කාර්යාලය තුළ හදිසියේ සවස පවත්වන්නට යෙදුණු සේවක හමුවක් පිළිබඳව පණිවිඩය ලැබුණේ උදය වරුවේය.
පූජනී ජයවර්ධන මහතාගේ කාර්යාල කාමරයට ගියේ ඔහුගේ ඇමතුමෙන්ය.
“පූජනී…මුලින්ම මං ඔයාට ස්තූතිවන්ත වෙනවා අපිව විශ්වාස කළාට. එහෙම නොකලනං ඇත්තටම ලොකු විනාසයක් වෙන්න ඉඩ තිබුණා.”
“අනේ නෑ සර් මමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ. සර්ල මාව ලොකු මානසික පීඩනයකින් මුදවා ගත්තා.”
“පූජනී කිසි දේකට කලබල වෙන්න එපා. හවසට මෙතනට පොලිසියේ මහත්තයෙකුත් එනවා.”
“සර් මං මෙහෙම ඇහුවට තරහා වෙන්න එපා. සහන්ගෙයි අශිකාගෙයි ජොබ් එක.”
“ඒ ගැන මට හරියටම මුකුත් කියන්න බෑ පූජනී. මොකද මේ හෙළිදරව්වෙන් පස්සේ ඒ දෙන්නා මෙතන රැඳිලා ඉන්න කැමති වෙයිද කියන්න මම දන්නේ නෑ. ඔය ආශිකා කියන්නේ බොහෝම වැදගත් දෙමව්පියෝ එක්ක හැදුනු වැදගත් දරුවෙක්. මොන හේතුවක් නිසා මේ වගේ වැරදි දේවල් වලට උදව් කළාද කියන එක මම දන්නෙ නෑ. සහන්නං රස්සාවල් කීපයක් කරපු කෙනෙක්. ඒ තැන්වලත් ප්‍රශ්න ඇතිකර ගතපු කෙනෙක්. අපි බලමු ඒගොල්ලන්ටත් නිදහසට කාරණා තියෙයි නේ.”
“මං එහෙම ඇහුවේ සර් හැම කෙනෙක්ටම තමන්ගේ රස්සාව වටින නිසා.”
“ඔව්….ඒත් එහෙම හිතනවනං මෙහෙම දේවල් කරන්නේ නෑ පූජනී. අනිත් එක ඔයත් මෙතන වැඩ කරන සහෝදර සේවිකාවක්. මං මගේ ස්ටාෆ් එකේ විනය වගේම ඒගොල්ලන්ගේ සමගියත් උපරිමයෙන් බලාපොරොත්තු වෙන කෙනෙක්. මම මෙතන හැම සේවකයෙකුටම සලකන්නේ එකම විදිහට.”
ජයවර්ධන එසේ පැවසූයේ බැරෑරුම් හඬකින්ය. මුලදී පූජනී ඔවුන්ව අවිශ්වාස කළත් පසු කාලයේදී මේ පිටුපස සිටින්නේ බිනර නොවන බව ඈ වටහා ගත්තාය. ඒ මුලින්ම හංසිකාත්, ජයවර්ධන මහතාත් පොලිස් නිලධාරියෙකුත් ඉදිරිපිටදී දුරකථනයෙන් තමාට ඇසෙන හඬත් බිනරගේ හඬත් සසඳා බැලුවාට පසුවය. එතැන් සිට ඇය කටයුතු කළේ කෝසල ජයවර්ධනගේත් පොලිස් නිලධාරියාගේත් උපදෙස් පරිදිය.
ඒ සියල්ල අතරතුර නයනාත්, හංසිකාත්, සුලක්ෂාත් සිටියේ වැදගත් කතා බහක නිරත වීගෙනය. ඒ කතාබහටම ජංගම දුරකථනය ඔස්සේ ඔස්ට්‍රේලියාවේ සිටින වැඩිමහල් දියණියත් සහභාගීවී සිටියාය.
කෝසල ජයවර්ධන පැවසූයේ බිනරගේ විවාහය පිළිබඳව ඔවුන්ට සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙසය. අවසන අක්කාගේත්, මල්ලිගේත් විවාහ කටයුතු එකම දිනයක සිදු කරන්නට ඔවුන් කතිකා කර ගත්තේය. ඒ ගල්කිස්ස මහ හෝටලයේදීය. ඊට රාජිනීගේ, මධාරාගේ හෝ සුරංගගේ අකමැත්තක් වූයේ නැත. විවාහය සඳහා වියදම් දැරුවේ ජයවර්ධනය.
ඉසුරි බිනරගේ ආදරය විඳිමින් උන්නේ සතුටින් හා සැහැල්ලුවෙන්ය. සතියට වරක් දෙවරක් නිවසට පැමිණෙන ඔහු වැඩිපුර කාලය දුන්නේ නංගිටත් මල්ලිටත්ය. සැබවින්ම ඉසුරි යළි ඉපදීී උන්නාය. දැන් ඈ සිටින්නේ ඔහු සමඟ අරඹන්නට නියමිත අලුත් ජීවිතය ගැන සිහින දකිමින්ය.
පාරින්දව බේරාගන්නට කොතරම් උත්සහහ කළත් ඔහුට තුන් මසක සිර දඬුවමක් නියම වූයේ විජේසේකර මන්ත්‍රීතුමාගේ සොහොයුරාට තවදුරටත් රෝහල් ගතවීමට සිදුවූ නිසාය. ඒ කිසිවක් ඉසුරි හා නොකියන්නට තම සැමියාවත් රාජිනීවත් සපථ කරගත්තේ මධාරාය.
