ආදරයට මිය යන්න ඉඩ හරින්න එපා.

ආදරේ මිය යන්නේ විවාහයෙන්. ඒ වචන කීපය ඇත්ත වෙන තැන් දකින්න අහන්න විඳින්න වෙන වෙලාවන් නැතුවම නෙවේ.පිරිමි රණ්ඩුවට හරිම දක්ෂයි.මොන දේවල් ලැබුණත් ගෑනුන්ට සෑහීමක් නෑ. එහෙම චෝදනා නගන එක හරිම පහසුයි.

ඒත් ආදරේ කරන කාලේ ඔබ ළඟ තිබුණු ආදරේ තාමත් ඔබ ළඟ තියනවද? අනෙකාට ඔබ ඕනෑමයි කියලා හිතන තැනක ඔබට අනෙකා ළඟ රැඳෙන්න පුලුවන් වුණා ද?සමහර විට ඔබ කරන හැමදෙයක්ම සම්පූර්ණයෙන් අසාර්ථක වෙන තැන ඔබට ඉතුරු වෙන්නේ ඔබේ සැමියා හෝ බිරිඳ විතරක් වෙන්න පුලුවන්.

ඔබේ රැකියාව,ව්‍යාපාර ඒ දේවල් අංක එකේ තියා ගනිද්දී දෙදෙනාව මඟ හැරෙන තැන්
නිකමටවත් ඒ හිස්තැන් ගැන ඔබට හිතන්න පුලුවන් වුණා ද? වෙනත් කෙනෙකුගෙන් ඔබේ ලෝකය පුරවා ගන්න උත්සාහ කරද්දී ඔබට විවාහයේ ස්වර්ණමය නීතියක් අමතකව යන්න ඇති.

ඒ ගැන මේ කතාව ඔබට නැවත සිහි ගන්වාවි. සැමියෙකු කියන මේ කතාව ඔබට නැවත ඔබේ විවාහය ගැන සිතා බලන්නට ඉඩ තබාවි.

මං එදා ගෙදර ගියේ ඒ තීරණය ගැන සැලීට කියන්න තරයේ ම හිතට අරගෙන.රෑ කෑම සකසමින් හිටිය සැලී දිහා බලාගෙන මම හිතුවේ එයා මොන තරම් කැත වෙලාද කියන එක. දැන් සැලී පිළිවෙලකට අඳින එකත් පිළිවෙලකට ඉන්න එකත් අමතක කරලා බොහෝ කල්. ඇයගෙන් මිදුණු හිත මගේ කාර්යාලයේ ජේන්ට ඇදී ගියේ මටත් නොදැනී.

“මට දික්කසාද වෙන්න ඕනෑ”

මං ඒ තීරණය සැලීට කිව්වෙ වියළි හැඟීමකින්. බොහෝ වෙලා ඉකි බින්ද සැලී කාමරයට යන්න ගියා. මගේ හිතට වරදකාරී හැඟීමක් දැනෙමින් තිබුණු නිසාම මගේ දේපල වලින් වැඩි කොටසක් සැලීට පවරමින් දික්කසාද යෝජනා පත්‍රය සකසන්න මම තීරණය කළා. එය ඉරා දමා හැඬීම මිසක් වෙන යමක් සැලී දැන හිටියේ නැහැ.

රාජකාරි ඊමේල් අතර තිබුණු සැලීගේ ඊමේල් පණිවිඩය මා පුදුමයට පත් කළේ ඒ අතර.

“අපි දික්කසාද වෙන එකට මම කැමතියි. නමුත් මට ඔබෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. දරුවන්ට මේ ගැන දැන ගන්න තියන්න එපා. ඒ වගේම එන මාසය පුරා ගැටලුවකින් තොරව ජීවත් වෙමු කියලා මම ඔබෙන් ඉල්ලනවා. මට විශේෂ ඉල්ලීමක් තිබෙනවා. අපේ මධුසමය දවසේ ඔබ මාව කාර් එකේ ඉඳන් හෝටල් කාමරයට ඔසවාගෙන ගිය හැටි මතකයේ ඇති කියලා මං හිතනවා. මේ මාසය පුරාම මාව උදේට කාමරයේ ඉඳන් සාලයට ඔසවාගෙන යන්න.මට ඔබේ දේපල වැඩක් නැහැ. ඒවා සියල්ලම දරුවන්ට පවරන්න”

ඒ උමතු ඉල්ලීම මා පුදුමයට පත් කළත් මම ඒ ඉල්ලීමට එකඟ වෙන්න තීරණය කළා.

