“අනේ මගේ අහිංසක මහත්තයට මේ මොකද වුණේ… මාවත් මරලා දාලා යන්න තිබුණේ මගේ දෙයියෝ…”
කුරුණෑගල නගරයම හෙල්ලුම් කාපු ඒ අවාසනාවන්ත උදෑසන, තමන්ගේ සැමියාගේ මළ සිරුර බදාගෙන ජමිලා විලාප තියපු විදිහ දැකපු ඕනෑම කෙනෙක්ගේ පපුව පත්තු වෙලා ගියා.
අවුරුදු 36ක අහිංසක තරුණයෙක්ව මෙච්චර දරුණු විදිහට මරලා දැම්මේ මොන වගේ මෘගයෙක්ද කියලා මුළු ගමම හෙව්වා.
හැබැයි, ඒ සද්දෙන් ඇහුණ විලාපය පිටුපස තිබුණේ හීනෙකින්වත් හිතන්න බැරි තරම් බිහිසුණු රංගනයක් කියලා ඒ වෙලාවේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මේක නිකම්ම නිකම් මිනීමැරුමක් ගැන කතාවක් නෙවෙයි, මේක පණ වගේ ආදරය කරපු බිරිඳක්, තමන්ගේ පහත් ආශාවන් වෙනුවෙන් සැමියාටයි දරුවන්ටයි හොර රහසේ වස දීපු, සුවඳ හඳුන්කූරු දුමකින් බිහිසුණු අපායක් වහන්න හදපු පාවාදීමක කතාවක්.
කතාව පටන් ගන්නේ 2015 අවුරුද්දේ ජනවාරි මාසේ 25 වෙනිදා.
කුරුණෑගල නගරයෙන් ටිකක් ඈතට වෙන්න තිබුණ පාළු ඉඩමක වැටිලා තියෙනවා මැරිච්ච මනුස්සයෙක්ගෙ මල සිරුරක්.
ඒ මල සිරුර දැක්ක ගම්වැසියන්ගේ මුළු ඇඟම හිරි වැටිලා ගියේ ඒ දර්ශනය දරාගන්න බැරුවයි. වයස අවුරුදු 36ක් විතර වෙච්ච ඒ තරුණයාගේ බෙල්ල දරුණු විදිහට කපලා දාලා තිබුණා. ඉතින් ඒ වෙලාවෙම එතනට ආපු පොලිස් නිලධාරීන්ට එක බැල්මෙන්ම තේරුණා, මේ මරණය පිටුපස හිතාගන්න බැරි තරම් ලොකු රහසක් හැංගිලා තියෙනවා කියලා.
මේ විදියට මරලා දාලා උන්නෙ ඒ ප්‍රදේශයේම ග්‍රාම සේවක මහත්තයාගේ මල්ලි වුණ අහමඩ් කියන පිරිමි කෙනාව. අහමඩ් කියන්නේ කාටවත් කරදරයක් නැති හරිම නිහතමානී මනුස්සයෙක් කියලා තමයි ගමේ මිනිස්සු අහමඩ් ගැන කිව්වේ. තමන්ගේම කියලා සිල්ලර බඩු කඩයක් කරගෙන ගිය අහමඩ්, තමන්ගේ බිරිඳයි, දරුවන් දෙන්නයි, ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත අක්කලා දෙන්නවයි පණ වගේ බලාගත්ත හරිම ආදරණීය තාත්තෙක්, ස්වාමිපුරුෂයෙක්. සහෝදරයෙක්. ඉතින් එහෙම මනුස්සයෙක්ව මරලා දාන්න කාටවත් තියෙන උවමනාව මොකද්ද කියන එක ඇත්තටම හරිම ලොකු ප්‍රශ්නයක් වුනා.
