අම්මා

ඇසළ විදෙස් අධ්‍යාපන කටයුතු අවසන් කරලා රැකියාවක් හොයා ගත්තේ මීට මාස අටකට විතර කලින්. ඒ වෙද්දි ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා අවුරුදු හතරක් සම්පූර්ණ වෙලා තිබුණ නිසා ඇසළට වුවමනා වුණා තමන්ගේ ජීවිතේ තවත් පිළිවෙලක් කර ගන්න.ඔස්ට්‍රේලියාවේදී මුණගැහුණු ශ්‍රී ලාංකික යුවතියක් වුන මිෂෙල් එක්ක අවුරුදු දෙකක් පුරාවට තියෙන ප්‍රේම සම්බන්ධය ගැනත් සංකීර්ණව හිතන්න ඕනේ කියලා ඇසළ හිතුවා. 

ඇසළ බලාපොරොත්තු වුණා වගේම මිශෙල්ගේ දෙමව්පියන් ගෙන් ඇසළට කිසිම විරුද්ධත්වයක් තිබුණේ නැහැ. කුඩා කාලයේදීම තාත්තා මියගිය ඇසළට ඒ වෙනකොට හිටියේ අම්ම විතරක් නිසා තවත් දින කීපයකින් ලංකාවට ගිහින් මිෂල් එක්කම අම්මව මුනගැහෙන්න ඇසළ හීන දැක්කේ ඊට පස්සේ.

රත්නා රැකියාව විදියට කළේ ඇඳුම් මහන එක. ඇය තරුණ කාලයේ ඉඳලම මහන්සි වෙලා හරිහම්බ කරපු මුදලින් බොහෝ කොටසක් ඉතිරි කළේ ඇසළගේ අධ්‍යාපනය වෙනුවෙන්. තමන්ගේ සැමියා තමන්ගේ නමට මිලදී ගෙන තිබුණු ඉඩමත් විකුණලා ඇසළව උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට යවන්න රත්නා තීරණය කළේ කවද හරි දවසක තමන් මිය ගියත් ඇසළගේ ජීවිතය ලස්සනව පවතිනවා දකින්න උවමනා වෙච්ච නිසයි.

ඇසළ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ලංකාවෙන් ගියාට පස්සේ ඔහු තාවකාලික රැකියාවල් කරමින් මුදල් ඉපයුවත් ඒවා ඔහුගේ අධ්‍යාපනයටයි වියදමටයි ප්‍රමාණවත් නොවන බව දන්න නිසා රත්නා දිගින් දිගටම ඇඳුම් මහලා හොයන සල්ලි වලින් බාගයකටත් වඩා ඇසළට යැව්වා. ටික කාලයක් ගියාට පස්සේ අම්මා මුදල් එවන එක ගැන ඇසළට ඒ තරම් පැහැදීමක් තිබුණෙ නැති වුණත් තමන්ගේ එකම දරුවා වෙනුවෙන් තවමත් යුතුකම් කරන්න ඉතිරි වෙලා තියෙනවා කියලා හිතපු රත්නා ඇසළට මුදල් යවන එක නතර කළේ නැහැ. 

අවුරුදු ගණනාවක් තිස්සේ ඇඳුම් අහල ජීවිතය ගැට ගහගෙන ආපු රත්නාට එහෙම කරන්න බැරි කාලයක් ආවේ ඊට පස්සේ. වයසත් එක්ක එන්න එන්න දුර්වල උන රත්නාට වෙනදා වගේ හරි හැටි වැඩ කරන්න බැරි නිසා ඇය ඇඳුම් මහන්න ආපු පුංචි පුංචි ඇනවුම් කිහිපයක් බාරගත්තා ඇරුණු කොට වෙනදා වගේ හැම ඇනවුමක්ම බාර ගන්න ගියේ නැහැ.

