“කුමුදුනීලගෙ ගෙදර නතර උනාට පස්සෙ මුල් දවස් දෙක තුන ගෙවුණෙ කොහෙද ඉන්නෙ කියලවත් මට හිතාගන්න බැරුව. ගෙදරින් එළියට ආවට පස්සෙ මට ඕන උනේ කාගෙන්වත් ප්‍රශ්න අහන්නෙ නැති තැනක ඉන්න. හීන් සිරුවෙ හුස්මක් කටක් ගන්න. කවුරුත් මගෙන් “ඇයි ආවේ?”, “දැන් මොකද කරන්නෙ?”, “ගෙදර යන්නෙ නැද්ද?” කියලා අහන්නෙ නැති තැනක්. මට ඒ වෙලාවෙ ඕන උනේ මගේ ඔලුව ටිකක් නිදහස් කරගන්න විතරයි.
ඒකයි මං කුමුදුනීලගෙ ගෙදර නතර උනේ” කියා අතුල තමන් ඉදිරියේ තබන්නට යෙදුණ බත් එක කාගෙන කාගෙන යන්නට පටන් ගත්තේය.
කතාව කියන එකත්, බත් කන එකත් එකවර කරගන්නට පුරුදු මිනිහෙක් මෙන් ඔහු බත් හොදි එක්ක කලවම් කර කටට දමා හෙමින් හපමින් තවත් බත් ටිකක් අනා ගත්තේය. කටේ තිබූ කෑම ගිලගන්නටත් කලින් ඊළඟ බත් කට අතට ගන්නා තරමට හදිස්සියෙන් හදිස්සියෙන් කාගෙන කාගෙන ගියේය.
මැදින් මැදින් කතාව නතර වූයේ බත් කට ගිලින්නට පමණි. ඒ හැරෙන්නට ඔහුට බත් එක දිහා බලන්නටවත්, කොච්චර කෑවද කියා හිතන්නටවත් වෙලාවක් තිබුණේ නැත. අතට අහුවෙන තරමට බත් ගෙන, හොදි එක්ක අනාගෙන, කටට දමාගන්නා පරක්කුවට ආයෙත් අත පිඟානට යනවාය. කවුරුන් හෝ මේ බත් පත උදුරාගනීවි යැයි බියෙන් මෙන් කාගෙන කාගෙන ගියේය. කටේ තිබූ බත් ටික ගිලගත් අතුල ආයෙත් බත් කටක් අතට ගත්තේය. පිඟානේ එක පැත්තක ඉතිරි වී තිබූ බත් ටික ඉතිරි හොදි ටිකත් එක්ක කලවම් කරගෙන දිගටම කාගෙන ගියේය.
“හෙමින් කන්න” කියා බත් පත අරන් දුන නලින්ද්‍ර කිව්වද අතුල කලේ මද සිනාවක් පා ආයෙ කන එක පමණකි.
“මුල් දවස්වල කුමුදුනී මට හොඳට සැලකුවා. කන්න බොන්න හදලා දෙනවා. මං නිදාගෙන ඉද්දි සද්ද නොකර ඉන්නවා. මං කාත් එක්කවත් කතා නොකර ඉන්න දවස්වල බලෙන් ප්‍රශ්න අහන්නෙත් නෑ. ඒ දවස්වල මට ඒවා පෙනුණෙ හරි ශෝක් දේවල් විදියට මොකෝ චන්ද්‍රා එහෙම නෑනෙ. චන්ද්‍ර කරේ මගෙ ඔලුවට පුදුමාකාර මානසික පීඩන දෙන එකනෙ. කුමුදුනී එහෙම කරේ නැති එක මට මාර ලොකු දෙයක් උනා. ගේ දාලා එන්න වෙච්ච එක මට දුකක් නොඋනා නෙවෙයි. ඒ උනාට මං අසන්තෝසෙන්ම ඉඳියා කියන්නත් බෑ.
ඒත් මං දැනගෙන හිටියෙ නැති දේවල් සෑහෙන්න තිබ්බා. මං ඒ ගෙදර ඇතුළට ගියාට පස්සෙ තමයි මං කුමුදුනී ගැන නොදන්න දේවල් එකින් එක දැනගන්න පටන් ගත්තෙ.
