පාට සේදුනු වත්සුණු – 33

“සමහර වෙලාවට අපිට අවදානමක් ගන්න සිද්ද වෙන්න පුළුවන් ගයා”

යුගාන්ත මට අවධාරණය කරවන්නට උත්සාහ දරමින් සිටියේ ය. නත්තසූරිය මල් සිප ගෙන මඳ පවනක් හමාන ගියේ ය. මම කොංක්‍රීට් බංකුව මතට වී අකර්මන්‍ය ජීවියෙකු ලෙස බලා සිටියෙමි.

“අවදානමක් ගන්න සූදානම් මිනිස්සු තමයි ඒ අයගෙ හීන දවසක හැබෑ කර ගන්නෙ. ඒ හීන හැබෑ වෙලා තියෙනව දකින්න නං…ඒ හීන වලට ප්‍රායෝගික වටිනාකමක් දෙන්නනං හීන දැක දැක නිකං ඉඳල බෑ. අපි ඒ අවදානම බාර ගන්නම වෙනව”

සටන් කිරීමේ හෝ පලා යාමේ ප්‍රතිචාර අතරින් මා බොහෝ අවස්ථාවන්හි තෝරා ගන්නේ පලා යාමේ ප්‍රතිචාරය බව මට සිහි විය. මට හැමදාමත් ඕනා වූයේ කළබලයක් නැති නිසංසල ජීවිතයකි. කරදර කරන සියල්ලෙන් ඈත් වීම කාලයක් තිස්සේ මා ප්‍රගුණ කරන ලද දෙයක් සේ ය. ඕනෑ ම කෙල්ලක යමක් කමක් තේරෙන්නට පටන් ගත් පසු සිය අනාගතය සම්බන්ධයෙන් අපේක්ෂා කරන කාරණා කිහිපයක් තියේ. ඒ සියල්ල සුරක්ෂිත භාවයත් සමග බැඳුණු ඒවා ය. අධ්‍යාපනයෙන් පසු ආර්ථික සුරක්ෂාවක් සපයන රැකියාවක් හෝ ස්වාමි පුරුෂයෙක්, නිවසක් හා දරුවන් දෙතුන් දෙනෙක් ! මටත් ඉන් එහා විහිදුණු යමක් ජීවිතයෙන් සොයා යාමේ බලාපොරොත්තුවක් හෝ ඒ සඳහා අවශ්‍යතාවයක් නො විණ. විශේෂයෙන් ම විවාහය තුළින් අම්මා පත් අනාරක්ෂිත තත්වය දුටු මට කිසි දාක එසේ වීමේ උවමනාවක් නම් නො විණ.

“ඉස්සෙල්ලම අපි අපිට ඕන දේ තේරුං අරං ඉන්න ඕන නංගි. අපිට දෙයක් ඇත්තටම ලබා ගන්න ඕනෙනං ඒ දේ ලබා ගන්න මුළු විශ්වයම අපිත් එක්ක ඉඳං අපිට උදවු කරනව. ඒක ධනාත්මක චින්තකයන්ගෙ නිකංම ප්‍රකාශයක් නෙවෙයි. සිහි කල්පනාවෙන් ජීවත් වෙන ඕන ම මනුස්සයෙක්ට තේරුං යන විශ්ව සත්‍යයක්”

යුගාන්ත කතා කළේ හෙමිහිට ය නැවතිල්ලේ ය. මා තුළ ජීවත් වෙන බියගුළු කෙල්ල ව ඔහු හැඳින ගෙන සිටියේ ය. ඇය මාත් එක්ක ම කාලයක් තිස්සේ උන් බව මම දනිමි. හැම වෙලේ ම මගේ සාමකාමී බව වෙනුවෙන් මුල් තැන ගත්තේ ඇයයි. අභියෝග වලට මුහුණ දීමෙන් හා අවදානම් කටයුතු වල නිරත වීමෙන් මා වළකා නිරතුරු මාව ආරක්ෂිත ව තබා ගත්තේ ඇයයි. ජීවත් වන ටික කළබලයකින් තොර ව කැළඹීම් වලින් තොර ව මගේ පාරේ ගමන් කළ යුතු ය කියා නිරතුරු මා මෙහෙයවූයේ ඇයයි.
ඒ බියගුළු කෙල්ල මේ මොහොතේ බංකුවේ මගේ කෙළවරින් වාඩි වී ගුලි ගැසී යුගාන්ත දෙස බලා ඉන්නට වූවා ය.

