කෝසල ජයවර්ධන විසින් පැදවූ වාහනය රාජගිරිය පසු කරමින් නාවල දෙසට ඇදී ගොස් අතුරු පාරකින් හරවන තුරුත් බිනර උන්නේ ජංගම දුරකථනය දෙස බලාගෙනය. අම්මා පිටරටක සිටින ලොකු අක්කා සමඟ දුරකථන ඇමතුමකය.
“මං ඔයාට වීඩියෝ කෝල් එකක් ගන්නම් පුතේ. ඔයා දන්නවනේ තාත්තිගේ වැඩ. ඔව් එයත් එහේ තමයි එයාවත් තවම දන්නේ නෑ මේක ගැන. ඒකනෙ දුව මට බයත් හිතෙනවා..”
අතරින්පතර ඒ කතාබහ ඇසුණත් බිනරට එය වැදගත් එකක් වූයේ නැත. සුපිරි වෙළඳ සැලක් අසල නවත්වා අම්මාත් තාත්තාත් ඩිකිය පිරෙන්නට නිවසකට අත්‍යවශ්‍ය බඩුගන්නා තුරුත් ඔහු සිටියේ ඒ දුරකථන ක්‍රීඩාවේමය.
“ඇයි අපි යන්නේ සහනාධාර දෙන්නද?”
කිහිප වතාවකටම ඩිකියට ගෙනැවිත් දැමූ බඩුමළු දකිද්දී ඔහු එසේ ඇසුවා පමණි.
උදෑසන ඔහු ඉසුරිගේ නව නිවසට යාමට ඇති මාර්ග සටහන ගෙන්වා ගත්තේ සුලක්ෂා ලවාය. එයත් හරි හැටි බැලීමට වේලාවක් වූයේ නැත. සති තුනක් වන් කෙටි කාලයක් තුළ සියල්ල තීරණය වුවත් බිනරට ඒ නිවසට යාමට අවස්ථාවක් උදා වූයේ නැත. ඒ සියල්ලටම වඩා එවන් ගමනකින් ඇයට හානියක් වේයැයි ඔහු විශ්වාස කළේය.
තවත් කුඩා අතුරු පාරකට හැර වූ රථය නතර වූයේ ස්වයංක්‍රීයව විවර වන ගේට්ටුවක් අබියසය.
ඉන්පසු තාත්තා දුරකථන ඇමතුමක් ලබාදී ‘අපි ඇවිත් ඉන්නේ…’ යැයි පැවසුවේය. බිනර හිස ඔසවා අවට බැලුවේ එවේලෙහිය. නවීන ක්‍රමයට අනුව සැකසූ නිවාස කිහිපයක් මැදවූයේ මදක් පැරණි තාලයේ කුඩා දෙමහල් නිවසකි.
ස්වයංක්‍රීයව විවර වූ ගේට්ටුවෙන් එබී සිනහමුසුව බලා සිටි මැදිවියේ පුද්ගලයාගේ රූපයෙහි කුමක්දෝ හුරු පුරුදු බවක් බිනරට දැනෙන්නට විය. ඒ පසුපස සිටි කාන්තාවත් බලා සිටියේ සිනහ මුසු මුහුණින්ය.
“අපි මග බලාගෙන හිටියේ ජයවර්ධන මහත්තයලා එනකල්.”
ස්වයංක්‍රීයව පහතට හෙළුනු පැති වීදුරුවෙන් වාහනය ඇතුළට එබුණු ඔහු එවර පැවසූයේ යටහත් පහත් අයුරින්ය.
“පුතා බහින්න ඉතින්….
එසේ පැවසූයේ අම්මාය. කුමක්දෝ හේතුවකට ඇය සතුටින්ය. බිනර වටපිට බැලුවේ වාහනයෙන් බසින්නට පෙරය. ආලින්දයේ කෙළවරක සිටගෙන දෑස් විසල් කරගෙන බලාසිටින සොහොයුරියත් සුලක්ෂාත් දුටු තරුණයා දෑස් ලොකු කරගත්තේ මාරුවෙන් මාරුවට අම්මාත් තාත්තාත් දෙස බලමින්ය.
“බහිනවා ඉලන්දාරියා. මේවා හැංගි හොරා කරන්න පුළුවන් වැඩ නෙමෙයි…”
ජයවර්ධන පැවසූයේ සිනහමුසුවය.