“කෙල්ල මෙහෙම සතුටින් ඉන්නේ අවුරුදු ගානකට පස්සේ. ඔය ජීවිතෙන් හරියට බැටකාපු දරුවෙක්. මේ සතුට අතරට කඳුලක් ගේන්න ඕනේ නෑ සුරංග. එයා හිතයි ලොකු අයියා එයාව අමතක කළා කියලා. මොකද මේ කෙල්ල කලින් දවසේ ලොකු පුතාට මැසේජ් එකක් යවලා තියෙනවා. දැන් එයා හිතන් ඉන්නෙත් එහෙම.”
****************
දින කිහිපයකින්ම නාලනීගේ නිවසේ බතක් නොඉඳුණු තරම්ය. ඕ කාමරයට වී බලා ගත් අත බලා සිටියාය. යළිත් වරක් දෛවඥයා සමීපයට ගිය ඇයට අසන්නට ලැබුණේ එතරම් ශුභ ආරංචියක් නොවේ.
“හිරෙන් නිදහස් වෙලා ආවට වැඩක් නෑ නෝනා. කාලයක්ම ජීවත් වෙන්න වෙන්නේ හැංගිලා. ඒ තරම් බරපතල අපල කාලයක් මේ ගෙවෙන්නේ. මං නෝනාට කිව්වනේ ජීවිතේ වුණත් නැති වෙන්න පුළුවන් කියලා. ඒ අවදානම තවම නැති වෙලා නෑ. පුළුවන් තරම් කාලයක් මැණිකක් රකිනවා වගේ හංගලා රැක ගන්න එක තමයි වටින්නේ.”
ජයසේකරලා යනු එසේ මෙසේ පුද්ගලයන් නොවේ. මේ අහල ගම් හතක කිසිවෙක් ඔහුට විරුද්ධව කිසිවක් නොකරන බව විශ්වාසයය. පොලිසිය පවා පාරින්දට දුන් දඬුවම් දැඩි කළේ ඔහුගේ කීමටය.
“හංගල තියාගන්න නේන්නං වෙන්නේ. නාලනී හිතනවද ජයසේකරලා අපේ ළමයගෙන් පලි නොගෙන ඉඳියි කියලා. ඒක නවත්තන්න මොන සක්කරයටවත් බෑ…උන් එහෙම මිනිස්සු”
සැමියා පවා පැවසූයේ එසේය. තම දරුවා බල්ලෙකු බළලෙකු සේ පාරක තොටක මැරී යාවියැයි සිතත්දි ඇයට ඉහිලුම් නොදෙන්නට විය. සුරංග සොහොයුරියගේ පෙරැත්තට ජයසේකරව හමුවන්නට ගියත් ඔහු ඒ හමුවට එකඟ වූයේ නැත. ආරංචියේ හැටියට ඔහුගේ සොහොයුරා රෝහලින් නිදහස්ව නිවසට ගියත් තවමත් සිටින්නේ ආබාධිත තත්වයෙන්ය. ගම්මුන් පවා නාලනීලාව ප්‍රතික්ෂේප කරමින් සිටියේ ජයසේකරලාට වූ බියටය.
“අක්ක බය වෙන්නෙ නැතුව ඉන්නකෝ. මධාරත් එක්ක එකට ළමා නිවාසෙ හැදුණු යාළුවෙක් ඉන්නවා දැන් අගුණුකොළපැලැස්සට කසාද බැඳලා. මොනව කරන්නද… එහෙම උනොත් ලොකු පුතාව ටික කාලෙකට එහෙ යවලා අපි ඒ මිනිස්සුන්ට වියදම හරි දෙමු. මගේත් හිත කියනවා ජයසේකරගෙන් ලේසියෙන් බේරෙන්න බැරි වෙයි කියලා. ඔය පහුගිය දවස්වල මේ අවට සිද්ධ වෙච්ච අපරාධ කීපයකටම මිනිහගේ නම ගෑවිලා තියෙනවනේ….”
සොහොයුරා එසේ පවසද්දී නාලනීගේ පපුවට දැනුනේ දැවිල්ලකි.
“හැම ගහකටම කොට කොට ගිහිල්ලා අන්තිමට කෙහෙල් ගහක හොට පටලව ගත්තා. මං ඔය ටික වෙන්න කලින් ඔහෙට කිව්වා ටිකක් තදින් ඉන්න කියලා. ඇහුවෙ නෑ…පුතාට ඕන විදිහට නටන්න ඉඩ දීලා ‘කොල්ලෝ එහෙම තමයි…’ කිය කිය බලාගෙන හිටියා. මේවයින් විඳවන්න වෙනකොට හැමෝටම විඳවන්න සිද්ධ වෙනවා කියලා කාටවත් මතක් උනේ නෑ…”
සැමියා එසේ පවසද්දී නාලනීට සිතුනේ මියැදෙන්නට තරම් දුකකි. අහල පහළ මිනිසුන් පවා දොස් පවරන්නේ නාලනීටය. දරුවෝ හොඳින් නොහැදුනොත් දෙමව්පියන්ට දොස් අහන්නට සිදුවනබව ඇයට පසක් වන්නේ දැන්ය.