ලේ බිඳක්වත් නැති මිනීමැරුම සහ පටලැවිලි සහගත සාක්ෂි
ස්ථානීය පරීක්ෂණ පවත්වපු පොලිසියට තිබුණ ලොකුම ගැටලුව තමයි, අහමඩ්ගේ බෙල්ල ගැඹුරටම කැපිලා තිබුණත් එයා වැටිලා හිටපු තැන එක ලේ බිඳක්වත් නොතිබීම. සාමාන්‍යයෙන් බෙල්ලේ ධමනියක් කැපුණාම ලේ විදිනවා, ඒත් මේ සිරුර හරිම පිරිසිදුයි. “මේ මනුස්සයාව මරලා තියෙන්නේ වෙන කොහේ හරි. මරලා, ලේ හෝදලා, පස්සේ බයික් එකක දාගෙන ඇවිත් මෙතනට අතඇරලා ගිහින්” කියලා පොලිසිය නිගමනය කරන්නෙ අහමඩ්ගෙ සිරුර සහ ඒ වටේ තිබ්බ සාක්කි එහෙම සැලකිල්ලට අරගෙන.
ඒ වෙලාවේ එතනට ආපු අහමඩ්ගේ බිරිඳ ජමිලා, සැමියාගේ සිරුර දැකලා මහා හයියෙන් විලාප තියන්න පටන් ගත්තා. “අනේ මගේ අහිංසක මහත්තයා මරපු මිනිස්සුන්ට හෙන ගහන්න ඕනේ” කියලා අඬපු ජමිලා එතනම සිහි නැති වෙලා වැටුණා. වටේ හිටපු මිනිස්සුත් ජමිලා ගැන පව් කියලා හිතලා ඒ අහිංසක ගැහැණු මනුස්සයාට උදව් කළා. මොකද මොක උනත් තමන්ගෙ ස්වාමි පුරුශයා මැරෙනවා කියන්නෙ ගැහැණියකට ලේසියෙන් දරාගන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ ඒක නේද? සාමාන්‍යයෙන් විවාහක ජෝඩුවක එක්කෙනෙක් මැරුනම පලවෙනි සැකකාරයා වෙන්නෙ ඒ කසාදෙ ඉන්න අනිත් කෙනා හන්දා පොලිසියට යන්න සිද්ද වෙනවා ජමීලාගෙන් අහන්න අහමඩ්ගෙ මරණෙට සම්බන්ධ කවුරුහරි සැක කාරයෙක් ජමීලාට ඉන්නවද කියලා අහන්න.
ඒ විදියට තමයි පොලිසිය ජමීලාගෙ ගෙදරට යන්නෙ.
සුවඳ හඳුන්කූරු දුමෙන් වහන්න හදපු අපාය
පොලිසිය ජමිලාගේ ගෙදරට ගියේ ප්‍රකාශයක් සටහන් කරගන්න. ඒ වෙලාවේ පොලිස් නිලධාරීන්ට දැනුණේ හරිම පුදුම දෙයක්. ගෙදර පුරාම තද හඳුන්කූරු සුවඳක් තිබ්බා. පොලිසිය කට උත්තර ගන්න ජමීලාගෙ ගෙදරට එන එන හැම වෙලාවෙම ජමිලා කලබලෙන් හඳුන්කූරු කිහිපයක් පත්තු කරනවා පොලිසිය දැක්කා. අහමඩ්ගේ අක්කලා දෙන්නත් හිටියේ හරිම බයෙන් වගේ. පොලිසියේ අයට එක පාරටම සැකයක් ආවා. “සාමාන්‍යයෙන් කෙනෙක් මැරුණම හඳුන්කූරු පත්තු කරනවා තමයි, ඒත් මේ ගැහැණිය මේ තරම් කලබලෙන් මේවා පත්තු කරන්නේ ඇතුළෙන් එන ලේ ගඳ හෝ පිරිසිදු කාරකවල සැර වහන්නද?” කියලා එයාලා කල්පනා කරා. මොකද මොක උනත් මේ මැරිලා ඉන්නෙ තමන්ගෙ සැමියා. එහෙම සැමියව කවුරුහරි මරලා දාලා තියෙනවා කියලා දැනගෙන ඉන්න වෙලාවක ගෑනු කෙනෙක්ට ඉඩක් තියෙන්න විදියක් නෑනෙ මේ පැය විසි හතරෙම ගෙදරට සුවඳ දුං අල්ල අල්ල ඉන්න කියන සැකෙත් පොලිසියෙ හිතේ තිබ්බා.