“අම්මෙ මේ…”
මම දන්නෙ නෑ පුතා තාත්තගෙ වැඩ තමයි….”
“තාත්තේ….”
“හරි… හරි..දැන් ඇතුලට යමු.”
“ඔයාල දෙන්නා මටවත් කිව්වෙ නෑනේ අද මෙහෙම ගමනක් එනවා කියලා.”
එසේ ඇසුවේ ඉදිරියට ආ හංසිකාය. ඇයත් සිටියේ ඔවුන්ගේ මේ ආගමනය විශ්වාස කල නොහැකි අයුරින්ය.
“තාත්තගෙ වැඩ ගැන දන්නවනේ පොඩි දුව. මම දන්නෙත් ඊයේ හවස.”
“තාත්තා ඉසුරි තවම දන්නේ නෑ මෙයා ගැන. අවුලක් වෙයි නේද.”
“දන්නේ නැති දේවල් කියලා දෙන්න තමයි ආවෙ. මේවා මෙහෙම හංගගෙන කරන්න පුළුවන් දේවල් නෙමෙයි පොඩි දුව. ඒක වැරදියි…”
“අපි යමු නේද ජයවර්ධන මහත්තයා ගෙට.. නෝනා අපි යමු…අඳුන්වලා දෙන්නත් බැරි වුණා ජයවර්ධන මහත්තයා මේ ඉන්නේ මගේ නෝනා. අපි දෙන්න කාටවත් නොකියා ඉන්නවා කියලා කතා කරගත්තට මේ වැඩේට ඉතින් ගෑනු අතක උදව් නොගෙන ඉන්න බැරුව ගියා.”
සියල්ලෝම නිවස තුළට ඇතුළු වූයේ සිනහ මුසුවය. කිහිප දෙනෙකුගේම කටහඬ ඇසුණත් රාජණී කාමරයට වී සිටියේ හිතා මතාමය. පැමිණ ඇත්තේ සුරංගගේ මිතුරන්ය. තමා ඔහුගේ අතීතය මිස වර්තමානය නොවේ. තත්පර කිහිපයකට පසුව ඇසුණේ මධාරා කවුරුන් හෝ පැවසූ යමකට උස් හඬින් හිනැහෙන හඬය. ඉන්පසු සුරංග පුතාටත් පොඩි දියණියටත් පහත මාළයට කතා කරන අයුරු ඇසුණේය.
හදවත තුළ නිදන් ගතව තිබූ වේදනාවක් යළිත් මතුව එන්නට ඉව අල්ලන බවක් දැනෙන්නට විය. සුරංග කාමරයට එබුණේ දිගු සුසුමක් මුදා හැරියාට පසුව දෙනෙත් මුල එකතු වූ කඳුලකට ඔහේ ගලා යන්නට රාජිණී ඉඩ දෙමින් සිටියදීය.
“රාජිනී….එළියට ඇවිල්ලා බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා.”
“මං මෙහෙම ඉන්නම් සුරංග. ඒ ඔයාගේ කට්ටියනේ. මං එළියට එන එක හරි නෑ. මධාරා හොයලා බලලා සංග්‍රහ කරයි.”
රාජිනී සැරසී සිටියේ මධාර ගෙන ආ දිගු සායකිනුත් කට්ලෝන් වර්ගයේ වටිනා හැට්ටයකිනුත්ය. ඈ මේ අලුත් ඇඳුමක් ඇන්දේ කාලයකට පසුවය. කාලයක්ම තනිකඩව සිට අලුත් ජීවිතයක් අරඹන්නට සිතූ කාලයේ ඕ ඕනෑවටත් වඩා ඇදුම් පැළඳුම් සඳහා වියදම් කළාය. ඇය නැවතී සිටියේ තම වයසින් භාගයක්ම ආපස්සට ගිය කාලයකය.
“මේ මගේ අය නෙමෙයි රාජිණී අක්කේ ඔයාගේ අය. එන්නකෝ අපි එළියට යමු.”
සුරංග පසු පසින් මධාරා පැමිණ ඇති බව රාජිණී දැනගත්තේ ඒ හඬ ඇසෙද්දීය. වදෙන් පොරෙන් ඇයව කාමරයෙන් පිටතට කැඳවාගෙන ගියේ මධාරාය.
“ඒ මොනවද හලෝ මේ වෙන්නේ. තාත්ත මොන පිස්සුවක් නටනවද කියල කියන්න මට තේරෙන්නේ නෑ. අනේ ප්ලීස් අක්කේ ටිකක් බලනවකෝ..මං ඉසුරිගෙන් කිසි දෙයක් අහල නෑ.”
බිනර එසේ පැවසූයේ හංසිකා අසලට ලං වීගෙනය. සුලක්ෂා දෑත් බැඳගෙන හිනැහෙමින් බලා සිටියාය.
“අනේ ප්ලීස් අක්කේ මේ වැඩේ කරන්න එපා කියන්න. කෝ ඉසුරි ඇයි එයා පේන්න නැත්තේ”
“එයා උඩට ගියා…”
හංසිකා එසේ පැවසූයේ උඩුමහල දෙස බලමින්ය. ඇයත් සිටියේ බියෙන් සැකයෙන් යුතුවය. ගෙවී ගිය විනාඩි දෙක තුන බිනරට දැනෙන්නට වූයේ වසර ගණනාවක් සේය.
“සුලා ප්‍රශ්නයක් වෙයිද මොනව හරි. තාත්තා මේ කරන වැඩේ එච්චර හරි නෑ. මල්ලි කියන්නේ කවුද කියලා එයාට අමතක වෙලා වගේ. දන්නවනේ හරි අමාරුවෙන් මේ ට්‍රැක් එකට ඇදලා දා ගත්තේ”
“ඔයා රිලැක්ස් වෙලා ඉන්න හංසි. අංකල් තමයි අද දවසේ වීරයා. මේ වගේ තාත්තලා හැමෝටම හම්බවෙන්න ඕනේ.”
සුලක්ෂා ඇයට හුරු පුරුදු සංයමයෙන් පැවසුවත් හංසිකා සංසුන් වූයේ නැත. ඇය බලා සිටියේ මහත් අපහසුතාවයක් දරා ගනිමින් සිටින සොහොයුරා දෙසය.
“මේ අර දවසක් අපේ ගෙදර ආපු පුතා නේද…අපේ ඉසුරිගේ යාලුවා. අනිත් අය මට මීට කලින් දැකලා පුරුදු නෑ..ඔයාගේ යාළුවොද..?
රාජිනී මද හඬකින් එසේ ඇසුවේ සුරංගෙන්ය.
“අපි තව ටිකක් ඉවසමු. දුව ආවට පස්සෙම මං ඔයාට මෙයාලාව හඳුන්ලා දෙන්නම්කෝ.”
කාමරයට වී තමාගේ හැඩ බලමින් සිටි ඉසුරි පහත මාලයට පැමිණියේ මධාරා සමගින්ය. විසිත්ත කාමරය මැද සිට ගෙන සිටින රුව දුටු සැණින්ම ඇය පඩිපෙළ බැස ආවේ දිවගෙන සේය.
මාලිංගත් ඇගේ පෙම්වතියත් නිවසට ඇතුළු වූයේ එවේලෙහිය.
“හරි නරකයි…මට කිව්වේ හවස එනවා කියල නේද…ඔයා ආපු එක කොච්චර දෙයක්ද බිනර. මේ වෙලාවේ ඔයා නැති අඩුව මට හරියට දැනුනා. අම්මේ…මතකයි නේද බිනරව”
යුවතිය එසේ පැවසූයේ අවසන් පඩි කිහිපය බසිද්දීය. විසිත්ත කාමරයේ අසුන්ගෙන උන් ජයවර්ධන මහතාවත් ඒ අසලම උන් කාන්තා රුවත් ඇය දුටුවේ ඉන්පසුවය.
“අනේ සර්ලත් ඇවිල්ලා. මේකනම් මට ලොකුම සප්‍රයිස් එකක්. සර් එනවා කියලා කිව්වට මම හිතුවේ නෑ අදම එයි කියලා. හංසිකා මැඩම් මට කිව්වෙත් නෑනේ සර් එනවා කියලා..”
“තාත්තේ, අම්මේ… මේ අපේ සර්…මේ සර්ගේ මැඩම්…සර්ගේ ඔෆිස් රූම් එකේ මැඩම්ගේ ෆොටෝ එකක් තියෙනවා, ඒ නිසා මං මැඩම්ව හඳුන ගත්තා. සර් මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි.මේ ඉන්නේ මගේ දෙවෙනි අම්මා”
ඇය මධාරාව හඳුන්වා දුන්නේ එසේ පවසමින්ය.
