වසන්තය තව දුරද – 56

0
221

වර්තමාන කතාව

“හැම ප්‍රශ්නයක්ම පටන් ගත්තෙ මං හන්දා හැම ප්‍රශ්නයක්ම ඉවර කරන්නෝන මං කියලත් හිතලා තමයි මං ඇත්තටම ගෙදරින් ගියේ. චන්ද්‍රා කියන්නෙ කොහොමත් කවදාවත් මාව තේරුං ගන්න උත්සහ කරපු ගෑනියෙක් නෙවෙයි. අපි දෙන්නා යාලුවෙච්ච හන්දා ඊලඟට කරන්න තිබිච්ච දේ කසාද බඳින එක හන්දා කසාද බැන්දා. ඊටපස්සෙ කරන්නෝන වෙලා තිබ්බෙ ළමයි හදන එක හන්දා ළමයි හැදුවා. ඒ වගේ අර තියරියට අනුව ජීවත්වෙච්ච මනුස්සයෙක් තමයි චන්ද්‍රා කියන්නෙ. සමහරවිට පුංචි කාලෙ එයාගෙ අම්මා එයාට සලකපු විදිය වෙන්නැති එයාව බාගදා ඒ වගේ මනුස්සයෙක් කරන්න ඇත්තෙ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ මං මේ ප්‍රශ්නෙ වෙලාවෙදි එයාට සලකපු විදිය, එයාලව දාලා ආපු විදිය හරි කියලා. ඒක වැරදි.

ඒ උනාට ඇත්තටම මට චන්ද්‍රවයි පුතාවයි දාලා එන එක එච්චර අමාරු උනේ නෑ. පුතා කොහොමත් මං එක්ක එච්චර ඇයි හොඳයි කීව එක්කෙනෙක් නෙවෙයිනෙ. මට දාලා එන්න අමාරුම වෙච්ච කෙනා උනේ දූව. නෙත්මලී කියන්නෙ මගෙ ඇස් දෙක වගේ දරුවා. මං ඔය ගෙදරින්  ගියයින් පස්සෙ චන්ද්‍රා ඔය දරුවට මොන වගෙ ඔලුවට වද දේවිද කියන ප්‍රශ්නෙ මගෙ හිත අස්සෙ නොතිබ්බා නෙවෙයි. ඒ උනාට එවෙලෙ මගෙ හිත වැඩ කරේ තාත්තා කෙනෙක් කියන එකට වඩා මමත් මනුස්සයෙක් කියන තැන ඉඳලා. තාත්තලා කියන්නෙත් මිනිස්සු. හැඟීම් දැනීම් තියෙන මිනිස්සු. අපි අතිනුත් වැරදි වෙනවා. සමහරවිට ඒක වෙන්නැති අම්මලා විතරක් මතු බුදුවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඇත්තෙ. තාත්තලාට එච්චර කැපකිරීම් කරන්න බැරි හන්දා වෙන්නැති.

හැබැයි මට දැන් හිතෙනවා ඒ කතාව කියලා මං මාවම සනසගන්නවාද දන්නෙ නෑ කියලා. මං දන්නවනෙ මං වරදක් කරා කියලා. මොකද තාත්තා කෙනෙක් කියන්නෙත් මිනිහෙක් තමයි කියලා කියන එක ඇත්ත උනාට, ඒක තාත්තා කෙනෙක් විදියට තමන්ට තියෙන වගකීමෙන් ගැලවෙන්න හේතුවක් නෙවෙයි. මටත් දුක හිතුණා. මටත් තනිකම දැනුණා. මටත් කවුරුහරි මං කියන දේ අහගෙන ඉන්න ඕන වුණා. ඒක වැරදි හැඟීමක් නෙවෙයි. හැබැයි ඒ හැඟීම් එක්ක මං මොනවද කරේ කියන එක තමයි වැරදි. මට ඒක එදා තේරුණේ නෑ. නැත්තං තේරුණාට මං නොතේරුණා වගේ උන්නා වෙන්නත් පුළුවන්. 

