින් දවසෙ හවස පුතාව නිදි කරවලා එයාව කොට් එකෙන් තියලා අපෙ ඇඳට ඇවිත් හාන්සි වෙන ගමන්. තාම එක අතක වේදනාව ලොකුවටම තිබිච්ච හන්දා තාරානාත් උන්නෙ හීන් සැරේ ඇඳේ හාන්සිවෙන ගමන් පරිස්සමට.
“පොඩි ගමනක්” කියලා එයා මං දිහාවට හොර බැල්මක් දාද්දි අනේ ඇත්තටම මං උන්නෙ තරහෙන්.
“මොකද්ද ඔය මට කියන්නෙ නැතුව යන පොඩි ගමන?” කියලා මං ඇහුවෙ ඒ තරහෙන්මයි.
“පොඩි ගමනක් ඉතින්” කියලා ආයෙ තාරානාත් හිනාඋනේ එයාගෙ එක අතකින් හීන් සැරේ මාව එයාගෙ පැත්තට ඇදලා අරගන්න ගමන්. වෙන වෙලාවක උනානම් හිතේ තිබ්බ තරහටත් එක්ක මං එයාව තල්ලු කරලා දාන්න ලොකු ඉඩක් තිබ්බට එයා ඉන්නෙ ඇඟේ පතේ වේදනාවෙන් කියලා දැන දැනම එහෙම කරන්න පුලුවන්කමක් මට තිබ්බෙ නෑ. මං හීන් සැරේ එයාට එහා පැත්තෙන් හාන්සි වෙලා එයා දිහාවට හැරිලා ඒ මූන දිහාව බලාගෙන උන්නා.
“පොඩි ගමනක්ද? හොර ගමනක්ද?” කියලා මම ඇහුවෙ තරහෙන් උනාට එයා ගැන අවිස්වාසෙන් නෙවෙයි කියලා දන්න හන්දද මන්දා තාරානාත් කරේ ඒකට හිනාවෙච්ච එක.
“පොඩි හොර ගමනක්”
“කියන්නකො දහම් මාව බය කරන්නෙ නැතුව? ඔයා දන්නවනෙ වෙච්ච දේවල් එක්ක මම දැන් පොඩි දේටත් බය වෙනවා කියලා”
“ඔව් මං දන්නවා”
“මොකද්ද පොඩි දේවල් වලට බය වෙනවා කියලා” එයා ඇහැක් ගහද්දි ඔය කියන්න හදන්නෙ මහ වනචර කතාවක් කියන එක මට තේරිච්ච හන්දම මං කරේ ඇඟිලි වලින් හීන් සැරේ ඒ තොල් වලට තට්ටු කරපු එක.
“හොඳ පොඩි”
“පොඩියට තිබිලා තමා පස්සෙ ලොකුවෙන්නෙ” කියල තාරානාත් මහ හයියෙන් හිනාවෙද්දි මගේ ඒ හිනාව අතෙන් නැවැත්තුවෙ අහස් ඇහැරේවි කියන බයට.
“හයියෙන් හිනාවෙන්න එපා අනේ. පොඩ්ඩා ඇහැරේවි”
“මොන පොඩ්ඩද?” කියලා එයා ආයෙ හයියෙන් හිනාවෙද්දි මං උන්නෙත් හිනාව නතර කරගන්න බැරුව.
“විහිලු නෙවි දහම්, කියන්නකො ඇත්තටම ඔයා කොහෙද යන්නෙ කියලා. ඔයා හොඳටම දන්නවා ඔයා ඔය යන්න හදන ගමනට මම කැමති නෑ කියන එක.ඔයා හොඳටම දන්නවා ඔයා මගෙ ඇස් මානෙ පේන්න නැතිකොට මම කොච්චර හිතේ ගින්දර තියාගෙන ඉන්නෝනද කියන එක. එහෙම එකේ මට නොකිය මෙහෙම ගමනක් යන එක මගෙ හිත රිද්දන්න හේතුවෙන විත්තිය අමුතුවෙන් කියන්නෝන නෑනෙ. ගයාන් පොලිසියෙ බව ඇත්ත. ඒත් අපි දන්නෙ නෑනෙ අනේ ඒ මිනිහා තව මොන මොන කරදර කරන්න ලෑස්තිවෙලා උන්නද කියලා. එහෙම එකේ ඔයා මෙහෙම යන එක, අනේ මන්දා. අඩුම කියලවත් යන්නකො. මං අමරසූරියගෙන් ඇහුවට ඒ මනුස්සයා කියන්නෙත් නෑ මට කිසිම දෙයක්”
“ඔයා බයවෙන්න එපා. මං කිව්වනෙ කිසිම කරදරයක් වෙන ගමනක් නෙවෙයි යන්නෙ. මං අමරසූරියව එක්කරගෙන යන්නෙ මට ඩ්‍රයිව් කරන්න බැරි හන්දා. මං පුලුවන් තරම් ඉක්මනට එනවා. උපරිම පැය පහ හයක් යාවි”
“පැය පහ හයක්? කොහෙද අනේ එච්චර වෙලා යන්නෙ. මං හිතුවෙ මේ පැයක වගේ වැඩක් කියලා, ඔයා මාව දාලා යන්නද හදන්නෙ?”
