1943 අප්‍රේල් 18 වැනිදා, පිරිමි ළමයි හතර දෙනෙක් කුරුලු කූඩු හොයන්නයි තව පොඩි පොඩි දඩයම් වැඩවලටයි කියලා කැලෑවකට හොරෙන් රිංගුවා. ඒ යන අතරේ ඒ අයට මාර එල්ම් ලොකු ගහක් හම්බවුණා. ඒ ගහේ කුරුලු කූඩු ඇති කියලා හිතපු එක පිරිමි ළමයෙක් ඒකට බඩගෑවා.
එහෙම නගින අතරේ ගහේ මැද තිබුණු බෙනේ ඇතුළ බලද්දී තමයි එයා දැක්කේ ඒ ඇතුළේ හිස්කබලක් තියෙනවා.
මුලින්ම මේ පිරිමි ළමයා හිතුවේ ඒක සතෙක්ගේ එකක් කියලා. හැබැයි ඒකේ මනුස්ස කෙස් වගේම දත් තියෙනවා දැක්කම තමයි එයාට තේරුණේ ඒක මනුස්සයෙක්ගේ හිස්කබලක් කියලා. ඒත් ඉතින් මේ හතර දෙනාම ඒ කැලෑවට ඇතුළු වෙලා හිටියේ හොරෙන් නිසා, පොලිසියට අහුවෙයි කියලා බයට දැකපු දේ කාටවත් නොකියා හිස්කබල තිබුණු තැනින්ම තියලා හතර දෙනාම ගෙදර දුවනවා
හැබැයි ගෙදර ගියාට පස්සේ මේ හතර දෙනාගෙන් වැඩිමල් කෙනාට තමන් මේක හංගගෙන උන්න එක හිතට හරි නැහැ වගේ දැනුණ හන්දා එයා තමන් දැකපු දේ හිතේ හිරකරගෙන ඉන්න බැරිම තැන තීරණය කරනවා තමන්ගේ අම්මලාට මේ ගැන කියන්න.
අන්න ඒ විදියට තමයි මේ එල්ම් ගහ අස්සෙ හිරවෙච්ච කාන්තා ඇටසැකිල්ල ගැන පොලිසියට දැනගන්න පුලුවන් වෙන්නෙ. පොලිසිය එනවා එල්ම් ගහ ළඟට.
පොලිසිය අර ගහේ බෙනේ පරීක්ෂා කරද්දී ඒ අයට සම්පූර්ණයෙන්ම වගේ තිබුණු ඇටසැකිල්ලක් හම්බ වෙනවා. ඒත් එක්කම සපත්තුවක්, රත්තරන් මංගල මුද්දක් වගේම ඇඳුම් කෑලි කිහිපයකුත් තිබුණා. විශේෂයෙන්ම ඒ හම්බවුණු හිස්කබල මාරම වටිනා සාක්ෂියක් වුණා, මොකද ඒකේ තවමත් කෙස් රොද කිහිපයක් ඉතිරි වෙලා තිබුණා වගේම දත් කිහිපයක් හැලිලා තිබුණත් දත් පිහිටා තිබුණ රටාව හරිම පැහැදිලිව පෙනෙන්න තිබුණ නිසා. තවදුරටත් හෙව්වට පස්සේ, ගහේ ඉඳන් පොඩි දුරකින් මේ ශරීරයෙන් වෙන් කරලා වෙනම වල දාලා තිබුණ අතක කොටසකුත් හොයාගන්න පුළුවන් වුණා.
