පිනි සේල – 5

ඊෂා දිනුක සමඟ කතාබහ කළ දේ මට පැවසුවේ ම නැත. එදා දවසම ඒ ගැන අසන්නට වැය කළ මට අන්තිමේ දී ඊෂාගේ ගණන් ඉස්සීම ඇති වී එය අමතක කර දමන්නට සිත් විණි.

ඉතින් ඊයේ හවස් යාමයේ ගමේ සිට කොළඹට එද්දී වත් මම නිකමටවත් ඇගෙන් ඒ ගැන නොවිමසුවෙමි. අම්මා ද නංගී ද දමා ආ සොවින් බරව සිටි මට එවැනි සුළු කාරණාවක් අමතක ව ගිය බව ඇත්තම කතාව ය. වෙනදා නොදැනුණු තරම් දුකක් සහ ළතැවුලක් දැනෙන්නේ තාත්තා නැති නිවසක අම්මාත් නංගීත් තනි කර දමා ආ නිසා බව මම දනිමි. නමුත් මගේ අධ්‍යාපනය කඩාකප්පල් කර දමා යළි නිවසේ රැඳීම ගැන තරු අතර ඉන්නා තාත්තා මනාප වන්නේ නැත. ඔහුගේ සිහින ඉටු කිරීම මගේ යුතුකම ය. ශූර ව්‍යාපාරික ඥානයක් තිබූ තාත්තා ව්‍යාපාර කළමනාකරණය ගැන කිසිවක් හදාරා තිබුණේ නැත. ඔහුට තිබුණේ ප්‍රායෝගික දැනුම ය.නමුත් මට ඒ ගැන නිවැරදි අධ්‍යාපනයක් දෙන්නට ඔහුට ඕනෑ විය.ඒ සිහිනය සපථ කරගෙන මිස ගමට යන්නට නොහැක. දැන් සියල්ල අමතක කර ඉගෙනීම ඇරඹිය යුතුම ය.

අපේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ කැන්ටිම ළමයින්ගෙන් පිරී නොගිය මොහොතක් නැති තරම් ය. මේ උදෑසන කියා එහි වෙනසක් වූයේ නැත. තාත්තාගේ වියෝව සමඟ ඉඳහිට දේශන වලට ආ මට දැන් සියල්ල නුහුරු ය.නමුත් නැවත සුපුරුදු රටාව වැළඳ ගත යුතු නොවේදැයි මා සිතුවේ හිනාවෙමින් අත වනන මිතුරන් ප්‍රතිචාර දක්වමිනි.

“ඔයා එනකං මම කන් නැතුව බලන් හිටියා. අම්මා ඉඳි ආප්ප ඔතලා දුන්නා”

ඊෂා මා ඉඳගන්නටත් ප්‍රථම කෑම පාර්සලයක් දිග හැරියා ය.

“මං නූඩ්ල්ස් එකක් අරන් එන්නං..”

ඊෂා මගේ අතින් ඇද මා ඉන්ද වූවා ය.

“මේක තඩි පාර්සලයක් හලෝ.නූඩ්ල්ස් ගෙනත් කොහාට කන්න ද? ඊට පස්සෙ උදේ වරුවම නිදි කිරන්න.මේක කාපං..”

වෙනදා අපට කෑම මදි වූ මිස වැඩි වූ දවස් තිබී නැත. ඊෂා යත්න දරන්නේ මා අත ඇති මුදල් ඉතිරි කර දීමට බව මට වැටහිණි. ඇගේ මිතුරුකම ද මගේ අසරණකම ද හිත දැදුරු කරද්දී ඇස් තෙත්ව යන්නේ මට ද නොදැනී ය.

“මේ… දිනුකලා ආවේ නැද්ද..”

ඊෂා අසන්නේ එහා අසුනට වී නෙස්කැෆේ තොල ගාන මලීෂාගෙනි. ඇය දෙවුර නැටවූවේ ඕනෑවට එපාව ට ය.

“මං දැක්කා අර සමනළයා එක්ක ගේට් එක ගාව හිටියා. අප්‍රසන්නයි අනේ.. දිනුකත් නිකාං එයාගෙ තත්වෙ නැති කරගන්නවා..”