ඒ සැකය තවත් වැඩි වුණේ අහමඩ්ගේ මරණ පරීක්ෂණ වාර්තාව ආවට පස්සේ. අහමඩ්ගේ රුධිරයේ කාලෙක ඉඳන් “නිදි බෙහෙත්” අඩංගු වෙලා තිබුණා. අහමඩ්ට නින්ද යන්නේ නැති ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එහෙනම් කවුද එයාට හැමදාම හොරෙන් නිදි බෙහෙත් දුන්නේ? අන්න ඒ සැකේ උඩ තමයි පොලිසිය තව තව මේ විස්තර හොයන්න පටන් ගත්තෙ.
කාමරේ ඇතුළෙන් ඇහුණු ඒ රහස් සද්දය
පොලිසිය ජමිලගෙන් ප්‍රශ්න කරමින් ඉද්දී, එක පාරටම කාමරේ ඇතුළේ මොකක් හරි වයිබ්රේට් වෙන සද්දයක් පොලිසියට ඇහුණා. අහමඩ්ගේ ෆෝන් එක තිබුණේ පොලිසිය ගාව. ජමිලාගේ ෆෝන් එක එයාගේ අතේ. එහෙනම් මේ කාගේ ෆෝන් එකද? ජමිලා කිව්වේ ඒක අහමඩ්ගේ පරණ ෆෝන් එකක් කියලා. ඒත් පොලිසිය ඒ රහස් ෆෝන් එක පරීක්ෂා කරද්දී තමයි මුළු ලෝකයම කම්පා කරවන රහස එළියට ආවේ.
ඒ රහස් දුරකථනයේ තිබුණ මැසේජ් පරීක්ෂා කරද්දී පොලිසිය දුටුවේ හිතාගන්න බැරි තොරතුරු ටිකක්.
ජමිලා, තමන්ගෙ සැමියා විදේශගතව ඉන්න කාලයේ දුලාන් කියන 25 හැවිරිදි තරුණයෙක් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. අහමඩ් ආපහු ලංකාවට ආවට පස්සේ මේ දෙන්නට නිදහසේ මුණගැහෙන්න විදිහක් තිබුණේ නැහැ. ඒකට ජමිලා හොයාගත්ත විසඳුම තමයි සතෙකුටවත් කරන්න බැරි දරුණු වැඩක් කරලා අහමඩ්ව තමන්ගෙ ජීවිතෙන් අයින් කරලා දාන්න හදන එක.
ජමිලා සහ ඇගේ අනියම් පෙම්වතා දුලාන්, අහමඩ් ගෙදර ඉන්දැද්දිම මුණගැහෙන්න සැලසුම් කරලා තිබුණේ එක දවසක් දෙකක් නෙවෙයි. මාස කිහිපයක් තිස්සේ රහස් කේත පාවිච්චි කරලා තිබුණා අහමඩ්ට අහුවෙන්නෙ නැතුව තමන්ගෙ සම්බන්ධෙ කරගෙන යන්න. “අද බෙහෙත් දුන්නා”, “හැමෝම නිදි”, “කුස්සියේ දොර ඇරලා තියෙන්නේ” වගේ ජමිලා දුලාන්ට දාලා තිබ්බ මැසේජ් දැක්කම පොලිස් නිලධාරීන්ට තේරුණා මේක අහඹු මිනීමැරුමක් නෙවෙයි, කාලයක් තිස්සේ ලේ පිපාසයෙන් කරපු සැලසුමක් කියලා.
ජමිලා හැමදාම රෑට තමන්ගේ පොඩි දරුවන් දෙන්නටයි, සැමියාටයි නිදි බෙහෙත් මිශ්‍ර කරපු කිරි දීලා තියෙනවා. මුළු පවුලම සිහි නැතුව වගේ නිදාගත්තට පස්සේ, ජමිලා හොර රහසේම කුස්සියේ දොර ඇරලා දුලාන්ව ගෙදරට ගෙන්නගන්නවා. තමන්ගේ සැමියා එහා පැත්තේ නිදි බෙහෙත් බීලා ගොරව ගොරවා නිදාගෙන ඉද්දී, ජමිලා තමන්ගේ අනියම් පෙම්වතා එක්ක ඒ කාමරේ ඇතුළෙම සතුටු වෙලා තියෙනවා.