ඊටපස්සේ මේ ශරීර කොටස් පරීක්ෂණ පවත්වන විශේෂඥ දොස්තරවරයෙක් වුණු ජේම්ස් වෙබ්ස්ටර් වෙත යොමු කරනවා. එයා ඉක්මනින්ම තහවුරු කරනවා මේ මැරිලා ඉන්නේ ගැහැනු කෙනෙක් බවත්, එයා මියගිහින් අවම වශයෙන් මාස 18ක්වත් වෙන බවත්. ඒ කියන්නේ එයා මියගිහින් තියෙන්නේ 1941 ඔක්තෝබර් මාසයේදී හෝ ඊට කලින්. ඒ වගේම එයාගේ කට ඇතුළේ තිබිලා රෙදි කෑල්ලක් හම්බවුණා. ඒකෙන් පැහැදිලි වුණේ එයාව මරා දාලා තියෙන්නේ හුස්ම හිර කරලා කියන එකයි. ඒ විතරක් නෙවෙයි, මරණයෙන් පස්සේ සිරුර තද වෙන්න කලින්, ඒ කියන්නේ මරලා ටික වෙලාවකින්ම සිරුරේ උණුසුම යන්නත් කලින් එයාව ඒ ගහ ඇතුළට දාන්න ඇති කියලා දොස්තර නිගමනය කළා. මොකද සිරුර තද වුණාට පස්සේ ඒ වගේ පටු බෙනයක් ඇතුළට කෙනෙක්ව ප්‍රැක්ටිකලි දාන්න බැරි නිසා.
හම්බවුණු බඩුමුට්ටුවලින් මේ කාන්තාව මොන වගේ කෙනෙක්ද කියලා පොලිසියට අදහසක් තිබුණත්, ඒ කාලේ දෙවැනි ලෝක යුද්ධය නිසා අතුරුදන් වුණු අයගේ ලේඛන පිරිලා තිබුණු හින්දා හරියටම මේ කෙනා කවුද කියලා හරියටම අඳුරගන්න එක ලොකු ගැටලුවක් වුණා. ඒ අවට ප්‍රදේශවල අතුරුදන් වුණු අයගේ විස්තර එක්ක මේ තොරතුරු සසඳලා බැලුවත් කිසිම කෙනෙක් මේ සාක්ෂිවලට ගැලපුණේ නැහැ. අන්තිමේදී එයාගෙ දත් පිහිටා තිබුණු විශේෂ රටාව ගැන තොරතුරු අරගෙන ඒ පළාතේ ඉන්න දන්ත වෛද්‍යවරුන්වත් පොලිසියෙන් සම්බන්ධ කරගත්තා.
මේ සිද්ධිය ගැන කරපු පරීක්ෂණ 2014 අවුරුද්දේදී පොලිසිය විසින් නිල වශයෙන් නතර කලේ කොච්චර උත්සහ කරත් මේ කාන්තාව කවුද කියන එක හොයාගන්න පුළුවන් උනේ නැති හන්දා. හැබැයි මේ ගැන තිබුණු කුතුහලය නම් නතර වුණේ නැහැ. ශරීරෙ හම්බවෙලා ටික කාලයක් යද්දි, අවට ටවුන්වල තාප්ප පුරාම අමුතු විදියේ කතාවක් ලියවෙන්න ගත්තා. සුදු හුණු කෑල්ලකින් ලියලා තිබුණු ඒ පණිවිඩය ඇත්තටම මාරම බය හිතෙන එකක්. හැම තැනම ලියලා තිබුණේ “අර ගහ ඇතුළට බෙලාව දැම්මේ කවුද?” කියලා විතරයි.
මේ ප්රශ්නය නිතර නිතර නගරේ හැම තැනම මතු වෙන්න ගත්තා. ඒක හරියට කවුරු හරි හිතාමතාම මුළු ටවුන් එකම බය කරන්න කරන වැඩක් වගේ. පොලිසියටත් මේක මාරම ප්‍රහේලිකාවක් වුණේ, මැරුණු ගැහැනිය කවුද කියලා පොලිසියටවත් හොයාගන්න බැරි වෙලාවක, එළියේ ඉන්න කවුරු හරි එයාගෙ නම “බෙලා” කියලා දැනගෙන ඉන්න එකයි. මේ අකුරු ලියලා තිබුණු තැන් ළමයෙක්ට ලියන්න බැරි තරම් උසින් තිබුණු නිසා පොලිසිය මේ ගැන මාර විදිහට හෙව්වා. ඒ වගේම මේ අකුරු නිසා මියගිය ගැහැනිය කවුද කියලා හොයන්න පොලිසියට අලුත් ඉඟි කිහිපයකුත් හම්බවුණා.
