ප්‍රින්සි මංගලිකා ‘Possitive women’s Network’ ආයතනයේ නිර්මාතෘවරියයි. 2009 වසරේ ආරම්භ කළ මෙහි සාමාජිකත්වය ලැබු වැඩිහිටියන්ගේ ගණන පන්සියයකට අධිකයි. දරුවන්ද සැලකිය යුතු ප්‍රමාණයක් එහි ඉන්නවා.
Possitive women’s Network ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් සියලු දෙනාම HIV ආසාදිතයන් වීමයි. මේ ආයතනය ආරම්භ කිරීමට ප්‍රින්සි මංගලිකාට අවශ්‍ය වූයේ HIV ආසාදිතයකු වශයෙන් ඇය සමාජයෙන් ලැබූ නින්දා අපහාස සහ අවමන්වලින් ලැබූ පන්නරය බව නොකියාම බැහැ.
2001 අගෝස්තු විසි වැනිදා ප්‍රින්සි ඇය HIV ආසාදිතයෙකු බව දැන ගන්නවා. ඇයට එය වැළඳෙන්නේ ඇගේ ස්වාමි පුරුෂයා නිසා. ඔහු හෝටල් ක්ෂේත්රයට සම්බන්ධ රැකියාවක් කළ කෙනෙක්. 1999 වසරේ ඔහු නිතර අසනීප වන්නට පටන් ගැනෙනවා.
“එයාට උණ, කෑම, අරුචිය, කැස්ස, නිතර මලපහ කිරීම වගේ රෝග ලක්ෂණ මතු වුණා. එයට ප්‍රතිකාර කළත් සුව වුණේ නැහැ. රුධිර පරික්ෂාවක් කිරීමෙන් පසු 2001 ජුලි දෙවැනිදා තමයි දැනගත්තේ එයාට ඒඩ්ස් හැදිලා කියලා”
ප්‍රින්සි ඒ අඳුරු ආරංචිය දැන ගත් හැටි කියන්නේ එහෙමයි.ඉන් පසු ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ ඉතා අඳුරු කාල පරිච්ඡේදයකට.
රෝහලෙන් ඇගේ සැමියාට සලකන්නේ ඉතාමත් නපුරු ආකාරයටයි.එමෙන්ම රෝහලේ සේවය කරන ගම් වැසියෙකු ස්වාමිපුරුෂයාට ඒඩ්ස් කියල ගම පුරා ප්‍රචාරය කිරීමත් නිසා ප්රින්සිගේ ජීවිතය ඉතා කටුක වීමට පටන් ගන්නවා. නිවෙස ගිනි තැබීම, සැමියා වස බී දිවි නසා ගැනීම නිසා ඈ දියණියන් දෙදෙනා සමඟ ඥාති නිවෙසකට පදිංචියට යනවා. ඒ අතරේ ඇය ද ආසාදිතයෙකු බව ඈ දැන ගන්නවා.
එච්.අයි.වී.වෛරසය කෙනකුට ශරීරගත වන ආකාර තුනක් පවතිනවා
- අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා මගින්
- මවගෙන් දරුවාට
- ආසාදිත රුධිරය හෝ තරල මගින්
ඒ හැර ඔවුන් සමඟ හිතවත්කම් පැවැත්වූ පමණින් ඔවුන් අපේ අසල්වැසියන් වූ පමණින් එක ආයතනයක සේවය කළ පමණින් එය බෝ වන්නේ නැහැ. ආසාදිතයෙකු කොන් කිරීම ඉතා පහත් සහ අනුවණ ක්‍රියාවක්.
මේ තත්ත්වය නිවැරදිව අවබෝධ කරගන්නා ඥාතීන්, දෙමාපියන් සහ නැසීගිය වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මිය ඇයට දෙන සහයෝගය නිසාම ප්‍රින්සි යළි නැගිට ගන්නටත් දිරිය ගැහැණියක වන්නටත් තීරණය කරනවා.
ඒ ගමන අභියෝගවලින් පිරුණු එකක්.කුලී නිවෙස් වලින් ඈ ප්‍රතික්ෂේප වෙනවා.සමාජය තවමත් ඇයට අවලාද නගනවා. නමුත් ඇය දැන් දියණියන්ට හොඳින් උගන්වා ඔවුන් විවාහ කරදී අවසන්. Possitive women’s Network නිසා ඇය සම්මානයට පවා බඳුන් වෙනවා.
දැනට 60 වැනි වියේ පසුවන ප්‍රින්සි මංගලිකා වසර දහ අටක් ම එච්.අයි.වී. ආසාදිතයකු වශයෙන් දිවි ගෙවන්නියක්. එහෙත් තවමත් ඈ ඒඩ්ස් රෝගියෙක් නෙවෙයි. ඊට හේතුව ඇය නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම නිසා රෝගය පාලනය කිරීමයි.
හෘද සාක්ෂියට අනුව තමන් නිවැරදි නම් ලෝකයට බිය විය යුතු නැහැ.ඉතා කටුක කාලයක් පසු කර ඒ නිසාම සමාජ සේවිකාවක් බවට පත් වූ ප්‍රින්සි නම් ස්මාර්ට් ගැහැණිය අපට කියන වටිනා පණිවිඩය එය නොවේද?
එසේම සුලඟින් පවා ඒඩ්ස් බෝ වෙන බවත් අනාචාර හැසිරීම ම රෝගයට හේතු වන බවත් කියමින් ආසාදිතයින් පීඩාවට පත් කිරීමට පෙර HIV ඒඩ්ස් රෝගය ගැන නිවැරදිව දැන ගැනීමට සහ ආසාදිතයින් කොන් නොකිරීමට අපට වගකීමක් ඇති බව අප වටහා ගත යුතු නොවේද?