“මේ ඉන්නේ මගේ මල්ලියි නංගියි..මේ ඉන්නේ අපේ පවුලේ හුරතල්ම චූටි නංගි. අර ඈතට වෙලා බලන් ඉන්නේ මගේ කිරි අම්මා….”
ඉසුරි මුළු පවුලම ජයවර්ධනට හඳුන්වා දුන්නේ තත්පර දෙක තුනකින්ය. නයනා මේ යුවතිය දෙස බලා සිටියේ දෑස් පුරාම ආදරය පුරවාගෙනය. ඇත්තටම ඇය ආදරේ හිතෙනා තරම් අහිංසක දියණියකි. හංසිකා උන්නේ මවගේ උපදෙස් පරිදි අක්කා සමඟ වීඩියෝ දුරකථන ඇමතුමකය.
“ඉසුරි වගේම මමත් මගේ පවුලේ අය හඳුන්වල දෙන්න එපැයි. නේද සුරංග..”
ජයවර්ධන සිනහසෙමින් පැවසූයේ සුරංග දෙස බලමින්ය. ඔහු මේසා ලෙංගතුව තාත්තාට කතා කිරීම පුදුමයක් වූ නිසාම ඉසුරි කට ඇරියේ යමක් විමසන්නටය. එහෙත් ඉස්සර වූ නයනා නිසා ඇය යළිත් මුව වසා ගත්තාය.
“ඒක මමම කරන්නම්…”
නයනා එසේ පැවසූයේ හංසිකා අසලට යමින්ය. පිරිසට මැදිව උන් බිනර තවමත් නොසන්සුන් ඉරියව්වෙන්මය. සුලක්ෂා දෑත් බැඳගෙන බලා සිටියේ ඔහු දෙසය.
“මේ ඉන්නේ මගේ දෙවනි දුව….එයාගේ ළඟට ආවොත් වීඩියෝ කෝල් එකකින් ලොකු දුව බලාගන්න පුළුවන්.”
හංසිකා සිය ජංගම දුරකථනය ඉසුරි දෙසට හැරවූයේ අම්මා එසේ පැවසුවාට පසුවය.
“කොහොමද ඉසුරි.. “යැයි ඇසූ ඇයට ඉසුරි පිළිතුරු දුන්නේ ‘හොඳයි මැඩම්’යැයි පවසමින්ය.
“අපිට පුතෙකුත් ඉන්නවා ඉසුරි එයාවනම් දන්නෙ නැතුව ඇති නේද.?”
“ඔෆිස් එකේ කට්ටිය කියනවා මට ඇහිලා තියෙනවා මැඩම්. ඕස්ට්‍රේලියාවල ඉන්නේ කියලා.”
“ඒ පුතත් මේ ළඟදි හදිසියේ ලංකාවට ආවා..ලඟදි කියන්නේ දැන් අවුරුදු දෙකකට දෙක හමාරකට කලින් වගේ. අද අපිත් එක්ක මෙහෙටත් ආවා.”
ඉසුරි වටපිට බැලුවේ ඔවුන්ගේ පුතාව සොයන්නටය. එහෙත් තමා දන්නා හඳුනන ඒ පිරිස හැර නාඳුනන්නෙකු විසිත්ත කාමරය තුළ සිටියේ නැත.
“අනේ සර් එළියෙද මැඩම්..ගෙට එන්න කියලා කියන්න. අනේ තාත්තා චුට්ටක් බලන්නකෝ.”
ඉසුරි එසේ පැවසූයේ ඒ කලබල දෑස් යළිත් නයනාගේ රුව මත්තේ තබාගෙනය. උසට සරිලන මහතකින් යුතුවූ ඒ රුව පින්වන්තයැයි ඉසුරිට සිතුනේ ඇයව දුටු පළවෙනි තත්පරයේමය. ඇය ඇද උන් ක්‍රීම් පැහැති සාරියේ තැන තැන රතු පැහැ මල් වැටී තිබිණ. ගෙල තෙක් කපා තිබූ කොණ්ඩය ඒ රුවෙහි සුන්දරත්වය ඔප් නංවා තිබිණ. ආභරණ වලට වූයේ ගෙලවට ඵලදාගෙන සිටි සිහින් රන් දම්වැලත් දකුණු අතෙහි පාළුව මැකූ සිහින් වළල්ලකුත් පමණි.
