ආයෙත් කවදාවත් තමන්ගේ මව්පියන්ව, යාළුවන්ව දකින්න ලැබෙන්නේ නැති බව දැන දැනත්, තමන් උපන් මේ මහා ලෝකය අතෑරලා යන්න තරම් හයියක් ඔයාට තියෙනවාද?
එහෙම හීනයක් ඔයාට තියෙනවද?
අද අපි කතාකරන්න යන්නෙ අන්න ඒ වගේ අමුතුම හීනයක් දැකපු සුරංගනාවියක් ගැන.
අපේ ගොඩක් අය හීන දකින්නේ රට වටේ යන්න, හොඳ රස්සාවක් කරන්න, නැත්නම් සැපපහසු ජීවිතයක් ගත කරන්න.
හැබැයි හරිම කලාතුරකින් අපිට හමුවෙනවා පුදුම විදිහේ හීන දකින මිනිස්සු.
ඒ අයට තමන් ඉපදුණු මේ ලෝකයත් දවසක මදි වෙයි කියලා හිතෙන තරමට ඒ හීන හරිම විශාලයි.
ඇලිසා කාර්සන් කියන්නෙත් අන්න ඒ වගේ කෙනෙක්.
ඇලිසාගේ කතාව පටන් ගන්නේ ලැබ් එකකදීවත්, අභ්‍යවකාශ මධ්යස්ථානයකදීවත් නෙවෙයි. ඒක පටන් ගන්නේ එයාගේ ගෙදර සාලේ ඉඳගෙන බලපු පුංචි කාටූන් එකකින්. එයාට වයස අවුරුදු තුනක් විතර කාලේදී “The Backyardigans” කාටූන් එකේ අඟහරු ලෝකය ගැන යන කතාවක් බලලා, එයා එයාගේ තාත්තාගෙන් හරිම අහිංසක ප්‍රශ්නයක් ඇහුවා.
“තාත්තේ, මට පුළුවන්ද අඟහරු ලෝකයට යන්න?”
ගොඩක් දෙමව්පියෝ නම් මේක හුරතල් කතාවක් කියලා හිනාවෙලා අමතක කරලා දායි. හැබැයි ඇලිසාගේ තාත්තා එහෙම කළේ නැහැ. එයා තමන්ගේ පුංචි දුවගේ ඒ හීනය හරිම බැරෑරුම් විදිහට භාරගත්තා.
අන්න ඒ තීරණය තමයි අද ඇලිසාව මේ තැනට අරන් ආවේ.
අභ්‍යවකාශය හදවතේ තබාගෙන හැදී වැඩුණු ඇලිසා
ගොඩක් ළමයි ලොකු වුණාම කවුරු වෙන්නද කියලා හිත හිත ඉන්න කාලේ, ඇලිසා ඒ ගැන තීරණය කරලයි තිබුණේ. එය හැබැයි මේ දේ නිකම් අනුමාන කර කර හිටියේ නැහැ, විකල්ප හෙව්වෙත් නැහැ. එයා කළේ ඒ වෙනුවෙන් සූදානම් වුණ එක.
වයස අවුරුදු හතේදී ඇලිසා ඇලබාමා වල හන්ට්ස්විල් වල තිබුණු එයාගෙ පළමු “ස්පේස් කෑම්ප්” එකට සහභාගී වුණා. ඒවගේම මේක එයාගෙ අවසාන අවස්ථාව වුණේත් නැහැ. කාලයත් එක්ක ඇලිසා ලෝකයේ තියෙන හැම නාසා ස්පේස් කෑම්ප් එකකටම සහභාගී වුණා. ඒ අතරට තුර්කියේ සහ කැනඩාවේ තිබුණු ජාත්‍යන්තර කෑම්ප් පවා ඇතුළත්. අද වෙනකම් ලෝකයේ ඒ හැම එකකටම සහභාගී වුණ එකම කෙනා වෙන්නෙත් ඇලිසා.
මේ කෑම්ප් වලදී ඇලිසාට “Blueberry” කියන “කෝල් සයින්” එක හෙවත් හඳුන්වන නම ලැබෙනවා. පස්සේ කාලෙක එයාගෙ ඔන්ලයින් අනන්‍යතාවය වුණෙත් “NASABlueberry” කියන නමයි. ඒ නම එච්චරම ට්‍රෙන්ඩ් වෙන්න හේතුව වුණේ ඒක ලස්සන නිසා විතරක් නෙවෙයි, අභ්‍යවකාශ ක්ෂේත්රය තුළ ඇලිසාව හඳුනාගන්නා නම වෙන්නෙත් ඒක හන්දා.