කාලයත් එක්ක මේ මුළු සිද්ධියම ලෝකය පුරාම ප්‍රසිද්ධ වුණේ “විච් එල්ම් ගහ ඇතුළේ සැඟවුණු බෙලාගේ අභිරහස” විදිහටයි.
2018 අවුරුද්දේ විකාශය වුණ එක්තරා රූපවාහිනී වැඩසටහනකදී, අර හම්බවුණු හිස්කබලේ ඡායාරූප පාවිච්චි කරලා එයාගේ මුහුණ මොන වගේ වෙන්න ඇතිද කියලා නැවත නිර්මාණය කළා. ඒක කළේ විශේෂ විද්‍යාගාරයක් මගින්. මේ වැඩේ කරවන්න මූලික වුණේ මේ සිද්ධිය ගැන පොත් ලියපු ලේඛකයෙක්.
තවත් වැදගත් දෙයක් වුණේ 2023 මැයි මාසයේදී. ඒ කාලේ බ්‍රිතාන්‍ය විකාශන සංස්ථාව (BBC) මගින් කෞතුකාගාරවලින් ලොකු ඉල්ලීමක් කළා. ඒ තමයි මේ මියගිය ගැහැනියගේ ශරීර කොටස් තියෙන තැනක් හොයාගන්න උදව් කරන්න කියලා. ඒ මොකටද දන්නවාද? ඒ කොටස් හම්බවුණොත් නවීන විද්‍යාත්මක පරීක්ෂණ (DNA) පාවිච්චි කරලා එයා කවුද කියලා අඳුරගන්න පුළුවන් නිසයි.
මේ ශරීර කොටස් 1960 හෝ 1970 දශකවල අගභාගය වෙනකම් පොලිසියේ පුහුණු මධ්‍යස්ථානයක තිබුණු අභිරහස් දේවල් එකතු කරන තැනක තිබුණා කියලා තමයි කියන්නේ. මේ කොටස් හොයාගන්න කරපු ඉල්ලීමත් එක්කම “ගහ ඇතුළේ තිබුණු සිරුර” කියන නමින් මේ ගැන අලුත් වැඩසටහන් මාලාවකුත් ප්‍රචාරය වුණා.
1970 ගණන්වල ඉඳන් අද වෙනකම්ම මේ සිරුර හම්බවුණු තැනට කිට්ටුව තියෙන ස්මාරකවල කාලෙන් කාලෙට මේ වගේ අකුරු මතු වෙනවා. 1999 අවුරුද්දේ මේ ලියමන පොඩ්ඩක් වෙනස් වෙලා “බෙලාව මායාකාරී ගහ ඇතුළට දැම්මේ කවුද?” කියලා ලියවුණා. ඒකෙන් මිනිස්සු හිතන්න ගත්තේ මේක හදි හූනියම් වැඩක් එක්ක සම්බන්ධ ඇති කියලා. අන්තිමට 2020 අවුරුද්දේ කවුරු හරි මේ අකුරු උඩින් රතු පාටින් තවත් විස්තර ටිකක් ලියලා තිබුණා. අදටත් කවුරු ලියනවාද කියලා දන්නේ නැති මේ අකුරු පෙළ තමයි මේ අභිරහස ජීවමානව තියාගෙන ඉන්නේ.
මේ සිදුවීම ගැන සහ ඇත්තටම මේ බෙල කවුරු වෙන්න පුළුවන්ද කියන එක ගැන මතවාද කිහිපයක්ම තියෙනවා.
