*නාද්‍යා සොනාලි සල්වතුර*
පහුගිය කාලෙ පුරාවටම මම හිත අස්සෙ හිරකරගෙන උන්න ඒ සියලුම වේදනාවල් කඳුළු වලට හරවලා මට පිට කරන්න පුලුවන් උනේ අපේ අම්මා මාව “මගෙ පුතේ” කියල තුරුලු කරගත්තට පස්සේ. මේ ලෝකෙ කවුරු මට කොයි විදියට ආදරේ කරත් මට ඇත්තටම මම වෙන්න පුලුවන්, මට මම නාද්‍යා කියන කෙනාට එහාට ගිහිල්ලා දරුවෙක් විදියට කන්සිඩර් කරන්න පුලුවන් මගෙ අම්මාගෙ උණුහුම අස්සෙ කියලා තේරෙද්දිත් අම්මගෙ හැට්ටෙ තිබ්බෙ මගෙ කඳුලු වලින් පෙඟිලා.
අම්මාගේ පපුව අස්සෙ දැනිච්ච ඒ හුරුපුරුදු උණුහුම, සුවඳ, ඒ හුරුපුරුදු ස්පර්ශය ආයෙ මාව ජීවිත කාලෙකටම ඇතිවෙන්න මගෙ හිත අස්සේ ආදරේ පුරවන ගමන් උන්නා. ඒ වෙලාවෙ මගේ හිතට දැනුණේ මම දැන් වගකීම් තියෙන බිරිඳක්වත්, අම්මා කෙනෙක්වත් කියලා නෙවෙයි. මම තවමත් අම්මගෙ ආදරේ ලබන පුංචි දරුවෙක් කියන එක. අනිත් අතට කොච්චර හිනාවෙලා “මට දැන් ප්‍රශ්න නෑ” කියලා මම හිතාගෙන උන්න ඒව හැම එකක්ම වැරදි කියන එකත්, මම ඉඳලා තියෙන්නෙ කාටවත් කියන්න බැරි, අඩුම ගානෙ මමවත් තේරුම් අරගෙන, දැනගෙන උන්නෙ නැති වේදනාවල් මහ ගොඩක් හිත අස්සෙ හිරකරගෙන කියන එක මට තේරුණේ අම්මා මාව තුරුලු කරගෙන මං වගේම අඬද්දි.
අම්මා කිසිම දෙයක් ඇහුවෙ නෑ. අම්මා දැනගෙන ඉන්න ඇති සමහරවිට මගේ හිතේ තිබ්බ හැම බරක්ම, වේදනාවක්ම කඳුළුවලින් පිට වෙන්න ඕන කියලා. ඒකම මට මාර ලොකු හයියක් වුණා.
“දැන් ඇති පුතේ, දැන් ඇති. හැමදේම හොඳින් සිද්ධ වුණානෙ ආයෙ මොකටද අඬන්නෙ,” කියලා අම්මා හෙමින් මගේ ඔළුව අතගානවා මට දැනුනෙ ඒ එක්කම.
තාරානාත් දාහක් බොරු කියලා අද උදේම මෙහෙම ගමනක් යන්න දාගෙන උන්නෙ මට මේ වගේ සප්‍රයිස් එකක් දෙන්න කියන මම හීනෙකින්වත් හිතලා තිබ්බ දෙයක් නෙවෙයි. මං තාරානාත් දිහා බැලුවෙ ඒ හැමදේටම තැන්ක්‍යු කියන්න වගෙ.