මං කුමුදුනී ළඟට මුලින්ම ගියේ වැරදි අදහසකින් නෙවෙයි දෙයියංපා. 

වජිර මැරිලා ගියාට පස්සෙ උගේ ගෑනිට තනියම වැඩ කරගන්න අමාරු වෙච්ච තැන් තිබුණා. මට පුළුවන් දෙයක් නම් මං කරලා දුන්නා. මට හිතුණෙ ඒ මගේ යාලුවෙක් වෙනුවෙන් කරන යුතුකමක් කියලා. ඒක ඇත්ත. ඒක ගැන මං අදත් බොරුවක් කියන්නෙ නෑ. ඒත් මිනිස්සු වැරදි තැනකට යන්නෙ එක දවසකින් නෙවෙයි. එක අඩියකින් පස්සෙ තව අඩියක් තියනවා. මං අඩියෙන් අඩිය ඒ දිහාට ගියා. මං ඒ වෙලාවෙ හිතුවෙ නෑ මං කොහෙටද යන්නෙ කියලා. කුමුදුනී මට කතා කළා. මං එයාට කතා කළා. එයා මට එයාගෙ දේවල් කිව්වා. මං මගේ දේවල් එයාට කිව්වා. මං ගෙදර තියෙන ප්‍රශ්න ගැන පවා එයාට කියන්න පටන් ගත්තා. අද හිතද්දි මටම හිතෙනවා මං ඒ එයාට කිව්වෙ එයාට කියන්න ඕන දේවල්ද කියලත්. මොකෝ පස්සෙ එයා මට ගහන්න තියාගෙන තිබ්බෙ මං එයාගෙ අතට දීලා තිබ්බ තුරුම්පු. මගේ ගෑනි ගැන වෙන ගෑනියෙක් එක්ක මං කතා කරන්න ඕනද? මගේ ගෙදර අස්සෙ තියෙන දේවල් එළියට අරගෙන කෙනෙක් ඉස්සරහා මං මගේ හිත හිස් කරගන්න ඕනද? මං ඒ වෙලාවෙ හිතුවෙ නෑ ඒවා. මං හිතුවෙ මගෙ දුක කෙනෙක් අහගෙන ඉන්නවා කියලා විතරයි. සමහර වෙලාවට මිනිස්සුන්ට ඕන වෙන්නෙ විසඳුමක් නෙවෙයි. තමන් කියන දේ අහගෙන ඉන්න කෙනෙක්. මටත් එහෙම කෙනෙක් ඕන වුණා. ඒ ඕනකම මං වැරදි තැනකින් පුරවගත්තා.

ඒකෙන් පස්සෙ තමයි දේවල් ටිකෙන් ටික වෙනස් වුණේ. 

මට චන්ද්‍රාට කියන්න තිබුණා මං වජිරගෙ ගෑනිට උදව් කරනවා කියලා. මං වැරදි අදහසකින් නෙවෙයි නං එහෙම කරේ මට නොකිය ඉන්න හේතුවක් තියෙන්න විදියක් නෑනෙ මුලින්ම කියන්න තිබ්බනෙ. ඒත් මං දැනගෙන හිටියා චන්ද්‍රා ප්‍රශ්න අහයි කියලා. මං බය උනේ අන්න ඒකට. චන්ද්‍රා කේන්ති ගනී, මගෙන් දේවල් අහයි, කියලා මං දැනං උන්නා. මං ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න කැමති වුණේ නෑ. ඒ නිසා මං සද්ද නැතුව හිටියා. සද්ද නැතුව ඉන්න කොට ප්‍රශ්න අඩුවෙයි කියලා මං හිතුවෙ. ඒත් සමහර වෙලාවට සද්ද නැතුව ඉන්නවා කියන්නෙ ප්‍රශ්නයක් නැති කරන එක නෙවෙයි. සද්ද නැතුව ඉන්න එක තමයි ප්‍රශ්නෙට හේතුව