“අම්මා මේ……”
බිනර එසේ පැවසූයේ නයනා යමක් පවසන්නට ප්‍රථමය. ගත වූ තත්පරයකට පසුව හදිසියේ සිහි ලද්දා සේ දෑස් එහෙටත් මෙහෙටත් පා කල යුවතිය නතර වූයේ බිනර අසලය.
“අම්මා…බිනර ඇයි ඔයා මැඩම්ට අම්මා කියලා කිව්වේ.”
“දරුවෝ ඒ එයා මගේ පුතා නිසා…”
සිනහ මුසුව ඉසුරි අසලට ළං වූ නයනා එසේ පැවසූයේ ඇගේ දෙවුරහිස් වලින් අල්ලාගෙනය. යුවතියගේ දෑස් පමණක් නොව මුවත් විසල් වූ ගමන්ය. සිනහසෙමින් බලා සිටින ජයවර්ධන මහතාත්, තාත්තාත් ඈ දුටුවේ නයනාගේ උරහිස්වලට උඩින් දෑස් යවද්දීය. මධාරා පුංචි අම්මාගේ මුහුණෙහි වූයේත් ඒ සිනහවමය. කිසිවක් වටහාගත නොහී වූ නිසාවෙන්දෝ රාජණී මධාරා අසලට ළංව ඇගේ අතකින් අල්ලා ගන්නා අයුරු ඉසුරි දුටුවාය. ජංගම දුරකථනය අත තබාගෙන බලා සිටින හංසිකාත් සිනහ මුසුව බලා සිටින සුලක්ෂාත් ඇය දුටුවේ ඉන් පසුවය. පිළිවෙලට මල්ලිත්, නංගිත්, නංගිගේ දකුණු අතෙහි එල්ලීගෙන මධාරා පුංචි අම්මාගේ කුඩා දියණියත් විය. මේ සභයට තමා නොගැළපෙතැයි සිතූ නිසාවෙන්දෝ කිරි අම්මා උන්නේ මඳක් එහාට වන්නට වූ කෑම මේසය අසලය. විශ්වාසය… මාලිංගගේ මුහුණෙහිත් ඇගේ පෙම්වතියගේ මුහුණෙහිත් වූයේ සිනහවකි. ඉසුරි බිනර දෙස බැලුවේ ඒ සියල්ලටම පසුවය. එතෙක් වේලා තමා දෙසට යොමුවී තිබූ දෑස් බිම බලා ගන්නට ඉක්මන් වන අයුරු ඇය හොඳටම දුටුවාය.
“බිනර කියන්නේ අපේ එකම පුතා ඉසුරි. ඔයාලගේ සර් එයාව ඔෆිස් එකට ගෙනිච්චේ ගෙදර ලොකු යුද්ධයක් කරලා. මොකද මෙයා තාත්තගෙ බිස්නස් බාර ගන්න කැමැත්තෙන් ඉඳපු කෙනෙක් නෙමෙයි. ඒ නිසාම හස්බන්ඩ් එයා කාගේ කවුද කියලා කාටවත් අඳුන්වල දුන්නේ නෑ. මිස්ටර් අමරසේකරයි තවත් අපේ පරණම සේවකයෝ කීප දෙනෙකුයි විතරයි බිනර කවුද කියලා දැනගෙන හිටියේ. මොකද එයා මේ බිස්නස් වලට හවුල් වෙයිද නැද්ද කියන එක ගැන විශ්වාසයක් අපි කාටවත් තිබුණෙ නෑ. හැබැයි ඉතින් එහෙම අකමැත්තෙන් ඔෆිස් එකට අරගෙන ගියපු දරුව නෙමෙයි දැන් ඉන්නේ. ඒ නිසා පහුගිය කාලෙම හස්බන්ඩ් උත්සාහ කළා බිනර කවුද කියන එක ඔෆිස් එකේ අයට කියන්න. ඒ උනාට ඉතින් මොකක්දෝ හේතුවක් හින්දා එයා තාත්තට ඒකට ඉඩ දුන්නෙ නෑ. ඒකට හේතුව අහන්න වෙන්නේ ඔයාටම තමයි ඉතින්…”
“ම… මට මේ කිසි දෙයක් ගැන හිතාගන්න බෑ…”
“ඉස්සර වෙලා මේ දෙන්නට ඒ ප්‍රශ්නේ ප්‍රශ්නේ විසඳගන්න ඉඩ දෙමු.. ඇයි බොරු කලේ? ඇයි මට ඇත්ත නොකිව්වෙ? කියල අහන එක ඔයාට බාරයි ඉසුරි. ඒ ප්‍රශ්නෙ ඒ දෙන්නා විසඳගෙන එනකල් අපි අපේ කතාබහ ඉස්සරහට ගෙනියමු. ඔය දෙන්නත් ඕනනම් ගිහිල්ලා ඒ දෙන්නට උදව් කරන්නකෝ..එහෙම කලානේ පහුගිය කාලෙත්”
ජයවර්ධන එසේ පැවසූයේ රාජිණීටත්, සුරංගටත් මධාරාටත් අසුන් ගන්නයැයි පවසමින්ය. එහෙත් තත්පර කිහිපයක් ගතව යනතුරුත් දෙදෙනා සිටියේ විසිත්ත කාමරය මැදට වී ඔවුනොවුන් දෙස බලාගෙනය.
