හෙවණැල්ල

මුළු ටවුන් එකේම තිබුණේ පුදුම මූසල, පාලු ගතියක්.

 අහස උසට තියෙන ලොකු බිල්ඩින් අස්සෙන් ඉර එළිය පොඩ්ඩක් හරි බිමට වැටෙන්න බැලුවත්, වාතයේ පිරිලා තිබිච්ච අළු පාට දුම නිසා ඒ එළිය මගදීම නැති වෙලා යනවා. හැමතැනම ඇහෙන්නේ වාහන හෝන් සද්දයි, ෆැක්ටරි වල රළු මැෂින් සද්දයි විතරයි. මේ මහා කොන්ක්‍රීට් වනාන්තරේ, බිල්ඩින් දෙකක් අස්සේ තියෙන ඉර එළිය පොඩ්ඩක්වත් වැටෙන්නේ නැති අඳුරු මුල්ලක තමයි මේ කතාවෙ කියවෙන ඔෆිස් එක තිබුණේ.

කසුන් ඒ දොර ඉස්සරහා හිටගෙන හිටියේ ගැහෙන හිතක් එක්ක.

දොරේ නමක් ගමක් ගහලා තිබ්බෙ නැහැ. තිබුණේ කළුම කළු පාට හෙවනැල්ලක රූපයක් විතරයි. කසුන් ඒ දොර ඇරගෙන ඇතුළට ගියේ පුරුදු කාරයෙක් වගේ. ඒ ඇතුළේ තිබුණේ මාරම හීතලක්. හරියට මළගෙදරක තියෙනවා වගේ අමුතු සයිලන්ස් එකකට මුහුවෙච්ච හීතලක්.

“කසුන්, ඔයාට ෂුවර්ද මේක කරන්න ඕනේ කියලා?”

කසුන්ගෙ ඉස්සරහා වාඩි වෙලා හිටපු ඒ මනුස්සයා ඇහුවේ හරිම රළු කටහඬකින්. එයා ඇඳලා හිටපු කෝට් එකේ ඉඳන් පාවිච්චි කරපු පෑන වෙනකම් හැමදේම මාරම මිල අධිකයි කියලා බැලූ බැල්මට පෙනුණා. හැබැයි පුදුමේ කියන්නේ, එයාගේ ඇස් දෙකේ කිසිම පණක් තිබුණේ නැහැ. හරියට වීදුරු බෝල දෙකක් වගේ හිස් ගතියක් විතරයි ඒ ඇස් අස්සේ තිබුණේ.

“මට වෙන කරන්න දෙයක් නැහැ.” කසුන් කිව්වේ වෙව්ල වෙව්ල. එයාගේ ඇඟිලිවල තවමත් තිබ්බා පරණ වෙච්ච තීන්ත පැල්ලම්. උදේ ඉඳන් රෑ වෙනකම් නවකතා ලිය ලිය සල්ලි හොයන්න ගත්ත මහන්සිය ඒ තීන්ත පැල්ලම් දිහා බලපු ඕන කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් වුනා.

“මගේ අම්මා මැරුණේ බෙහෙත් ටිකවත් ගන්න සල්ලි නැතුව. මම ලියනේවා දිහා කවුරුත් බලන්නේවත් නැහැ. මට මේ හැමදාම දැනෙන අසරණකම, මේ බඩගින්න, මේ මානසික පීඩනය මට මේවා තවදුරටත් උහුලන්න බැහැ. මට ඕනේ සැනසීමක්. මට දැන් මේ ජීවිතේ ඇත්තටම එපා වෙලා තියෙන්නෙ”

කසුන් ඉස්සරලා වාඩිවෙලා උන්න ඒ මනුස්සයා තමන්ගේ මේසය උඩ තිබිච්ච අමුතු ලේසර් පෑනක් අතට ගත්තෙ කසුන් ඒ කතාව ඉවර කරනවත් එක්කම.