“ඉසුරි මේ කිසිම දෙයක් දැන ගන්න ඕනෙ නෑ අක්කේ. දැන් ඒ සම්බන්ධකම් ඉවරයි. මං කැමතියි ඉස්සරහ කාලේ මගේ දරුවා සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා දකින්න. හොඳ සිහියෙන් මට මගේ දරුවා ලොකු පුතාට දෙන්න බෑ. මේ සමහරවිට මගේ අහිංසක දරුවා පිටින් යන්න තිබුණු දෙයක් වෙන්න ඇති වෙන ළමයෙක් පිටින් ගියේ. ලොකු පුතා ඉසුරුටත් කීප පාරක් අත ඉස්සුවනේ”
ඉසුරිට පාරින්ද ගැන පැවසුවේදැයි නාලනී අසද්දී සුරංග දුන්නේ එවන් පිළිතුරකි. නාලනී කිසිවක් නොකියා දුක් සුසුමක් මුදා හැරියාය. ඔහුව බලන්නට බන්ධනාගාරයට ගිය කිහිප විටකම පාරින්ද ඉසුරි ගැන විමසුවා නාලනීට මතකය.
“ඒ ළමයා ඉන්න තැනක සතුටින් සන්තෝසෙන් ඉඳපුවාවේ. ආයෙ මේ කුඩු ගොඩවල් වලට කර ගහන්න ඕනේ නෑ.”
සැමියා පවා පැවසූයේ ඒ අයුරින්ය. නාලනීට දැන් ඒ කුමක් වුවත් කම් නැත. විසි හතර පැයේම ඇය බියෙන් සැකයෙන් උන්නේ පාරින්ද ගැනය. ඔහුගේ ජීවිතයට නිදහස උදාවන දවසක් ගැනය. බයෙන් සැකයෙන් තොරව යළිත් මේ නිදහස් පොළොව මත ඇවිදින දිනයක් උදාවන එක ගැනය.
*******************
කාර්යාලයේ තෙවන මහලෙහි වූ රැස්වීම් ශාලාවට පිරිස රැස්වී සිටියේය. ජයවර්ධනත්, හංසිකාත්, බිනරත් පැමිණියේ අන්තිමටය. දෙවන පෙළ අසුනෙහි කෙළවරෙහි අසුන්ගෙන උන් ඉසුරි දෙස බලා ඇසක් ගැසූ බිනර ඇය ලැජ්ජාවෙන් රතුව යන අයුරු බලා සිටියේය. ඉදහිට දිනක කාර්යාලය තුළදී ඇගේ අතින් අල්ලා ඇඟිලි තුඩු මිරිකා හෝ කිසිවෙකු නොපෙනෙන්නට සිටි තැනකදී නළලත මත හාදුවක් තබා ඇයව කෝප ගන්වන්නට ඔහු දැන් දෙවරක් සිතන්නේ නැත. ආදරය සුන්දරව ගලා යන්නටනම් එවන් දඟකාර සොඳුරු මොහොතවල් අවශ්‍යමය.
මුලින්ම ජයවර්ධන සියල්ලන්ගෙන්ම සමාව ගනිමින් බිනරව හඳුන්වා දුන්නේ ඔවුන්ගේ දෑස් නළලත මත හිදුවමින්ය. බිනරව දැන හඳුනාගෙන ඒ රහස රකිමින් සිටි ප්‍රධාන පෙළේ තනතුරු දරන කිහිප දෙනෙකු හැරෙන්නට අන් සියල්ලෝම ඔවුනොවුන් දෙස බලාගෙන විමතිය පළ කරන අයුරු බිනර බලා සිටියේය.
ඉන්පසුව ඔහුත් ඒ සියල්ලන්ගෙන්ම සමාව ඇයද සිටියේය.
“මං ගැන තාත්තට විශ්වාසයක් තිබුණෙ නෑ වගේම මං ගැන මට විශ්වාසයක් තිබුණෙත් නෑ. ඒ නිසාම මට ඕන උනේ මගේ අනන්‍යතාවය හංගගෙන මෙතනට එන්න. ඒක කාටවත් හානියක් නොවෙන සුන්දර වරදක් කියලා මං මේ මොහොතෙත් විශ්වාස කරනවා. හැබැයි එහෙම ඔයාලගේ අතර ගැවසුනු නිසාම මං තේරුම් ගත්තා මිනිස්සු ජීවත් වෙන්න කරන රස්සාවල් වලට වෙහෙස වෙන හැටි. ඒ විතරක් නෙමෙයි මගේ තාත්තා වුණත් මේ ව්‍යාපාර මේ මට්ටමට ගොඩනගා ගන්න වෙහෙස වෙච්ච හැටි. හැබැයි ඉතින් එහෙම අවුරුද්දක් විතර ගත වෙද්දී තාත්තට ඕන උනා මාව කවුද කියලා ඔයාලට අඳුන්වලා දෙන්න. ඒත් ඒ වෙද්දි
තිබුණු පෞද්ගලික හේතුවක් නිසා තවදුරටත් මට ඒ රහස රහසක් විදිහට රැක ගන්න ඕන වුණා. ඒ පෞද්ගලික හේතුවත් ඉතාම ඉක්මනට ඔයාලට දැනගන්න ලැබේවි. හැබැයි මං කැමතියි ඉස්සර වගේම ඔයාලත් එක්ක හිනාවෙලා විහිළු කරලා සහෝදරත්වයෙන් වැඩ කරන්න. ඒකට මට ඔයාලගේ සහය ඕනේ උපරිමයෙන්ම. ආයතනයක් දියුණු වෙන්න අවශ්‍ය වෙන්නේ දරදඬු පාලකයෝවත් අසරණ සේවකයෝවත් නෙමෙයි. හැමෝම එකතුවෙලා ටීම් වර්ක් විදිහට ඉස්සරහට යන එක. මං හිතනවා මට ඒ හැමෝගෙම සහය බිනරට ලැබුණු විදිහටම ලැබෙයි කියලා…”
කිසිවෙකු තුළ යම් අපැහැදීමක් වූවේනම් ඒ අපැහැදීමත් පහව ගියේ ඔහුගේ කතාවෙන් පසුවය. කොහොමටත් මුළු කාර්යාලයම බිනරට හිතවත්ය. සහන් උන්නේ භූමිතෙල් ගෑවුණු ගැරඬියෙකු සේ ඇඹරෙමින්ය. වරින් වර අශිකා ඔහු දෙස බැලුවේ මේ කිසිවක් සිතාගත නොහැකිවය.