අවසන ඉසුරිගේ අත අල්ලාගෙන ඇයව ආලින්දයට කැඳවාගෙන ගියේ බිනරමය. ඒ සුලක්ෂා සිය දෑස් වලින් දුන් පණිවිඩයකට පසුවය.
“ඔයාට ඕන තරම් මගෙන් ප්‍රශ්න අහන්න. මට බනින්න ඕනනම් බනින්න. මට ගහන්න ඕනනං ඒකත් කරන්න කමක් නෑ. ඔයාට මාව දකින්න අප්පිරියයිනං ඒකත් කියන්න මං මෙතනින් පිටවෙලා යන්නම්. හැබැයි ඉතින් මේ කිසිම හේතුවක් මගේ යාළුකමට අදාල වුණේ නෑ. ඔෆිස් එකට ඇවිල්ලා තාත්තගෙන් පළිගන්න වගේ මං කිසිම වැඩක් නොකර ඉන්නකොට මගේ වැඩ ටිකත් ගොඩ දාලා දීලා ඔයා මාව බලා ගත්තා. ඒ නිසාම වෙන්න ඇති ඔයාගේ ඇස් වල කඳුළු දකිනකොට ඒ කඳුළු හිනාවක් වෙනව දකින්න මට ඕන උනා. මං හිතන්නේ ඒ යාළුකමට කොතනකදිවත් මං බොරුවක් කලේ නෑ. ඔයාට ඇත්ත කියන්න හිතුණු හැම වතාවකම මං අඩියක් පස්සට ගන්න හේතුවක් තිබුණා. මම කෝසල ජයවර්ධනගේ පුතා කියල දැනගත්තනම් ඔයා මට මේ තරම් ලං වෙන එකක් නෑ කියලා මට හිතුනා. එහෙම උනානම් මේ තරම් ශක්තිමත් යාළුකමක් අපි දෙන්න අතර ඇතිවෙන්නේ නෑ. එහෙනම් ඔයා ජීවිතය ගැන සුභවාදී තීරණ අරගෙන මේ තරම් දුරක් එන්නෙත් නෑ. දැන් ඔයා ගැහැණියකගේ ශක්තිය අඳුනන නිසා මගේ යාළුකම ඕනම වෙන එකක් නෑ නේද..”
බිනර එසේ පැවසූයේ දෑත් බැඳගෙනය. ඔහු සිටියේ ආලින්දයේ වූ උස් සිමෙන්ති කණුවක් අසල සිටගෙනය. ඊට මදක් පසුපසට වන්නට ඉසුරි සිටගෙන සිටියාය. යුවතියට පිටුපා සිටි තරුණයාගේ දෑස් මුල වූයේ කඳුලකි. දැන් දැන් ඇයව තමාට අහිමිවෙතැයි ඔහු සිතුවේය.
“ඔයාගේ මූණේ හිනාවක් දකින හැම වෙලාවකම මං කවුද කියලා ඔයාට හංගන එක ගැන මගේ හිතේ තිබුණු පසුතැවිල්ල නැතිවුණා. අද උදේ වුණත් මම ආවේ නැත්තේ මට ඕන උනා පොඩි අක්කවයි සුලා අක්කවයි මග හරින්න. ඒත් මම දන්නේ නෑ තාත්තා ඇයි එහෙම කළේ කියලා. අම්ම කොහොමද අපි දෙන්නගේ යාළුකම ගැන දැනගෙන හිටියේ කියලා. සමහරවිට පොඩි අක්කා කියන්න ඇති. බොරුව කියන්නේ හොඳ යාළුකමක් ඇතුලට ගේන්න ඕන දෙයක් නෙමෙයි කියලා මං හොඳටම දන්නවා. හැබැයි ඉතින් ආපස්සට හැරිලා බලද්දි මගේ හිතේ පසුතැවීමක් නෑ. මේ යාළුකම නොතිබුණානම් ඔයා ඔයාගේ ජීවිතේ වටිනාකම අඳුනගන්නේ නෑ කියලා මට විශ්වාසයි. එහෙනම් ඔයා අදත් නොගැලපෙන තැනක නතර වෙලා මුළු ජීවිතේම විනාශ කර ගන්නවා.”