එයා හිටියේ හරිම සන්සුන්ව, අපේ දිහා බලාගෙන. එයාගේ ඇස්වල පුදුමාකාර ආදරයක් සහ තේරුම් ගැනීමක් මං දැක්කා. එයාට තේරුම් ගිහින් තිබුණා මේ මොහොතේ මට අවශ්‍ය වුණේ එයාගේ ආරක්ෂාව නෙවෙයි, මගේ අම්මාගේ තුරුළ, උණුහුම කියන එක. කොච්චර තාරානාත් “ඔයාට මම ඉන්නවා” කියලා කිව්වත් දුවෙක්ට අම්මා කෙනෙක් තර තමන්ගෙ කෙනෙක් නෑ කියන එක, හස්බන්ඩ් කෙනෙක්ගෙ ආදරේට දෙන්න බැරි වුණ ඒ සහනය, අම්මගෙ තුරුලෙන් ලැබෙනවා කියන එක මට කලින් තාරානාත් තේරුම් අරගෙන උන්නා. මට ටිකෙන් ටික අඬන එක නවත්තගන්න පුලුවන් වෙච්ච බව ඇත්ත. ඒත් මගේ මුළු හිතම තිබ්බෙ පුදුමෙන්, සන්තෝසෙන් වෙහෙසට පත්වෙලා.
ඒ මොහොතෙන් පස්සේ, මගේ අම්මා අහස්ව වඩාගෙන හුරතල් කරන්න පටන් ගත්තෙ හරියට පහුගිය කාලෙ පුරාවටම එයා අහස්ව දැනගෙන උන්නා වගේ. අම්මා මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇහුවෙ නෑ. මට කතා කරන්න කියලා බල කළේ නෑ. “ඔයාට මම ඉන්නවා” කියල කියනට තරමට ළඟින් එයා හිටියා, මට තනියම හුස්ම ගන්න පුළුවන් තරම් දුරින් එයා හිටියා. හැමදාමත් වගේ.
මේ දවස එනකම් මං බලාගෙන ඉඳල තියෙනවා කියන එක මට තේරුණේ මගෙ හිත සතුටෙන් පිරිලා ඉතිරිලා යද්දි. අහස්ව වඩාගත්ත අම්මා කාන්ති අක්කා එක්ක කුස්සියෙ ඉඳන් කතා කරද්දි, තාත්තා මෙහෙ තාත්තා එක්ක කතා කරද්දි නංගි තාරානාත් එක්ක සහෝදර ආදරේකින් බැඳිලා ඉන්නවා දකිද්දි “මේ තමයි ජීවිතේ” කියන කතාව මට ඇත්තටම දැනුනා. මට එහෙම හිතුණා.
“දැන් සන්තෝසෙන්ද ඉන්නෙ?” කියලා තාරානාත් ඇවිත් ඇහුවෙ මම හවස් වරුවෙ දවල්ට කාපු අම්මලා පොඩි නින්දක් දාන්න ගිය වෙලාවෙ වේලිච්ච ඇඳුම් නව නව කබඩ් එකේ දදා කාමරේට වෙලා උන්න වෙලාවෙ.
මං එයා දිහාව බැලුවෙ ඇත්තටම හිනාවක් එක්ක.
“ඇයි එහෙම ඇහුවෙ?”
“ඒ කිව්වේ?”
“දැන් සන්තෝසෙන්ද ඉන්නෙ කියලා. මං කොහොමත් සන්තෝසෙන් නෙ ඉඳියෙ ඔයා එක්ක”
“ඔව් හරි මම නැ කියන්නෙ නෑ. ඒ උනාට ඔයා නොකිව්වට ඔයා අහස්ට ආදරේ කරනවා දකිද්දි මට සෑහෙන්න හිතුනා ජීවිතේ මොන දෙයක් තිබ්බත් දරුවෙක්ට අම්මා කෙනෙක්ගෙ ආදරේ තරම් වටින, වැදගත් වෙන දෙයක් නෑ නේද කියන එක. මම පොඩි කාලෙ ඉඳලා අම්මාගෙන් ආදරේ නොලැබිච්ච කෙනෙක් නෙ. එහෙම මමත් ඒ නොලැබිච්ච ආදරේ ගැන දුක්වෙන එකේ අවුරුදු විසි ගාණක් අම්මා තාත්තගෙ ආදරේ ලබපු ඔයා වගේ කෙනෙක් ඒ ආදරේ නැතුව ඉන්නෙ කොහොමද කියන එක මට තේරුම් ගන්න අමාරු උනේ නෑ.
