“දරුවෙක්ගෙ කාරණාවකදි අම්මලා තාත්තලා තමන්ගෙ පෞද්ගලික ප්රශ්න ඉස්සරහට දාගන්න නරක විත්තිය මං නොදන්නවා නෙවෙයි පුතා. මං මහ ලොකුවට ඉගෙන ගත්ත ගැනියෙක් නෙවෙයි. මං අතුල හම්බෙද්දි ඉස්කෝලේ යන පුංචි කෙල්ල. මට ඒ කාලෙ ලොකුවට උවමනා උනේ ඉගෙන ගන්නවට වඩා අතුලව කසාද බැඳලා පිලිවෙලක් වෙන්න.ඒ කාලෙ මට ආදරේ ගැන තිබුණෙත් අද කාලෙ ළමයින්ට තියෙනවා වගේ තේරුමක් නෙවෙයි. මං හිතුවෙ දෙන්නා ආදරෙන් ඉන්නවා නම්, කසාද බැන්දට පස්සෙ ජීවිතේ අනිත් හැමදේම හරි යයි කියලා. ඒ හින්දා ඉගෙන ගන්න එක ගැනවත්, මගේම කියලා දෙයක් ජීවිතේ හදාගන්න එක ගැනවත් මං දුර දිග හිතුවෙ නෑ.
ඒ හන්දා ඉගෙන ගන්න එක ගැන මම දුර දිග හිතුවෙ නෑ. ඒවයි පාඩුව තේරුණේ ඉතින් පහු පහු වෙද්දි තමයි.තමන්ට කියලා හයියක් තිබුණා නං, තමන්ගෙ ජීවිතේ ගැන තීරණ ගන්න තරම් දැනුමක් තිබුණා නං සමහර දේවල් වෙනස් වෙන්න තිබුණද කියලා මටම හිතිච්ච වෙලාවල් තියෙනවා. ඒත් දැන් ඒවා කතා කරලා වැඩක් නෑනෙ පුතා. ජීවිතේ ගෙවිලා ගියාට පස්සෙ තමයි සමහර දේවල්වල වටිනාකං තේරෙන්නෙ. ඒ වෙද්දි ආපස්සට ගිහින් හදාගන්න බැරි තරමට සමහර දේවල් වෙනස් වෙලා ඉවරයි
ඒව ඉතින් දැන් කතා කරලා තේරුමක් නෑනෙ. ඒ උනාට ඉගෙන ගත්තෙ නැතෑ කියලා රටේ ලෝකෙ වෙන දේවල් වලින් මං ජීවිතේ පාඩං ඉගෙන ගත්තෙ නැතෙයි කියලා කියන්න බැ.මිනිස්සු හැසිරෙන විදියෙන්, ඒ අය ගන්න තීරණවලින්, ඒ තීරණ නිසා තමන්ටයි අනිත් අයටයි විඳවන්න වෙන දේවල්වලින් මං සෑහෙන්න දේවල් ඉගෙනගෙන තියෙනවා. සමහර පාඩම් පොත්වලින් ඉගෙන ගන්න බැරි ඒවා පුතා. ඒවා තේරෙන්නෙ තමන්ටම දෙයක් වුණාට පස්සෙ. නැත්නම් තමන් ආදරේ කරන කෙනෙක්ට ඒ දේකින් රිදෙනවා දැක්කට පස්සෙ.
