චායා සිනහව හඬ නොනැගෙන සේ පාලනය කරගන්නට උත්සාහ දරමින් නාන කාමරය දෙස බලමින් උන්නාය. සස්මිත නාන කාමරය වෙතට දිව ගියේ හොල්මනකට බිය වූ කොල්ලෙක් ලෙසින් බව සිහි කරමින් ඕ තව තවත් සිනහසුනාය. එහෙත් හඬ නොනැගිය යුතු බව සිතමින් සිනහව දෑතින්ම නවතා ගත්තාය.
සස්මිත පෙනෙන්නට ආවේ විනාඩි දහයකට පමණ පසුය. චායා දෙතොල් පෙරලා, සිනහව ගිලගෙන, ඇස් උස්සා සස්මිතගේ හිසෙහි සිට දෙපා තෙක්ම අමුතුම වර්නැති බැල්මක් හෙලුවාය. සස්මිත චාය වෙත ඇවිද ආවේ කිසිවක් නොවූ ගානටය. ඔහු උන්නේ කමිසයක්ද ඇඳගෙනය. චායා දෙතොල් පිට පෙරලමින් හිසද දෙපසට සලමින් සස්මිතව අපහසුවට පත් කරන්නටම උත්සාහ කලාය.
සස්මිත චායා පසු කර ගොස් යහනේ ඇයට පිටුපා හිඳ ගත්තේය. ඇයට අවැසි එහෙම සෙල්ලමක් නම් තමාටද නොහැකිවා නොවේය.
” මාව සෙල්ලමක් වෙන්න පුලුවන් කියලා දැනගෙන හිටියා .. ඒත් මෙච්චරටම ජෝක් එකක් කියලා දැනගෙන හිටියේ නෑ..”
ඔහු බිඳී ගිය හඬක් මවාගෙන උන්නේය. චායාගේ සිනහව ගිලුණි. ඕ අසුනෙන් අඩක් නැගිට, සස්මිත ඉන් පසුව යමක් පවසාවිදැයි මෙන් අසා උන්නාය. චායාගේ නිහඬවීම තුළ ඇති ඇගේ සෙල්ලමේ පරාජය සස්මිත දෑසින් නොදැකම වටහා ගත්තේය.
” අවුලක් නෑ … කැම්පස් එකේ උන්න චායයි , කැම්පස් එකේ උන්න සස්මිතයි අතරේ ඒ කාලේත් සෑහෙන්න පරතරයක් තිබුණා… හැබැයි සස්මිතට විශ්වාසයක් තිබුනා, ඉගෙනීමෙ ඒ පරතරේ පියවගන්න පුලුවන් වේවි කියලා…ඒත් දැන් ඒ පරතරේ පියවගන්න හිතන්නවත් බැරි බව තේරුම් ගත්තා … “
චායා කෙල පිඬක් ගිල්ලාය. අසුනටම වැටුණාය.
” ඔයාට විහඟි එක්ක කියලා හිනාවෙන්න රස කතාවක් ලැබෙන්න ඇති කියලා හිතනවා .. ප්ලීස් … මගේ ආත්ම ගෞරවේ තව නැත්තට නැති නොකර ඔයාගේ පාරේ ඔයා යන්න මැඩම් …”
චායාට සස්මිතගේ වදන් නවතන්නට අවැසි විය. එහෙත්, ඇගේ මුවින් වචන පිට වූයේ නැත. සෙල්ලම ලෙල්ලම වෙමින් තිබුණි.
” ගෑණියෙක්ට ආදරේ කරන එක , මැරෙන්න තරම් හේතුවක් වෙන්නත් පුලුවන් කියලා අහලා තිබ්බට අදයි තේරුම් ගත්තේ ..”
සස්මිත සිනාවකට අහලකටවත් එන්නට දුන්නේ නැත. චායා ගේ හිස පසෙකට ඇලව ගොස් තිබුණි. ඕ අසුනට ඇලවී මෙන් උන්නාය. දෙතොල් වියලී ගොස් තිබුන නිසා හඬක් නැගුනේවත් නැත. දෑත් දෙපා ඇයට අවනත නොවන ලෙසින් යම් අවසඟ තත්වයකට වැටී තිබුණි.
චායා එතරම් වෙලා නිහඬව සිටීම නුහුරක් ලෙසින් වහා වටහා ගත් තත්පරයේම සස්මිත ආපසු හැරුනේය. ඔහු යහනෙන් නැගිටගෙන චායා වෙතට දිව ගොස් ඕ ඔසවා යහනේ තැබීම අතරේ තත්පර දෙක තුනක්වත් නොවීය.
” මැණිකේ .. මැණිකේ..”
ඔහු ඇගේ කොපුල් පිරිමැද්දේය. දෑත් සහ දෙපා නිදහස් කරමින් තවත් මොහොතක් පිරිමැද්දේය. ඉන් පසුව ජල බෝතලය අත්ල පිරී යන සේ ගෙන දෑතින්ම ඇගේ වත පිරිමමැද්දේය. තෙත්වී තිබූ සුරතේ ඇඟිල්ලක් ඇගේ දෙතොල මතින් ගෙන ගියේය.