මලීෂා කියන දේ වටහා ගැනීම අසීරු නැත. මේ පුරුදු පරිදි නින්දා කරන්නේ අපේ මිතුරු පිරිසේ අහිංසකයා ට ය.

“කවුද සමනළයා?”

ඊෂා අතට ගත් ඉඳි ආප්පය යළි පාර්සලය මතින් තබමින් අසන්නේ තරහිනි.

“අර හිමල්කයා..”

මලීෂා ඔලොක්කුවට හිනැහේ.

” ඒ ළමයට සමනළයා ගාන්න ඔයා මලක් කියලාද ඔයාට හිතන් ඉන්නේ.. මට නම් පේන්නේ නෑ එහෙම එකක්..අනික හිමල්ක ඔයාට කැමති වෙන එකකුත් නෑ.”

ඊෂා අර අඳින්නේ ගැටුමක ට ය. මම හීන් සීරුවේ ඇගේ අත කෙනිත්තුවෙමි.

“මෙයාලා ඉන්නේ නම් හරිම පොෂ් වගේ. ඒත් හිත් වැඩ කරන හැටි බලන්නකෝ පිනී. හිමල්ක ඉපදුණු විදියක් තියනවා.ඒ ළමයා ඒක බාර අරන් ඉන්නවා. හැංගෙන්නේ නැතුව අනිත් අය රවට්ටන්නේ නැතුව ඇත්ත තත්වෙන් ඉන්න එකම මදැයි. ඒ ළමයා සාමාන්‍ය ළමයෙක් කියලා තේරුම් ගන්න මොළයක් නෑ. හැබැයි ෆේස්බුක් එකේ ශෙයාර් කරන බණ බලන්න ඕන..”

ඊෂාගේ කට අවුස්සා ගැනීම ගැන මලීෂාට දැන් පසුතැවීමක් දැනෙන බව සහතික ය. ඇය ගස්සා ගෙන යන්නට ගියා ය.

“මට පේන්නම බෑ පිනී මිනිස්සුන්ගේ ඔය මෝඩ හැසිරීම. බලන්නකෝ අපේ රටේ යූ ටියුබ් ට්‍රෙන්ඩින් වෙන ජෝක් වීඩියෝ.හිමල්කලා වගේ කැරැක්ට එකක් අනිවා ඒවගේ ජෝක් එකට ගන්නවා.ඉපදෙනකොට වෙන ගැටලුවක් ඒ මිනිස්සුන්ට වට වෙලා හිනා වෙන්න කාරණයක් ද..ඒක විහින් ජෝක් කරගත්තු උන් ඇති.ඒත් බහුතරය හිමල්ක වගේ හොඳ මිනිස්සු. එයාලා යාලුවෙක් කරන් සලකන්න තරම් හිතක් නැත්නම් නින්දා නොකර ඉන්නවත් මොළයක් තියෙන්නෝන.මේ රටේ උන්ට නැත්තෙම ඒක.”

ඊෂා වැනි මිතුරියක ලැබීම ගැන මට ආඩම්බර සිතෙන අවස්ථා ඕනෑ තරම් ය. ඇගේ මෙවැනි සිතුවිලි ඒ අතරින් විශේෂ ය. බුද්ධිමත්කම තරමට ම සහකම්පනය ඇති ඈ වැනි මිතුරියකට මලිඳු තොරොම්බල් කරත්තය කීවා ට සැබෑ තොරොම්බල් කරත්ත මලීෂා වැන්නියන් ය.

“අපෝ ඔය මලීෂලා අවුස්සා ගන්න එපා බං.. නැති තැන අපිටම මොනවා කියනවා ඇද්ද…”

මම ඊෂාගේ අතින් අල්ලා ගතිමි.

“අපෝ ඔව්..මොකද නොකියන්නේ. මංනං ඒක දන්නවා. උඹ නම් ගොනා නිසා ඕවා විස්වාස කරන් නැති වෙයි.ඔය සෙට් එකේ ගෘප් චැට් හැම එකකම තියෙන්නේ අනුන්ගේ ඇද හෙවිලි තමා.හැබැයි රිසල්ට්ස් ආව දාට පහුවදා ඉඳන් රිපීට් ගොඩ දාගන්න නටනවා.”

