වසන්තය තව දුරද – 58

0
165

“එතකොට ඔය කියන කුමුදුනීලගෙ ගෙදර ඉඳපු අංකල් ඊටපස්සෙ මෙහෙට ආවෙ කොහොමද?”

නලින්ද්‍රගේ ප්‍රශ්නය හමුවේ අතුල සමරසිංහ මඳ වේලාවක් නිහඬව සිටියේය. ඔහුගේ දෙනෙත් නතර වී තිබුණේ ඉදිරිපස බිත්තියේ කොහෝ හෝ හිස් තැනකය. එහෙත් ඔහු බලා සිටියේ එම හිස් බිත්තිය දෙස නොවන බව නලින්ද්‍රට නොවැටහුනා නොවේ. ඒ මොහොතේ අතුලගේ මතකය ගමන් කරමින් තිබුණේ බොහෝ ඈතකටය.

“මට එහෙ තවදුරටත් ඉන්න බැරි වුණා”

අතුල අවසානයේ කීවේය.

අතුල මේ වන විට නවාතැන් ගෙන සිටියේ නුගේගොඩ නගරයේ  අස්සක තිබූ කුඩා බෝඩිමකය. එහි බඩු බාහිරාදිය තිබුණේ අල්ප වශයෙනි. එක් කුඩා ඇඳක්, ඒ ඉදිරිපස තැබූ පැරණි මේසයක්, එයට අසලින් තැබූ පුටුවක් පමණි. මේසය මත තබා තිබූ ඔහුගේ ඇඳුම් පැලඳුම් වලද කිසි පිලිවෙලක් නොතිබුනේ ඒවා පිළිවෙළකට තබා ගැනීමටවත්, ඒවා වෙනුවෙන් වෙනම ඉඩක් වෙන්කර ගැනීමටවත් තරම් ඔහුගේ ජීවිතය ස්ථාවරත්වයක් නොවූ බැවිනි.

“කුමුදුනී මාව නිකම්ම එළියට දැම්මෙ නෑ ”

අතුලගේ හඬෙහි කේන්තියකට වඩා පැවතියේ වෙහෙසක් බව වෛවාහක ජීවිතයේ දුක් කම්කටොලු අලුතෙන් රස බලමින් උන් නලින්ද්‍රට නොතේරුණා නොවේ. එහෙත් නලින්ද්‍ර මේ වචනවලට කිසිවක් කීවේ නැත. ඒ වචන අසා උන්න පමණකි.

“මුලින් මං හිතුවේ එයා මට නවාතැන් දුන්නෙ මං අසරණ වෙච්ච වෙලාවෙ මට උදව් කරන්න ඕන කියලා හිතලනෙ. ඒ වෙලාවෙ මට ඒ ගෑනි ගැන තිබ්බ විශ්වාසෙ එච්චරට උසයි. මං ගෙදරින් ආවා. මට යන්න තැනක් තිබුණෙ නෑ. මට කතා කරන්න මනුස්සයෙක් උන්නෙ නෑ. ඒ වෙලාවෙ මං හිතුවෙ අඩුම තරමේ එයා මාව තේරුම් ගනී කියලා” කියා  අතුල මඳ වේලාවක් නිහඬව සිටියේය.

“ඒත් පස්සෙ මට තේරුණා එයාගෙ පරමාර්තෙ උනේ මට උදව් කරන එක නෙවෙයි කියලා”

“එහෙනම්?”

“එයා මාව දැකලා තිබ්බෙ ATM මැශින් එකක් විදියට”

ඒ වචන දෙක පිටවූයේ කිසිදු ආවේගයකින් තොරවය. එහෙත් ඒවා තුළ තිබූ වේදනාව අතුලගේ මුහුණ අස්සෙන් පැහැදිලිව දකින්නට නලින්ද්‍රට අපහසු උනේ නැත.

“කුමුදුනී මුලින් මගේ අතේ තිබ්බ සල්ලි ටික ගත්තා. බැංකුවේ තිබ්බ සල්ලි ටික ගත්තා. ඒ වෙලාවෙ මං ඒවා දුන්නෙත් හිතලා බලලා නෙවෙයි. මං හිතුවෙ මං එයාට උදව් කරනවා කියලා. මං හිතුවෙ එයාට මාව ඕන කියලා. අන්තිමට බලද්දි මං එයාට ඕන වෙලා තිබුණේ මිනිහෙක් විදියටද, නැත්තං සල්ලි නිසාද කියලා මටම තේරුම් ගන්න බැරි වුණා

ඒත් ඒකෙන් පස්සෙ සිද්ධ වෙච්ච දේ තමයි මට වැඩියෙන්ම ලැජ්ජා හිතුණේ”

“මොකක්ද?”