ඔයා ඔයාලගෙ අම්මලව බලන්න නොගියෙ ඔයාගෙ හිතේ තිබ්බ ගිල්ටි එක නිසා කියලා මම දැනගෙන උන්නනෙ. ඒ උනාට මං හිතුවා ඔයාගෙ ඒ ගිල්ටි ෆීලින් එකෙන් වහගෙන ඉන්න අම්මා කෙනෙක්ගෙ ආදරේ හොයන හිතයි, තමන්‍ගෙ දරුවව නොදැක ඉන්න බැරි අම්මා කෙනෙක්ගෙ හිතයි යා කරන බ්‍රිජ් එක වෙන්න මට පුලුවන් කියලා.
මං ඇත්තටම මේ ගයාන් කාරයගෙ පිස්සු වැඩ වෙන්න කලින් තමයි මේ ඔක්කොම ප්ලෑන් කරේ. කොහෙද ඌට ඕන උනානෙ වෙන පිස්සුවක් කෙළින්න” කියලා තාරානාත් කිව්වෙ ආයෙ පාරක් එයාගෙ ලස්සන මූණ අර සිද්දිය මතක් කරගෙන අවලස්සන කරගෙන.
“ඒකට කමක් නෑ වෙච්ච දේවල් උනානෙ. දැන් අපිට තියෙන්නෙ මේ මොහොත ගැන හිතලා සන්තෝස වෙන්න දහම්. ඇත්තටම ඔයා උන්නෙ නැත්තම් සමහරවිට මං ආයෙ කිසිමදවසක අපෙ අම්මලට ෆේස් කරන්න ඕන හිතේ හයිය ගොඩ නගා ගන්නෙ නැතිවෙන්න තිබ්බා දහම්”
තාරානාත් හිනාවුණේ හරියට එයාගෙ හිත අස්සෙ එයා වචන කන්දක් හංගගෙන ඉන්නවා වගේ. එයාගෙ ඇස් අස්සෙ තිබ්බෙ මින් පෙර කවරදාකවත් මම එයාගෙ ඇස් අස්සෙන් දැක්කෙ නැති විදියෙ සන්තෝසෙක, සැනසීමක රේඛාවල්.
“මම දැනගෙන හිටියා කවදා හරි දවසක මෙහෙම දවසක් එනකම් ඔයා බලාගෙන ඉන්නවා කියන එක. ඔයා ඒක කොච්චර පිළිගත්තෙ නැතත් ඔයාව තේරු,ම්ගත්ත ඕන මනුස්සයෙක්ට ඒක තේරුම් ගන්න පුලුවන් නාද්‍යා. ඔයා කොච්චර සන්තෝසෙන් උන්නත් ඔයාගෙ ජීවිතේ, හිත අස්සෙ එක කොටසක් තිබ්බෙ හීල් වෙලා නැතුව. ඒක අර ඔයාට ආයෙ ඔයාගෙ අම්මලව හම්බෙච්ච එකම නෙවෙයි. ඊට වඩා එහා ගියපු දෙයක්. තමන්ගෙ කෙනෙක් ගැන තමන්ගෙ කමක් ගැන දැනෙන ෆීලින් එකක්.