පළමු දවසේ සැලී ඔසවා ගත් මා දුටු අපේ දරුවෝ දෙදෙනා සතුටින් විහිළු කරමින් සිටියා. දෙවැනි දවසේ මම කාලයකට පසු සැලී දෙස බලන බව මට හිතුණා. ඇය වියපත් වී ඇත්තේ මගේ දරුවන් හැදීම වැඩීම නිසා නොවේද කියලා මම හිතමින් හිටියා.

මාසය පුරා ඈ ඔසවා ගනිද්දී මම නැවත සැලීට බැඳෙමින් හිඳින බව මම තේරුම් ගත්තා.ජේන්ගේ අනුරාගී ඇමතුම් සහ හමුවීම් අවලංගු කරමින් මම කාර්යබහුල බව හඟවන්න මට හැකි වුවා.

ඔව් ඒ මම සැලී ඔසවා ගත් අවසාන දිනය. මට ඉතිරි ජීවිතය පුරා ඈ දරා සිටිය යුතු බව වැටහුණත් ඇය මට හෙමින් ඇමතුවා.

“මං දැන් දික්කසාදයට ලෑස්ති. අහිමි වෙලා ගිය දවස් ගණනක් නැවත ලබා දුන්නාට ස්තූතියි “

මම කාර්යාලය වෙත ගියේ වේදනාවෙන්. සමහර අතපසුවීම් නැවත සකසා ගත යුතු බවත් සැලී වෙත යළි පැමිණිය යුතු බවත් මගේ හිත මට බල කරමින් තිබුණා.

නමුත් ඒ හැඟීමට ආයුෂ තිබුණේ නැහැ. අම්මා අසනීපෙන් බව කියමින් හඬන මගේ දියණියගේ ඇමතුම මට පැමිණියේ ඒ අතර.

සියල්ල සිදු වූයේ වේගයෙන්. පිළිකාවක් ගැන අපෙන් සඟවා රහසේම එයට ප්‍රතිකාර ගනිමින් සිටි සැලී දින කිහිපයකින් අපව හැර ගියා.

“මගේ අන්තිම දවස් ලස්සන කළාට ස්තූතියි”

ඇය මිය යන්නට පෙර මගේ දෑත් වැළඳ එසේ පැවසුවා.

මම තවම වැළපෙන්නේ මා ඇය මඟ හැර ගත් කාලය ගැන සිතමින්. මට ඇති එකම සැනසීම ඇගේ අවසාන දින කිහිපය පමණයි.

ඒ පසුතැවීමක් සහිත සැමියෙකුගේ කතාවක්. විවාහය කල් යද්දී දෙදෙනාට දෙදෙනා මඟ හැරෙන තැන් ඕනෑ තරම්. නමුත් ඔබ අමතක නොකළ යුතු දේවල් කිහිපයක් තිබෙනවා.

ඔබව ඔබෙන් ගිලිහෙන්නට හරින්නත් එපා. ඔහු දුටු සුන්දර ගැහැනිය දකින්නට නැති විට ඔහුට වෙනතක බැඳෙන්නට සිත් වේවි. ඒ වගේම එකිනෙකාට දේවල් සඟවමින් හිඳින්නට එපා. ඕනෑම දෙයක් බෙදා ගන්නට ඔබට හිඳින්නේ ඔබේ සහකරු පමණයි. ඔබට ඔබව ගිලිහෙමින් පවතින ඕනෑම ගැටලුවක් ඔහුට කියන්න. ඔහු ඔබව දරා ගනීවි.

හැම විවාහක යුවලක් ම මතක තබා ගත යුතු ප්‍රධානම කාරණාවක් ද තිබෙනවා.

“ආදරයට මිය යන්න ඉඩ හරින්න එපා.”

Related Articles

Don't Miss


Latest Articles