“එයා තැන් තැන්වල මං ගැන කියල තිබ්බ කතන්දර. වජිර මැරුණට පස්සෙ මං ඒ ගෙවල් පැත්තෙ ගියේ උදව් කරන්න නෙවෙයිය,  මං කුමුදුනීට අනවශ්‍ය යෝජනා කළාය, . ඒ ගෑනි තනියම ඉන්න එකෙන් මං ප්‍රයෝජන ගන්න හැදුවාය කියලා කුමුදුනී අපේ ඔෆිස් වල වැඩ කරන මිනිස්සු එක්ක කියල තිබ්බ සෑහෙන්න. අනික මං කුමුදුනීට සෑහෙන්න ණය විත්තිය කුමුදුනී මිනිස්සුන්ට කියල තිබ්බා. දන්නවනෙ කන්තෝරු අස්සෙ ඔය වගේ කට කතන්දර වලට අත්තටු ලැබෙනවනෙ. මාව විස්වාස කරේ ඉතින් ඔය කපිල වගේ දෙතුන් දෙනෙක් විතරයි. මට ඔෆිස් එකෙත් ඒ හන්දා සෑහෙන ප්‍රශ්න තිබ්බා. මං අවුරුදු ගාණක් වැඩ කරපු මිනිස්සු ඉස්සරහ මට අන්තිමේ මූන හංගන් ඉන්නයි උනේ. මං වැඩට ගියත් මිනිස්සු මං දිහා බලන විදිය වෙනස් වෙලා තිබුණා. කවුරුත් කෙළින් අහන්නෙ නෑ. ඒත් බැල්මකින් මිනිහෙකුට තමන් ගැන මොනවද හිතන්නෙ කියලා නොතේරෙනවා නෙවෙයිනෙ.

පිරිමියෙක්ට සල්ලි නැති වෙන එක ඉවසගන්න පුළුවන්. ගෙයක් නැති වෙන එකත් යම් දවසක ඉවසගන්න පුළුවන්. ඒත් තමන්ගේ නම, පිරිමිකම තමන්ටම පරිස්සං කරගන්න බැරි තැනකට වැටුණාම ඒක දරාගන්න හරි අමාරුයි

මං ජීවිතේ පතුලටම වැටිලා හිටියෙ. මට එහෙන් එන්න සිද්ධ වුණේ එක දවසක වෙච්ච දෙයක් හන්දා නෙවෙයි. ටිකෙන් ටික මට තේරුණා මං එහෙ නතර වෙලා ඉන්නෙ මං හිතාගෙන හිටපු විදියට නෙවෙයි කියලා. මුලින් එයා මට කතා කරේ වෙන විදියකට. මට කන්න දුන්නා. මං වැඩට යන එන විදිය බැලුවා. මට ඉන්න තැනක් තියෙනවා කියන එකම ඒ වෙලාවෙ මට ලොකු දෙයක් උන  හන්දා මං ඒවා ගැන වැඩිය හිතුවෙ නෑ.

ඒත් පස්සෙ පස්සෙ එයාගේ හැසිරීම වෙනස් වුණා. මං ගෙදර ඉන්න එක එයාට කරදරයක් කියන එක මට ඇඟවෙන විදියට එයා හැසිරෙන්න පටන් ගත්තා කියලයි මට පස්සෙ කල්පනා කරද්දි හිතුනෙ. මං අතේ සල්ලි නැති බව දැනගත්තට පස්සෙ මට කතා කරන විදියත් වෙනස් වුණා. අන්න ඒ වෙද්දි මට තේරුණා මං එයාගෙ ගෙදර නවාතැන් ගත්ත මනුස්සයෙක් විතරක් නෙවෙයි කියලා. මං එයාට කරලා තිබ්බ උදව්වලට, දීලා තිබ්බ සල්ලිවලට, එයාට තිබ්බ මගේ වටිනාකම ඒ සල්ලි ඉවර වෙද්දි ඉවර වෙලා තිබුණා.

එදා රෑ මං ඇඳ උඩට වෙලා සෑහෙන වෙලාවක් කල්පනා කළා. මට එතන තවත් ඉන්න පුළුවන්කමක් තිබුණෙ නෑ.හේතුවක් තිබ්බෙ නෑ. මොක උනත් අනුන්ගෙ අගුපිලක මට එහෙම දිගටම රිංගන් ඉන්න පුළුවන්කමකුත් නෑනෙ. මට යන්න තැනක් තිබුණෙත් නෑ. ඒත් මං තේරුම් ගත්තා, තැනක් නැති එකයි, මිනිහෙක් විදියට තමන්ටම ගරු කරන්න බැරි තැනක ඉන්න එකයි දෙකක් කියලා.