ඔයා කොච්චර නෑ කිව්වත්, පිළිගත්තෙ නැතත් ඔයා මේ වයසට දරාගන්න ඕන නැති තරම් බර දරාගත්ත කෙල්ලෙක් නාද්‍යා. මට ඕන වුණේ නෑ ඔයා හැමදේම තවදුරටත් තනියම දරාගන්නවට. ඔයාට ඔයාගෙම කියලා දෙයක් කියන්න පුලුවන් කෙනෙක් ඉන්නෝන නාද්‍යා. මට ඒ තැන ගන්න බෑ ඇත්තටම. මොක උනත් අපි අපේ වෙන්නෙ හිතෙනුයි නීතියෙනුයි විතරයි. ඒ උනාට ඔයාට ඔයාගෙ අම්මා තාත්තා එක්ක එහෙම බැඳීමක් නෙවෙයි තියෙන්නෙ. ඒ බැඳීම කොච්චර හයියද ඒ හයිය තමයි නාද්‍යා ඔයාගෙ ජීවිතේ ඉස්සරහා තව හයිය කරන්නෙ. ඔයා අම්මලාගෙන් වෙන් වෙලා ආව කියලා ඔයා හිතුවට ඒක ඇත්තටම එහෙම වෙලා තිබ්බෙ නෑ. ඔයා හිතුවා ඒක එහෙමයි කියලා”
තාරානාත් ගෙ වචන එක්ක මට දැනුනෙ අවුරුදු ගාණක් හිරවෙලා ඉඳලා නිදහස් වුණා වගේ සහනයක්.
“මෙච්චර දවසක් අපි දුක් උනා, ඇඬුවා, කරදර උනානෙ. ඉස්සරහට අපිට එන්නෝන හිනාවෙලා ඉන්න පුලුවන් දවස් නාද්‍යා. තව අඬන්න දවස් ජීවිතේ එයි. හැබැයි හෙටානිද්දට ඒවට ෆේස් කරන්න උවමනාවක් නෑ.
මේ අපි සන්තෝසෙන් ඉන්නෝන කාලෙ. කොල්ලාට අවුරුදු දෙක පිරෙන්න කලින් මේ හැමදේම සෙට්ල් වෙච්ච එක හොඳයි. මේ වයසෙදි ලමයි අඳුරගන්නවනෙ තමන්ගෙ අය කවුද කියන එක. දැන්ම එයාට සම්පූර්ණ වෙච්ච පවුලක් අස්සෙ ජීවත් වෙන්න ලැබිච්ච එක හොඳයි.
මං වගේ බිඳිච්ච මිනිහෙක් වෙලා ලොකු වෙද්දි තැනින් තැනින් කෑලි අහුලගෙන ෆික්ස් වෙන මනුස්සයෙක් වෙන්නෙ නැතුව”
“බිඳිලා ගිහින් තිබ්බ මාවයි අහස්වයි ෆික්ස් කරේ ඔයා දහම්” කියලා මං එයාගෙ ඉණ වටේ අත් දෙක දාගෙන හයියෙන් එයාව බදාගෙන පපුවට ඔලුව තියද්දි එයා හයියෙන් හුස්මක් ගත්තෙ ඊළඟ වචන කියන්න වෙන්නැති.
“කවුරුහරි මගෙ ඇහුවොත් ඔයා මගේ කවුද කියලා ඔයා දන්නවද මං ඔයාව ඉන්ට්‍රඩියුස් කරන්නෙ කොහොමද කියලා?”
“කොහොමද?” මං ඇහුවෙ බෙල්ල උස්සලා එයා දිහාව බලන ගමන්
“අම්මා කියලා නාද්‍යා. අම්මා කියලා. දරුවෙක්ට ජිවීතේ දෙන්නෙ අම්මා කෙනෙක් නාද්‍යා. කවදාවත් අම්මා කෙනෙක්ට දරුවෙක් වෙලා නොඋන්න මට මෙච්චර ආදරයක්, මේ වගේ ජීවිතයක් දුන්න ඔයාව ඉන්ට්‍රඩියුස් කරන්න වෙන විදියක් මම දන්නෙ නෑ”
“අනේ දහම්”
“ඒ වචනෙ ආයෙ ඔච්චර වේදනාවෙන් වගේ කියන්න එපා”
“එහෙනම්?”
“ආයෙ මම රෑට ඔයාව හයියෙන් තුරුල් කරගෙන කිස් කරද්දි මගෙ බෙල්ල වටේ අත දාලා කියන්නා. එතකොට මං දන්නවා ඔයා සතුටෙන් කියලා.
මගෙ සතුට තියෙන්නෙ මං ළඟ කියලා.
ආදරෙයි”
-අවසානයි-