අපේ අම්මලා මට පුංචි කාලෙ සලකපු විදිය හන්දා ඒ හරහා හිතේ තියං ඉඳලා මම නෙත්මලීට සලකපු වැරදි විදි තියෙනවා කියලා මට තේරුණෙත් මෑතකදි පුතා. මං ඒ ගැන පසුතැවෙන්නෙ නැතෙයි කියලා කියන්න බෑ. ඒ උනාට මට දැන් ආපස්සට ගිල්හිල්ලා ඒව හදන්න පුලුවන්කමක් නෑනෙ. හැබැයි ඉස්සරහට මගෙන් එහෙම දෙයක් නොවෙන්න මං කටයුතු කරන්නෝන විත්තිය ඒ හන්දා මම හැමතිස්සෙම මතක තියාගෙන ඉන්නවා. ඒ හින්දා මං කියන්නෙ නෑ පුතා, දරුවො වෙනුවෙන් දෙමව්පියන්ගෙ හිතේ තියෙන හැම තරහක්ම, හැම වේදනාවක්ම එකපාරට අමතක කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් අපිත් මිනිස්සුනෙ. අපිටත් රිදෙනවා. සමහර දේවල් හිතාගෙන ඉන්න තරම් ලේසියෙන් අමතක කරන්න බෑ. හැබැයි අපිට රිදුණා කියලා ඒ වේදනාව අපේ දරුවන්ගෙ ජීවිතවලට රිංගවන්න ඉඩ දෙන්නත් හොඳ නෑ. මං ඒක තේරුම් ගත්තෙත් හුඟක් කල් ගිහින්.
නෙත්මලී ගෙයි පුතාගෙයි කටයුත්ත ගැන මම ඇත්තටම අතුල එක්ක කතා කරන්නෝන විත්තිය මම දන්නවා.
ඒ උනාට මට තාම ඒකට හිත හදාගන්න අමාරුයි පුතේ. ජීවිතේ ඇත්ත නැත්ත කොච්චර තේරුං ගත්තත් ඒ ඇත්තට නැත්තට ඇත්තටම මුණ දෙද්දි තමයි ඒක කරනෙක කොච්චර අමාරුද කියලා තේරෙන්නෙ.මට දැන් හොඳට තේරෙනවා මං මගේ දරුවන්ගෙ සතුට වෙනුවෙන් මගේ පෞද්ගලික වේදනාව පැත්තකින් තියන්න ඕන කියලා. ඒත් ඒක කරන්න ඕන වෙලාව ආවම තමයි තේරෙන්නෙ හිත හදාගන්න එක කොච්චර අමාරුද කියලා. අතුල ගැන කතා කරන්න ඕන කියලා මගේ ඔළුව මට කිව්වට, ඒ මනුස්සයා ඉස්සරහට ගිහින් කතා කරන්න හිත හදාගන්න මට තවම බැරි වෙලා තියෙනවා පුතේ. ඒක මගේ දුර්වලකමක් වෙන්න ඇති. ඒත් මං තාම ඉන්නෙ ඒ තැන” කියා චන්ද්ර කියා කතාව අමතක කරන්න ඇත්තටම නලින්ද්රට පුලුවන් උනේ නැත. එහෙත් ඒ අතරේම තාත්තා කෙනෙක් නැති ගෙදරක හැදෙන දුවෙක් තමන්ගේ සැමියගෙන් හෝ පෙම්වතාගෙන් බලාපොරොත්තුවෙන පීතෘ සෙනෙහසේ අඩුපාඩුව තමන්ට මකන්න බැරිවේයැයි කියන බයෙන් මිදෙන්නට බැරිකමක්ද නලින්ද්රගේ හිතේ කොණක තිබුණා නොවේ. නලින්ද්ර අතුල හමුවට නෙත්මාල්ව රැගෙන ගියේ අන්න ඒ අනුවය.
“මල්ලියි තාත්තයි අතරෙ මහ ලොකු රිලේශන්ශිප් එකක් නැති බ්ව මම දන්නවා. ඒ උනාට මොක උනත් ඒ ඔයාගෙ තාත්තා. මං දන්නෙ නෑ මම මහ ලොකුවට ඔය දෛවය කියන අනං මනං විස්වාස කර මනුස්සයෙක් නෙවෙයි. ඒ උනාට දෙයක් වෙන පිලිවෙලක් තියෙනවනෙ. අනික් එක මල්ලි මම හිතනවනෙ නෙත් මගෙන් හොයන්නෙ එයාට තාත්තගෙන් මිස් වෙච්ච ආදරේ කියන එක. මම එයාට කොච්චර ආදරේ කරත් මගෙ හිතේ බයක් තියෙනවා මට බැරි වෙයි කියලා එයාට තාත්තගෙන් ලැබිච්ච විදියෙ ආදරයක් එයාට දෙන්න. අනික් එක එක පැත්තකින් ගත්තොත් මගෙ වගකීම එයාට තාත්තා කෙනෙක් වගේ ආදරයක් දෙන එක නෙවෙයි. එයාට හස්බන්ඩ් කෙනෙක් වගේ ආදරයක් දෙන එක. එහෙමෙකේ මම හිතනවා මම නෙත්මලී එක්ක මොන ආකාරයක හරි රිලේශන්ශිප් එකකට යනවා නම් ඒක සිද්ද වෙන්නෝන හරි විදියට කියලා.