ඊට පහුවදා මං මගේ ඇඳුම් ටික එක්කහු කරගත්තා. වෙන කිසි දෙයක් තිබුණෙ නෑ. තිබ්බ දේවල් ටිකත් ඉවර වෙලා තිබුණෙ කුමුදුනීටම දීලා. මං එළියට බැස්සේ කොහෙ යනවද කියලා හිතාගන්න බැරුව. ඒ උනාට පාරෙ හිඟා කෑවත් තව එක දවසක්වත් එහෙ ඉන්නෙ නං නෑ කියලා මං ඒ වෙද්දි හිතාගෙන ඉන්නෙ. එහෙම තමයි මං මෙහෙට ආවෙ” කියා  අතුල මඳ වේලාවකට නිහඬ විය.

“අංකල්ට හිතුනෙ  නැද්ද ආපහු ගෙදර ගියා නං හොදයි කියලා?”

“ඒ වෙද්දි මං හන්දා නෙත්මලී විබාගෙත් අනාගෙන විත්තිය මං දැනගෙන උන්නෙ පුතා. මට ඕන උනේ නෑ හිතේ තිබ්බ කරදර ගොඩට තව ඔලුවට කරදර දාගන්න. අනික ඇත්තටම මට යන්න හිතේ හයියක් තිබ්බෙ නෑ. චන්ද්‍රා කියටවත් මාව භාරගන්නෙ නෑ කියන එක මං දැනගෙන හිටියා. ඊටත් වඩා මං නෙත්මලී චන්ද්‍රා එක්ක පොලට එහෙම යනවා මං කීප වතාවක් දැක්කා. මං ඉන්නකං චන්ද්‍රා දරුවගෙ ඔලුව කෑවට මං ගියයින් පස්සෙ ඒ යෑමම ඒ දෙන්නට පරණ තරහා අමතක කරලා එක්කාසු වෙන්න හේතුවක් දීලා තිබ්බා නම් මට ආයෙ ඒක කඩන්න බිඳින්න ඒ මැද්දට යන්නෝන නෑ කියලා මං ඒ වෙද්දි තීරණය කරලා ඉවර කරලා තිබ්බෙ

ඒත් මං එහෙම ඉන්න අතරෙ තමයි එක දවසක් මං දූව දැක්කෙ. මං ඒ දවස්වල වැඩිය එළියට යන්නෙ නෑ. ඔෆිස් එකේ ප්‍රශ්න නිසා මිනිස්සු මූණ බලන එකත් මට කරදරයක් වෙලා තිබ්බෙ. ඒත් එක දවසක් මං නිකං පාරෙ යනකොට මං දූව දැක්කා.”

අතුල මඳක් කතාව නතර කරේ ඒ සිදුවීම ආයෙ මතක් කරගන්නට මෙනි.

“එයා තනියම නෙවෙයි හිටියෙ.

මං දුරින් දැක්කෙ. දූ කාගෙහරි වාහනේකට නගිනවා. මං මුලින්ම හිතුවෙ ඔෆිස් එකේ කෙනෙක් වෙන්න ඇති කියලා. නැත්තං කවුරුහරි දන්න කෙනෙක් වෙන්න ඇති. මොකද අපි දන්න කාටවත් එහෙම වාහනයක් තිබ්බෙ නෑ. දූගෙ යාලුවෙක්ටවත් එහෙම වාහනයක් තිබ්බෙ නෑ”

“ඉතින් ඒ කවුද කියලා දැනගත්තෙ කොහොමද?”

“දැනගත්තෙ නෑ. ඒ වෙලාවෙ මං දැනගෙන හිටියෙ නෑ. මං කළේ වාහනේ පස්සෙන් ගිය එක. මං ඒ වෙලාවෙ හිතුවෙ නෑ මං මොකක්ද කරන්නෙ කියලා. දූව දැක්ක ගමන් මට එකපාරටම හිතුණෙ මේ කවුද? කියලා හොයන්නෝන කියන එක. මට ඒ වෙලාවෙ දූ ගැන බයක් ආවා. මං ගෙදරින් ගිහින් කොච්චර කාලයක්ද? මං දරුවා ගැන කිසි දෙයක් දන්නෙ නෑ. එයා කොහෙ යනවද, කාත් එක්ක ඉන්නවද, මොනවා කරනවද කියලා මං දන්නෙ නෑ.මං දැනං උන්නෙ විභාගෙ හරියට කරගන්න බැරිවෙච්ච හන්දා දූ රස්සාවකට යනවය කියන එක විතරයි. තාත්තා කෙනෙක් විදියට මං සෑහෙන්න දූට ලංවෙලා ඉදියෙ. ඉතින් එකපාරටම වෙන පිරිමියෙක් එක්ක දූව දැක්කම මට නිකං මොකක්දෝ උනා”

“ඊට පස්සෙ?”