අනිත් යොවුන් වියේ පසුවන තමන්ගෙ සම වයසෙ යාලුවො විභාග ගැනයි, සෝෂල් මීඩියා ගැනයි වද වෙද්දී, ඇලිසා ඉගෙන ගත්තේ වතුරේ ජීවිතය බේරාගන්නා හැටි, අධික ගුරුත්වාකර්ෂණ බලයන්ට ඔරොත්තු දෙන හැටි, ගුරුත්වාකර්ෂණය නැති පරිසරයක හැසිරෙන හැටි සහ ස්කූබා ඩයිවින් වගේ අසීරු පුහුණුවීම් කරන හැටියි.
ඇලිසා තමන්ගේ නියමු බලපත්‍රය (Pilot’s license) ලබාගන්නකොට එයාට වයස අවුරුදු 18 ක් විතරයි.
අභ්‍යවකාශය ගැන ඉගෙන ගත්ත ඇලිසා
ඇලිසා අභ්‍යවකාශයට යන්න ආස කළා විතරක් නෙවෙයි, ඒ ගැන තියෙන විද්‍යාවත් හොඳට ඉගෙන ගත්තා.
එයා බැටන් රූජ් ජාත්‍යන්තර පාසලෙන් ඉගෙනගෙන ඉවර වෙලා, 2023 දී ෆ්ලොරිඩා තාක්ෂණ ආයතනයෙන් Astrobiology ගැන උපාධියක් ගත්තා. ඊට පස්සේ එයා ආර්කන්සාස් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව ගැන ආචාර්ය උපාධියක් කරන්න පටන් ගත්තා. එහේ ළමයින්ට ජීව විද්‍යාව උගන්වන්නත් එයා උදව් වුණා.
ගොඩක් පත්තර සහ ප්රවෘත්ති වල එයා “පුහුණුව ලබන අභ්‍යවකාශගාමියෙක්” කියලා හැඳින්වූවාට, ඇලිසා හැමතිස්සෙම එක දෙයක් කෙලින්ම කිව්වා:
“මම නාසා එකේ වැඩ කරන කෙනෙක් නෙවෙයි”
නාසා එකත් මේක කිහිප වතාවක්ම කියලා තියෙනවා.
එයා ඒ ගැන අවංක වුණ එක ගොඩක් වටිනවා. ඇත්තටම එයාගේ මේ ගමන අභ්‍යවකාශගාමියෙක් වගේ රඟපාන්න නෙවෙයි. එයා උත්සාහ කරන්නේ කවදා හරි දවසක ඒ අවස්ථාව ලැබුණොත්, ඒකට හැම අතින්ම සූදානම් වෙලා ඉන්න කෙනෙක් වෙන්නයි.
අඟහරු හීනය සහ ඒ වෙනුවෙන් ගෙවන්න වෙන වන්දිය
ඇලිසා තමන්ගේ හීනය ගැන තියෙන ඇත්ත කවදාවත් හැංගුවේ නැහැ.
අඟහරු ලෝකයට යනවා කියන එක හිතන තරම් ලස්සන, සැපපහසු දෙයක් නෙවෙයි.
ඒක හරිම භයානක, ලෝකයෙන් හුදකලා වෙන්න වෙන වැඩක්. ඒ වගේම ඒකේ තියෙන්නේ ලොකු අවිනිශ්චිත බවක්. 2030 ගණන් වලදී අඟහරු ලෝකයට යන පළමු මිනිස් මෙහෙයුම් පටන් ගනීවි කියලා හිතනවා. ඒවා අවුරුදු ගණනාවක් තිස්සේ ඇදෙන ඒවා වෙන්න පුළුවන්. ඒ වගේම ආපහු පණපිටින් පෘථිවියට එන එක තවමත් ලොකු අභියෝගයක්.
ඇලිසා මේ හැමදේම හොඳට දන්නවා.