අඩුපාඩුවක් නැතිව ජීවත්වුන රත්නාගේ ජීවිතය අඩුපාඩු වලින් පිරෙන්න ගත්තා.ඒත් ඒ කිසිම දෙයක් රටකට වෙලා ජීවිතය ගොඩනගා ගන්න වෙහෙසෙන තමන්ගේ එකම පුතාට කියන්න රත්නාට උවමනා වුණේ නැහැ. හම්බ කරන මුදල් වලින් පුංචිම කොටසක් විතරක් තියාගත්ත රත්නා පුරුදු විදිහටම අනිත් හැම සතයක්ම ඇසළට යැව්වා.

” දැන් මට රස්සාව තියෙන නිසා සල්ලි ඕනේ නෑ අම්මා. ඔයා ඔය සල්ලි ඉතුරු කර ගන්න. හදිසියේ ලෙඩක් දුකක් උනත් අම්මා අතේ සල්ලි තියෙන්න ඕනෙනේ ” 

” තාත්තා නැතිවුන දවසේ ඉඳලා මට ඕන වෙච්ච ලොකුම දේ ඔයාට හොඳට උගන්නලා ඔයාව බලා ගන්න එක පුතා. ඔයා ඉපදුන දවසේ තාත්තාට ඕන වුනේත් කවද හරි ඔයාව පිටරටකට යවලා හොඳට උගන්නන එක.මං මේ හැමදේම කලේ ඔයා වෙනුවෙන්.ඉස්සරහට කරන්නෙත් ඔයා වෙනුවෙන්. මං ඔයාගේ අම්මා.ඔයා මගෙන් සල්ලි ගත්තා කියලා කවුරුත් ඔයාට මොකුත් කියන්නේ නැහැනේ.අනිත් එක මම ඔයාට කරන්නේ නැතුව කාට කරන්නද ? “

ඇසළට රත්නා එක්ක කතා කරල දිනන්න බැරි වුණා. 

” මං කොහොමත් හිතාගෙන ඉන්නේ අම්මව ඉක්මනටම මෙහෙට ගන්න ” 

ඇසළ රත්නා එක්ක කිව්වෙ තමන්ට තියෙන ඊළඟ ලොකුම බලාපොරොත්තුව ගැන.ඒත් ඇසළ බලාපොරොත්තු වෙච්ච තරම් රත්නා ඒකෙන් සතුටු වුණේ නැහැ.

” මගේ ජීවිතේ දැන් ගෙවිලා ඉවරයි පුතා. දැන් තියෙන්නේ ඔයාගේ කාලේ. ඔයා ඔහේට වෙලා සතුටින් ජීවත් වෙන එකම මට ඇති. අනික මට ඕනේ කවද හරි තාත්තායි මමයි ජීවත් වෙච්ච මේ ගෙදරම මැරිලා යන්න ” 

” කාත් කවුරුවත් නැතුව ඔහෙට වෙලා ඉන්නවට වැඩිය හොඳ නැද්ද අම්මා මට පුළුවන් වෙච්ච වෙලාවෙ ඔයා ඇවිල්ලා මාත් එක්ක ඉන්න එක? ඔයා මෙච්චර කල් මං වෙනුවෙන් දේවල් කරා.දැන් ඔයාට බැරිද මට ඔයා වෙනුවෙන් දෙයක් කරන්න ඉඩ දෙන්න ? ” 

ඇසළ කොහොම මොන විදිහට කිව්වත් ඇසළත් එක්ක පිටරටක පදිංචියට යන්න රත්නා කැමති වුණේම නැහැ. ඒ ගැන ඇසළට දුකක් දැනුනත් තමන්ගේ අම්මා කැමති දේ කරන්න නොදී ආත්මාර්ථකාමී වෙන එක හොඳ නෑ කියලා ඇසළ හිත හදා ගත්තා.

මිෂෙල්ව අම්මට අඳුන්වල දෙන්න තියෙන උවමනාව නිසාම ඇයව පුදුම කරන්න හිතාගෙන ඇසළ ඊළඟ සතියේ ලංකාවට ආවේ රත්නාට නොකියාමයි. තමන් පුංචි කාලෙ ඉඳලා ජීවත් වෙච්ච ගෙදර ඉස්සරහා නතර කරපු කුලී රථයෙන් බැස්ස ඇසළ ගේ දිහා බලාගෙන හිටියේ හිතාගන්න බැරි තරම් පුදුමයකින්. වාහනයේ අනෙක් පසින් බැහැලා ඇසළ ළඟට ආපු මිෂෙල් ඇසළ ගාව නැවතුනේ මෙතෙක් වෙලා ඔහු තුළ තිබ්බ නොයිවසිල්ල සහ සතුට මැකී ගිහින් කියලා පැහැදිලිවම පේන්න තිබුණ නිසා. 