“මෙහෙමයි මට ප්‍රශ්නයක් නෑ මේ වැඩේ කරන එක. ඒ උනාට මේක නිකන් මේ මම ඔයගෙ හෙවණැල්ල පර්චස් කරනවා කියලා නම් ඔයා හිතාගෙන ඉන්නෙ ඒක මාර වැරදි කියලා අමතක කරන්න එපා. හෙවණැල්ලක් කියන්නෙ නිකන්ම මේ අව්ව වැටෙන වැටෙන පැත්තට පේන ඔයාගෙ කලු පාට අවුට්ලයින් එකක් විතරක් නෙවෙයි. හෙවණැල්ලක් කියන්නෙ ඊට එහා ගියපු දෙයක්. ඔයාගෙ හැඟීම්වල දත්ත ගබඩාවක්. මේ ගනුදෙනුවෙන් පස්සේ ඔයාට කෝටි ගණනක් සල්ලි හම්බවෙයි. ඔයාට සෑහෙන ෆේමස් ඕතර් කෙනෙක් වෙන්න පුළුවන් වෙයි. මොකද ඔයාට එතකොට මහන්සියක්, දුකක්, පීඩනයක් දැනෙන්නේ නැහැනෙ. ඔයා මැෂින් එකක් වගේ වැඩ කරයි. හැබැයි ඔයාට ආයෙ කවදාවත් සතුට කියන දේ දැනෙන්නෙ නෑ කියන එක ඔන්න මම නොකිව්වා කියන්න එපා පස්සෙ. ඒක හරියට පාට නැති ලෝකෙක තනි වුණා වගේ වැඩක්. මං හිතනවා ඔයාට මේකෙ බරපතලකම තේරෙනවා ඇති කියලා”

ඒ මනුස්සයා කිව්ව ඒ වචන එක්ක කසුන් ආයෙ තප්පර ගාණකට තමන් ගැනම, තමන් මේ කරන්න යන දේ ගැන, තමන් ඉන්න කබල්  බෝඩිං කාමරේ, දවස් ගාණක බඩගින්න, අම්මා නැති වෙච්ච දවසේ දැනිච්ච ඒ මහා තනිකම, තමන්ගෙ පෙම්වතී තමන්ට පිටුපාපු එක, තමන්ගෙ වේදනාවට හිනාවෙච්ච, පාච්චල් කල එක, තමන්ගෙ පොත් වලට හරියට වටිනකමක් ලැබෙන්නෙ නැති එක වගේ දේවල් ආයෙ ආයෙ මතක් වුණා. 

ඒ හැමදේම එයාට වද දුන්නා. ඒ වදේ තවදුරටත් විඳින්න තමන් ගාව හයියක් නෑ කියලා දැනගෙන උන්න හන්දම කසුන් අන්තිමේ ඒ වචන ටික කියලා දැම්මා.

“ කමක් නෑ. මගේ හෙවණැල්ල අරන් මට ඒ නිදහස දෙන්න.”

අර මනුස්සයා ආයෙ වතාවක් කසුන් දිහාව තප්පර ගාණකට බැලුවා.

ඉන්පස්සෙ පුංචි බටන් එකක් එබුවා. 

එකපාර කාමරේ බිත්තිවලින් ඇස් නිලංකාර කරවන සුදු පාට එළියක් විහිදුණා. කසුන්ව බිත්තියට තද වුණා. බිත්තිය උඩ වැටිලා තිබිච්ච කසුන්ගේ කළු පාට සෙවණැල්ල හරියට පණ තියෙන සතෙක් වගේ ඇඹරෙන්න පටන් ගත්තා. කසුන්ගේ පපුව මැද්දෙන් දරාගන්න අමාරු ලොකු සීතලක් ගලාගෙන ගියා. හරියට එයාගේ පපුව පලලා ආත්මයෙන් කෑල්ලක් කවුරු හරි එළියට අදිනවා වගේ. ඒක මාරම අමුතු, දරාගන්න බැරි වේදනාවක්.

විනාඩියකට පස්සේ ඒ එළිය නිවිලා ගියා.

“ඉවරයි” කියලා අර මනුස්සයා කිව්වා.

කසුන් හෙමිහිට බිම බැලුවා. කාමරේ ලයිට් එක කෙලින්ම තමන්ගෙ ඔලුවට උඩින් තිබ්බත්, බිම තමන්ගෙ හෙවණැල්ල තිබුණේ නැහැ කියලා කසුන් දැක්කා.

