අංගාර – 76

0
131

අ‍යියා සමග අමනාපවීම සහ සස්මිත සොයා ගැනීම අතරේ ඇත්තේ අනුලෝම සම්බන්ධතාවයක් බව, චායා  වැඩි වෙලා නොගිහින්ම වටහා ගත්තාය. අයියා කෙලෙසින් පැවසූවද, සස්මිත සිටින්නේ ඔහු  යටතේ බවට වන විශ්වාසය චායාගේ සිතෙහි තදින්ම තිබුණි.  එහෙත් අයියා සමඟින් ගැටෙන්නේ කෙලෙසින්දැයි ඇයට වැටහුනේ නැත. 

අයියා ගේ ජීවීතයේ අඳුරු පැතිකඩ පිළිබඳව තමා කිසිවක් දන්නේ නැත. දේශපාලන සක්‍රීයභාවයට පත් පසු අයියා ආශ්‍රය කල ඇතැම් මිනිසුන් හා සම්බන්ධ කිසිවක් තමා දන්නේද නැත. 

අයියා අඩු වයසින් දේශපාලන පරිණත භාවයට පත්වුවකු ලෙසින් දේශපාලන විචාරකයන්ද පවසන්නෝය. එහෙව් අයියාට සස්මිත යනු පාලනය කර ගත නොහැක්කෙක් නොවේය.

 අයියාගේ එක් වචනයකින් සස්මිතව සදාකාලිකව අතුරුදන් වීම පවා විය නොහැකිදැයි එක්වරම ඇගේ සිතට නැඟුනේය. 

හදවත කුඩුපට්ටම් වන වේදනාව දැනෙද්දී ඕ යලි චරකගේ කාමරය වෙත ගියාය. එහෙත් ඒ වෙද්දී, චරක විහඟි සමඟින් නිවසින් පිටතට ගොස්  උන්නේය. චායා චරකගේ කාමරය තුළම බිම වැතිරී හැඬුවාය. 

තමා කෙතරම් දුර්වලව ඇතිදැයි චායාට දැනෙන්නේය. තමා ළඟ නොසිටියදී සස්මිත කෙලෙස හෝ ජීවිතය රැක ගත්තේය.

 එහෙත්, තම ඇසුර ඔහුගේ ජීවිතය විනාෂ කර දමන්නේද?. 

චරක එනතුරුම චායා කාමරය තුලට වී උන්නාය. කාමරයේ යහන අසල බිම හිඳගෙන, යහනට හිස තබාගෙන නිදා සිටින චායා දුටු දෙදෙනාම තිගැස්සුනහ. 

අම්මා සහ තාත්තාද නිවසින් බැහැරව උන් නිසා කිසිවෙකු ඇය පිළිබඳව සොයා නොබලන්නට ඇත. චරක විහඟිට ගත දොවාගන්නට නාන කාමරය වෙත යන්නට කීවේය.

 විහඟිටද චායාගේ කඳුලු දකින්නට අවශ්‍ය නොවූ නිසා ඕ නාන කාමරය තුලට  වැදුනේ නාන බේසම තුලට වී යම් වේලාවක් ගෙවා දමමියි සිතමින් ය.

” නංගී .. නංගී .. නැගිටිනවා…”

චරක චායාගේ පසෙකින් හිඳගෙන ඇගේ හිස පිරිමැද්දේය. චායා තිගැස්සී ඇහැරුණාය. තමා සිටින්නේ කොහිදැයි සිතාගන්නට නොහැකිව ඕ මදක් වෙලා පිටුපස හැරී බලා යළි චරක දෙසද බැලුවාය. සැනින් සියල්ල සිහි කරගත්තාය.

 චරකගේ දෙපා වැළඳගත්තාය

“අනේ අයියේ … සස්මිත කෝ ?…”

චරක චායාගේ හිස පිරිමැද්දේය. එහෙත් ඇගේ දෑත් වෙතින් මිදෙන්නට උත්සාහ කලේ නැත.

” අයියේ .. සස්මිත ඉන්නවාද කියන්නකෝ …”

” ගිහිල්ලා කනවා නංගී .. අන්න මම චයිනිස් එකක් ගෙනාවා…”

” අනේ මට බඩගිනි නෑ අයියේ .. මාව පිච්චෙනවා.. මට කන්න බෑ… මට කන්න නෙවෙයි ඕනි …  මට සස්මිත ඉන්නවාද දැනගන්නකල් හුස්මක් වත් නිදහසේ ගන්න බැහැ අයියේ… සස්මිත මම නැතුව අවුරුදු ගානක්, අවුරුදු ගානක් සර්වයිව් වුනා අයියේ … එයා මර්ඩර් එකකිනුත් බේරිලා ආවා.. ඒ හැමදේම පහු කරා .. දැන් මගේ ලඟ ඉන්න හදන නිසා එයාගේ ජීවිතේ විනාස වෙන්න දෙන්න බැහැනේ අයියේ .. අහන්න .අහන්න අයියේ .. මං ඔයා කියන ඔනි දෙයක් කරන්නම් …. ඔයා මට කියනවා නම් , ආයේ සස්මිත එක්ක කතා කරන්නෙපා කියලා…. මම කතා නොකර ඉන්නම් .. මං ඔයා කියන රටකට වුනත් යන්නම් … අනේ රත්තරන් අයියේ … මට සස්මිතව පෙන්නන්නකෝ අයියේ … එකම එක වතාවක් කතා කරන්න දෙන්නකෝ අයියේ …. අනේ සස්මිතට ජීවත් වෙන්න දෙන්න අයියේ…”

” මං සස්මිතට මුකුත් කරන්නේ නෑ …”

චරක එක්වරම පවසද්දී, චායා විදුලියක් වැදුනාක් මෙන් තිගැස්සී  නිහඬ වූවාය. චරක පැවසුවේ කුමක්දැයි යලි සිතුවාය.