” ඇයි ඇසළ ? ” 

කාලෙකින් පිරිසිදු නොකරපු අපිළිවෙල මිදුලත් ගරා වැටෙමින් තියෙන නිවස දිහාත් ඇසළ බලාගෙන හිටියේ කම්පාවෙන්.තමන් ජීවිතය දිනන්න පිට රටකට වෙලා හීන දකිනකොට තමන්ව ඒ තැනට ගේන්න වෙහෙසුණු තමන්ගේ අම්මා ලංකාවට වෙලා කොච්චර තනි වෙන්න ඇතිද කියලා ඇසළට පළමු වෙනි වතාවට හිතුණා.

හෝදපු රෙදි ටිකක් අතින් ගත්ත රත්නා මිදුලට බැස්සේ ඒ වෙලාවේ. සුරූපී යුවතියක් එක්ක ගේට්ටුව ඉස්සරහ හිටගෙන ඉන්න තමන්ගේ එකම පුතාව දැක්කම රත්නාට ඇස් අදහා ගන්න බැරි වුණා. තත්පර ගණනාවක් හිටපු තැනම ගල් ගැහිලා හිටපු රත්නා ඉස්තෝප්පුවේ තිබුණ පුටුවක් උඩට රෙදි ටික අත ඇරලා ගේට්ටුව ළඟට දුවගෙන ඇවිත් ඇසළ වැළඳ ගත්තා. 

ඇසළවයි මිෂල්වයි ගේ ඇතුලට එක්ක ගෙන ආපු රත්නා ටික වෙලාවක් ආගිය තොරතුරු කතා කරමින් ඉඳලා මුළුතැන්ගෙය පැත්තට ආවා. පිරිපුන් සිරුරක් තිබුණ තමන්ගේ අම්මා අවුරුදු කිහිපයක් තුළදී වැහැරිලා ගිහින් තියෙන විදිහ ගැන කම්පාවෙන් හිටපු ඇසළ වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා අවුරුදු ගණනාවක්ම අම්මා ඇඳුම් මහපු කාමරයට ගියා. ඇසළ තව තවත් පුදුමයට පත්වුණේ හැමදාම රෙදි ගොඩවල් වලින් ගොඩගැහිලා පිරිලා තිබුණ මැහුම් කාමරය සම්පූර්ණයෙන්ම වගේ හිස් වෙලා තියෙනවා දැක්කමයි.

ඇසළ ඒ ගැන කල්පනා කරමින් ඉස්තෝප්පුවට ඇවිත් අපිළිවෙල මිදුල දිහා බලාගෙන හිටියා.ඒ වෙලාවේ සාලයේ වාඩිවෙලා හිටපු මිෂෙලුත් ඇසළ ළඟට ආවා. අල්ලපු ගෙදර ජීවත් වෙන ලීලාවතී ගෙදරට ගොඩ වුණේ ඒ වෙලාවේ.

” අනේ ඇසළ පුතාව දැක්ක කල්. පුතා හුගක් වෙනස් වෙලා.කොහොමද පුතේ ඉතින් ? ” 

ලීලාවතී ඇහුවෙ ඇසළත් එක්ක ඉන්න මිෂෙල් දිහාත් බලන ගමන්.

” මං හොඳින් ඉන්නවා නැන්දේ.මේ මිෂෙල්.අපි බඳින්න ඉන්නේ. අම්මව බලලා යන්න තමයි ආවේ ” 

මිෂෙල් ලීලාවතී දිහා බලල මඳ සිනාවක් පෑවා.

” අනේ කොච්චර දෙයක්ද පුතේ අම්මව බලල යන්න ආපු එක ” 

ඇසළ තවත් දෙපාරක් විතර කල්පනා කරලා තමන්ගේ අම්මා එනවද කියලා ගේ ඇතුළ දිහා විපරමින් බලන ගමන් ලීලාවතීට කිට්ටු වුණා.