මීට තත්පරයකට කලින් තමන්ගේ හිතේ තිබිච්ච මහා බර, අම්මා ගැන දැනිච්ච ඒ පපුව පැලෙන වේදනාව, හෙට ගැන තිබිච්ච බය, ඒ කිසිම දෙයක් දැන් තමන්ට දැනෙන්නෙ නැහැ කියන එක කසුන්ට තේරුණා. එයාට දැනුණේ හරියට අභ්‍යවකාශයේ පාවෙනවා වගේ සැහැල්ලුවක්. හැබැයි ඒ සැහැල්ලුව ඇතුළේ අමුතුම හිස් බවක් තිබ්බා.

“රුපියල් කෝටි 10ක් ඔබේ ගිණුමට බැර විය.” කියලා ෆෝන් එකට ආව මැසේජ් එකත් එක්ක කසුන් ඒ ඔෆිස් එකෙන් එළියට බැහැලා යන්න ගියා.

මාස හයක් ගෙවිලා ගියේ හීනයක් වගේ. හැබැයි ඒක පාට නැති හීනයක්.

කසුන් දැන් ඉන්නේ ටවුන් එකේ තියෙන සුඛෝපභෝගී පෙන්ට් හවුස් එකක. ඒකේ බිත්ති ඔක්කොම වීදුරු. මුළු ටවුන් එකම එයාගේ කකුල් දෙක ලඟ තියෙනවා වගේ දැනෙන ෆීලින් එකක් එක්ක තමයි කසුන් දැන් ජීවත්වෙන්නෙ. ෆීලින් එකකුත් නෙවෙයි ඉතින් ඒක තමයි ඇත්ත. හැමතැනම තියෙන්නේ මිල අධික ගෘහ භාණ්ඩ, අති නවීන තාක්ෂණය. එයාගේ අතේ දැන් කෝටි ගණන් සල්ලි. කසුන්ගෙ පොත් දැන් ලෝකෙ පුරා විවිධ භාශාවල්වලට පරිවර්තනය වෙලා විකිණෙනවා.

විචාරකයෝ කිව්වේ “කසුන්ගේ පොත්වල මාරම ක්ලීන් ගතියක් තියෙනවා” කියලා. 

ඒක ඇත්ත. 

මොකද ඒ පොත් දැන් ලියන්නෙ කිසිම හැඟීමක් නැති මිනිහෙක්. එයා දවසට පැය 18ක් එක දිගට වැඩ කරනවා. එයාට මහන්සියක් දැනෙන්නේ නැහැ. බඩගින්නක් දැනෙන්නේ නැහැ. හිතේ කම්මැලිකමක්, රයිටර්ස් බ්ලොක් වගේ කියන හැඟීමක් ඉපදෙන්නෙත් නැහැ. හරියට ප්‍රෝග්‍රෑම් කරපු මැෂින් එකක් වගේ ලියන එක තමයි වෙන්නෙ.

“මචං කසුන් උඹේ මේ දියුණුව දැක්කම මට අදහාගන්න බැහැ. සන්තෝසයි හැබැයි…” කියලා දවසක් යාලුවෙක් කියන කම් කසුන් උන්නෙ තමන්ගෙ මේ අලුත් පෙනුම හදවතින්ම පිළි අරගෙන.

“හැබැයි මොකක්ද?” කසුන් ඇහුවේ හරිම සීතල කටහඬකින්. ඒ කටහඬේ යාළුකමවත්, ආදරේවත් තිබ්බෙ නෑ.

“උඹේ ඇස් දෙක මචං ඒකේ කිසිම පණක් නැහැ. උඹ ඉස්සර අම්මා ගැන කතා කරනකොට ඇඬුවා. කතාවක් ලියලා ඉවර වුණාම පිස්සෙක් වගේ සතුටු වුණා. සඳලි උඹව දාලා ගිය වෙලේ දුක් වුණා, ඒත් ඒකිට ආදරේ කරා. දැන් උඹ හිනා වෙන්නේ නැහැ. උඹට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. උඹ නිකන් රොබෝ කෙනෙක් වගේ වෙලා” කියලා ඒ යාලුවා කියනකම්මවත්, කිව්වට පස්සෙවත් කසුන්ට මොකුත් දැනුණේ නැහැ. ඒ වගේම යාළුවා කියන දේ ගැන දුකක්වත්, තරහක්වත් හිතට ආවෙ නැහැ. 

“මට දැන් සැනසීම තියෙනවා. මට දැන් බයක් නැහැ. ඒක මට ඇති” කියලා තමයි කසුන් හිතුවෙ.

හැබැයි එදා ඒ කතාවෙන් පස්සෙ කසුන්ට හිතුණා එක දෙයක් පරීක්ෂා කරලා බලන්න. එයා කුස්සියට ගිහින් හොඳට සැරට හදපු ඉඟුරු ප්ලේන් ටී එකක් බිව්වා. රස්නය දැනුණා, හැබැයි ඉඟුරු ප්ලේන් ටී වල සුවඳවත්, ඒකේ තියෙන කටුක රසවත් හිතට දැනුණේ නැහැ. ඊළඟට එයා තමන්ගේ අතේ පිහියකින් පොඩි සීරීමක් කරගත්තා. ලේ ආවා, වේදනාවක් දැනුණා, හැබැයි ඒ වේදනාව ගැන අපහසුතාවයක් දැනුණේ නැහැ. අන්න ඒ වෙලාවෙ තමයි කසුන්ට එයා හෙවණැල්ල විකිණුව මනුස්සයගෙන් මැසේජ් එකක් ආවේ.

“කසුන්, අද රෑ 12ට මාව හම්බෙන්න එන්න. ඔයාගේ හෙවණැල්ලට අලුත් අයිතිකාරයෙක් හම්බුණා. එයාට ඕනේ ඔයාව එක පාරක් දකින්න.”

කසුන් පුදුම වුණේ නැහැ. හැබැයි එයාට කුතුහලයක් තිබ්බා. කාටද මගේ මේ මහා දුක, පීඩනය පිරුණු හෙවණැල්ල ඕනේ වුණේ? කවුද මේක සල්ලි වලට ගත්තේ? කියලා දැනගන්න ඕන වෙච්ච හන්දම කසුන් එදා රෑ 12ට ආයෙ වතාවක් අර පරණ, අන්ධකාර ඔෆිස් එකට ගියා.

තමන්ට පිටිපස්සෙන් කළු පාට ලොකු තිරයක් පිටිපස්සෙ හැංගිලා කවුරු හරි ඉන්නවා කියලා කසුන්ට පෙනුණා.

“කසුන්, මෙයා තමයි ඔයාගේ හෙවණැල්ල මිලදී ගත්තේ.” කියලා අර මනුස්සයා කියද්දි ඒ තිරය පිටිපස්සෙ ඉඳලා එළියට ආවෙ කෙල්ලෙක්.

හෙවණැල්ල ඒ වෙද්දි විකුණලා තිබ්බ හන්දද මන්දා හිත ගැස්සුනේ නැති බව ඇත්ත උනත් හරි නම් තමන් පුදුම වෙන්න, ගැස්සෙන්න ඕන බව කසුන් දැනගෙන හිටියා.

 ඒ වෙන කවුරුත් නෙවෙයි, අවුරුදු පහකට කලින් කසුන් පණ වගේ ආදරේ කරපු, පස්සේ කසුන්ව අමතක කරපු සඳලි!

එහෙමත් නැත්තම් කසුන්ගෙ දුක වේදනාවා තඹ සතේකට ගණන් ගන්නෙ නැතුව අමතක කරලා දාපු සඳලි.

සඳලිගේ මූණේ තිබුණේ මාරම වේදනාවක්. ඒක තමන් එයාව අමතක කරලා දාපු හන්දා ඇතිවෙච්ච එකක්ද, එහෙමත් නැත්තම් තමන් කියන්නෙ තමන්ගෙ ආත්මෙ විකුණලා දාපු මිනිහෙක් කියලා දැනගත්ත හන්දා ඇතිවෙච්ච වේදනාවක්ද කියලා කසුන් දැනගෙන උන්නෙ නෑ.

සඳලි අඩියක් ඉස්සරහට තිබ්බා. එයාගෙ කකුල් දෙක ලඟ වැටිලා තිබුණේ සඳලිගේ හෙවණැල්ල නෙවෙයි. 

ඒක පිරිමි හෙවණැල්ලක්! 

ඒ හෙවණැල්ල බිත්තිය දිගේ ඇඹරෙනවා, වේදනාවෙන් දඟලනවා. ඒක තමන්ගෙ හෙවණැල්ල කියලා කසුන් අඳුරගත්තෙ ඒ හෙවණැල්ල අස්සෙ හැංගිලා තිබිච්ච වේදනාව දැක්කම.

“කසුන්” සඳලි ඇඬුවා.

එයාගෙ හැම කඳුළක්ම හරිනම් තමන්ගෙ පපුවට රිද්දන්න පුලුවන් ඒවා කියලා දැනගෙන උන්නත්, ඒ රිදුම දැනෙන්න කසුන් ලඟ හෙවණැල්ලක් තිබුණේ නැහැ. 

“මොකද්ද මෙතන මේ වෙන්නෙ?” කියලා කසුන් අර මනුස්සයගෙන් ඇහුවෙ මහ සීතල වෙච්ච කටහඬකින්. කසුන් කොච්චර ඒ කටහඬ අනුකම්පාව පිරිච්ච කටහඬක් කරන්න උත්සහ කරත් ඒක සාර්ථක උනේ නෑ.

“සඳලිට වැළඳිලා තියෙන්නේ දුර්ලභ මානසික රෝගයක්. එයාගේ හැඟීම් ඔක්කොම හිරිවැටිලා මැරිලා ගිහින් තිබුණේ. එයා විවාහ වෙච්ච මනුස්සයා එයාව පණ පිටින් මරලා දාලා තිබ්බා. ආදරය වගෙ ෆීලින්ග්ස් ගැන තිබ්බ විශ්වාසෙ සඳලිගෙ හිතෙන් ඒ මනුස්සයා අතුගාලා දාලා තිබ්බා. එයාව ජීවත් කරවන්න නම් තව කෙනෙක්ගේ සජීවී හැඟීම් එයාට බද්ධ කරන්න ඕනේ වුණා. ඔයා විකුණපු ඒ මහා වේදනාව තමයි දැන් සඳලිට හුස්ම දෙන්නේ. ඔයාගේ දුක තමයි දැන් එයාගේ ජීවිතය.”

කාමරේ ඇතුළේ තිබුණේ මාරම නිශ්ශබ්දතාවයක්.

 සඳලිගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙනවා, ඒ කඳුළු බිම වැටෙන සද්දේ පවා කසුන්ට ඇහෙනවා වගේ දැනුණා. සඳලිගේ කකුල් දෙක ලඟ වැටිලා තිබිච්ච කසුන්ගේ පරණ හෙවණැල්ල බිත්තිය දිගේ අමුතු විදිහට ඇඹරෙනවා. ඒක හරියට තමන්ගේ අයිතිකාරයාව අඳුරගෙන එයා ළඟට පැනලා එන්න හදනවා වගේ.

“මගේ හිතට කිසිම දෙයක් දැනෙන්නේ නැති වෙලා ගියා කසුන්. මම හිටියේ හරියට පණ තියෙන මළකඳක් වගේ. ඩොක්ටර්ස්ලා කිව්වේ මාව ජීවත් කරවන්න නම් මගේ ඇතුළට අලුත් හැඟීම් ටිකක් ඕනේ කියලා. එතකොට තමයි මට දැනගන්න පුළුවන් උනේ කවුරු හරි එයාගේ හෙවණැල්ල විකුණලා තියෙනවා, ඒකේ මාරම බලවත් හැඟීම් ටිකක් තියෙනවා කියලා. මම දැනගෙන හිටියේ නැහැ ඒක ඔයාගේ කියලා”

කසුන් සඳලි දිහා බලන් හිටියේ කිසිම හැඟීමක් නැති ඇස් දෙකකින්.

 “දැන් ඔයාට කොහොමද දැනෙන්නෙ සඳලි?” එයා ඇහුවේ හරිම සීතල විදිහට.

“මට දැන් හැමදේම දැනෙනවා කසුන්. ඔයා අම්මා නැති වෙච්ච වෙලාවේ විඳපු ඒ පපුව පැලෙන දුක, ඔයා බඩගින්නේ හිටපු වෙලාවල්වල දැනිච්ච අසරණකම, මම නැති වුණාම ඔයා විඳපු තනිකම. ඒ හැමදේම දැන් මගේ ඇඟ ඇතුළේ තියෙනවා. ඒක මාරම වේදනාවක්. එදා ඔයාව දාලා එද්දි, ඔයාට ඒ වේදනාව දෙද්දි, ඔයාගෙ දුක ගණන් ගන්නෙ නැතුව ඉද්දි මට ඒක මෙච්චර වේදනාවක් කියලා තේරුණේ නෑ. මට ඒ වේදනාවෙ මුකුත් වටිනකමක් තිබ්බෙ නෑ ඒත් ඒ වේදනාව නිසා තමයි මට දැන් හුස්ම ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔයාගේ ඒ දුක නැත්නම් මගේ හදවත ගැහෙන්නේ නැහැ.”

“එතකොට සඳලිට මේ හෙවණැල්ල නැතුව ජීවත් වෙන්න බැරිද?” කසුන් ඇහුවා.

“බැහැ, සඳලිගේ ඇතුළේ තියෙන හැඟීම් ඔක්කොම මැරිලා. ඔයාගේ මේ වේදනාව පිරිච්ච හෙවණැල්ල තමයි දැන් එයාගේ බැටරි එක වගේ වැඩ කරන්නේ. මේක ගැලෙව්වොත් එයා එතනම මැරෙනවා. හැබැයි තව එක දෙයක් තියෙනවා” කියලා අර මනුස්සයා කතාව නතර කරලා කසුන්ගේ මූණ දිහා බැලුවා.

“මොකක්ද?” 

“හෙවණැල්ලක් අලුත් ශරීරෙකට බද්ධ කළාම, ඒක ඒ ශරීටෙ තියෙන ජීව ගුණය උරා ගන්නවා. දැන් ඔයාගේ හෙවණැල්ල සඳලිව ජීවත් කරවනවා වගේම, සඳලිගේ ආයුෂ ටික ටික උරා ගන්නවා. තව මාස දෙකක් යද්දී සඳලි හරිම දුර්වල වෙයි. එයාට මේ මහා දුක දරාගන්න බැරි වෙයි. එතකොට එයාගේ හදවත නතර වෙයි.”

“මේකට විසඳුමක් නැද්ද?” 

“එක විසඳුමක් තියෙනවා. හැබැයි ඒක ඔයාට කරන්න පුලුවන් වෙයිද මන්දා. ඕනම නම්  ඔයාට පුළුවන් ඔයාගේ මේ මිල අධික ජීවිතය, ඔයාගේ සල්ලි, ඔයාගේ ප්‍රසිද්ධිය හැමදේම අතහැරලා, සඳලි ළඟට වෙලා එයාට ආදරේ කරන්න. ඔයාගේ ආදරේට පුළුවන් ඒ හෙවණැල්ලේ තියෙන විස නැති කරන්න. හැබැයි ඒක කරන්න නම් ඔයාට ආයෙත් හැඟීම් දැනෙන්න ඕනේ. ඒකට නම් ඔයාට ඔයාගේ හෙවණැල්ල ආපහු ඕනේ.”

කසුන් සඳලි දිහා බැලුවා. සඳලි මරණාසන්නව ඉන්නවා වගේ දුර්වල වෙලා. හරිනම් මේ වෙලාවෙ සඳලි තමන්ට කරා වගේම තමනුත් කරන්න ඕන සඳලිගෙ වේදනාවට පාච්චල් කරලා මෙතනින් යන එක උනත් එහෙම කරන්න බැරි මොකක් හරි හේතුවක් කසුන්ට තිබ්බා.

“මම මොකක්ද කරන්න ඕනේ?” කසුන් අර මනුස්සයගෙන් ඇහුවෙ අන්න ඒ හන්දා.

“ඔයා සඳලිව මේ හෙවණැල්ලෙන් බේරගන්න නම්, ඔයා ඒ හෙවණැල්ල ආපහු ඔයාගේ ඇඟට ගන්න ඕනේ. හැබැයි එතකොට සඳලි ළඟ කිසිම හැඟීමක් නැති වෙලා එයා මැරිලා යයි. එහෙම නැත්නම්, ඔයාට පුළුවන් ඔයාගේ ජීවිත කාලයම සඳලි වෙනුවෙන් පූජා කරන්න. ඒ කියන්නේ ඔයාගේ හෙවණැල්ල සඳලි ළඟ තියෙද්දී, ඔයා එයාගේ හෙවණැල්ල වෙන්න ඕනේ.”

ඒක මහ අමුතු කතාවක් බව කසුන්ට නොතේරුණා නෙවෙයි. තමන්ගේ හෙවණැල්ල සඳලි ළඟ තිබුණොත් සඳලි මැරෙනවා. ඒක තමන් ආයෙ ගත්තත් සඳලි මැරෙනවා. මේක මාරම උගුලක්.

සඳලි වෙව්ලන අත්වලින් කසුන්ගේ අත ඇල්ලුවා. කසුන්ට ඒ අතේ රස්නය දැනුණා, හැබැයි ඒකේ තිබිච්ච ආදරේ දැනුණේ නැහැ.

 “කසුන් මාව බේරගන්න එපා. ඔයා ඔයාගේ ජීවිතේ සතුටින් ඉන්න. මම මේ දුකත් එක්කම මැරිලා යන්නම්. මට මේක දරාගන්න බැහැ තවත්. ඒ හැමදේටම වඩා මම මෙච්චර රිද්දපු ඔයාට මාව ජීවත් කරවන්න කියන්න මට කිසිම අයිතියක් නෑ නේද?” කියලා සඳලි කෙඳිරි ගාද්දි කසුන් සඳලිගේ මූණ දිහා බැලුවා. එයාට කිසිම හැඟීමක් දැනුණේ නැති වුණත්, සඳලිගේ ඇස්වල තිබුණු ඒ මහා වේදනාව දැකලා එයාගේ ඇඟ ඇතුළේ මොකක්දෝ පරණ මතකයක් අවදි වුණා. 

” මට මගේ හෙවණැල්ල ආපහු ඕනේ.” කසුන් කිව්වෙ හරිම හිමින්.

“ඒත් කසුන්, ඒක ගත්ත ගමන් සඳලි මැරෙනවා!” 

“නැහැ, මම ඒක ගන්නේ සඳලිව බේරගන්න.” කියන ගමන් කසුන් අර මනුස්සයගෙ මේසය උඩ තිබිච්ච අර ලේසර් පෑන උදුරා ගත්තා. “සඳලිට ඕනේ වුණේ හැඟීම් මිසක් මගේ දුක නෙවෙයි. මගේ දුක සඳලිව මරනවා නම්, ඒක ආපහු මගේ පපුවටම එන්න ඕනේ.”

කසුන් සඳලිගේ අත තදින් අල්ලගත්තා. ඊළඟට අර ලේසර් පෑනේ බට්න් එක ඔන් කරලා තමන්ගේ පපුවටත් සඳලිගේ පපුවටත් එකපාරටම එල්ල කළා.

එකපාරටම මුළු කාමරේම මහා එළියකින් පිරිලා ගියා. සඳලිගේ කකුල් දෙක ගාව තිබුණු කසුන්ගේ ඒ වේදනාකාරී හෙවනැල්ල මහා හයියෙන් කෑගහගෙන සඳලිගෙන් ගැලවුණා. ඊළඟට ඒක ආපහු කසුන්ගේ ඇඟ ඇතුළටම පැනලා ආවා.

මාස හයක් තිස්සේ කසුන්ට කිසිම දෙයක් දැනුණේ නැහැනේ. හැබැයි දැන්, අම්මා නැති වුණු වේදනාව, හිතේ තිබුණු මහා දුක, පීඩනය මේ හැමදේම එකපාරටම හිතට කඩා වැදුණා. කසුන්ට හුස්ම ගන්නත් බැරි වුණා. හැබැයි ඒ වේදනාවත් එක්කම එයාට තවත් මාර දෙයක් දැනුණා. ඒ තමයි සඳලි ගැන තමන්ගේ හිතේ තිබුණු ආදරේ! ඒක අබමල් රේණුවකවත් වෙනසක් නැතුව අදටත් එහෙමම තියෙනවා කියලා කසුන්ට තේරුණා.

කසුන් වේදනාවෙන් හති අරිද්දී, සඳලි පණ නැතුව වගේ බිම වැටුණා. කසුන් ඉක්මනට සඳලිව බදාගෙන එයාගේ නළලට හාදුවක් දුන්නා.

හැබැයි කවදාවත් වෙන එකක් නෑ, වෙන්න බෑ කියලා හිතාගෙන උන්න දෙයක් වෙලා තියෙනවා කියලා අර හෙවණැලි මිළ දීලා ගන්න මනුස්සයා දැක්කෙ ඒ වෙලාවෙ.

ලේසර් බට්න් එක ඔන් කරන වෙලාවෙ කසුන් සඳලිව බදාගෙන හිටපු නිසා, අර කසුන්ගේ ඇඟට ආපු හෙවනැල්ලෙන් බාගයක් හෙමින් හෙමින් ගැලවිලා ගිහින් සඳලිගේ ඇඟටත් බද්ධ වෙලා තියෙනවා කියන එකත්  දැන් ඒක අර ඉස්සර තිබුණු කළුම කළු බය හිතෙන හෙවනැල්ල නෙවෙයි, ඒක හරිම සැහැල්ලු අළු පාට හෙවනැල්ලක් කියන එකත් ඒ මනුස්සයා දැක්කා.

“මොකක්ද ඒ වුණේ?” කියලා එයා ඇහුවෙ ඇත්තටම වෙච්ච දේ එයාට තේරිච්ච නැති හන්දා.

“ඔයාට වැරදුණු තැන එතන” කියන ගමන් කසුන් නැගිටලා සඳලිව වත්තම් කරගත්තා. 

“හැඟීම් කියන්නේ ඔයාට ඕන විදිහට විකුණන්න පුළුවන් දත්ත නෙවෙයි. මගේ දුක විතරක් සඳලිට දෙද්දී ඒකෙන් එයා මැරෙන්න ගියා. හැබැයි මම සඳලිව බදාගත්තම මගේ හිතේ තිබිච්ච ආදරයත් ඒ එක්කම සඳලිට ගියා. ඒ ආදරයට පුළුවන් වුණා මගේ දුකත් එක්ක සමබර වෙලා සඳලිව ජීවත් කරවන්න.”

කසුන්, සඳලිගෙ අත අල්ලගෙන ඒ අඳුරු ඔෆිස් එකෙන් එළියට ආවෙ ඉන්පස්සෙ.

දැන් කසුන් ගාව අර කෝටි ගණන් සල්ලි නැහැ. එයාගේ ලොකු පෙන්ට් හවුස් එකත් නැහැ. එයා ආයෙත් පරණ දුප්පත් කසුන්ම වුණා. හැබැයි එයා දැන් හදවතින්ම හිනා වෙනවා. එයාට දැන් කෑමක රස දැනෙනවා. පාරේ අයිනේ මලක් පිපුණම ඒකේ ලස්සන පේනවා. සඳලිගෙ කොණ්ඩෙ තියෙන ශැම්පු සුවඳ දැනෙනවා.

ඉර පායන වෙලාවේ පාරේ ඇවිදගෙන යන ඒ දෙන්නා දිහා බලපු ඕනෑම කෙනෙක්ට එක දෙයක් පෙනුණා. ඒ දෙන්නාටම දැන් වෙන වෙනම හෙවනැලි දෙකක් නැහැ. දෙන්නාගේම හෙවනැලි එකට එකතු වෙලා බිම වැටිලා තිබුණේ එකම එක ලොකු හෙවනැල්ලක් විදිහටයි.

ඒ හෙවනැල්ල ඇතුළේ දුක තිබුණා, වේදනාව තිබුණා. 

හැබැයි ඒ හැමදේටම වඩා හයියෙන් “ආදරය” පිරිලා තිබුණා.

More Stories

Don't Miss


Latest Articles