ඔයාලාග තාත්ත ඉන්නෙ මල්ලි සෑහෙන අමාරු තැනක. අංකල් මෙන්ටලි වගේම ෆිසිකලිත් සෑහෙන්න වැටිලා ඉන්නෙ. මං දන්නවා ආන්ටි කීයටවත් කැමතිවෙන්නෙ නෑ ආයෙ අංකල්ව ගෙට අරගන්න. ඒක කීයටවත් ආන්ටි හෙටානිද්ද දවසක නම් කරන්නෙ නැ කියලා මට හොඳටම ශුවර්. ඒ උනාට මං කැමති අංකල්ගෙ හිත හැදෙන්නත් එක්කත් ඔයා ඇවිල්ලා අංකල් එක්ක පොඩ්ඩක් කතා කරනවා නම්” කියා නලින්ද්ර කියද්දී නෙත්මාල් ඇත්තටම උන්නේ මෙහෙම දේවල් ජීවිතේ විය හැකිදැයි හිතාගන්න්ට බැරුවය.
නලින්ද්ර කියාගෙන ගිය දේවල් අහගෙන ඉන්න අතරේ නෙත්මාල්ට දැනුණේ තමන් මෙතෙක් කාලයක් ජීවිතේ දිහා බලපු විදිය ගැන ආයෙත් හිතලා බලන්න සිද්ධ වෙලා තියෙනවා වගේ හැඟීමකි. තමන්ගේ තාත්තා ගැන ඔහුට තිබුණේ එකිනෙකට පටහැනි හැඟීම් ගොඩකි. එක පැත්තකින් තාත්තා කරපු දේවල් ගැන හිතේ තරහක් තිබුණේය. අම්මා විඳපු වේදනාව ගැනත්, නංගි ඒ හැමදේකින්ම හිත ඇතුළෙන් කඩා වැටුණු විදිය ගැනත්, විඳින්නට වූ ලැජ්ජාව ගැනත් ඔහුට අමතක කරන්න පුලුවන්කමක් තිබුණේ නැත. අනෙක් පැත්තෙන් ඒ සියල්ලටම කලින් තමන්ගේ තාත්තා වූ මනුස්සයා ගැන මතක නෙත්මාල්ට තිබුණේය. ඒ මතකවලට වෛර කරන්නට ඔහුට බැරි වුණත්, ඒ මතක නිසා තාත්තා කරපු වැරදි සාධාරණීකරණය කරන්නටත් ඔහුට උවමනාවක් තිබුණේ නැත.
ඒ නිසාම කාලයක් තිස්සේ ඔහු තෝරාගෙන තිබුණේ තාත්තා ගැන වැඩිදුර නොසිතා ඉන්න එකය. ගෙදරින් ගිය දවසේ පටන් ඒ මනුස්සයා ගැන හොයන්නට උවමනාවක් තිබුණත්, ඒ උවමනාවට වඩා අම්මා ගැන තිබුණු අනුකම්පාවත්, තාත්තා ගැන තිබුණු කලකිරීමත් ඉස්සරහට ආවේය. සමහර වෙලාවට තාත්තා කොහේ හරි අසරණව ඇතිදැයි සිතී හිතට දුකක් දැනුණත්, ඊළඟ මොහොතේම ඔහුට සිහිපත් වූයේ එහෙම අසරණ වෙන්නට තාත්තා විසින්ම තෝරාගත් තීරණවල වගකීමය. එතකොට ඒ දුක යටපත් කරගෙන ආයෙත් තරහක් මතු වුණේය.