මුලින්ම මට ඒ ගෙදරට එන මිනිස්සු ගැන තේරුමක් තිබුණෙ නෑ. එක එක වෙලාවට එක එක මිනිස්සු එනවා. සමහර අය දොර ළඟින් හැරිලා යනවා. සමහර අය ඇතුළට එනවා. සමහරු කුමුදුනී එක්ක සෑහෙන වෙලාවක් කතා කරනවා. මං මුලින් ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. ඒ හින්දා මං නිකන් මගේ වැඩක් කරගෙන ඉන්න පුරුදු උනා. මගෙ හිතේ ප්‍රශ්නයක් තිබ්බෙ නැතුව නෙවෙයි කවුද මේ නිතර දෙවෙලේ කුමුදුනිව හම්බෙන්න එන මිනිස්සු කියන එක. අන්න එහෙම ඉන්න දවසක තමයි මං සාලෙ ඉද්දි කුමුදුනීගෙ ෆෝන් එකට කෝල් එකක් ආවෙ.
“ඔව් කියන්න”
කියාගෙනම එයා ටිකක් ඈතට ගියා. මට ඒක අහගෙන ඉන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒත් මට ඇහුණා.
“දැන් බෑ. ඔයා දුන්න සල්ලිවලින් ඒ වැඩේ කරලා ඉවරයිනෙ” කියල කුමුදුනී කිව්වම මං එතනම නතර උනා. කුමුදුනී කෝල් එක කට් කරලා ඇතුළට ආවම මං නිකන් කතාව ඇහුනා වගේ ඇහුවා කවුද කෝල් කරේ කියලා. කුමුදුනී උත්තර දුන්නෙ තරහෙන් වගේ.
“මනුස්සයෙක්.” එයා ඒක කිව්වෙ හරි සැහැල්ලුවෙන්. හැබැයි පොඩ්ඩක් නිකන් උඹට මොකද කියන්න වගේ කියන එකත් මට තේරුණා.
“මනුස්සයෙක් කියන එක මම දන්නවා. කවුද මනුස්සයා කියල මං ඇහුවෙ”
“ඇයි අහන්නෙ?”
“නිකං ඇහුවෙ”
“නිකං අහන ප්‍රශ්නවලට මං මොකටද උත්තර දෙන්න ඕන?” කියලා කුමුදුනී අහද්දි මං කටවහගත්ත. ඒ ගෑනිගෙ ගේ අස්සෙ ලැගගෙන ඉන්න ගමන් මට ඒ ගෑනිට සද්දෙ දාන්න විදියක් තිබ්බෙ නෑනෙ. ඒ හන්දා මට කට පියාගන්න උනා. ඒත් ඒ දවසෙන් පස්සෙ මං දේවල් බලන්න පටන් ගත්තා. හොයන්නම නෙවෙයි. නිකං ඇස්වලට පේන දේවල් මග ඈර ගන්නෙ නැතිව ඉන්න මං පුරුදු උනා.
එක එක මිනිස්සු ඇවිත් යන විත්තිය මට පෙනුනෙ අන්න ඒ ගමන. ඒ එන මිනිස්සුන්ගෙ කුමුදුනී මගෙන් වගේම සල්ලි ගන්න විත්තිය මට පෙනුණෙ අන්න ඒ ගමන. මිනිස්සුන්ට එක එක සම්බන්ධකම් තියෙනවා. මට ඒවා ගැන හොයන්න ඕනකමක් තිබ්බෙ නැතිවෙන්න පුළුවන්. ඒ උනාට මට මේක ලේසියෙන් අතාරින්න විදියක් තිබ්බෙ නෑ මොකෝ මං ඇත්තටම මගෙ ජිවිතේ ගැන මෙයාකාර තීරණ ගත්තෙ කුමුදුනී හන්දා නේද කියන වැරැද්ද මං ඒ වෙද්දිත් එයාගෙ පැත්තට පටවල ඉවර කරලයි තිබ්බෙ.
ඒත් එක එක කෑලි එකතු වෙද්දි පින්තූරෙ වෙනස් වෙන්න පටන් ගත්තා. කුමුදුනී මගෙන් විතරක් සල්ලි අරගෙන තිබ්බෙ නෑ. තවත් පිරිමි සෑහෙන්න හිටියා. ඒක දැනගත්තම මට මුලින්ම ආවෙ තරහක්. මටවත් හිතාගන්න බැරි තරම් තරහක්. ඒ තරහා කුමුදුනී එක්කද, මං එක්කද කියලා ඒ වෙලාවෙ මට තේරුණෙත් නෑ.