” චායා … මැණිකේ …”
” ම ..මං …. වි ..හිලුවක් .. කරේ …ඔයා..ගේ .. තරහ … අවුස්ස..ගන්..න …ඔයා.. ක..තා ..කරේ නැති ..හින්දා …තරි.. ඳු .. අයියා ..ආවේ… එයාගේ ගර්ල් …ෆ්‍රෙන්ඩ්ව.. මගේ ලඟ ..ට්‍රේන් කර..වන්න ..පුලුවන්ද ..අහ..න්න ………. එයා..තමා .. අර වෙලේ ලයින්..එකේ..උන්නේ…. ඒ ගර්ල් … ලොකු..ප්‍රශ්න ..ගොඩක්..එක්ක ඉන්නේ… ඒ කතාව..අහලා.. මම ටි..කක්.. වෙය…ර්ඩ් …”
“ශ් ..ශ්..”
සස්මිතට ඇය කතා කරන්නේ අපහසුවෙන් බව සිහි වූයේ මද වෙලාවකට පසුවය. ඔහු ඇය වටා දෑතම යවා අඩක් කෙලින් කරවාගෙන තමාට නතු කරගත්තේය. හිස සිම්බේය. මදක් ඉරියව්වෙන් මිදී කොපුල්ඉම්බේය. ඉන් පසුව ගෙල පාමුලද , ඉම්බේය. ඇගේ ලෙහී තිබූ හිසකේ මතින් ගෙලෙහි සිට පිටෙහි මැද්දෑවටම පිරිමැද්දේය.
” එහෙම විහිලු කරන්නෙපා .. සස්මිත …. මාව මැරෙයි .. මං.. ඔයාට කොච්චර ආදරේද ?..”
ඕ සවිගෙන සස්මිත වටා දෑතම යැව්වාය. සස්මිත ඉන් වඩා ප්‍රහර්ෂයෙන් නැගුනේය.
” සමාවෙන්න මගේ නෝනා… එහෙම විහිලු කරත්, මේ වගේ වෙලාවල කරන්නේ නෑ ..”
” සොරි ..මට ටවල් එක කඩන්නේ නැතිව ඉන්නයි තිබුනේ… සමාවෙන්න මට ..”
සස්මිතට සිනහ නැගුණේය.
” ඔව්වා ඔය ගානෙන් පුරුදු වෙලා ඉන්නෙක මට ලේසියි නොවැ නෝනා…. කිසිම ප්‍රශ්නයක් නෑ… ආයෙත් අපි කරලා බලමු..”
එලෙස පවසමින්ම ඔහු වහා ඇය තම දෑස් මානයට වන සේ හරවා ගත්තේය. ඇස් වලින් හැගීම් උතුරමින් තිබුණි.
” අපි හෙට කොහේ හරි යමුද මැණිකේ?..”
සස්මිත තමා එලෙසින් නොපැවසිය යුතු බව දැන දැනම විමසුවේය. හෙට දිනය ඉතා කාර්‍යබහුල දිනයක් බව චරක එවා තිබූ කෙටි පණිවිඩය සිහියේ නැතිවාක් මෙන් විමසුවේය.
චායා දෙතොල් එකිනෙක පටලවා තෙත තවරා ගත්තාය. ඇස් හී පැහැදිළි ඉමක නැවතී සිනහසෙන්නට අවැසි බව පෙන්වූවාය. පිළිතුරද එහිම ලීවාය.
” දැන් රූම් එකට යනවාද මගේ රත්තරන් ..”
” අනේ .. අද මෙහෙම ඉන්න දෙන්න සස්මිත ..ප්ලීස්..”
” අයියා මාව මරාවි .. චායා..”
චායා ඒ වචන කිහිපය එක්වරම අවබෝධ කරගත්තාක් මෙන් හිස සැලුවාය. සස්මිතගේ වත දෑතින්ම අල්ලාගෙන කොපුල් සිම්බාය.
” කෝල් කරන්නම් මම රූම් එකට ගිහින් …”
” දැන් අර අක්කා කන්න කියන්න ඒවි…. ඉන්න මම බලලා ඉන්නකල්..”
සස්මිතද ඇගේ දෙකොපුල් සිම්බේය. දෑතද අල්ලා සිම්බේය.
ඉන් පසුව කාමරයෙන් පිටතට ගොස් අවට බැලුවේය. චායා වහා නැගිට ජංගම දුරකතනය අතට ගත්තාය. සස්මිත දොරෙන් එබී, හිසින් සන් කර පසෙකට වූවේය. චායා කාමරයෙන් පිටතට විත් කිසිවක් නොදන්නා සේ මුලුතැන්ගෙයි දොර දෙසට ඇවිද ගියේය. ආපසු හැරී බැලුවේය. සස්මිත උන්නේ බලාගෙනය.
සස්මිත කාමරය තුළට ගොස් දොර වසාගත්තේය.
චායා පඩිපෙල නැග්ගේ වේගයෙන් පසි එකක් බැගින් අත් අරිමිනි.
ඕ කාමරය තුලට වී දොර අඟුලු ලාගත්තාය.
සස්මිතගෙන් වීඩියෝ ඇමතුමක් ආවේය.
” තරිඳුලා එකෙක් නෙවෙයි, සීයක් ආවත් මාව දාලා යන්න හිතන්නවත් එපා.. පොරොන්දු වෙනවාද මට?…”
චායා කිසිවකට පෙර එලෙසින් විමසුවාය. සස්මිත හිස සැලුවේය. එහෙත්, සැබැවින්ම තමා එලෙස කල යුතුදැයි ඔහුට වැටහුනේ නැත. අනෙක් අටට එවැන්නක් වෙනුවෙන් තමා සටන් කරන්නේ කෙලෙසින්දැයි ඔහුට වැටහුනේද නැත. දැනෙන්නේ කිසිවෙකු නොමැති අනාතයෙකු ලෙසින් ය.


