වසන්තය තව දුරද – 67

0
123

දික්කසාදය ලැබෙන්නට ගිය මාස කිහිපයේ නලින්ද්‍රත් නෙත්මලීත්, නෙත්මලීගේ ගෙදර අයත් අතරේ වුණ සම්බන්ධය වඩා හොඳින් තර වුණා යැයි කීම බොරුවක් නොවේ. නෙත්මාල් කොහොමත් එහෙමකට කියා ගෙදර වැඩවලට සම්බන්ධ වුණ අයෙක් නොවුණ නිසා චන්ද්‍රා නලින්ද්‍රව පුතෙකු ලෙස හෙමින් හෙමින් භාරගත්තාය.නලින්ද්‍රද උන්නේ ඒ ගැන සන්තෝසයෙනි. තරුණ වයසේදීම් දෙමව්පියන් අහිමිව, අමාරුවෙන් ජීවිතේ ගොඩ නගාගන්නට කටයුතු කල තරුණයෙකු වූ නලින්ද්‍රට තාරාගේ මව් දෙමව්පියන්ගෙන් වුව දෙමව්පිය ආදරයක් එහෙමකට කියා ලැබී තිබුණේ නැති හන්දා චන්ද්‍රාගේ මව් සමාගමත්, චන්ද්‍රාත් නෙත්මලීත් නොදැනුවත්ම උනත් ලැබෙන අතුලගේ පිය සමාගමත් ජීවිතේට දෙයාකාරයකින් සතුටක් ගෙන ආවායැයි කියන්නට හැකි විය.

නෙත්මලීගේ ගෙදරට යාමට ඒමට පටන්ගත් මුල් කාලයේ නලින්ද්‍රට දැනුණේ තමන් තවමත් ඒ පවුලට අයත් නොවන අමුත්තෙකු බව බව ඇත්තකි. එහෙත් කාලය ගෙවෙත්ම ඒ හැඟීම හෙමින් හෙමින් වෙනස් වෙන්නට පටන් ගත්තේය. පලවෙනි දවසේ දුවෙක් ඉන්නා අම්මා කෙනෙක් විදියට කොතෙක් අවවාද දෙන්නට කටයුතු කරද දැන් ඔහු එන බව දැනගත් විට චන්ද්‍රා ඔහු වෙනුවෙන්ම විශේෂ කෑම බීම පිළියෙල කරන්නට පුරුදු වූවාය. ඇතැම් දිනවල ඔහු එනතුරු කෑම නොකා සිටින නෙත්මලී ගැන නෝක්කාඩු කියමින් “පුතාටත් එක්ක කෑම හැදුවා. දැන්වත් දෙන්නා එක්ක කාලා ඉන්න” කියා ඔවුන්ව කෑම මේසයට කැඳවන්නට වූවාය. ඔහු ආපසු යන්නට සූදානම් වන හැම විටම වාගේ “ඔහොම ඉන්න පුතා තේ එකක් බීලා යන්න” කියා නතර කරගන්නටද ඇය අමතක නොකළාය.

ඒ පුංචි පුංචි දේවල් එක්කහු වී නලින්ද්‍රට දැනුණේ වචනවලින් විස්තර කරන්නට අපහසු මව්වත් උණුහුමකි. ජීවිතයේ බොහෝ කාලයක් තනිවම තමන්ගේ වැඩ කටයුතු කරගනිමින්, තමන්ට අවශ්‍ය දේ තමන්ම සපයාගනිමින් ජීවත් වීමට පුරුදු වී සිටි නලින්ද්‍රට, තවත් කෙනෙකු තමන් කෑවාද බිව්වාද කියා සොයා බැලීම අලුත් අත්දැකීමක් විය. අසනීප වූ දිනක චන්ද්‍රා නෙත්මලී අතේ කාර්‍යාලයට කොත්තමල්ලිද, පස්පංගුවද එවද්දී, කෑම බීම වෙනම හදා එවද්දී ඒ විශේෂ බව වනාහී අම්මා කෙනෙකුට උරුම දෙයක් බව අලුතෙන් තේරුං ගන්නට නලින්ද්‍රට ජීවිතය ඉඩකඩ හදා දුන්නේය.

නලින්ද්‍රගේ ජීවිතයේ එවැනි තැන් බොහොමයක් තිබුණේ හිස්වය. තරුණ වයසේදීම දෙමව්පියන් අහිමි වූ ඔහු ජීවිතයේ බොහෝ දේ ඉගෙනගෙන තිබුණේ අත්දැකීම්වලිනි. වැටුණු විට නැඟිටින්නටත්, අමාරුකම් හමුවේ තනිවම තීරණ ගන්නටත් නලින්ද්‍ර පුරුදු වී සිටියේය. තාරා සමඟ විවාහ වූ පසුව වුවද ඇගේ පවුලෙන් ඔහුට දැනුණු සමීපත්වය එතරම් ගැඹුරු එකක් නොවුණ බව ඇත්තකි. එබැවින් චන්ද්‍රාගේ මව් සමාගමත්, නෙත්මලීගේ සෙනෙහසත්, නෙත්මාල් සමඟ ඇති වූ සහෝදරත්වයත් ඔහුගේ ජීවිතයට ගෙන ආවේ මෙතෙක් හරිහැටි අත්විඳ නොතිබූ පවුලක උණුසුමකි.

සමහර දිනවල නෙත්මලීගේ ගෙදරින් පිටවී තමන්ගේ නිවසට පැමිණි පසුවත් නලින්ද්‍රට ඒ නිවසේ කතාබහ සිහිපත් විය. චන්ද්‍රා කෑම බෙදන විට කියූ නෝක්කාඩුවක්, නෙත්මාල් සමඟ කළ විහිළුවක්, නැතහොත් නෙත්මලී තමන් යනතුරු දොර ළඟට වී බලා සිටි අයුරුත් මතකයේ රැඳී තිබිණි. ඒ මතක අතරින් ඇතැම් විට නලින්ද්‍රට දැනුණේ තමන් මෙතරම් කාලයක් සොයා නොගත්, තමන්ට අයිති නොවී තිබුණ දෙයක් අවසානයේ හමුවූවාක් වැනි හැඟීමකි.

එහෙත් ඒ සතුට අතරේම ඔහුගේ හිතට වරින් වර බරක් දැනුණ බවද ඇත්තකි. “මම අතුල අංකල්ව දන්නවා” යැයි නොකියා මේ ලෙසට නෙත්මලීගේ ගෙදර යාම ඒම දිගටම කරගෙන යන්නට වීම ගැන නලින්ද්‍රගේ හිතේ පොඩි අවුලක් තිබුණා යැයි කියන්නට හැක. 

තමන්ට මේ තරම් ආදරයෙන් සලකන චන්ද්‍රා ඉදිරියේ ඇගේ ජීවිතය බිඳී යාමට හේතු වූ අතුල සමරසිංහව තමන් කලක සිට දන්නා බව නොකියා සිටීම නලින්ද්‍රට පහසු වූයේ නැත. විශේෂයෙන්ම ඇය තමන්ට පුතෙකුට මෙන් සලකන්නට පටන්ගත් පසුව ඒ හැඟීම තවත් තදින් දැනෙන්නට විය.

මේ ගෙදර මිනිසුන් තමන්ට හිතේ ඉඩක් වෙන් කරමින් ඉන්නා බව හොඳින්ම දැන දැන ඒ ඉඩ තුළ තමන් සඟවාගෙන සිටින දේ ගැන ඔවුන් දැනගත් දවසක, ඒ ආදරය වෙනස් වේවිද? කියා නොහිතා ඉන්න නලින්ද්‍රට පුලුවන් උනේ නැත.

නලින්ද්‍ර උන්නේ ඒ ගැන සිතාගත නොහැකිවය. එහෙත් එක දෙයක් ඔහු දැන සිටියේය. තමන්ට මෙතෙක් නොලැබුණු පවුලක උණුසුම විඳින්නට ලැබීම ගැන තමන් සතුටු වුවද ඒ සතුට වෙනුවෙන් තවත් කෙනෙකුගේ වේදනාවක් අමතක කර දමන්නට තමන්ට අවශ්‍ය නැති බවය.

එදා නලින්ද්‍රත් නෙත්මලීත් උන්නේ චන්ද්‍රා කට්ලට් බදින අතරේ හවස තේ බොමින් කුස්සියේ වාඩි වීය.

“දැන් අම්මා කට්ලට් බදිද්දි ඔයා මෙතන වංගෙඩිය වගේ වාඩිවෙලා ඉඳලා හරියනවද?” කියා නලින්ද්‍ර විහිලු කරද්දී නෙත්මලී මූණ නොරොක් කරගද්දී චන්ද්‍ර කරේ හිනාවෙන එකය.

“ආං එච්චරයි පුතේ මටත් ඇහුනෙ. පුතාට බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ මෙයා පස්ස පැත්තට ඉර පායනකං නිදාගන්න දවසට” 

“අයියෝ අම්මේ. මොනාද මේ කියන්නෙ?රෙදි ඉල්ලෙනෙ ඔහොම කියද්දි?”

“මොකද්ද ළමයො ඔය කතා කරන විදිය? කොහෙන් ඉගෙන ගත්ත රස්තියාදුකාර වචනද මන්දා? රෙදි ඉල්ලේ වෙයි ඉතින් ඔය විදියට හැදුනොත් නං”

නෙත්මලී තවත් මොනවාදෝ කියන්නට කට අරිද්දී නලින්ද්‍ර ඇය දෙස බලා සිනාසුණේ ආදරයෙන් ඇද කරමිනි

“ඔන්න ඉතින්. මං කිව්වෙ ඇත්තනෙ. අම්මා කට්ලට් බදිනවා. මම තේ බොනවා. ඔයා නිකං මෙතන ඉඳගෙන අපි දෙන්නගෙ කතා අහගෙන ඉන්නවා.”

