පාසල් දරුවාගේ ඝාතනයේ අභිරහස

“අම්මේ මම ගිහින් එන්නම්…” කියලා හිනාවෙලා පාසල් බස් එකට ගොඩවෙන දරුවා දිහා බලාගෙන අපි කොයිතරම් නම් හීන මාලිගා හදනවද? 

“මගේ දරුවා අද අලුත් දෙයක් ඉගෙන ගනීවි, යාළුවෝ එක්ක සතුටින් සෙල්ලම් කරයි, කවදා හරි ලොකු මිනිහෙක් වෙලා මුළු ලෝකයම ජය ගනීවි” කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඒත්, ඒ ආදරණීය සමුදීම සදාකාලික සමුගැනීමක් වේවි කියලා ඉන්දියාවේ කේරළයේ හිටපු මිහීර්ගේ අම්මයි තාත්තයි හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

උදේ වරුවේ ඉස්කෝලේ බෑග් එකත් කරේ දාගෙන දුවලා පැනලා හිටපු මිහීර් වෙනුවට, හවස් වෙද්දී ඒ දෙමව්පියන්ට ඉතිරි වුණේ තමන්ගේ දරුවාගේ සීතල වෙලා ගිය නිසල දේහය විතරයි. මිහීර්ගේ මේ අවාසනාවන්ත නික්මයාම කියන්නේ නිකම්ම නිකම් තවත් එක මරණයක් ගැන කතාවක් නෙමෙයි. ඒක පාසල් පවුර ඇතුළේ සැඟවුණු කුරිරු වදකාගාර ගැනත්, ඇතැම් දරුවන්ගේ හිත් ඇතුළේ තියෙන අමනුෂ්‍ය මානසිකත්වය ගැනත්, මුළු පද්ධතියකම අසමත් වීම ගැනත් ලෝකයටම ඇහෙන්න කියන හද කම්පා කරවන ශෝකාලාපයක්.

කවුද මේ මිහීර්?

මිහීර් කියන්නේ වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක්. එයා හරිම ක්‍රියාශීලී, කඩිසර වගේම හරිම ලස්සනට හිනාවෙන දරුවෙක්. ඉගෙනගන්න දක්ෂ වුණා වගේම මිහීර්ගේ මුළු ලෝකයම වුණේ බාස්කට්බෝල් ක්‍රීඩාව. මිහීර්ට හිටියේ හරිම ආදරණීය පවුලක්. අම්මයි, කුඩප්පයි, නංගියි එක්ක තමයි එයා ජීවත්වුණේ. එයාගේ සුළු පියා වුණත් මිහීර්ට සැලකුවේ තමන්ගේම ලෙයින් උපන් පුතෙකුට වඩා ආදරෙන්.

මිහීර් කලින් ගිය ඉස්කෝලේදී එයාට යම් යම් මානසික පීඩාවන් ඇති වුණා. ඉතින් දෙමව්පියෝ තීරණය කළා 2024 නොවැම්බර් මාසේ මිහීර්ව වෙනත් ඉස්කෝලෙකට ඇතුළත් කරන්න. එයාලා හිතුවේ “මගේ පුතා අලුත් යාළුවෝ එක්ක සතුටින් ඉඳියි, එයාට නිදහසේ ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි” කියලා. ඒත් අවාසනාවට එයාලා මිහීර්ව ඇතුළත් කරලා තියෙන්නේ ඉස්කෝලෙකට නෙමෙයි, “වදකාගාරයකට” කියලා එයාලා දැනගන්න කොට පමා වැඩි වෙලා තිබුණා. මිහීර්ගේ ජීවිතයේ අවාසනාවන්ත කාලය පටන් ගත්තේ එයාගේ කලින් ඉස්කෝලේ ඉඳලමයි. ඒ පාසලේ හිටපු උප විදුහල්පතිවරයා  මිහීර්ට සෑහෙන්න අසාධාරණ විදිහට සලකලා තිබුණා. කිසිම සාධාරණ හේතුවක් නැතිව මිහීර්ව කාමරයක දාලා හිර කරලා දඬුවම් කරන්නත්, එයා පණ වගේ ආදරේ කරපු බාස්කට්බෝල් කණ්ඩායමෙන් එයාව ඉවත් කරන්නත් ඒ උප විදුහල්පතිවරයා කටයුතු කළා.

මේ නිසා මිහීර් මානසිකව වැටෙයි කියලා බය වුණ එයාගේ අම්මයි තාත්තයි තීරණය කළා 2024 නොවැම්බර් මාසයේදී මිහීර්ව අලුත් ඉස්කෝලෙකට දාන්න. “කලින් ඉස්කෝලේ වුණ දේවල් අමතක කරලා මගේ පුතා අලුත් යාළුවෝ එක්ක සතුටින් පටන් ගනියි” කියලා දෙමව්පියෝ හිතුවා. ඒත් ඒ “අලුත් ආරම්භය” මිහීර්ගේ ජීවිතයේ අවසානය වෙයි කියලා ඒ අහිංසක දෙමව්පියෝ හීනෙකින්වත් හිතුවේ නැහැ.