එහෙම ජීවිතයක් ඇතුළේ තාත්තාට තවත් අවස්ථාවක් දෙන්න පුලුවන් වෙයිද කියන ප්රශ්නයට නෙත්මාල්ට කවදාවත් පැහැදිලි උත්තරයක් තිබුණේ නැත. ඒත් නලින්ද්ර මේ කියන දේවල් අහද්දී ඔහුට පලමුවරට හිතුණේ තාත්තාට සමාව දෙනවාද නැද්ද කියන තීරණය ගන්න කලින් තමන්ටත් තාත්තා සමඟ කතා කරන්නට යමක් ඉතිරිව තිබෙනවා නේද කියාය. තාත්තාගේ වැරදි අමතක කරන්නට නොහැකි වුණත් ඒ මනුස්සයාට සිදු වී තිබෙන දේ ගැන අහන්නවත් ඔහු දැන් ඉන්නා තැන දැකගන්නවත් තමන්ට බැරි ඇයි කියාය.
ඒත් නලින්ද්ර තමන්ගෙන් ඉල්ලන්නේ තාත්තා වෙනුවෙන් පෙනී සිටින්නටවත්, අම්මාට සිදු වූ දේ අමතක කරන්නටවත් නොවන බව නෙත්මාල්ට තේරුණේය. ඔහු කියන්නේ නෙත්මලී වෙනුවෙන් යමක් කරන්නටය. තමන්ගේ නංගිගේ හිත ඇතුළේ තාත්තා වෙනුවෙන් ඉතිරි වී තිබෙන ඒ හිස්තැන ගැන, ඇය තවමත් නොවිසඳුණු වේදනාවක් දරාගෙන සිටින බව ගැන තමන් හිතා තිබුණේද? නෙත්මලී හිනාවෙමින් වැඩ කරන හැටි දකින විට ඇය ඒ සියල්ලෙන් මිදී ඇතැයි තමන්ට සිතුණු අවස්ථා තිබුණ බව ඇත්තකි. එහෙත් නංගි තවමත් තාත්තා එතැයි බලාපොරොත්තුවෙන් ඉන්නවා විය හැකි බව නලින්ද්රගේ කතාවෙන් නෙත්මාල්ට නොවැටහුණා නොවේ.
තමන්ට වඩා වයසින් බොහෝ වැඩි, ජීවිතයේ තමන් නොදුටු පැති බොහොමයක් දැක තිබෙන මේ මනුස්සයා නෙත්මලී ගැන මෙතරම් සැලකිල්ලෙන් හිතන එකත් නෙත්මාල්ට පුදුමයක් විය. තමන්ගේ ආදරය ඇයට ප්රමාණවත්ද කියන එක ගැන පවා ඔහු මෙතරම් කල්පනා කරනවා නම්, ඇයගේ ජීවිතයට තමන් ඇතුලු වන්නේ කුමන තැනකින්ද කියන එක ගැන ඔහු මෙතරම් වගකීමෙන් හිතනවා නම්, නෙත්මලීගේ සතුට ගැන ඔහුට තිබෙන බය නිකම්ම වචනවලට සීමා වූ දෙයක් නොවන බව නෙත්මාල්ට දැනුණ බව ඇත්තකි.
ඒත් ඒ හැමදේකටම වඩා ඔහුගේ හිත කුතුහලයට පත් කරේ නලින්ද්රගේ ඉල්ලීමය.
ජීවිතේ සමහර සම්බන්ධතා ආයෙත් තිබුණු තැනටම ගෙනියන්නට බැරි බව ඔහු දැන සිටියේය. සමහර වැරදිවලට සමාව ලැබුණත් ඒවා නිසා ඇති වූ තුවාල එක රැයකින් සුව වන්නේද නැත. ඒත් කිසිවක් වෙනස් නොකර, කිසිවක් නොකියා, එකිනෙකාගෙන් ඈත් වී සිටීමෙන් ඒ තුවාල සුව වේද? නෙත්මාල්ට ඒ ප්රශ්නයට උත්තරයක් තිබුණේ නැත.