බිනර එසේ පවසා දිගු සුසුමක් මුදා හරිද්දී ඉසුරි සිටියේ ඒ සුසුමෙහි උණුසුම දැනෙන තරමට ඔහුට ළංවය.
“පළවෙනි දවසේ ඔයා ඇස්වල කදුළු පුරවගෙන ඔෆිස් එකේ ඉඳිද්දී මට තිබුණේ ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා අහලා ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් දෙයක් කිරීමේ උවමනාව විතරයි. මොකද ඒ වෙද්දිත් ඔයා මං වෙනුවෙන් සෑහෙන දේවල් කරල තිබුණා. දන්නෙම නැතුව දවසින් දවස අපි දෙන්න ළංවුනා. පහුගිය කාලේ පුරාම මට තිබුණු එකම ආසාව ඔයා හිනා වෙලා ඉන්නව දකින එක විතරයි. ඉසුරි මම ජීවිතේ කවදාවත් කාටවත් බොරුවක් කියපු කෙනෙක් නෙමෙයි. බොරුව කියන දේට මගේ ගේ ඇතුලේ ඉඩක් තිබුණේ නෑ. තාත්ත මාව ඒ විදිහට ඔෆිස් එකට ගෙනාවෙත් මම එතන පිස්සුවක් නටලා එයාට ලැජ්ජ කරයි කියලා තිබුණු බය නිසා. මමත් කිහිප වතාවක්ම තාත්තට කිව්වා මං කවුද කියන එක ඔෆිස් එකට කියන්න එපා කියලා. මං එහෙම කිව්වේ මට එතන රැඳිලා ඉන්න බලාපොරොත්තුවක් නොවුනු හින්දා. හැබැයි කාලයත් එක්ක මං තේරුම් ගත්තා ඒ දේවල් ගොඩ නගන්න ඉස්සරහට අරගෙන එන්න තාත්තා මොනතරම් වෙහෙස වෙලාද කියලා. එයා එහෙම කළේ අපිව ගොඩනගන්න ඕන නිසා බවත් මං තේරුම් ගත්තා. සමහර තැන්වලදී ඔයා මට ජීවිතේ කියලා දුන්නා…මිනිස්සු ජීවත් වෙන්න මොනතරම් දේවල් කරනවද කියලා මට හිතුනා. සතුට වෙනුවෙන් මිනිස්සු ජීවිතේ මොනතරම් දේවල් කැප කරලද කියලා මට හිතුණා. මගේ අතින් වරදක් උනා නං මට සමාවෙන්න ඉසුරි. අදත් මං විශ්වාස කරනවා මගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන යාළුකමට මේ කිසිම දෙයක් බාධාවක් නෙමෙයි. හැබැයි ඉතින් ඔයාගේ විශ්වාසය කඩපු හොඳම යාළුවා තවදුරටත් ඔයාට ඕනෙද නැද්ද කියන එක ගැන ඔයාම තීරණය කරන්න.”
බිනර යළිත් සුසුමක් හෙළුවේ එසේ පවසමින්ය. මුලින්ම ඔහුගේ පිටට දැනුනේ කඳුළක සීතලකි. ඉන් තත්පර දෙක තුනකට පසුව යුවතියගේ දෑත් තරුණයාගේ බඳ හරහා එතුනේය. බිනර පසුපස හැරුණේ තත්පරයෙන් සියයෙන් පංගුවකටත් වඩා අඩු කාලයකින්ය. තම දෑත් ඉසුරිගේ දෙවුරහිස් මත පරිස්සමට රැඳවූ තරුණයා ඒ මුහුණට එබුනේ
“මාත් එක්ක තරහ වෙන්න පුළුවන්ද?”යැයි අසමින්ය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)