2025 ජනවාරි 15 මොකද වුණේ?

එදා උදේ මිහීර් ඉස්කෝලේ ගියේ හරිම උනන්දුවෙන්. එදා උදේ බාස්කට්බෝල් ප්‍රැක්ටිස් තිබුණා. දවස පුරාම ඉස්කෝලේ වැඩ කරලා, හවස අමතර පන්තිවලටත් ගිහින් මිහීර් හවස 5ට විතර තමන් පදිංචි වෙලා හිටපු අපාර්ට්මන්ට් එකට ආවා. ගෙදරට ඇවිත් සැලඩ් එකක් හදන් කාලා, කාටුන් බල බල හිටපු නංගිටත් සැලඩ් එකක් දීලා මිහීර් තමන්ගේ කාමරයට ගියා.

ඒත් විනාඩි කිහිපයක් යද්දී මුළු පරිසරයම භීතියෙන් ඇලලී ගියේ ලොකු සද්දයක් ඇහුණ නිසයි. ඒ සද්දේ ආවේ 3 වෙනි තට්ටුවේ වහලෙන්. ආරක්ෂක නිලධාරීන් දුවලා ගිහින් බලද්දී දැක්කේ හිතාගන්න බැරි දෙයක්.ඒ  26 වෙනි තට්ටුවේ ඉඳන් 3 වෙනි තට්ටුවට වැටිලා හිටපු මිහීර්ගේ පණ නැති සිරුර. රෝහලට අරන් ගියත් ඒ වෙද්දීත් ඒ අහිංසක හුස්ම නතර වෙලා තිබුණා.

චැට් මැසේජ් වලින් හෙළි වුණ භීෂණය

මුලින්ම හැමෝම හිතුවේ මිහීර්ට කකුල ලිස්සලා වැටුණා කියලා. හැබැයි මිහීර්ගේ අම්මයි තාත්තයි දැනගෙන හිටියා තමන්ගේ පුතා එහෙම නොසැලකිලිමත් දරුවෙක් නෙමෙයි කියලා. එයා සියදිවි නසා ගනී කියලා කාටවත් හිතාගන්න බැරි වුණා. ඒ නිසාම එයාලා මිහීර්ගේ සමාජ මාධ්‍ය ගිණුම් (Instagram/WhatsApp) පරීක්ෂා කළා. අන්න එතනදී තමයි මුළු ලෝකයම කම්පා කරවන කතාවක් එළියට ආවේ.

මිහීර් අලුත් ඉස්කෝලෙට ගිය දවසේ ඉඳන්ම පන්තියේ යාළුවෝ පිරිසකගෙන් දරුණු විදිහට වද හිංසා විඳලා තිබුණා. මේ ළමයි මිහීර්ගේ හමේ පාටට විහිළු කරලා තියෙනවා. හැම තිස්සෙම එයාව හෑල්ලු කරලා, අමුතු නම්වලින් කතා කරලා මානසිකව වට්ටලා තිබුණා. මිහීර් මේවා කාටවත්ම කියලා නැහැ. එයා හැමදේම හිතේ හිරකරගෙන යාළුවෝ ඉස්සරහා හිනාවෙලා ඉන්න උත්සාහ කරලා තියෙනවා මොකද කලින් ඉස්කෝලෙන් අයින් වෙලා මේ ඉස්කෝලෙට ආවෙත් ප්‍රශ්න හන්දා. මේ ඉස්කෝලෙත් ප්‍රශ්න ආවොත් තමන්ට යන්න වෙන ඉස්කෝලයක් හොයාගන්න බැරිවෙයි කියන ප්‍රශ්නෙ පුංචි මිහිර්ගෙ හිතේ තියෙන්න ඇති. ඒත් දේවල් දරාගන්න පුළුවන් සීමාවක් පුංචි දරුවෙක්ට තියෙනවා. ඒ දරාගැනීමේ සීමාව පැනලා ගිය දවස එදා තමයි.