“හරි හරි. දෙන්නම එකතු වෙලා මට බනින්නකො. මං යනවා” නෙත්මලී පුටුවෙන් නැඟිටින්නට සැරසුණේ බොරුවට තරහ ගත් මුහුණක් මවාගෙනය. නලින්ද්‍ර ඇගේ අතින් අල්ලා නැවත පුටුවේ වාඩි කරවූයේ සිනාසෙමිනි.

“හරි හරි, යන්න එපා. ඔයා නැතුව අපි කාටද බනින්නෙ?”

“අනේ මේ, ඔයාට මාව විහිළුවක් වෙලා නේද දැන්?”

“වෙන මොනවා වෙන්නද ඉතින්?”

චන්ද්‍රාද ඔවුන්ගේ කතාවට එක් උනේ සිනාසෙමිනි. කුස්සිය පුරා පැතිර තිබුණේ ගෙදරක හවසක තිබිය යුතු ඒ සැහැල්ලු, උණුසුම් බවය. නලින්ද්‍ර මොහොතක් ඔවුන් දෙදෙනා දෙස බලා සිටියේය. නෙත්මලී ම්දකට කුස්සියෙන් ඉවතට යද්දී නලින්ද්‍ර උන්නේ ඇත්තට්ම චන්ද්‍රගෙන් යමක් අසන බලාපොරොත්තුවෙන් වචන හිත අස්සේ එක්කාසු කරමිනි.

“මං අම්මගෙන් පොඩි කාරණාවක් අහන්න හිටියෙ?” කියා නලින්ද්‍ර කියද්දී ඔහු මේ කියන්නට යන්නේ කුමක් හෝ වැදගත් දෙයක් බව තේරුණ නිසාදො චන්ද්‍ර මදකට ලිප ඕෆ් කර නලින්ද්‍ර දෙසට හැරුණාය. නලින්ද්‍ර උන්නේ නෙත්මලී වහා දොරකඩින් මතුවේදැයි බලාගෙනය. ඔහුගේ මුහුණේ මීට මොහොතකට පෙර තිබූ සැහැල්ලු සිනහව දැන් දකින්නට තිබුණේ නැත. තේ කෝප්පය අතට ගෙන එය නැවතත් මේසය මත තැබූ නලින්ද්‍ර කියන්නට යන දේ සිතෙන් කිහිප වරක්ම පෙළගස්වා ගත්තේය. චන්ද්‍රා නලින්ද්‍ර දෙස බලා සිටියේ ඔහුගේ වෙනස් වූ හැසිරීම ගැන කුතුහලයෙනි. මීට මොහොතකට පෙර නෙත්මලී සමඟ විහිලු කරමින් සිනාසුණු නලින්ද්‍රගේ මුහුණේ දැන් තිබුණේ තරමක බැරෑරුම් බවක් බව් චන්ද්‍රට නොපෙනුනා නොවේ. ඔහුගේ දෑස් විටින් විට දොර දෙසට යොමු වන අයුරු දුටු චන්ද්‍රා ලිප නිවා දමා ඔහු දෙසට හැරුණේ ඇගේ මුවඟ එතෙක් ඇඳී තිබූ සිනහවද හෙමින් මැකී යද්දීය.

“මොකද පුතා? කියන්න තියෙන දේ නෙත්මලීට අහන්න හොඳ නැති දෙයක්ද?” චන්ද්‍රා ඇසුවේ නලින්ද්‍රගේ මුහුණ දෙස විමසිල්ලෙන් බලමිනි.

නලින්ද්‍ර මොහොතකට ඇගේ දෑස් මඟහැරියේය. ඔහුගේ ඇඟිලි තේ කෝප්පයේ දාරය මත නිකරුණේ එහා මෙහා යමින් තිබුනේ සිතුවිලිවල වූ නොසංසුන් බව අඟවන්නට මෙනි. චන්ද්‍රාද උන්නෙ නොසංසුන් බවකිනි. ඇය කිසිවක් නොකියා ඔහුට කතා කරන්නට ඉඩ දෙමින් බලා සිටියද ඒ නොසංසුන්කම සිත අස්සෙ තිබුණේ උතුරා ගලා යම්නි. තමන්ගේ වචනවලින් ඇගේ මුහුණේ ඒ නිහඬ බව වෙනස් වන්නට ඉඩ තිබෙන බව දැන සිටි නලින්ද්‍ර, අවසානයේ ඇය දෙස හිස ඔසවා බැලුවේ තීරණයක් ගත් අයෙකුගේ බැල්මකිනි.

“නෙත්මලීගේ ජීවිතේ ඉදිරිය ගැන තිරණයක් ගනිද්දි අපි ඒක නෙත්මලීගේ තාත්තා එක්කත් කතා කරන්නෝන කියලා අම්මා හිතන්නෙ නැද්ද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here