ආදරයේදී අපි එකිනෙකාට වෙනස් වෙන්නේ ඇයි?

“මෙයාට මාව තේරෙන්නෙම නෑ” මේ කතාව ඔයත් කවදමහරි දවසක ඔයාගෙ සම්බන්ධෙ ඇතුලෙ කියලා ඇති. 

නැත්නම් අඩුගානේ හිතින් හරි දාහස් වාරයක් හිතන්න හරි ඇති.

 පැය ගණන් ෆෝන් එකෙන් රණ්ඩු වෙලා, රෑ තිස්සේ කොට්ටෙ තෙමෙන්න අඬලා, අන්තිමට “එයාට දැන් මාව ඉස්සර වගේ වටින්නේ නෑ, එයා මගේ හැඟීම් තේරුම් ගන්නෙම නෑ” කියලා හිත ඇතුළෙන් බිඳිලා තනිවුණු වාර ඔයාගෙ ජීවිතෙත් ඕනෑතරම් ඇති.

 හැබැයි ඇත්තටම දන්නවාද? එතන තියෙන්නේ ඔයා හිතන විදිහේ ආදරේ නැතිකමවත්, ඔයාට තියෙන වටිනාකම අඩුවීමවත් නෙවෙයි. 

මනෝවිද්‍යාත්මකව බලද්දී, ගැහැනියක් සහ පිරිමියෙක් ආදරය දකින, ආදරය විඳින සහ ඒ ආදරය එළියට පෙන්වන විදිහ සම්පූර්ණයෙන්ම දෙයාකාරයි. අපි හැමෝම කතා කරන්නේ එකම බාසාව වුණාට, ආදරය කියන විෂය ඇතුළේ ගැහැනු සහ පිරිමි කියන්නේ හරියට එකිනෙකට වෙනස් ලෝක දෙකකට වගේ.

ඔයා ගැහැනියක් නම්, ඔයාගේ ආදරය කියන්නේ සරලවම හැඟීම්වල, කතාබහේ සහ මානසික බැඳීමේ ලස්සන එකතුවක්. ඔයාට ආදරේ ඇතුළේ හැමදේටම වඩා වැදගත් වෙන්නේ තමන්ට දැනෙන මානසික ආරක්ෂාව සහ තමන්ව තේරුම් ගන්න, ළඟින්ම ඉන්න කෙනෙක් ඉන්නවා කියන විශ්වාසය විතරයි. දවසක් තිස්සේ ඔයා මුහුණ දුන්නු පුංචි පුංචි දේවල්, හිතට ආපු හීන, නැත්නම් හිත රිදුණු තැන් ඔයාගේ සහකරු එක්ක අකුරක් නෑර බෙදාගන්න ඔයා මාරම ආසයි. ඔයා ඔයාගේ ආදරය මනින්නේ, ඔයා පැය ගණන් කියවන ඒ කියුම් කෙරුම් දිහා එයා කොච්චර උනන්දුවෙන් අහගෙන හිටියාද, ඔයාගේ හිත රිදුණු හෝ අඬපු වෙලාවට හැම වැඩක්ම දාලා ඇවිත් ඔයාව කොච්චර ආදරෙන් ලං කරගත්තාද කියන කාරණා මතයි. ඔයාට ආදරය කියන්නේ නිතරම වචනවලින් සහ ආදරණීය වැළඳගැනීම්වලින් පෝෂණය වෙන්න ඕනෙ දෙයක්. සරලවම කිව්වොත්, ගැහැනියක් ආදරේ කරන්නේ මුළු හදවතින්ම සහ හැඟීම්වලින් විතරමයි.

හැබැයි ඔයා පිරිමියෙක් නම්, ඔයාගේ ආදරය මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පාරකයි යන්නේ. ඔයාලගේ ආදරය තියෙන්නේ වචනවල හෝ දිග ලියුම්වල නෙවෙයි; ක්‍රියාවේ, වගකීමේ සහ ආරක්ෂාව ඇතුළේ. ගැහැනු ළමයෙක් බලාපොරොත්තු වෙනවා වගේ හැඟීම්බර ආදරණීය වචන නිතර නිතර කියන්න, නැත්නම් පැය ගණන් ආදරේ ගැන විස්තර කරන්න පිරිමි අයට සහජයෙන්ම ටිකක් අමාරුයි. හැබැයි තමන් ආදරේ කරන කෙල්ලව මේ මුළු ලෝකෙන්ම පරිස්සම් කරන එක, එයාගේ අවශ්‍යතා සොයා බලන එක සහ එයාගේ ජීවිතේට එන ප්‍රශ්නවලට ප්‍රායෝගිකව විසඳුම් හොයන එක තමයි පිරිමියෙක් තමන්ගේ ආදරේ පෙන්වන විදිහ. එයා ඔයා වෙනුවෙන් ලස්සන කවි නොලිව්වත්, මහ රෑක ඔයාට බඩගිනි වුණාම කන්න මොනවා හරි අරන් දෙන්න මහන්සි වෙනවා නම්, බයික් එකේ හෝ කාර් එකේ යද්දී ඔයාව පරිස්සමට අරන් යන්න වගබලා ගන්නවා නම්, අන්න ඒක තමයි පිරිමියෙක් තමන්ගේ මුළු හදවතින්ම ආදරේ ප්‍රකාශ කරන ප්‍රායෝගික ක්‍රමය.