හැබැයි 2015 ජනවාරි 24 වෙනිදා රෑ දුලාන් හදිසියේම මැසේජ් එකක් දාලා ජමීලට කියනවා “මට ඔයාව බලන්න එන්න ඕනේ” කියලා. එදා ජමිලාට අහමඩ්ට නිදි බෙහෙත් දෙන්න අමතක වෙලා තියෙනවා මොකද මේක හදිසියෙ ප්ලෑන් කරගත්ත වැඩක් හන්දා. රෑ 11.30ට විතර දුලාන් ගෙට ආපු සද්දෙට අහමඩ් එක පාරටම ඇහැරෙනවා. තමන්ගේ බිරිඳ තව පිරිමියෙක් එක්ක ඉන්නවා දැක්ක අහමඩ් මරහඬ දීලා කෑගහන්න හදනවා. ඒ වෙලාවේ කලබල වුණ දුලාන් කුස්සියට දුවලා ගිහින් මන්නා පිහියක් අරන් ඇවිත් අහමඩ්ගේ බෙල්ලටම මාරක පහරවල් කිහිපයක් ගහනවා. ඒ විදියට තමයි අහමඩ් ජමීලගෙ පෙම්වතා අතින් මිය යන්නෙ.
අපරාධය වසන් කළ හැටි
ලේ විලක් මැද අහමඩ් මැරිලා වැටෙද්දී ජමිලා කළේ සැමියා වෙනුවෙන් අඬන එක නෙවෙයි, දුලාන් එක්ක එකතු වෙලා සාක්ෂි මකන එකයි. මේ දෙන්නා අහමඩ්ගේ ලේ තැවරුණු ඇඳුම් ගලවලා, සිරුර හෝදලා, වෙන පිරිසිදු ඇඳුමක් අන්දවලා තියෙනවා. ඊට පස්සේ අහමඩ්ව බයික් එකේ මැද තියාගෙන, නිකන් අසනීප කෙනෙක්ව අරන් යනවා වගේ පේන්න පටිවලින් දුලාන්ගේ ඇඟට ගැටගහලා, හෙල්මට් එකක් පවා දම්මලා තමයි අර පාළු ඉඩමට අරන් ගිහින් දාලා එන්නෙ.
ඉන් පස්සේ ජමිලා රෑ පුරාම නැගිටගෙන ඉඳලා ගෙදර තැන් තැන්වල තිබිච්ච ලේ පැල්ලම් පිරිසිඳු කාරකයක් දාලා හෝදලා, පොලිසිය එද්දී ඒ ගඳ වහන්න හඳුන්කූරු පත්තු කරන සෙල්ලමක් පටන් ගන්නවා. මේ විදියට තමන්ට බේරෙන්න පුලුවන් කියලා ජමීලා හිතුවට විද්‍යාත්මක පරීක්ෂණ ඉස්සරහදි තවදුරටත් ජමීලාට ඒ රහස වහන්න පුලුවන් වෙන්නෙ නෑ.
අන්තිමේදී පොලිසිය ජමිලා ලවාම දුලාන්ට කෝල් එකක් දීලා “පොලිසියට සැක හිතිලා, අපි දැන්ම කොහේ හරි පැනලා යමු” කියලා බොරුවක් කියාගෙන එන්න කියනවා. ඒකට රැවටිලා ආපු දුලාන්ව පොලිසිය මඟ රැකලා අල්ලගන්නවා.
තමන්ගේ පහත් ආශාවන් වෙනුවෙන් දරුවන්ටයි, සැමියාටයි වස දීපු ඒ කාලකණ්ණි ගැහැණියත්, ඒ මිනීමරුවාත් අද හිරගෙදර.
අහිංසක අහමඩ් පස් යට. දරුවොත්, විශේෂ අවශ්‍යතා තියෙන අක්කලා දෙන්නත් අද අසරණ වෙලා.
මේ කතාව සමාජයට දෙන ලොකුම පණිවිඩය තමයි, සැබෑ ආදරය පාවා දීලා කරන අනියම් සබඳතා කෙළවර වෙන්නේ ලේ විලකින් සහ මුළු පවුලක්ම විනාශ වීමෙන් විතරයි කියන එක.