ඊෂා පවසන්නේ කළකිරීමෙනි. මම කිසිත් නොදොඩාම කිරි පැකට් දෙකක් රැගෙන ආවෙමි. ඇය එය බොන්නේ ද කේන්තියෙනි.

“හිමල්ක හරි අහිංසකයි.පහුගිය කාලේ ඔයා හිටියේ නෑනේ. අනේ නිතර හොයලා බලනවා.එක පාරක් මං පීරියඩ්ස් හැදිලා ඔලුව ගහගෙන ඉන්නකොට පැනඩෝල් ගෙනල්ලත් දුන්නා. ඔය අම්මන්ඩිලා නම් කියනවා පෑඩ් එකකුත් ගෙන්නා ගන්න තිබ්බේ. ඌත් අඳිනවා ඇතිනෙ ඒවා කියලා.ආං එදත් කට්ටිය මගෙන් අහගත්තා..”

මලීෂා සහ ඇගේ පිරිස ඒවාගෙන් පසුබසින්නියන් ද නොවේ.මොනයම් හෝ ඇද පලුදු මල්ලක් ලිහා ගෙන කැන්ටිම මුල්ලකට වී කියවන ඔවුන් දේශන වලට එන්නේ ද ඉඳහිට ය.නාස්ති කරගත් කාලය ගැන තේරුම් යන දිනක පෙරහැර ගොස් අවසන් වී තිබෙනු ඇත.

“මං ලෙක්චර්ස් නෑවිත් ඉන්නකොට හිමල්ක මට නෝට්ස් වට්ස් ඇප් කරා හරීයට.. මං ඔයාට කීවා නේද ඊෂා?”

” ඒ කොල්ලා උත්සාහවන්තයි. හොඳ මොළේකුත් තියනවා. ඩිග්‍රියෙන් පස්සේ එයාට නිදහසේ ඉන්න පුලුවන් රටකට ගියොත් හොඳයි. මේ රට ඒ වගේ අයට පුංචි වැඩී බං…”

ආපනශාලා දොරින් ඇතුළු වන හිමල්කටත් දිනුකටත් අත වනමින් ඊෂා කීවා ය. දිනුක දුටු මගේ හදවත යළිත් වේගයෙන් ගැහෙන්නට විණි. නමුත් එගැන සිතන්නට නොසිතාම ඔවුන් අප වෙත පැමිණියේ ය.

“හායි පිනී.. කාලෙකින්. නෝට්ස් ටික බලා ගත්තද? මම කෝකටත් වෙනම ප්‍රින්ට් අවුට් එහෙමත් ගත්තා..”

හිමල්ක විශාල සටහන් මිටියක් මවෙත පෑවේ ය. මම ඔහුගේ පිරිසිදු සිනාව දෙස මොහොතක් බලා සිටියෙමි. අනතුරුව දිනුකට පරෙස්සම් සිනාවක් පා කළෙමි.

“දැන් ඉතින් ඔයා ඕකේ වෙන්න පටන් ගන්න ඕන.. මට ඊෂාත් කීවේ ඒකයි.. මං ඊෂාට පොඩි අයිඩියා එකකුත් දුන්නා.. මට නම් හිතෙන්නේ ඔයා කැමති වුණොත් හොඳයි ඒකට..”

දිනුක කියවාගෙන යයි. මේ අදහස ඔහු වටින් ගොඩින් කියන්නට තැත් කළ කතාවදැයි බියෙන් මම ගල් වී ගියෙමි.

“අපි නම් ඒ ගැන කතා කරගෙනත් ඉවරයි පිනී.. ඔයාගේ උත්තරේ හා නම්, උදේ ලෙක්චර් එක ඉවර වුණු ගමන් වැඩේ කරමු..”

මම අගමුල නැතිව උඩ බලද්දී ඊෂා කියවාගෙන යයි.

“ඒ වුණාට අනේ පිනීගෙ අම්මාගෙනුත් අහලා ඉන්න..”

හිමල්ක වඩා ප්‍රවේසම් හඬකින් කීවේ මගේ උරහිසට ද අතක් තබමිනි.

මොවුන් මේ සැරසෙන්නේ කුමකටදැයි සිතමින් මම දස අතේ පැටලී ගියෙමි.

ඊළඟ කොටස සෙනසුරාදා ට

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles