චරක නිවෙසට යද්දී චායා උන්නේ විහඟි සමඟය. චරක දෙදෙනා වෙතම දැඩි බැල්මක් හෙලුවේය.
” දෙකයි වෙලාව… මොකක්ද දෙන්නා ඇහැරගෙන කරන්නේ ?…”
” මුකුත් නෑ අයියේ .. මට චුට්ටක් නින්ද ගියේ නෑ.. මම චායාව ගෙන්නගත්තා ..”
විහඟි තිගැස්මෙන් පැවසුවාය. චායා කිසිවක් නොපවසා උන්නාය.
” ඔයා ඇයි මෙච්චර පරක්කු වුනේ ?.. විහඟි තනියෙන් නේ..”
චායා අනෙක් පසෙට එලෙසින් විමසුවාය.
” අර යකාට හදිසියේම සති දෙකකට නිවාඩු ඕනි කියලා යන්න ගියානේ… මාර අමාරුවක වැටුණේ.. මං තිබ්බ වැඩ ටික එහෙමම කරගෙන ආවේ… හෙටට වැඩ නෑ වැඩිය .. අනිද්දා ඉඳන් දැන් හොයාගන්නෝනි එකෙක් … ඌ එන්නේ නැත්නම් බලලා පර්මනන්ට් කෙනෙක්ම දාගන්නෝනි..”
” ඒ කියන්නේ සස්මිත ආයේ එන්නේ නෑ කිව්වද ?..”
” සති දෙකකින් එනවා කියලා ගියේ .. ඒත් මට හිතෙන්නේ නෑ ඒවි කියලා.. මොකක් හරි ගෑණු කේස් එකක් හින්දා ඌ ගියේ මට තේරුණේ… මට ඇහිච්ච ටිකෙන් තේරුණේ.. ඌ ඒම මුකුත්ම කිව්වේ නෑ ..”
චායාගේ දෑස් විසල් විය ඕ විහඟි දෙස බැලුවාය. විහඟි චායාට සන්සුන් වන්නට අඟවමින් එතැන කතා බහ අවසන්වන්නයැයි පැතුවාය.
” ඉතින් ..ඔයා එකපාරටම එහෙම යන්න දුන්නේ ඇයි ?… එහෙම පුලුවන්ද ජොබ් කරන්න ..”
” හරි හරි. දැන් තමුසේ ගිහිල්ලා නිදාගනන්වකෝ … ඌ අද වාහනේ ගෙනිච්චේ නිකන් ඩෝප් වගේ.. තුන් පාරක් වද්දන්න ගියා .. ඌ දවල් ඉඳන් සම්පූර්ණෙන්ම අනෙක් පැත්ත ගැහිලා හිටියේ.. එහෙම පෙනි පෙනීම මම කොහොමද ඌට ඉන්න කියන්නේ… අනෙක මම නිවාඩු නෑ කිව්වා නම්, ඌ ජොබ දමලා ගහලා යන්න හරි ලෑස්ති මූඩ් එකක හිටියේ .. බලමුකෝ බලමුකෝ .. හා හා දැන් ගිහින් නිදාගන්න …”
චායා නැගිට්ටාය. ඇගේ දෙපා ඌනේ අප්‍රාණිකවය ඕ කාමරයට ගොස් දොර වසාගෙන යළි සස්මිතව ඇමතුවාය. එහෙත් ජංගම දුරකතනය වූයේ ක්‍රියා විරහිතවය. ඇය කුමක් වූයේද සිතාගන්නට නොහැකිව මෙන් දෑස් වසාගෙන කල්පනා කලාය.
” මොකක්ද දෙයියනේ මේ වෙන්නේ ?.. ඔයාට මෙහෙම අතුරුදන් වෙන්න ඕනි වුනේ ඇයි ?..”
චරක ගත දොවාගෙන එන විට, විහඟි පළතුරු පිඟානක් සකසාගෙන විත් උන්නාය.
” කාලා නිදාගන්න .. මං කාලා ආවේ..”
චරක ඇය ගණනකට නොගෙන එලෙස පවසා ගත පිසදාගෙන බැල්කනියේ දොර විවෘත කරගෙන ඒ දෙසට ඇවිද ගියේය. විහඟි පිඟාන යහනේ කොනකින් තබා චරක පසුපසින් ඇවිද ගියාය.
” අයියේ ..”
” ගිහිල්ලා නිදාගන්න විහඟි … මට කතා කරන්න මූඩ් නැහැ …”
” අයියේ …. අයියේ …. මට සූසයිඩ් කරගන්න හිතෙනවා…”
විහඟි ගත තිබූ සියලු සවිය එක් කර කීවාය. චරක වහා ආපසු හැරුණේය. ගත ගිනියම්ව දැවෙන බව දැනෙයි. ඔහු වහා විහඟිගේ දෙඋරිස්සෙන් අල්ලා ගත්තාය. විහඟි උන්නේ වෙවුලමිනි. ඇය ඉකි ගසන්නට ගත්තාය. නෙරා තිබූ කුස යටින් අතක් තබා අල්ලා ගත් විහඟි පිටුපසට වාරු වෙන්නට උත්සාහ කලාය. චරක වහා ඕ දෑතින්ම ඔසවා ගත්තාය. ඇයව දොරෙන් ඇතුලට ප්‍රවේශමෙන් ගෙන යහන මත තබා අසලින්ම හිඳගත්තේය. ඇයට හැඬුම් නවතාගන්නට හැකි වූයේම නැත.