බෙලා කියන නම ආවේ කොහෙන්ද?
1944 දී එක්තරා කාන්තාවක් පොලිසියට කියලා තිබුණා මීට අවුරුදු තුනකට කලින් බෙලා නමින් හඳුන්වන තමන්ගේ යෙහෙළියක් අතුරුදන් වුණා කියලා. තාප්පවල “බෙලා” කියලා ලියපු කෙනා සමහරවිට මේ මැරුණු කෙනා කවුද කියලා ඇත්තටම දැනගෙන ඉන්න ඇති කියලා මේ නිසා සැක කරනවා.
බීමත්ව සිදුවූ අකරතැබ්බයක්ද?
1953 දී එක බිරිඳක් තමන්ගෙ හිටපු සැමියා ගැන අමුතු කතාවක් කිව්වා. ඒ සැමියා මියයන්න කලින් කියලා තිබුණලු එයා තවත් යාළුවෙක් එක්ක එකතු වෙලා බීමතින් හිටපු ගැහැනියක්ව මේ ගහ ඇතුළට දැම්මා කියලා. ඒක කළේ එයාව බය කරන්නලු. හැබැයි මේ මිනිහා පස්සේ කාලෙක මානසික රෝහලකදී මියගිහින් තියෙනවා, මොකද එයාට නිතරම හීනෙන් පෙනුණලු ගහක් ඇතුළේ ඉඳන් ගැහැනියක් තමන් දිහා බලාගෙන ඉන්නවා. හැබැයි මේ කතාව අවුරුදු දහයකටත් පස්සේ කියපු එකක් නිසා පොලිසිය ඒක එච්චරම විශ්වාස කළේ නැහැ.
විදේශීය ඔත්තුකාරියක්ද?
තවත් මතයක් තියෙන්නේ මේ මැරුණු කෙනා ජර්මන් ඔත්තුකාරියක් වෙන්න ඇති කියලා. එංගලන්තයේදී මරණ දඬුවම ලැබුණු එක්තරා ඔත්තුකරුවෙක් ළඟ තිබිලා ගැහැනු කෙනෙක්ගේ ඡායාරූපයක් හම්බවුණා. ඔහු කිව්වේ ඒ තමන්ගේ පෙම්වතිය බවත් එයත් ඔත්තුකාරියක් විදිහට පුහුණු වෙලා හිටපු බවත්. හැබැයි පස්සේ හොයාගත්තා ඒ ගැහැනු කෙනා ජර්මනියේදීම මියගිහින් තියෙනවා කියලා. ඒ වගේම එයාගෙ උසත් මේ හම්බවුණු ඇටසැකිල්ලේ උසට වඩා ගොඩක් වැඩියි.
හදි හූනියම් සම්බන්ධයක්ද?
එක්තරා පර්යේෂකයෙක් කිව්වේ මේක හදි හූනියම් හෝ යාතුකර්මයක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. මොකද එයාගෙ එක අතක් ශරීරයෙන් වෙන් කරලා තිබුණු නිසා, ඒක පැරණි කාලේ මන්තර ගුරුකම්වලට කරන දෙයක් කියලා සැක කළා. මේ නිසා ඒ කාලේ පුවත්පත්වල මේ ගැන ලොකු කතාබහක් ඇති වුණා.
රහස් දැනගැනීම නිසා මරා දැමුවාද?
අන්තිම මතය තමයි එයා යම්කිසි රහස් කණ්ඩායමක තොරතුරු දැනගෙන හිටපු නිසා ඒ දේවල් දැනගෙන හිටියට දඬුවමක් විදිහට කවුරු හරි එයාව මරා දැම්මා කියන එක. හැබැයි මේ කතාවටත් ප්‍රමාණවත් සාක්ෂි හම්බවුණේ නැහැ.