“අශිකා, සහන්, පූජනී…ඔය තුන්දෙනා ටිකක් ඉන්න. අනිත් අයට යන්න පුළුවන්.”
ජයවර්ධන මහතා අවසන පැවසූයේ අන් අයට තමාගේ අංශවලට යාමට අවසර ලබා දෙමින්ය. ආයතනය තුළ සේවක හමුවක් පවත්වන්නේ කලාතුරකින් දිනකය. ඒ සෑම දිනකම විශේෂ කෙටි ආහාරයක් සමඟ තේ ලබාදීම සිරිතකි. සියල්ලෝම තම තමාට හිමි කෙටි ආහාර පාර්සලය රැගෙන රැස්වීම් ශාලාවෙන් පිටව යද්දී සහනුත් අෂිකාත් වූයේ මේ සිදුවන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිවය.
“අපි බිනරත් එක්කම ආපු අයනේ. සමහරවිට අපිට මොනවා හරි ප්‍රමෝෂන් එකක් දෙන්න යනවද දන්නේ නෑ..”
වරින් වර තමා දෙස බලමින් දෑස් වල කඳුළු පුරවාගෙන සිටින අශිකාට සහන් පැවසූයේ කෙඳිරිල්ලක් බඳු ස්වරයකින්ය.
“එහෙනම් ඉතින් ඉසුරිවත් නවත්ත ගන්න එපැයි. අනිත් එක පූජනී මොකටද..”
අශිකා එසේ පැවසූයේත් සිහින් හඬකින්ය. ඉසුරි රැස්වීම් ශාලාව තුළ නොවන බව සහන්ට පසක් වූයේ එවේලෙහිය. රැස්වීම් ශාලාවේ දොර ඇරුනේත් පොලිස් නිලධාරියෙකු ශාලාව තුළට ඇතුළු වූයේ ඒ සිත් තුළ වූ නොසන්සුන් බව තීව්රර කරමින්ය.
“ඇයි තාත්තා මොකක්ද ප්‍රශ්නේ..”
බිනර ඇසුවේ සහන් දෙසත් අශිකා දෙසත් කාර්යාලයේ කාමරයට ඇතුළු වූ පොලිස් නිලධාරියා දෙසත් මාරුවෙන් මාරුවට බලමින්ය. කුමක් හෝ සිදුව ඇතැයි විශ්වාසයේ වුවත් ඔහු ඒ කිසිවක් ගැන දැන සිටියේ නැත.
“මල්ලි ඔයා ඉඳගන්නකෝ…මෙයාලා මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න ලෑස්ති වෙලා තිබුණා. ඔයා විදිහට කවුරු හරි කෙනෙක් මේ පූජනීට නරක විදිහේ වීඩියෝස් යවලා එයාට අයුතු යෝජනා කරලා තිබුණා.”
“වට්….”
“ප්ලීස් කලබල වෙන්න එපා. මොකද මේ ප්‍රශ්නෙදි තාත්තවත් කලබල වුණේ නෑ. අපි බලමු මෙයාලගෙන් අහලා ඇයි එහෙම කලේ කියලා…”
පොලිස් නිලධාරියා ෆයිල් කවරයක් තුළ බහාලූ යමක් සඳහන් කළ ලිපියක් අතට ගත්තේ හංසිකා එසේ පවසා නිමවනවාත් සමඟය. දෑත් බැඳගෙන සුවපහසු පුටුවට හේත්තු වූ ජයවර්ධන තමා ඉදිරිපස සිටින සහන් දෙස බලා සිටියේ සිය උපැස් යුවළ යටින්ය. මේ සියල්ලෙහිම නියමුවා ඔහු බව විශ්වාසය.
“අශිකා නිර්මාණී මුදලිගේ…තමන්ගේ මේ නමට තමුන්ගේ අයිඩින්ටී නම්බර් එක යටතේ ජූලි මාසේ හත් වෙනිදා අතුරුගිරියේ කමියුනිකේෂන් එකකින් සිම් එකක් මිලදීගෙන තියෙනවා. පස්සෙ කාලෙකදී මේ පූජනීට අසභ්‍ය වීඩියෝ යවලා තියෙන්නේ අසභ්‍ය දුරකථන ඇමතුම් ලබා දීලා තියෙන්නේ කෙටි පණිවිඩ යවලා තියෙන්නේ අන්න ඒ සිම් එක මාර්ගයෙන්. මේ සිම් එක ගතපු දවසේ ඉඳලම තිබිලා තියෙන්නේ එකම එක ෆෝන් එක. මේ ෆෝන් එක අශිකාට අයිති එකක්ද..”