ඊට පස්සෙ බොරු කියන්න ලේසි වුණා. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ මං ගියේ එක අහක ගියා කිව්වෙ වෙන අහක. ගියේ එක්කෙනෙක් එක්ක ගියා කිව්වෙ වෙන එක්කෙනෙක් එක්ක. කෝල් එකක් ආවම රෝන් නම්බර් එකක් කියලා කියන්න ලේසි වුණා. මටම පුදුමයි මං කොහොමද එච්චර ලේසියෙන් බොරු කියන්න පුරුදු වුණේ කියලා. මං කවදාවත් මාව බොරුකාරයෙක් කියලා හිතපු මිනිහෙක් නෙවෙයි. මගේ දරුවන්ටත් මං හැමදාම කිව්වෙ බොරු කියන්න එපා කියලා. 

ඒක තමයි මට වැඩියෙන්ම ලැජ්ජා හිතිච්ච තැන. 

මං ගෙදරින් එළියට ආපු දවසෙ මට හිතුණා මං මේ හැමදේම ඉවර කරනවා කියලා. මං නැති උනාම චන්ද්‍රාටත් තේරෙයි කියලා හිතුණා. මං කොච්චර දේවල් දරාගෙන හිටියද කියන එකයි, මගේ දුක කාටවත් පෙනුනෙ නෑ කියලයි මං හිතුවෙ. මං මාර විදියට කුමුදුනී ඉස්සරහා මගේ දුක මාකට් කරලා තිබ්බෙ. පිරිමින්ට වරදින්නෙ ඔන්න ඔය වෙලාවට. ඒ වෙලාවෙ මට මගේ දරුවන්ගෙ දුක පේනුණෙ  නෑ. තාත්තා මෙහෙම ගෙයින් එලියට බැහැලා ආවම දරුවන්ට මූණ දෙන්න වෙන ලැජ්ජාව කොච්චරද කියන එක මට ඇත්තටම පෙනුණෙ නෑ. එක්කො මට ඒකෙ ගාණක් තිබ්බෙ නෑ. මට පෙනුනෙ මගේ දුක විතරයි.

මිනිහෙක් දුකෙන් ඉන්නකොට තමන්ගෙ දුක තරම් ලොකු දෙයක් ලෝකෙ නෑ කියලා හිතනවනෙ. ඒ වෙලාවෙ අනිත් මිනිස්සුන්ට තමන් කරන දේ හන්දා කොච්චර රිදෙනවද කියලා පේන්නෙ නෑ. මටත් එහෙම වුණා.

ගෙදරින් ආවට පස්සෙ තමයි දූව මට මතක් වෙන්න පටන් ගත්තෙ. දවසට කී පාරක් මං එයාගෙ කටහඬ මතක් කළාද කියලා මටවත් මතක නෑ. තාත්තේ කියලා මට කතා කරන විදිය. මං වැඩට යනකොට ගේට්ටුව ළඟට ඇවිල්ලා බලන විදිය. මොනා හරි කෑමක් හම්බුණොත් තාත්තටත් ගෙනාවා කියලා කෑල්ලක් අයින් කරන විදිය. ඔය වගේ පොඩි පොඩි දේවල් තමයි මට මතක් වෙන්න ගත්තා. පපුව කොච්චර හීරෙන්න ගත්තද කියලා කියන්න වචන මට නෑ.

මං දූව දාලා ආවෙ. මගේම දුවව.

මට ඒක කොහොම අමතක වුණාද කියලා මටම හිතාගන්න බැරිවෙච්ච තැන් තිබ්බා.