“පිස්සුද අනේ ඔයාව දාලා මං කොහෙ යන්නද? මං ඔයාට ගෙදර ආවම කියන්නම් මං කොහෙද ගියේ කියලා. එතකන් ඔයා පරිස්සමෙන් ඉන්නකො. ගයාන් නම් තව මුකුත් කරදර ප්ලෑන් කරලා ඇති කියලා මම හිතන්නෙ නෑ. ඒ උනාට ඔයා කියන කතාවෙ ඇත්තක් නැත්තෙත් නෑ. ඒ හන්දා ඔයා පරිස්සමෙන් ඉන්න ගෙදරට වෙලා. කාන්ති අක්කත් ඉන්නවනෙ”
“අනේ මන්දන්නෙ නෑ අක්කෙ මෙච්චර විනාසයක් උනාට පස්සෙත් මේ මනුස්සයට මේ රස්තියාදුවෙ නොයා ඉන්න පුලුවන්කමක් තිබ්බෙ නැති හැටි. මං ඉතින් දැන් හිතේ ගින්දර තියාගෙන බිත්තර තම්බ තම්බ ඉන්නෝන මෙයා ගෙදර එනකම්,” කියලා මම කාන්ති අක්කා එක්ක පිටකලේ ඇත්තටම ඒ හිතේ තිබ්බ බයයි වේදනාවයි.
කාන්ති අක්කා ඒකට හිනා වුණත්, මගේ හිතේ තිබ්බ බය එයාට තේරුම් ගන්න පුලුවන් වුණා කියලා මට දැනුනා. ගෑනුන්ට තේරෙනවා තව ගෑනියෙක්ගෙ හිතක තියෙන වේදනාව ඒ ගෑනිගෙ මිනිහට තේරෙනවට වඩා කියලා මම හිතුවෙ හිත මේ ප්‍රශ්නෙන් පොඩ්ඩකට හරි මුදවගන්න හිතාගෙන කුස්සියෙ ඉඳන් බොරු බොරු වැඩ කර කර ඉද්දි. එහෙම කළේ මගේ හිතේ තිබ්බ නොඉවසිල්ල, බය අමතක කරන්න උනාට මොන දේ කළත් මගේ හිතට නිදහසක් තිබ්බෙ නෑ. අහස් හොඳටම නිදාගෙන උන්න නිසා මට වැඩි වැඩක් තිබ්බේ නෑ. මං උන්නෙ කිසිම කරදරයක් හරියට කරගන්න පුලුවන් විදියක් නැතුව. හිත හෙල්ලෙන හැම පාරකම මගෙ අත් වෙව්ලන්න ගත්තා. ඒ හන්දම වතුර හැලුනා, අතන තිබ්බ එක මෙතනට ගේන්න අමතක උනා. අන්තිමේ මම උන්නෙ මානසිකව හරියට තෙහෙට්ටු වෙලා.
හිතන්න ඇත්තේ ‘මේක සර්ප්‍රයිස් එකක්, කිසිම අවදානමක් නෑ’ කියලා වෙන්න ඇති. උනාට මං උන්නෙ ඒක ඒ විදියට භාරගන්න බැරුව. පිමට හිතුනෙම මොකක් හරි නරක දෙයක් එන්න යාවි කියලා බයක්. ඒක ඇඟ ඇතුළෙන් දැනෙන දෙයක්. ‘intuition’ කියලා කියන්නෙ ඒකට තමයි නේද? මොකක් හරි නරක දෙයක් වේවි කියලා ඇඟට දැනෙන ඒ පුංචි සංඥාවක් වගේ දෙයක්. මං උන්නෙ අන්න ඒ intuition කියන දේ හන්දා හොඳටම බය වෙලා.
මම කුස්සියෙ බිම වාඩි වෙලා, තාරානාත්ට ආයෙ ආයෙ කෝල් කරන්න හැදුවා. ෆෝන් එක රින්ග්ස් යනවා ඇහුණත්, උත්තරයක් ලැබුණේ නෑ. මං උන්නෙ ඇත්තටම හුස්ම ගන්නවත් බැරුව. “මේ වගේ වෙලාවකවත් මේ මනුස්සයා ෆෝන් එක ආන්ස්වර් කරන්න බෑනෙ අම්මපා?” කියලා මං කියාගත්තෙ මටමයි.
කාලය ගෙවුණේ හරිම හෙමින්. බිත්තියෙ එල්ලලා තිබිච්ච ඔරලෝසුව එක දිහා බලන හැම වෙලාවකම මට දැනුනෙ මගෙ හාට් බීට් එක එන්න එන්න වැඩිවෙනවා වගේ. ගේ ඇතුල තිබ්බෙ වෙනදාට වඩා පුදුමාකාර නිහඬතාවයක්. මං උන්නෙ ඒක දරාගන්න බැරුව. පැය තුන, පැය හතර ගෙවිලා ගියා. පැය පහ හයක් ගෙවිලා ගියා. තාරානාත් පැය පහ හයකින් එනවා කියලා කිව්ව ඩෙඩ්ලයින් එක පහුවෙද්දි මං උන්නෙ ඇත්තටම හිත බය කරගෙන. වෙලාව තප්පරෙන් තප්පරේ ගෙවෙද්දි මං උන්නෙ හිත අස්සෙ බය ගොඩගහගන්න ගමන්.
ඒ වෙලාවෙ තමයි ගෙදර ඩෝර් බෙල් එක රින්ග් වෙන සද්දෙ මට ඇහුණේ.
මං දුවන් ගියේ ඒ තාරානාත් වෙන්නැති කියලා හිතාගෙන. හිනාවක් එක්ක මං දොර ඇරියෙ ඒ හන්දා.
ඒත් දොරෙන් එහා පැත්තෙ උන්න මූන දැක්කම ඒ හිනාව වෙනස් වෙච්ච පුදුමයක් නෙවෙයි.
ඒක උනේ අන්න එහෙම,
නොහිතන දේවල් වෙන්නෙ නොහිතන වෙලාවල් වල.
ඒත් මේ උනේ මට ඕන වෙච්ච දෙයක්ද?
මං ඇහුවෙ මගෙන්.