“ඒ වාහනේ ගියේ කොළඹ හත පැත්තට. මං ඒක පස්සෙන් ගියා. අන්තිමට ඒක නතර වුණේ හෝටලයක් ළඟ. එහෙම වෙලාවක ඕනම තාත්තෙක්ගෙ හිතේ ගැස්මක් ඇතිවෙනවනෙ නේද පුතා? අපේ දරුවො පොඩි. අනික මෝඩකං කරන වයස ඔය. එහෙම වයසකදි තාත්තෙක් ළඟ නැති උනාම ගෑනු දරුවො නැතිවෙච්ච තාත්තගෙ ආදරේ පිට තැන්වලින් හොයන්න යනවා.

මං දූ ගැන නරකක් හිතුවෙ නෑ කියලා කිව්වොත් ඒක බොරුවක්. මං තාත්තෙක්. දරුවෙක් ගැන ඔහොම දෙයක් දැක්කම එකපාරටම එක එක දේවල් හිතට එනවා. හැබැයි ඒ වෙලාවෙ මං දැනගෙන උන්නෙ නෑ ඒ මනුස්සයා කවුද කියලා. දූට මොකද්ද  එයා එක්ක තියෙන සම්බන්දෙ කියලා. මං දැක්කෙ දූ පිරිමි කෙනෙක්ගෙ වාහනේට නැගලා හෝටලේකට යනවා විතරයි.

එදා මං ආපහු බෝඩිමට ආවා. ඒත් මට මේක ඔලුවෙන් අහක් කරගන්න පුළුවන් උනේ නෑ. ඊළඟ දවසෙත් මට හිතුණා ඒ මනුස්සයා කවුද කියලා හොයන්න ඕන කියලා. . මං කොහොමද ගිහින් දූගෙන් අහන්නෙ? ඊයේ කාත් එක්කද ගියේ? කියලා. ඒ අයිතිය මං ඒ වෙද්දි නැති කරගෙන තිබ්බෙ. මං ගෙදරින් පැනලා ගිය මිනිහෙක්. ඒ තත්වෙ ඉඳන් දූගෙන් ප්‍රශ්න අහන්න මට අයිතියක් තියෙනවද කියලා මගෙ හිතම මගෙන් ඇහුවා.

ඒ නිසා මං දුරින් ඉඳන් බලන්න පටන් ගත්තා”

“මාව?”

“ඔව්.

මුලින්ම මං පුතා ගැන මුකුත් දැනගෙන හිටියෙ නෑ. වාහනේ අංකෙ මට මතක තිබ්බා. මූණ මතක තිබ්බා. දූ එක්ක ඉන්නවා දැක්කා. ඊට පස්සෙ දවසක් දෙකක් මං දුරින් ඉඳන් බලන් හිටියා. පස්සෙ තමයි මට තේරුණේ ඒ මනුස්සයා අපෙ දූගෙම ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් කියලා. තවත් දවසක් දූව ඔෆිස් එක ළඟ අතුරු පාරක් ගාවින් ගන්නවා දැක්කා. තවත් දවසක එයාව ගෙවල් ළඟ පාරකින් බස්සලා යනවා දැක්කා.

මං පුතා පස්සෙන් එන්න පටන් ගත්තෙ පුතාට  කරදර කරන්න නෙවෙයි පුතා. මට ඕන වුණේ මගෙ දරුවා පරිස්සංද කියලා දැනගන්න. ඒත් ඇත්තටම කිව්වොත් මං ඒක කරන්න පටන් ගත්තට පස්සෙ මට මං ගැනම බයක් හිතුනා”

“ඇයි?”

“මොකද මං දූගෙ තාත්තා විදියට එයා ගැන හොයනවද, නැත්තං මගේ ජීවිතේ නැති වෙච්ච දේවල් ටික ආයි ලබාගන්න ට්‍රයි කරනවද කියලා මටම තේරිච්ච නැති හන්දා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here