මං එයාගෙ තාත්තා. මට එයා වෙනුවෙන් මීට වඩා හයිය වෙන්න තිබුණා. මට එයා ඉස්සරහා හරි මිනිහෙක් වෙලා ඉන්න තිබුණා. මට මගේ ගෙදර ප්‍රශ්නවල බර එයාගෙ ඔලුවට දාන්නෙ නැතුව ඉන්න තිබුණා. ඒ වෙනුවට මං කළේ මගේ ප්‍රශ්න විසඳගන්න ගෙදරින් එළියට යන එක.

මට ඒ ගැන කවදාවත් හිතලා ඉවර කරන්න බෑ. ඒ පව, ඒ වරද මට හරිගස්සගන විදියක් මං හිතන්නෙ මේ කපේට නෑ.

මං හිතනවා තාත්තලා කියන්නෙත් මිනිස්සු කියලා. ඒක ඇත්ත. තාත්තලාටත් වැරදෙන්න පුළුවන්. තාත්තලාටත් තනිකම දැනෙන්න පුළුවන්. තාත්තලාටත් අඬන්න පුළුවන්. තාත්තලාටත් සමහර දවස්වල තමන්ගෙ ජීවිතේ ගැන කලකිරෙන්න පුළුවන්. කවුරුත් තාත්තෙක් වුණා කියලා එයාගෙ මනුස්සකමවත්, හැඟීම්වත් ගලවලා පැත්තක තියන්න බෑ. හැඟීම් නැති මිනිහෙක් වෙන්නෙ නෑ.

හැබැයි මං දැන් දන්නවා තාත්තා කෙනෙක් වීම කියන්නෙ ඒ හැඟීම් නැති කරගන්න එක නෙවෙයි. ඒ හැඟීම් තිබුණත් ඒවා නිසා තමන් ආදරේ කරන මිනිස්සුන්ව රිද්දන තැනකට නොයන එක කියලා. මට ඒක කරන්න බැරි වුණා. ඒක මං පිළිගන්නවා.

මට හරි ලේසි උනා චන්ද්‍රට දොස් කියන්න.ඒ ගෑනි මාව තේරුම් ගත්තෙ නෑ කියලා කියන්න පුළුවන් උනා හරි ලේසියෙන් මට. කුමුදුනි මාව අල්ලගත්ත පොයින්‍ට් එක උනේ අන්න ඒක. 

මං ගෙදරින් එළියට එනකොට මගේ හිතේ තිබ්බෙත් ඒකමයි. මං හිතුවෙ මං මෙච්චර කාලයක් ඉවසගෙන හිටියා, කවුරුත් ඒක දැක්කෙ නෑ, කවුරුත් මාව තේරුම් ගත්තෙ නෑ කියලා. ඒ නිසා මං ගෙයින් එළියට ආවම මට ඉන්න තැනක් ඕන උනා. නතර වෙන්න තැනක් ඕන උනා. ඇත්තටම මට වෙන යන්න තැනක් තිබ්බෙත් නෑ.

අන්තිමට මං නතර උනේ කුමුදුනීලගෙ ගෙදර. මං හිතුවෙ එයා මාව තේරුම් ගනීවි කියලා. මං මෙච්චර කාලයක් එයාට මගේ දුක කියලා තිබ්බ නිසා, මං කොච්චර අසරණ වෙලාද කියලා එයා දන්න නිසා, අඩුම ගානෙ මට මනුස්සයෙක් විදියට සලකයි කියලා මං හිතුවා. ඒ වෙලාවෙ මං ඒ ගෙදර දොරෙන් ඇතුළට ගියේ මට නතර වෙන්න තැනක් හම්බුණා කියන සැනසීමෙන්.

හැබැයි කොකාගෙ සුද පේන්නෙ ඉගිලෙනකොට කියන කතාව කොච්චර ඇත්තද කියලා මං දැනගත්තෙත් කුමුදුනීලගෙ ගෙදර නතර උනාට පස්සෙ” කියා අතුල කතාව මොහොතකට නතර කර තමන් ඉදිරියේ හිටගෙන උන් මිනිසා දිහා එක එල්ලේ බැලුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here