අමනුෂ්‍ය වධහිංසාව: වැසිකිළිය ඇතුළේ වුණ දේ

මිහීර් මැරුණ දවසේ හවස අමතර පන්තිය වෙලාවේ මේ දරුණු යාළුවෝ කණ්ඩායම මිහීර්ව බලහත්කාරයෙන් ඉස්කෝලේ වැසිකිළියට එක්කන් ගිහින් තියෙනවා. එතනදී එයාලා මිහීර්ට දීපු වදහිංසා අහද්දී අපේ ඇඟේ ලේ රත් වෙනවා. එයාලා මිහීර්ට බල කරලා තියෙනවා වැසිකිළි කොමඩ් එක දිවෙන් ලෙවකන්න කියලා. ඒ මදිවට මිහීර්ගේ ඔළුව කොමඩ් එක ඇතුළට දාලා කිහිප වතාවක්ම ෆ්ලෂ් කරලා තියෙනවා.

හිතන්න, වයස අවුරුදු 15ක දරුවෙක් තවත් දරුවෙක්ට මෙහෙම සලකන්නේ කොහොමද? එයාලගෙ හිත් මේ තරම් දරුණු වුණේ කොහොමද? මිහීර් මේ නින්දාව දරාගන්න බැරිව තමයි ගෙදර ඇවිත් 26 වෙනි තට්ටුවෙන් පල්ලෙහාට පැන්නේ. ඊටත් වඩා පිළිකුල් සහගත දේ තමයි, මිහීර් මැරුණට පස්සෙත් මේ ළමයි චැට් ගෘප් වල ඒ මරණය ගැන විහිළු කරලා තිබුණ එක.

ඉස්කෝලේ වගකීම පැහැර හැරීම

මිහීර්ගේ දෙමව්පියෝ මේ සාක්ෂි ඔක්කොම අරන් ඉස්කෝලෙට ගියා. ඒත් ඉස්කෝලේ බලධාරීන් කළේ වැරදිකාර ළමයින්ව ආරක්ෂා කරන එක. එයාලට ඕන වුණේ ඉස්කෝලේ නම බේරගන්න විතරයි. මිහීර් වෙනුවෙන් හදපු Instagram පේජ් එක පවා බලහත්කාරයෙන් ඩිලීට් කරවන්න මෙයාලා කටයුතු කරනවා. මිහීර්ට උදව් කරන්න කැමති වුණ ළමයින්ගේ කටවල් පවා වහලා දානවා.

අන්තිමට මිහීර්ගේ අම්මයි තාත්තයි කේරළ පොලිසියට ගිහින් පැමිණිලි කළා. දැන් මේ ගැන විශේෂ විමර්ශනයක් යනවා. ඉන්දියාවේ ප්‍රබල දේශපාලන නායකයින් පවා දැන් මේ ගැන කතා කරනවා. හැම ඉස්කෝලයක්ම දරුවෙකුට ආරක්ෂිත තැනක් වෙන්න ඕනේ කියන එක එයාලා අවධාරණය කරනවා.

සමාජයට දෙන ලොකුම පණිවිඩය

අපි දරුවන්ට උගන්වන්නේ විභාග පාස් වෙන්න විතරද? දරුවෙක් තව කෙනෙක්ව තේරුම් ගන්න, තව කෙනෙක්ගේ වේදනාව දැනෙන්න ඉගෙන ගන්නේ නැත්නම් ඒ අධ්‍යාපනයෙන් ඇති වැඩේ මොකක්ද? මේ වගේ “බුලී” කරන ළමයි හැදෙන්නේ දෙමව්පියන්ගේ සහ සමාජයේ අවධානය අඩුකම නිසයි කියන එක අපිට අමතක කරන්න බෑ.

අපිට සමාජයක් හදන්න බැරි වෙන්න පුළුවන්, හැබැයි අපිට අපේ දරුවා ගැන විමසිල්ලෙන් ඉන්න පුළුවන්.

  • දරුවා ඉස්කෝලේ ගිහින් ඇවිත් වෙනදා නැති විදිහට නිහඬව ඉන්නවා නම්,
  • එයාගේ හැසිරීමේ හෝ කෑම බීමවල වෙනසක් තියෙනවා නම්,
  • එයා තනියම ඉන්න උත්සාහ කරනවා නම්, ඒ ගැන අනිවාර්යයෙන්ම හොයලා බලන්න. දරුවාට හැමදේම කියන්න පුළුවන් තරම් සමීප යාළුවෙක් වෙන්න.

මිහීර්ගේ මරණය අපේ ඇස් ඇරවිය යුතු වෙන්නෙ තවත් අහිංසක දරුවෙක් මෙහෙම වධහිංසාවට ලක් වෙන්න ඉඩ නොදෙන්න. පාසල කියන්නේ දරුවෙක්ගේ හීන හැදෙන තැනක් මිසක් හීන මරා දමන වදකාගාරයක් වෙන්න දෙන්න හොඳ නෑ.

මිහීර්ගේ ආත්මයට සාමය ප්‍රාර්ථනා කරන අතරම, ඒ අහිංසක මවට සහ පියාට යුක්තිය ඉටු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු!

Related Articles

Don't Miss


Latest Articles