යුවතියකේ කොපුල් රතුව සිහින් දහඩිය දමා තිබිණ. ඇගේ දෑස් මුලට එකතු වී තිබුණේ කඳුලකි. සැබවින්ම ඕ වෙව්ලමින් උන්නාය. පොළිස් නිලධාරියාගේ දෑස් රැඳී තිබුනේ ඇගේ ඒ වත මත්තේය. ඇයට වරදට නුපුරුදු කාරියක වග විශ්වාසය.
බිනර බලා සිටියේ දත් මිටි කමින්ය. සිය දෑත් මිට මෙලවී යද්දීත් ඔහු ඉවසා සිටියේය.
“කතා කරන්න දරුවෝ කතා කළොත් අපිට පුළුවන් මේ ප්‍රශ්නෙ ලේසියෙන්ම විසඳගන්න.”
ජයවර්ධන එසේ පැවසූයේ රැස්වීම් ශාලාව තුළ වූ නිහඬ බව බිඳලමින්ය.
“මේක ඔය ළමයව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න තරම් වරදක්. මොකද මේ සුලුවෙන් තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාන්තා හිංසනයක් සිදු වෙලා තියෙන්නේ. තමනුත් කාන්තාවක විදිහට නොදන්නවා වෙන්න බෑනේ. හැබැයි අපි එහෙම නොකරන්නේ මෙන්න මේ මිස්ටර් ජයවර්ධනගේ ඉල්ලීම නිසා. ඔය ළමයා අපිට ඇත්ත කියලා උදව් නොකලොත් අපිට සිද්ධ වෙනවා ඊළඟ ක්‍රියා මාර්ගයට යන්න.”
විශ්වාසය. යුවතියගේ දෙතොල් පට පවා ගැහෙමින් තිබිණ. ඇය සහන් දෙස බැලුවේ යටැසින්ය. ඒ දෑස්වල වූයේ අසරණ කමකි
ඔහු උන්නේත් බිමගෙනය. මින් මාස තුනකට පමණ පෙර ඔහු මේ සිම්පත ගෙන්වා ගත්තේ ඉසුරිව බිය වද්දන්නට යැයි පවසමින්ය. එහෙත් සිදුව තිබෙන්නේ වෙනතකි. සහන් තමාටද වංචාවක් කර තිබේ. තවදුරටත් ඔහුව සඟවාගෙන සිටීමෙන් තමා වරද කරුවෙකු වනබව විශ්වාසය.
“ඇයි මේ සිම් එක ගත්තේ. එතකොට ආශිකා ළඟ තියෙන ෆෝන් එකකද මේ වෙලාවෙත් මේ සීම් එක තියෙන්නේ.?”
පොලිස් නිලධාරියා යළිත් ප්‍රශ්න කලේ මදක් උස් හඬකින්ය. තවත් බොහෝ වේලා නොගොස් අශිකා ඇත්ත පවසන බව ඔහු දැන සිටියේ අත්දැකීමෙන්මය.
“නෑ..…නෑ සර්…මං…ලඟ නෑ…”
“තමුන්ට කවුද කිව්වේ මේ සිම් එක ගෙනත් දෙන්න කියලා”
“ස…සර්….සහන් තමයි මට කිව්වේ… සිම් එකක් ගෙනත් දෙන්න කියලා. හැබැයි මම දැනගෙන හිටියේ නෑ පූජනී….ට එහෙ…ම”
“බොරු කියන්න එපා අශිකා මං කවදද ඔයාට කිව්වේ සිම් එකක් ගෙනත් දෙන්න කියලා…ස…ර් මේ…බොරු….”
සහන් සියල්ලන්ටම පෙර ඉස්සර වූයේය. ජයවර්ධනගේ මුවගෙහි පමණක් නොව පොලිස් නිලධාරියාගේ මුවගෙහිද අවඥා සහගත සිනහවක් මතුවූයේ එවේලෙහිය. බිනර තවදුරටත් දරා සිටියේ හංසිකාගේ දෑස් බැල්මකට එකඟවය.
“මං ප්‍රශ්න කලේ තමුන්ගෙන් නෙමෙයි. තමන්ගේ වාරේ එනකල් පැත්තකට වෙලා ඉන්නවා…අශිකා කතා කරන්න. ඇයි සහන් ඔයාට කිව්වේ සීම් එකක් ගෙනත් දෙන්න කියලා. මොකක්ද හේතුව…දැන් ඇත්තම කියන්න ඔයාගේ ගැලවිල්ලට තියෙන්නේ එච්චරයි”
“එහෙම කළොත් ඉසුරිගේ හිතේ බිනර ගැන කලකිරීමක් ඇති කරවන්න පුළුවන් කිව්වා.”
යුවතිය පැවසූයේ බිම බලාගෙනය. ඒ දෑස්වලින් නොනවත්වා ගලායන කඳුලු වරින්වර ටයිල් පොළව මත වැටී බොඳව යන්නට විය.
“ඉසුරිගේ හිතේ…මිස්ටර් ජයවර්ධන කවුද මේ ඉසුරි කියන්නේ..”
“ඒ මගේ පුතා මැරි කරන්න ඉන්න ගෑනු දරුවා. එයත් වර්ක් කරන්නේ මේ ඔෆිස් එකේම තමයි.”
අශිකාට සේම සහන්ටත් උන් හිටි තැන් පවා අමතක වූයේ ජයවර්ධන එසේ පවසද්දීය. මේනං අදහා ගත නොහැක්කකි. දෙදෙනාම වූයේ පාෂාණභූත වූ ගණනටය.
“ඇයි සහන්ට ඕන උනේ ඉසුරිගේ හිතේ මිස්ටර් බිනර ගැන කළකිරීමක් ඇති කරවන්න”
“සහන්….මට හැම දෙයක්ම ඇවිල්ල කිව්වේ බොරු. ඉසුරිට ගමේ එයා බඳින්න කෙනෙක් ඉන්නවා කියලා කිව්වා. සහන් ඉසුරිට ආදරය කළා…. ඒ නිසයි බිනරයි ඉසුරි කතා කරන එක නවත්තන්න ඕන වුණේ. මං ඒකට උදව් කළා. අනේ මට යන්න..දෙ.න්න සර්…මං මේ කිසි දෙ…යක් දන් නෑ.”
“ඇයි මං විතරක් පාවල දෙන්නේ. ඔයාට ඕන වුණේ බිනරගේ කරේ එල්ලෙන්නනේ. ඒ හින්ද තමයි ඔයා මට උදව් කළේ. මතකද බිනර ඉසුරිගෙන් නිදහස් කරල දෙන්න කියලනේ හැම වෙලාවකම කිව්වේ..”
“තමුන්ගේ ෆෝන් එක දෙනවා මෙහාට…”
නැගී සිටි පොලිස් නිලධාරියා සහන්ගේ කලිසම් සාක්කුවෙහි වූ ජංගම දුරකථනය එළියට ගත්තේ බලෙන්ය. පූජනීට අසභ්‍ය වීඩියෝ පණිවිඩ යැවූ සිම්පත වූයේත් එම දුරකථනයේමය.
“බඩු හොරාගේ සාක්කුවේම තියෙනව සර්…මේකට අපිට ඇක්ෂන් එකක් ගන්නත් පුළුවන් එහෙම නැත්නම් සර්ගේ ඔෆිස් එක සම්බන්ධව සර් ගන්න ඇක්ෂන් එකකට අපිට එකඟ වෙන්නත් පුළුවන්. කොහොම උනත් මේක බරපතල වරදක්”
“මොනවද මිනිහෝ මේ කරන බලු වැඩ. තමුසෙට තිබුණා මමත් එක්ක කතා කරන්න. අපි හතර දෙනාම මේ ඔෆිස් එකට ආව එකට. ඒ කෙල්ල තමුසෙලා හැමෝටම උදව් කළා. තමුසේගේ හිතේ එහෙම කැමැත්තක් තිබුණනම් කෙලින්ම ඒක ඉසුරිගෙන් අහන්න තිබුණා.”
තවදුරටත් ඉවසා සිටිය නොහැකි වූ බිනර සහන්ගේ කමිස කොළරයෙන් අල්ලා ගත්තේ පොලිස් නිලධාරියා ඉදිරිපිටදීමය. එහෙත් ඔහුව වලකාලන්නට හංසිකා සමත් වූයේය.
“සහන් මං කැමති නෑ තවදුරටත් තමුන් මගේ ආයතනයේ රස්සාවක් කරනවට. මාසෙක වෙලේ ඉඳලා පූජනීගේ වට්ස්ඇප් පණිවිඩ ආවෙ අපිට. තමුන් හැසිරුනේ මහ පහත් විදිහකට. ඉසුරි ගැන හිතේ කැමැත්තක් තිබුණ නම් සහන්ට තිබුණා කෙලින්ම ඒ ගැන ඉසුරි එක්ක කතා කරන්න. මෙහෙම ගෑණු දරුවෙක්ගෙ කැමැත්ත ගන්න උත්සාහ කරනවා තරම් පහත් ක්‍රියාවක් මං තව දැකලා නෑ. පූජනී කියන්නේ අහිංසක දරුවෙක්. මං දන්න තරමින් තමුන්ටත් අක්කලා දෙන්නෙක් ඉන්නවනේ…ඒ වගේ කැත වැඩකට බිනරව අහු කරලා ඉසුරිගේ හිතේ අපහැදීමක් ඇති කරවන්නද තමුන් බලාපොරොත්තු උනෙ. …ආ…..මං කැමතියි සහන් තමුසේ මං අයින් කරලා දාන්න කලින් රෙසිග්නේෂන් බාර දීලා වැදගත් විදිහට මෙතනින් පිට වෙනවට. ඒ වගේම අශිකා තමනුත්….බිනර මේ වගේ පහත් මිනිස්සුත් එක්ක ගණුදෙනු කරන්න ගිහිල්ලා තවදුරටත් තේරුමක් නැති ප්රශ්නවල පැටලැවෙන්න අවශ්‍ය නෑ…”
“මූට…මූට…දෙකක් අනින්න ඕන තාත්තා….”
“අර කළුතර බ්‍රාන්ච් එකේ ස්ටොක් ක්ලීනර් සේල් එකක් දාන්න රික්වෙස්ට් එකක් එවලා තිබුනා. ඒ ගැන බලලා අවශ්‍ය කටයුතු කරන්න. හංසිකා මෙයාලගේ රෙසිග්නේෂන් අදම ගන්න.”
ජයවර්ධන නැගී සිටියේ එසේ පවසමින්ය. අවසන ඔහුට එකඟ වූ බිනරත් ඔහු පසුපසම ඇවිද ගියේය. හිතවත් පොළිස් නිළධාරියාට ස්තුතිවන්ත වූ ජයවර්ධන ඔහුව තම කාර්යාල කාමරයට කැදවූයේ පසුදින පැමිණ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බව පවසමින්ය.
“තමුසෙට තිබුනේ මොකක් හරි බොරුවක් කියන්න ඒ සිම් එක නැති උනා කියලා.”
සහන් පැවසූයේ කාර්යාල කාමරය තුළට ඇවිද යන අතරේය. එවේලෙහිත් අශිකා උන්නේ දියෙන් ගොඩ දැමූ මාළුවෙකු සේ ගැහෙමින්ය. ඇගේ කොපුල් රත්පැහැ වී තිබිණ. ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙන තුරුවත් කාර්යාලයේ රැඳී සිටීමට සිතක් ඇයට වූයේ නැත.
“බොරුවක් කියන්න තියා මං ඉන්නේ කොහෙද කියලත් මට අමතක වුනා සහන්. ඒ වෙලාවේ මාව වෙවුලවා. මං කොහොමද බොරු කියන්නේ. අනික ඔයා කරල තිබුනේ හොඳ වැඩක් නෙමෙයි සහන්. ම..මං…කොහොමද බොරු කියන්නේ..මං..යනවා…”
“බලනවා. ඒක කොහොමහරි ඌව දැලේ දාගෙන. ජයවර්ධනකාරයත් දිවේ තොලේ නොගෑවී බිනර බඳින්න ඉන්න ගෑනු ළමයා කියලා කියපු හැටි. බලන් ගියහම මුං ඔක්කොම අපිට කරලා තියෙන්නේ බොරුව. මං ජොබ් එකක් හොයලා දෙන්නම්. මුං හිතනවා ඇති මුන් ළඟ විතරයි අපිට රස්සාවල් තියෙන්නේ කියලා.”
සහන් එසේ පැවසුවත් අශිකා උන්නේ ඒ මතයේ නොවේ. වසර දෙකක් පුරා නිදහසේ කිසිවෙකුගේ බලපෑමකින් තොරව කරගෙන ආ රැකියාව අහිමිවීම ඇය දුකට පත් කර තිබිණ. අවසන ඉල්ලා අස්වීමේ ලිපිය නොලියාම ඈ කාර්යාලයෙන් පිට වූවාය. ඒ සේවක සේවිකාවන්ගේ කසුකුසු මැදය. කොතරම් උත්සහ කලත් මෙවන් රැකියාවක් යළිත් නොලැබෙන බව අශිකාගේ විශ්වාසයේ විය.
වසර එකහමාරකට පමණ පසුව……..
කථිකා කරගත් පරිද්දෙන්ම ඉසුරිගේත් බිනරගේත් විවාහ මංගල්‍යය පැවැත්වූයේ ගෝල්ෆේස් හෝටලයේය. එය ඉතා සුන්දර විවාහ මංගල්ලයක් විය. නාලනීටත් සැමියාටත් ඇරයුම් ලැබුනත් ඔවුන් සහභාගීවීම මගහැර සිටියේය.
ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි දියණියත් ඇගේ පවුලේ අයවලනුත් තෙසතියකට ආසන්න කාලයක් ලංකාවේ රැඳී උන්නාය. දරුවන් සියල්ලෝම එක්ව සිටියේ සතුටින්ය.
සයමසක ඇවෑමෙන් තිබූ දෙවන නඩු වාරයේදී පාරින්දට ඇප ලබාගැනීමට හැකි වුවත් කථිකා කරගත් පරිදිම ඔහුව අගුණකොළපැලැස්සේ මධාරාගේ යෙහෙළියගේ නිවසට යැව්වේය. ජයසේකරලා කිහිප වරක්ම පාරින්ද සොයා පැමිණ එම නිවස කනපිට පෙරළා තිබිණ. දින කිහිපයක්ම නාලනීත් සැමියාත් දියණියත් කාලය ගත කළේ සොහොයුරාගේ නිවසේය. ඒ ජයසේකරලාට වූ බිය නිසාමය. දැන් ඔවුනට ගමත් අහිමි වූ ගණනය.
නාලනී ඉසුරිගේ අහිමිවීම ගැන දුක් වනුත් ඒ සා වත් පොහොසත්කම් ඇති තැනකට ඈ විවාහ වූ අයුරුත් අසා පුදුම වනුත් මධාරා බලා සිටියේ යටි සිතෙහි සතුටක් තබා ගෙනය. අද රැජිනක සතු සැප සම්පත් විඳිමින් සිටින්නේ ඔවුන් තලා පෙළා පාගා දමන්නට උත්සහ කළා දියණියය. ඒ පුවත අසා පාරින්දගේ දෑස් මුල කඳුළක් උපන් බව පැවසූයේ සුරංගය. එහෙත් සයමසක්ම සිරගතව ගත කළ ජීවිතයෙන් පසුව ඔහු වෙනස් මිනිසෙකුව උන්නේය. අගුණකොලපැලැස්සට යාමට එක වදනින්ම කැමති වූවා පමණක් නොව දැන් ඔහු එහි හේන් ගොවිතැන්වලට හවුල් වෙමින් සිටියේය.
ඉසුරි පාරින්ද ගැන දැනගත්තේ විවාහයට මසකට පමණ පෙරය. ලොකු අයියා ගැන සැබවින්ම දුකක්, අනුකම්පාවක්, වේදනාවක් ඒ සිතෙහි විය. ඔහුව බැලීමට බන්ධනාගාරයට යාමට ඇවැසි වුවත් සුරංග සේම රාජිනීත්, මධාරාත් පැවසූයේ එය ගැහැණු දරුවෙකුට නුසුදුසු ගමනක් බවය. අවසන ඇය වචන සිය ගණනකින් යුතු වූ කෙටි පණිවිඩයක් පාරින්ද වෙනුවෙන් ලියා යැව්වේය. කවදා හෝ කියවනු ඇතැයි සිතාගෙනය. පාරින්ද ඒ කෙටි පණිවිඩය කියවූයේ අගුණකොළපැලැස්සට ගිය පසුවය. ජංගම දුරකථනය සිය පපුවට තබාගත් ඔහු ඉසුරිට ලස්සන ජීවිතයක් පැතුවේ හැබෑවටමය.
“කවද හරි දවසක කොහේදි හරි අපිව හම්බ වෙද්දි මගේ ලොකු අයියා විදිහට මගේ ඔලුව අතගාලා මට ආශිර්වාද කරන්න. මං කැමතියි ඔයාව ලස්සන නිවුණු ඉවසිලිවන්ත මනුස්සයෙක් විදිහට දකින්න….”
ඇගේ අවසන් වදන් පෙළ වූයේ එයයි.
සැබවින්ම ඉසුරි දයාබර මිනිසුන් පිරිසක් මැද වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කරමින් සිටියාය. බිනරගේ ආදරය දවසින් දවස වැඩි වූවා මිස අංශුමාත්‍රයක වෙනසක් වූයේ නැත. එනිසාම තමා මේ පැටලී සිටිනේනේ සිහිනයකදැයි ඕ සිතූ වාර අන්නත්ය. කඳුළ හෝ දුක පෙනෙන මානයකවත් වූයේ නැත.
නැගණිය ලංකාවේම තුන් වෙනියා වෙමින් විභාගය සමත් වූයේ ඒ කාලයේය. සොහොයුරා ඔහු ආසා කළ පරිද්දෙන්ම හෝටල් පාඨමාලාවකට ඇතුළත් වූයේ බිනර සමඟ කතා කළාට පසුවය. දැන් ඔවුන්ගේ වීරයා බිනරය. නයනා හෙමි හෙමින් ඒ සතුට පිරුණු මාළිගයේ පාලනය ඉසුරි අතට ලබාදෙමින් සිටියාය.
“මහත්තයා ඒ තේරීම ගැන මට තියෙන්නෙ පුදුම සතුටක්. මට දැන් විශ්වාසයි සැනසිල්ලේ ඇස් දෙක පියාගන්නන පුළුවන්. එයා මටත් වඩා හොඳට අපේ මේ ලස්සන ගෙදර සතුට රැක ගනීවි.”
නයනා එසේ පැවසූයේ එක්තරා රාත්රියකය. හංසිකා ඔවුන් වෙනුවෙන්ම තැනූ නව නිවසක පදිංචියට ගියත් ‘අරුණළු’ පොත්හල් ජාලයේ ප්‍රකාශන අංශය භාරව තවදුරටත් සේවයේ නියුතු වූවාය. දැන් ඉසුරි කාර්යාලයට යන්නේ කලාතුරකින් දවසකය. ඊට වඩා ඇයට ප්‍රිය වූයේ නයනා හා කාලය ගත කිරීමය.
“ඔයා සතුටින්ද…මම ඔයා බලාපොරොත්තු උනම කෙනාද…..”
ඉසුරේ තම සැමියාගෙන් එසේ ඇසුවේ ඔහුගේ පපුවේ හිස තබාගෙන අතීතයේ රස මුසු තැන් මෙනෙහි කරමින් සිටි එක්තරා රාත්‍රියකදීය. ඔහු මේ දුන් සතුටට තමාගෙන් උපරිමය ඉටු වනවාදැයි ඈ බොහෝ වර සිතුවාය.
“ඔව්…ඔයා මම බලාපොරොත්තු වුණ කෙනාටත් වඩා හොඳම කෙනා මැණික…”
ඔහු පැවසූයේ ලෝබකමකින් තොරවය.
ගෙවී ගිය සෑම රාත්‍රියකම ඇයට උණුසුම් යහනාවක් වූයේ මේ පිරිමි පපුවය.
මිත්‍රත්වය, විශ්වාසය තුලින් උපන් මේ බැඳීම ශක්තිමත්ම බැඳීමක් බව ඇයට විශ්වාසය. සෑම උදෑසනකම ඇය අලුත් ගැහැණියකව නැගී සිටියාය. දැන් මේ සිටින්නේ සතුටෙහි කිරුළු දැරූ රැජිනකි…
නිමි……
…..කොටස් 74 ක් පුරා මා හා රැඳී සිටි ආදරනීය පාඨක ඔබට ස්තුතියි…..