” අපේ අම්මා දැන් ඇඳුම් මහන්නේ නැද්ද නැන්දේ ? ” 

” අනේ මොන මහනවද පුතේ? ඔය වැඩ පහක් හයක් ගන්නවා ඇරුණු කොට රත්නාට දැන් හරියට වැඩ කරගන්න පුළුවන් කමක් නෑ මං හිතන්නේ. අවුරුදු ගානක්ම ඔයාගේ අම්මා ඔය මැෂින් එක ඉස්සරහ වාඩි වෙලා රෙදි මැහුවෙ හිතේ හයියට මිසක් ඇගේ හයියට නෙමෙයි. ඉස්සර වගේ නෙමෙයි අම්මා දැන් හරියට ලෙඩත් වෙනවා ” 

ඇසළට දැනුනේ දරා ගන්න බැරි වේදනාවක්.ටික වෙලාවක් කතා කරමින් හිටපු ලීලාවතී පිටත් වෙලා ගියාට පස්සේ   ඇසළ ඒ වේදනාවෙන්ම මිෂෙල් දිහා බැලුවා.මිෂෙල්ගේ දෑස් වල තිබුනෙත් ඒ හා සමානම වේදනාවක්. මිෂෙල් එක්කම මුළුතැන්ගෙයට ආපු ඇසළ මුළුතැන්ගේ සිසාරා බැල්මක් හෙලුවා. ඊට පස්සේ තේ හද හද හිටපු රත්නාව පහු කරගෙන ඇවිත් ශීතකරණය විවෘත කළා. කවදාවත් එළවළු වලින් අඩුවක් නොතිබුණු ශීතකරණය හිස් වෙලා තියෙනවා ඇසළ දැක්කේ ඒ වෙලාවේ. 

තමන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරපු අම්මා තමන්ට තියෙන අපහසුතා සඟවලා ජීවත් වෙලා තියෙන විදිහ දරා ගන්න ඇසළට පුළුවන් වුණේ නැහැ. තමන් සැපවත් ජීවිතයක් ගත කරන අතරේ තමන්ගේ අම්මා මේ විදිහට ජීවත් වෙන එක මොන තරම් අවාසනාවක්ද කියලා ඇසලට හිතුනා.

” ඔයා මාත් එක්ක එහෙ යන්න එන්නේ නැත්තං මට ආයෙ සල්ලි එවන්න එපා අම්මා.මං ඔයාට හැම මාසෙම සල්ලි එවන්නං.මට දැන් රස්සාවක් තියෙනවනේ.ඔයාගේ උදව්වට කෙනෙක් හොයලා දෙන්න කියලා මම ලීලාවතී නැන්දටත් කිව්වා. හැම මාසෙම අම්මට හොස්පිට්ල් එකට ගිහින් ඕන කරන බෙහෙත් ගන්නත් මම වෙනම සල්ලි එවන්නම් ” 

ඇසළ කඳුළු සඟවාගෙන කියනකොට රත්නා බලාගෙන හිටියේ පුදුමයෙන්. සල්ලි වලට හැමදේම හැමදේම කරන්න බැරි උනත් රත්නාගේ අකමැත්තෙන් ඇයව පිටරටකට එක්කගෙන ‍යන්න ඇසළට ඕන උනේ නැහැ.

” පුතා ” 

රත්නා ඇසළ දිහා බලාගෙන හිටියේ බොඳ වෙච්ච දෑස් වලින්.

” මං වෙනුවෙන් මුළු ජීවිත කාලෙම කැප කරලා මට හොඳ ජීවිතයක් හදලා දීලා අම්මා මෙහෙම ජීවත් වෙද්දි මට සැප විඳලා මොකටද අම්මා ? ” 

රත්නා තේ හදන එක නතර කරලා ඇවිත් ඇසළව වැළඳ ගත්තේ මිෂෙල්ගේ දෑසුත් කඳුළින් පිරෙනකොටයි.

More Stories

Don't Miss


Latest Articles