කාර්යක්ෂම ලස්සන මුළුතැන්ගෙයකට චෙෆ් චතුරිකාගෙන් වැදගත්ම උපදෙස් රැසක්

මුළුතැන් ගෙය, එහෙම නැත්තම් කුස්සිය, අපේ නිවසේ වැදගත්ම තැනක්. ඔබ කොහොම කෙනෙක්ද කියලා කුස්සියට ගිය ගමන් ඕන කෙනෙක්ට දැනගන්න පුළුවන්. ඉතින් ලස්සනට පිළිවෙලට වැඩ කරගන්න කැමති කාර්යක්ෂම ගෘහනියක් වන ඔබට, ඔබේ වැඩ කටයුතු පහසු කර ගැනීමට ඒ වගේම එදිනෙදා ඔබට කරදර වෙන පුංචි කරදර ටිකකින් නිදහස් වෙන්න පුංචි පුංචි ටිප්ස් ටිකක් කියල දෙන්න ඕනා කියලා අපි හිතුවා.. 

ලිස්සන කටින් බෝඩ් එක

එළවලු කපන්න ගියාම හිමේ ලිස්සල යන විදියේ කටින් බෝඩ් එකක් එක්ක සෙල්ලම් කරන්න ගියාම ඉවිල්ලත් එපා වෙනවා. එහෙම නේද? කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. අත් පිස්නාවක් අරගෙන වතුරෙන් තෙමා ගන්න. දැන් එහි තෙත් ඉවත් කරගෙන, දෙකට නවලා කටින් බෝඩ් එක යටින් තියන්න. දැන් එළවලු කපන අතරේ ලිස්සන ක්‍රීඩාවේ යෙදිය යුතු නැහැ.

ෆ්‍රිජ් එකක් නැතුව එළවලු තියාගමු

සමහර වෙලාවට ෆ්‍රිජ් එක වැඩ කරන්නේ නැතිව යනවා.එහෙම නැත්නම් බඩු පිරෙනවා. විශේෂ උත්සවයක් දානයක් වගේ දවසක මේ තදබදය වැඩියි. ඒ වෙලාවට කලබල වෙන්න දෙයක් නැහැ. බේසමකට වතුර පුරවලා ඒ උඩින් ලෑල්ලක් තියන්න. එළවලු ටික ඒ උඩින් අතුරන්න. නරක් වෙන්න නැතිව සෑහෙන දවසක් තියා ගන්න පුළුවන්.

අල සහ ලුණු

අල සහ ලුණු ,මතක ඇතිව වියලි පරිසරයක ගබඩා කරලා තියන්න. එක උඩ එක නොසිටින ලෙස තබන්න පුරුදු වෙන්න. ඉක්මනට නරක් වෙන්නේ නැහැ.

සෝදලා අඩුක් කරන්න

කඩෙන් බිත්තර ගෙනාවම ඒවායේ අපද්‍රව්‍ය රැසක් තියෙන බව ඔබට පේනවා ඇති. ඉතින් ඒ විදියටම ශීතකරණයට දැම්මොත් ඒ විසබීජ අනිකුත් ආහාර වලටත් පැතිරෙන්න පුළුවන්. ඒ නිසා බිත්තර හොඳින් සෝදා ඉන්පසු ගබඩා කරන්න.

බෝතල් වල අසුරන්න

නුඩ්ල්ස් පැස්ටා වැනි පැකට් වල අපේ ඇසට නොපෙනෙන කුඩා සිදුරු තියෙනවා. ඉතින් පැකට් පිටින්ම ගබඩා කර තැබුවොත් හුලන් වැදී නරක් වෙන්න පුළුවන්. ඒ නිසා විදුරු බෝතල් වල ඒවා ගබඩා කර තබන්න. පිළිවෙලට ලස්සනට සෞඛ්‍ය ආරක්ෂිතව භාවිතා කරන්න පුළුවන්.

වෙන වෙනම අසුරන්න

සමහර අය එළවලු ගෙනාව බෑගය එහෙම පිටින්ම ශීතකරණයට දානවා. එළවලු වෙන වෙනම අසුරා ශීතකරණයට දමන්න. කොළ වර්ග තෙත් කල කඩදාසියක ඔතා තබන්න. නැවුම් බව එලෙසින්ම තියේවි.

ඉතින් මේ පුංචි දේවල් ටික අනුගමනය කරලා බලන්න ඔබගේ කටයුතු වලට ඒක කොපමණ පහසුවක්ද කියලා. අපි තවත් මේ වගේම දේවල් ටිකක් තව ඉදිරියේදීත් ඔබ සමඟ බෙදාගන්නම්..

ලස්සන හිනාවක් එක්ක, පහසුවෙන් වැඩ කරන ඔබව හැමෝටම ප්‍රිය මනාප දසුනක් වේවි.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles