අංගාර – 74

0
675

විහඟි අයියා සහ නංගී එක්වරම පැටලී යන්නට ඇති ඉඩ වලක්වන්නට උත්සාහ කරමින් කීවාය. එහෙත්, චායාගෙන් ඇයට ලැබුනේ රැවුමකි. 

” මට ආයෙ කිසි දෙයක් හංගන්න දෙයක් නෑ .. මං දන්නවා සස්මිත ඉන්නේ තමුසෙ ලඟ කියලා … මට එයාව ගෙනල්ලා දුන්නේ  නැත්නම් එහෙම මම යනවා පොලිසි …”

චායා යක්ෂණියක ලෙසින් කෑ ගැසුවාය. විහඟි දෙදෙනා දෙස බැලුවේ භීතියෙන් ය 

චරක කෝපය පාලනය කරගෙන බලා උන්නේය. 

” චායා අපි යමුකෝ..”

” උඹ මේකෙන් ඈත් වෙලා ඉන්නවා විහඟි …මම උඹට කෑ ගහන්න කැමති නෑ උඹ ඉන්න තත්වේ එක්ක …”

“අනේ ..චායා ..”

” මිනිස්ටර් චරක පතිරණ… මං ඔයාගෙන් අහන්නේ ..කෝ සස්මිත ?.. ඔයා මොකක්ද ඒ අහිංසකයාට කලේ?… මොකද කලේ තමුසේ ?..”

චායා උස් හඬින් ඇසුවාය.  විහඟි කුසට අතක් තබා ගනිමින් කාමරයේ දොර වෙත ඇවිද ගොස් දොර වසා දැමුවාය. එහෙමම දොර අසල බිත්තියට වාරුව   සිට ගත්තාය. 

” කට හෙමින් කතා කරනවා චායා .. මේ දේවල් අම්මයි තාත්තයි දැනගන්න ඕනි විදියේ දේවල් නෙවෙයි කියලා තමුන්ට තේරෙනවානේ.. ඒක නොතේරෙනවා වෙන්න බෑනේ..”

” මට කමක් නෑ කාට ඇහුනත් … කාට ඇහුනත් කමක් නෑ මට .. මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියන්න  බැරිකමකුත් නෑ මට …”

චායා චරක ඉක්මවා යන හඬකින් කෑ ගැසුවාය. එහෙත්, චරක උන්නේ ඉවසීමෙන්මය.

” කතා කරනවා අයියේ ..”

“මට කතා කරන්න දෙයක් නෑ .. ඌ ට නිවාඩු ඕනි කිව්වා… ඌ ගියා .. ඒක මම පැහැදිලිව කිව්වානේ… තමුසේ ඉස්සෙල්ලම මට කියලා ඉන්නවකො, මගේ ඩ්‍රයිවර්  නිවාඩු ගියපු එකට නැට්ට ගිණි තියාගෙන තමුසේ මේ මෙතන කෑ ගහන්නේ මට මේ හිතෙන හේතුවටමද කියලා… මට ඒක කියලා ඉන්නවකෝ..”

” ඔව් .. ඔව් .. ඒ හේතුවටම තමයි .. ඇයි ඔයාට ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද මිස්ට චරක …. මොකුත් ප්‍රශ්නයක් තියෙනවාද ?…”

” කටේ සද්දේ වැඩියි නංගී … කතා කරන්නේ කාටද කියලා මතක් කරගන්නවා… මට තමුසේට උත්තර දෙන්න ඕනි නෑ … අනෙක, තමුසේ මට හොරෙන් ඔය නටපු නාඩගම මම හොයාගන්නකල් ඉන්නවා ඉස්සෙල්ලම ..”

” හොර නාඩගමක් හොයන්න දෙයක් නෑ .. එහෙම හොයන්න දෙයක් නෑ.. මම සස්මිතට ආදරෙයි … එයත් මට ආදරෙයි . ඔයාට නෙවෙයි , මුලු ලෝකෙටම ඕනි වුනත්, මම එයාව  අතාරින්නේ නෑ .. එයාට කරදරයක් වෙන්න දෙන්නේත් නෑ .. ඔයා හිතාගෙන ඉන්නවානම් එයාට කරදරයක් කරන්න ඔයාට මාව පහු කරන්න වෙයි අයියේ … ඒ නිසා, පින්සිද්ද වෙයි , මට සස්මිත ඉන්න දිහාවක් කියලා මේක ඉවර කරන්න .. ප්ලීස් ..”

” තමුසේට පිස්සු හැදීගෙන එනවාද චායා ?… මොනවද ඔය කියන කතා ?.. අම්මායි තාත්තයි කොහොමද  මේවා දරාගන්නේ ?… අම්මට පිස්සු හැදෙයි … වෙච්ච දේවල්  අමතක කරලා දානවා… තමුසේ ලෑස්ති වෙනවා ලොකු අම්මා ළඟට යන්න ..”

” අනේ මේ… මම කියන්නේ මොනවාද කියලා මම බොහොම හොඳට දන්නවා අයියේ … අම්මට පිස්සු හැදෙන්නේ නෑ.. අම්මා මේකත් පිළිගනියි ..ඔයා වටේ ගිහිල්ලා ගිහිල්ලා, මේ ගෙදර මගේ යාලුකමට උන්න කෙල්ලව කාමර ගානේ අරගෙනත් ගිහිල්ලා, ඒකිගෙ බඩට දරුවෙක් දීලා, ඒ දරුවව බාරගන්න බෑ කියලා කියලා දැනගත්තට පස්සේ, අම්මා ඒකත් දරාගත්තානේ … අවුලක් වුනේ නෑනේ/… තාත්තත්, ඒක පිළිගත්තානේ… එතකොට මේක බැරි වෙන්නේ නෑනේ.. විහගි කියලත් , රිදී හැන්ද අතේ තියන් ඉපදිලා නෙවෙයි නේ … “

චරක් චායාට අතුල් පහරක් එල්ල කලාය. ඉන් රිඳුණේ විහඟිටය. ඕ වහා විත් චරකගේ අතක එල්ලුනාය/

” අනේ එපා අයියේ එපා..”

” නෑ නෑ ..ගහන්න ..ගහන්න ..ගහලා මාව මරන්න .. ඒත් ඇත්ත වෙනස් කරන්න හම්බෙන්නෙ නෑනේ… ඔයා වගේ මිනිහෙක් නෙවෙයි සස්මිත .. එයා කවදාවත් වටේ ගියේ නෑ.. මේකි ඔයාට කොච්චරක් ආදරේද දැන දැනම ඔයා මොඅක්ද කලේ?.. ඔයා ගෑණුන්ව කැබ් එකෙම දාගෙන පබ් ගිය එව්වා, රූම් ගිය එව්වා මම දන්නේ නෑ කියලද හිතාගෙන ඉන්නේ?… කවදාවත් ඔයා හොඳ මිනිහෙක් වුනේ නෑ චරක … කවදාවත් නැ.. අඩුම තරමේ තමන් කල වරදකට කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ මුහුන දෙන්න ඔයා දන්නෙ නෑ.. මතකනේ ඔයා සිංගප්පෝර් පැනපු හැටි .. ඒත් මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන නේ..  විහඟිට ළමයෙක් ලැබෙන්න  හැකියාවක් තියෙන බව දැනගෙනනේ ඔයා ඔක්කොම කලේ.. ඒ දැනගෙන මේ කෙල්ල ප්‍රෙග්නන්ට් උනාම නේ ඔයාට අම්මලාගේ ගෞරවෙයි, ඇමතිකමයි, ඔක්කොම ගැලපෙන්න ගත්තේ ..නේ ?.. කොන්ද පණ තියෙන පිරිමියෙක් වෙනවා ඉස්සෙල්ලම අයියේ … 

සස්මිත කියන්නේ නියම පිරිමියෙක් .. එයා එයා අතින් වෙච්ච වරදට දඬුවක් වින්ද මිනිහෙක් … මට ඒකට කමක් නෑ.. මම එයාට ගරු කරනවා ඒ  හයියට … “

චරකගේ දෙපා අවසඟව යමින් තිබුණි. තමා තුල වූ දුර්වල හැඟීම නැගණිය විසින් ඇද තමා ඉදිරියේම විසිරුවන්නීය. විහඟි චරකව අල්ලා ගත්තාය.

” යන්නකෝ චායා ..අනේ යන්නකෝ ..”

විහඟි එලෙසින්ම හිඳිමින් චායාව එතැනින් ඉවතට යවන්නට උත්සාහ කලාය.

” නෑ මම යන්නේ නෑ .. මට සස්මිත ඉන්නේ කොහෙද කියනකල් මම යන්නේ නෑ ..”

” මම දන්න සස්මිතෙක් නෑ ඕයි ..”

” නැත්තේ නෑ.. නැත්තේ නෑ … තමුසේ ඒක දන්නවා….”

” කාටද කතා කරන්නේ කියලා දැනගන්නවා චායා.. “

චරක උස් හඬින් කෑ ගැසුවේ චායා වෙත යලි පහරදෙන්නට ඉදිරියට අඩියක් තබමිනි. චායාද පහර දීමෙන් මිදෙන්නට සිතා පසෙකට හෝ නොවී එලෙසින්ම උන්නාය. 

” අනේ ඔය දෙන්නා කෑ ගහගන්නෙපා දෙයියනේ..”

” උඹ එහෙනම් කියප උඹේ මිනිහාට මට මගේ සස්මිත ඉන්නේ කොහෙද කියලා කියන්න කියලා විහඟි ….”

චායා හඬන්නටද පටන් ගත්තාය. චරක උන්නේ චායාගේ හැසිරීම ගැන කලකිරීමෙන්, අපේක්ෂා භංගත්වයෙන් සහ කෝපයෙනි. ඇය තමා පරයා නැගී සිටින්නේ සස්මිත වැනි වංචාකාරයෙකු වෙනුවෙන්ද ?

” විහඟිට සද්දෙට කෑ ගහන්නෙපා චායා.. පේන්නේ නැද්ද එයා ඉන්න තත්වේ ?..”

” එයා ඉන්න තත්වේ ඔයා මුලදි දැනගෙන උන්නේ නැද්ද මිස්ටර් චරක ?.. ඒ තත්වේ නොදැනද ඒකිට යන්න ඇරලා, අත පිහිදගන්න හැදුවේ?..”

චායා උමතුව උන්නාය. විහඟි චරකගේ පපුව පිරිමදිමින් ඔහු සන්සුන් කරවාගන්නට උත්සාහ කලාය.

” ඒවා දැන් අදාල නෑනේ චායා..”

” උඹට තේරෙයි මම කියනෙක අදාලද නැද්ද කියලා.. මෙයා.. එහෙම මිනිහෙක් … ඔයා ඉද්දි වෙන ගෑණු එක්ක ගිය කෙනෙක් …”

චායා චරකගේ අතීතය අදිමින් උන්නාය. චරක විහඟිව පසෙකට කර චායාගේ හිසකේ මිටකින් අල්ලා ගත්තාය.

” මම උඹේ අයියා යකෝ .. උඹ කාට කතා කරනවා කියලා හිතාගෙනද කියවන්නේ ?..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here