ඉතින් ප්‍රශ්නය වෙන්නේ මෙන්න මේ ගැහැනු සහ පිරිමි ආදරේ කරන විදි දෙක අපි පටලවා ගන්න තැනදීයි. 

හිතන්නකෝ, කෙල්ලෙක් තමන්ගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක් හෝ ඔෆිස් එකේ වුණු කරදරයක් කොල්ලෙක්ට කියනවා කියලා. ඒ වෙලාවට එයා ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ එයා ඒ ප්‍රශ්නය මැජික් එකකින් වගේ විසඳලා දෙයි කියලා. එයාට ඕනේ තමන්ගේ හිතේ තියෙන බර නිදහස් කරගන්න, “මං ඔයා එක්ක ඉන්නවා” කියලා කියන පොඩි මානසික සහයෝගයක් විතරයි. හැබැයි කොල්ලෙක්ගේ මොළය හැදිලා තියෙන්නේ ප්‍රායෝගිකව වැඩ කරන්නනේ. එයා ඒ කතාව අහපු ගමන් කරන්නේ තර්කානුකූලව ඒකට කරන්න ඕනේ දේවල්, ඒ කියන්නේ විසඳුම් ටිකක් පියවරෙන් පියවර කියන්න හදන එක. එතකොට කෙල්ල හිතන්නේ “මෙයා මගේ හැඟීම් තේරුම් ගන්නෙම නෑ, මං කියන දේ අහගෙන ඉන්නේ නෑ” කියලා. 

ඔන්න ඔතනින් තමයි දෙන්නා අතරේ රණ්ඩුව පටන් ගන්නේ.

ඒ වගේම තමයි ප්‍රශ්නයක් ආවාම හැසිරෙන විදිහත්. 

කොල්ලෙක්ට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ආවාම, එයා කරන්නේ කා එක්කවත් කතා කරන්නේ නැතුව තනියම හුදෙකලා වෙලා ඒ ගැන කල්පනා කරලා විසඳුමක් හොයන්න හදන එක. ඒ වෙලාවට එයාට කාගෙවත් කරදරයක් නැතුව තනියම ඉන්න ඕනේ. හැබැයි කෙල්ලෙක් හිතන්නේ “එයා මගෙන් හැමදේම හංගනවා, දැන් මාව විශ්වාස කරන්නේ නෑ, මගෙන් ඈත් වෙන්න හදනවා” කියලා. ඉතින් කෙල්ල කරන්නේ තව තවත් ප්‍රශ්න කරලා කොල්ලව කතා කරවන්න හදන එකයි. අන්තිමට ඒක කෙළවර වෙන්නේ දෙන්නාට දෙන්නා මාර විදිහට කලකිරිලා, හිත රිද්දගෙනයි.

අපි මේ හැමදේකින්ම තේරුම් ගන්න ඕනේ පිරිමියෙක් ඔයාගේ ප්‍රශ්නයක් විසඳන්න හදන්නේ ඔයාට තියෙන ආදරේ සහ වගකීම නිසා මිසක් ඔයාගේ හැඟීම් ගැන Care කරන්නෙ නැති නිසා නෙවෙයි කියලා. ඒ වගේම ගැහැනියක් ප්‍රශ්නයක් කියන්නේ ඔයාගෙන් ලොකු විසඳුම් බලාපොරොත්තුවෙන් නෙවෙයි, එයාගෙ හිත නිදහස් කරගන්න සහ ඔයාගේ ළඟින් ඉන්න තියෙන ආසාව නිසයි. ඉතින් පිරිමි පාර්ශවය විදිහට කරන්න ඕනේ කෙල්ල ප්‍රශ්නයක් කියද්දී වැරදි අඩුපාඩු හොයන්නේ නැතුව, මුලින්ම එයාට සවන් දෙන එකයි. ගැහැනු පාර්ශවය විදිහට කරන්න ඕනේ කොල්ලා ප්‍රශ්නයක් ආවාම නිහඬ වෙද්දී, එයාට ඒ ප්‍රශ්නය විසඳගන්න පොඩි වෙලාවක් සහ නිදහසක් දෙන එකයි.

මේ වෙනස නිවැරදිව තේරුම් ගත්තොත්, “එයාට මාව තේරෙන්නෙම නෑ” කියන තැනින් මිදිලා, “එයා මට ආදරේ කරන්නේ එයාගේ විදිහටයි” කියලා අනවශ්‍ය රණ්ඩු සරුවල් නැතුව, ආදරය මීට වඩා සැනසීමෙන් සහ සතුටෙන් විඳින්න ඔයාලා දෙන්නටම පුළුවන් වේවි. 

එකම ආදරය වුණත් දෙවිදියකට ගලාගෙන ගිහින් එකම තැනකින් එකතු වුණාම තමයි ආදරේ ලස්සනම හැඩේ මතුවෙන්නෙ!

Related Articles

Don't Miss


Latest Articles