” එයා . එයා ඉන්නේ ..ඔයා ළඟද ?..”

” ඔව් ඉන්නවා.. එච්චරයි … ආයේ මුකුත් අහන්නෙපා ..”

” අනේ අයියේ .. අනේ..”

” ඌ කල දේට ඌට  සමාවකුත් නෑ .. තමුසේ කල දේට තමුසේට සමාවකුත් නෑ …. එච්චරයි .. ආයේ මගෙන් මුකුත් අහන්නෙපා…. ඌට මම මුකුත් කරන්නේ නෑ … ඒත් ඌ මේ රටෙන් යනකල්, ඌ ගැන මට විශ්වාසයක් දැනෙනකල් මගේ ළඟින් ඌට එලියට යන්න වෙන්නේ නෑ…. තමුසේ නිකන් හැප්පෙන්න ඇවිල්ලා උගේ ජීවිතේ අපායක් කරන්න ලෑස්ති වෙන්නෙපා නංගී… මං ආයේ කියන්නේ නෑ … තමුසේ ඔය හදාගත්ත පිළිවෙලට තමුසේගේ ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්න තීරණය කරන තරමට උගේ ජීවිතේ සුවෙන් සැපෙන් ගෙවෙයි … ලංකාවෙන් පිට තැනක ..ඌ බොහොම සැපට ඉඳී .. ඒක තියෙන්නේ තමුසේගේ අතේ ..”

චරක අමුතුම ගැටයක් ගෙන ආවේය. චායා උන්නේ වෙවුලමිනි.  අයියා පවසන්නේ සදාකාලික වෙන්වීමක්ද ?

” තමුසේ නැති වෙන එකෙන් උගේ ජීවිතේට හොඳක් වෙනවා කියලා තමුසේට විශ්වාසයක් දැනෙනවානම්, ඒක ඒ විදියෙන් වෙන්න දෙනවා නංගී .. ඒක තමා හොඳම … උගේ සොහොන උඩින් සැනසීම හොයන්න පුලුවන් නම්, අර කිව්වා වගේ ඇන්ට්‍රි දාගෙන මේ සිද්දිය වණ කරනවා ..”

චායා මුව අයාගෙන බලා උන්නාය.  සස්මිතගෙන් දුරස් වෙමියි සිතුවේ තත්පරයකට පමණි. එය එලෙසින් වන්නට ඉඩ හරින්නට නොවේය.

  එහෙත් අයියා පවසන්නේ කුමක්ද ?

චායා හිස ඔසවා චරක දෙස බලා උන්නාය. චරකද චායා කෙරින් දෑස් ඉවතට නොගෙනම, තම තීරණය ඇයට දැනෙන්නට හැරියේය.

සස්මිත පෙර තිබූ ගතට අපහසු ගතියෙන් මදක් සුව වෙමින් උන්නේය. එහෙත් හැම තත්පරයක් ගානේම චායාව සිහි කරමින්  සිත කරමින් උන් අරගලයේ අඩුවක් වූයෙ නැත.

” මට චුට්ටක් චායාට කතා කරන්න ඕනි …”

සස්මිත ඔහුට රාත්‍රී  ආහාරය රැගෙන ආ අයෙකුගෙන් ඉල්ලා උන්නේ ඉවසීම ඉක්මවා ගිය නිසාය. 

” තොට දෙනවා කතා කරන්න ..”

ඔහු සස්මිතට පහරක් ගසන්නට ඉදිරියට පනින බව පෙන්වමින් කෑ ගසා කීවේය. ආහාර ලෙස ගෙනැවිත් තිබූ බත් පාර්සලය මේසයමත දිග හැර, සස්මිතගේ දෑත් ලිහා ඔහුව මේසය අසල තිබූ පුටුවට තල්ලු කලේය. ඉන් පසුව එක් අතක් ගෙන පුටුවට බැඳ දැමුවේය. 

” කාපං ..”

” මට කන්න ඕනි නැහැ .. මට කෝල් එකක් ගන්න දීපං .. අඩුම  තරමේ සර්ට කතා කරන්න දීපං ….”

ඒත් සමගම ලයියාගේ ජංගම දුරකතනය  නාද වූයේය. අනෙක් පස උන්නේ, චරකය. 

” ඔව්සර් .. කන්න දුන්නා සර්.. මූ කන්න ඕනි නැහැ කියනවා… සර්, මැඩම්ට කතා කරන්න ඉල්ලනව…”

” මොකක් ?..”

” ඔව් සර් .. එහෙම නැත්නම්, සර්ට හරි කතා කරන්න දෙන්නලු ..”

” හරි දීපංකෝ .. “

චරක බැල්කනිය වෙත ඇවිද ගියේය.  ලයියා ජංගම දුරකතනයේ හඬ නැගෙන්නට දමා මේසයේ පසෙකින් තැබුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here