මොකද මං එයා ගැන හිතාගෙන හිටියෙ වෙන විදියකටනෙ. මිනිහා මැරිච්ච අසරණ ගෑනි කියලා. වජිර නැති උනාට පස්සෙ ජීවිතේ අමාරුවෙන් ගෙනියන ගෑනියෙක් කියලා. මට උදව් කරන්න ඕන කියලා හිතුණෙත් ඒ නිසානෙ. පස්සෙ මං එයාගෙ දේවල් අහගෙන හිටියා. එයා මගේ දේවල් අහගෙන හිටියා. ඒකෙන් මට හිතෙන්න ගත්තා අපි දෙන්නා අතරෙ වෙන මොකක් හරි බැඳීමක් තියෙනවා කියලා.
ඒත් මං නොදැන හිටපු දේ තමයි මං එයා ගැන එහෙම හිතුවට කුමුදුනී මං ගැන එහෙම හිතලා නෑ කියන එක.
“මේ මිනිස්සු කවුද කුමුදුනී?” කියලා මං අන්තිමේ එක දවසක ඇහුවෙ ඇත්තටම මට ඕක දරාගන්න බැරිවෙච්ච තැන.
“මොන මිනිස්සුද?”
“මෙහෙට එන එවුන්”
“ඇයි අහන්නෙ?”
“ඇයි අහන්නෙ කියන්නෙ? මාත් මෙහෙ ඉන්නවනෙ මං දැනගන්නෝන නැද්ද? මට දැනගන්න අයිතියක් නැද්ද” කියලා මං කියද්දි කුමුදුනී මං දිහා බලලා හිනා උනේ මං තුට්ටු දෙකේ තාලෙට.
“අයිතිය?” එයා ඒ වචනෙ ආයෙ කිව්වෙ මට කෝචෝක් එකට වගේ.
“මං කරන කියන දේවල් දැනගන්න ඔයා මගේ මිනිහද අතුල?” කියලා කුමුදුනී අහද්දි මං ඒකට උත්තර දුන්නෙ නෑ. මට ඒකට දෙන්න උත්තර තිබුණෙ නෑ
“ඔයාට මගේ ගෙදරට එන හැම මිනිහෙක් ගැනම අහන්න තියෙන අයිතිය මොකද්ද? මොකෝ ඒ මිනිස්සු මගෙන් අහනවද ඔයා කවුද කියලා. නෑනෙ?”
“ඔයාට මං ගැන මෙච්චර ප්‍රශ්නයක් තියෙනවා නම් ගෙදර යන්න”
කුමුදුනී කිසි ගාණක් නැතුව එහෙම කියද්දි තමයි මට තේරුණේ මං කුමුදුනී ගැන හිතාගෙන හිටපු විදියයි, ඇත්තටම මං ඉස්සරහා හිටපු කුමුදුනියි දෙන්නෙක් කියලා. එයාට මගෙන් සල්ලි ඕන උනා. තවත් පිරිමින්ගෙන් සල්ලි ඕන උනා. සමහරු එක්ක එයාගෙ තිබ්බ සම්බන්ධකම් ගැන මට දැනගන්න ලැබුණාම මට ඇත්තටම අප්පිරිය හිතුනා. ඒත් මට ඒ වෙලාවෙ තිබ්බ අසරණකමට ඒව අහන්න ඉන්න සිද්ද උනා. පිරිමි උනත් බලුවෙන තැන් එනවනෙ පුතා. මං උන්නෙත් කුමුදුනී ඉස්සරහා අන්න ඒ විදියට බලුවෙලා.
“මොකෝ? මං වෙන පිරිමි එක්ක සම්බන්ධකම් තිබ්බෙ නැත්තං තමුසෙ චන්ද්‍රව අත ඇරලා මාව බඳිනවද?”
කුමුදිනී එහෙම අහද්දි ඇත්තටම මට ඒකට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. මොකෝ මංවත් දැනං උන්නෙ නෑ මං ගෙදරින් ආවෙ ඇත්තටම මොනවා කරන බලාපොරොත්තුවෙන්ද කියලා.