” ශ් ශ්…”
චරක ඇගේ හිස පිරිමැද්දේය. මදක් ඉදිරියට නැවී ඇය ඉම්බේය. දිගින් දිගටම ඉම්බේය.
” ශ් ශ් … ශ් ..”
ඇගේ නළල මත දෙතොල් තබාගෙන උන්නේය.
” අයියේ අතන මේසේ උඩ තාත්තාගේ බෙහෙත් කේස් එක.. ඒකේ තිබ්බ බෙහෙත් ඔක්කොම මම ගත්තා ගලවලා … ඒ ටික ඩස්බින් එකට දැම්මා මම චායා රූම් එකට එනකොට .. අයියේ .. දැන් තාත්තා උදේට බෙහෙත් බලනකොට … ඒක නෑ දැකලා හොයනකොට ..මොකක්ද කියන්නේ ?..”
චරක නැගිට ගොස් කුණු බඳුන දෙස බැලුවේය. එහි බෙහෙත් අහුරු කිහිපයක් ඇති බව පෙනෙද්දී ඔහුගේ හිස බමන්නට ගත්තේය.. වහා විහඟි වෙත ඇවිද ගියේය.
” අපි කෝකටත් ඇඩ්මිට් වෙලා ඉමුද පැටියෝ?..ම්ම්ම්?…”
විහඟි හිස දෙපසට වැනුවාය. එවැන්නක් අවැසි නොවන වග පෙන්වූවාය.
” මුකුත්ම බිව්වේ නෑ .. මට හරියට අසරණයි දැනෙනවා අයියේ .. මං කරන්න ඕනි දේ මට තේරෙන්නේ නෑ ..ඔයා අතින් සස්මිතව මැරුනොත්, චායා මැරෙයි, ඔයා හිරේ යයි.. අම්මාටයි , තාත්තටයි ජීවත් වෙන්න හයියක් නැති වෙයි.. ඒහැමදේම බලාගෙන මට ඉන්න ඕනි නෑ හිතූනා අයියේ .. මට සමාවෙන්න …”
විහඟි කෙලින්වී හිඳගනිමින්, දෑත් එක් කල චරකට අයැද්දාය.
චරක එලෙසින් අවැසි නොවන බව පෙන්වමින් විහඟිගේ දැතම අල්ලගෙන ඉම්බාය.
” මං කාවවත් මරන්නේ නෑ මැණිකේ .. “
විහඟි චරකව වැලඳගත්තාය. තමාට යම් වෛද්‍ය සහයක් අවැසි ඇතැයි සිතෙන බව කීවාය.
” කවුරුත් ඕනි නෑ.. අයියා ඉන්නවානේ මැණිකේට .ම්ම්ම් ..හෙට අපි එලියට ගිහින් එමු … “
” බෑ අයියේ .. සස්මිත හෙටත් අන්අවේලබල් වෙද්දී චායා පිස්සු වැටෙනවා… මම ඉන්නෝනි එයා ලඟ ..”
චරකගේ හදවත සේදි ගියේය. චායාගේ ජීවිතය විනාශ කිරීමේ අරමුණින් සස්මිතට සහ චායාට උදව් කල බවට චෝදනා කරමින් ඇයට බැණ වැදුණු ආකාරය සිහි විය.
” අපි බලමුකෝ රත්තරන් … අයියාට සමාවෙන්න .. මට පිස්සු වගේ … මේ කිසිම දෙයක් මට ගලපගන්න තේරෙන්නේ නෑ …කිසිම දෙයක් අනෙක් දේට ගැලපෙන්නේ නෑ ..ඔක්කොම තියෙන්නේ එකිනෙකට පරස්පරව…”
චරක සස්මිත පිළිබඳව සියලු දෑ එකිනෙක ගලපමින් විහඟි හා කීවේය. ඔහු දැන් සිටින්නේ කොතැනකද යන්න පවා කීවේ, විහඟිගේ සිත තුළ ඇති තිගැස්ම බිදෙන් බිඳ දුරලවන්නට සිතමිනි.
” උගේ තියෙන පඩත්තරකමට ඌ මගේ මූණට හිනා වෙන එක ඇරෙන්න වෙන මුකුත්ම කරන්නේ නෑ විහඟි … එක වචනයක් කියන්නේ නෑ …”
” එයා එහෙම එක්කෙනෙක් තමා අයියේ …. ඉස්සරත් ..”
විහඟි කීවාය.
” එතකොට, චායා එක්ක උගේ කොහොම සම්බන්ධයක්ද තිබුණේ?…”
” ආදරේ කලා.. ඒ දෙන්නා..”
” මූ නැති උනාට පස්සේත් නංගි ඌට ආදරේ කලා..”
” හ්ම්..ඔව් .. චායා පොලිටික්ස් පැත්තට හැරුනේ සස්මිත කොහෙ හරි ඉන්නවා නම් එයාට එකෙන් රිදේවි හිතලා.. මොකෝ සස්මිත පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ පොලිටික්ස් වලට …”
විහඟි එලෙසින්ද කිව්වාය.