මේ වගේ ගමනක් යන්න වුණොත් එයාට මොන වගේ කැපකිරීම් කරන්න වෙයිද කියලා එයා විවෘතව කතා කරලා තියෙනවා. තමන්ගේ පවුලේ අයගෙන්, යාළු මිත්‍රයන්ගෙන් ඈත් වෙන්න වෙන එක, සැපපහසුකම් අතහරින්න වෙන එක, ඒ විතරක් නෙවෙයි සමහරවිට ආයෙත් කවදාවත් පෘථිවියට එන්න නොලැබෙන එක ගැන පවා එයා දන්නවා.
ඒත් එයා ඒ ගැන දෙපාරක් හිතන්නේ නැහැ.
“මට ඕනේ අඟහරු ලෝකයේ මොනවා හරි අලුත් දෙයක් හොයාගන්න,”
“මගේ පෞද්ගලික ජීවිතයට වඩා ඒ දේ මුළු ලෝකයටම වටිනවා.” කියලා තමයි ඇලිසා කියන්නෙ.
හීන දකිනවාට වඩා එහා ගිය ගමනක්
අද වෙද්දී ඇලිසා කාර්සන් කියන්නේ විද්‍යාඥයෙක්, ගුරුවරියක්, වගේම පොත් ලියන කෙනෙක්. ඒ වගේම අභ්‍යවකාශ ගවේෂණය ගැන ලෝකෙටම ලොකු හඬක් නගන කෙනෙක්. එයා “The Mars Generation” වගේ වාර්තාමය වැඩසටහන් වලට පවා දායක වෙලා තියෙනවා. තරුණ පරම්පරාවට විද්‍යාව ගැන උනන්දු වෙන්න කියලා පොත් ලියලා තියෙනවා වගේම, ඉන්ටර්විව් සහ සෝෂල් මීඩියා හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ක අදහස් බෙදාගෙන තියෙනවා.
එයා ලෝකයේ ප්‍රසිද්ධ ආයතන එක්ක එකතු වෙලා වැඩ කළත්, එයා දෙන පණිවිඩය හැමදාමත් එකමයි.
“හීනවල වටිනාකමක් තියෙන්නේ, ඒ වෙනුවෙන් ඉවසීමෙන්, අවංකව සහ නොසැලී වැඩ කරන්න ඔයා ලෑස්ති නම් විතරයි.”
ඇලිසා කියන චරිතය හැමෝටම ආදර්ශයක් වෙන්නේ එයා අඟහරු ලෝකයට තියෙන ආදරේ නිසා විතරක් නෙවෙයි.
ලොකු ලොකු හීනවලට යන්න කෙටි පාරවල් නැති බවත්, ඒවට යන්න නම් අවුරුදු ගණනාවක කැපවීමක් සහ සූදානමක් ඕන බවත් එයා අපිට මතක් කරලා දෙන නිසයි.

අපි හැමෝම බලන්නේ එකම අහස දිහා
දවසක මනුස්සයෙක් අඟහරු ලෝකයේ පය ගැහුවොත්, සමහරවිට ඇලිසා කාර්සන් එතැන ඉන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මොකද අභ්‍යවකාශ ගවේෂණය කියන්නේ කිසිම සහතිකයක් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.
හැබැයි එයාට කවදාවත් පෘථිවියෙන් පිට වෙන්න නොලැබුණත්, එයා ලෝකයට කරපු බලපෑම දැනටමත් පැහැදිලිව පේන්න තියෙනවා.
අනිත් අයගෙන් වෙනස් විදිහට හීන දකින එක වරදක් නෙවෙයි කියලා එයා මුළු පරම්පරාවටම පෙන්නලා දෙනවා.
සැපපහසුවට වඩා අලුත් දේවල් දැනගන්න තියෙන කුතුහලය තෝරාගන්න එක වටිනවා කියලා එයා ඔප්පු කරනවා.
රෑ අහස දිහා බලලා “ඇයි මෙහෙම වෙන්නේ?” කියලා හිතන්නත්, ඊට පස්සේ ජීවිත කාලයම ඒකට උත්තර හොයන්න කැප කරන්නත් එයා අපව දිරිමත් කරනවා.
ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න, තමන්ට පුරුදු ලෝකෙ, මව් දෙමව්පියො, යාලුවො අත ඇරලා දාලා ආයෙ නොඑන ගමනක් යන්න හිතේ කොච්චර ලොකු හයියක් නම් තියෙන්න ඕනද නේද?
ඇලිසා කාර්සන් සුපිරි කෙල්ලෙක් වෙන්නෙත් අන්න ඒ හන්දා!