“ඔය කියන දේවල් කරන්න ගිහිං ඔයාගෙ ජීවිතේ ගලං ආපු රිද්මය නැති කර ගන්න එපා ගයා. මේක හරි අමාරු ලෝකයක්. ඔය කියන අවදානම් දරන එක අවදානමක් ම තමයි. ඔය කතා කියල දුරකට අරං ගිහිං යුගාන්ත ඔයාව අතෑරල දැම්මොත් එහෙම ඔයාට තනියමයි දුක් විඳින්න වෙන්නෙ. යුගාන්තගෙ අම්මා ඔයාට කැමති නෑ. ඔයාගෙ අම්මා යුගාන්තට කැමතිත් නෑ. ඉතිං නිකං කරදර හිත් තැවුල් ඇති කර ගන්නවට වඩා දැන්ම ඕකෙන් අයින් වෙන එකයි කරන්න ඕනෙ. නැත්තං ඔයාගෙ අනාතතේ අවුල් ජාලයක් වෙයි. ඔයාට ඕන වෙලා තිබුණෙ සාමකාමී ජීවිතයක් නේද….”

බියගුළු කෙල්ල මා ප්‍රශ්න කරන්නට වූවා ය. ඇය කියන්නේ ඇත්ත යයි මටත් සිතිණ.

“මොනා වුණත්…ඔයාගෙ අම්මා අපේ සම්බන්දෙට කැමති නෑනෙ අයියෙ. ඉතිං…ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙයි නේද…ඔයාටත්…”

එහෙම කියන්නට මා පෙළඹවූයේ බියගුළු කෙල්ලයි.

“ඔවු ඉතිං. ප්‍රශ්න එයි. ඒත් අපිට ඕනෙ දේවල් අයිති කර ගැනීමේ සතුටෙ අයිතිකාරයො වීම වෙනුවෙං අපි ඒ ප්‍රශ්න එක්ක ෆයිට් කරමු”

යුගාන්ත ගේ වත මත වූයේ සරල සිනහවකි. ඔහු ට ඒ තරම් සරල හා පහසු ලෙස මේ දේවල් බාර ගත හැකි වන්නේ කෙසේද?

“මං වගේ වැඩකට නැති කෙල්ලෙක් නිසා ඔයා එහෙම ප්‍රශ්න ගොඩකට පනින්න හදන්නෙපා”

“ගයා…ළමයො. මං කියන දේ හොඳට තේරුං ගන්න නංගි. මට ඔයා වටින නිසයි බය නැතුව මං මෙහෙම අවදානමක් ගන්න ලෑස්ති වුණේ. අම්මල ටිකක් තදින් ඉඳියි ඔහොම. ඒත් අපි වෙනස් නොවී හිටියොත් එයාල ටික ටික ලිහිල් වෙයි. අපේ අරමුණ වෙනුවෙන් කාලෙ අරං බලං ඉන්න අපිට පුළුවන් මං හිතන්නෙ. ඔයාට තාම ඒ තරං වයසක් නැති නිසා”

ඔහු ට සියල්ල තීරණය කරන්න හරින්නේ මන්දැයි බියගුළු කෙල්ල මගෙන් ප්‍රශ්න කළා ය. මේ මොහොතේ ඇය තරමක් නො සන්සුන් ද නො රිස්සුම් සහගත ද වී සිටියා ය. ඇයට අවශ්‍ය ලෙස මා මෙහෙයවිය නොහැකි බාධකයක් ඇති වී තිබීම ඊට හේතුව බව පෙනිණ.

“ජීවිතේට වටිනාකමක් බරක් එකතු වෙන්නෙ අවදානම් දරන්න අපිට තියෙන ශක්තියත් එක්කයි. එහෙම නැත්තං කාටවත් ඕන විදිහට ජීවත් වෙලා…පිට කෙනෙක් නැතත් අපි ඇතුළෙ ඉඳං අපිව පස්සට අදින අපේම හැංගුණ ආත්මයට ඕන විදිහට පරාජිත ජීවිතයක් ගෙවල නිකංම මැරිල යනවට වඩා…ජීවත් වෙන ටික අපිට ඕන විදිහට, අපිව සතුටු කරන්න පුළුවන් විදිහට අපි ජීවත් වෙන්න බලමු නංගි”

මම තිගැස්සී ගියෙමි. මා තුළ ජීවත් වෙන බියගුළු කෙල්ල ගැන ඔහු දැන ගත්තේ කෙසේද? එය මහත් ලැජ්ජාශීලී හැඟීමක් මා තුළ දැනවී ය.

කෙසේ වෙතත් මගේ බියගුළු ආත්මය මුහුණට මුහුණ හමු වෙන්නටත් ඇය හඳුනා ගන්නටත් මට හැකි වූයේ යුගාන්ත මා සමගින් කළ ඒ කතා බහ හින්දා ය. ඔහු ඒ බියගුළු ආත්මය මටත් කලින් දැක ඉන්නට ඇත. එය මට මුණ ගස්වන උවමනාවක් ඔහු ට තියෙන්නට ඇත.


යුගාන්ත කියන්නේ ඉතා ම සුභවාදී ධනාත්මක චරිතයක් බව මම දැන සිටියෙමි. ඔහු හා කතා බහ කරත්දී වුව ඒ අමුතු ආලෝකය මම දැක ඇත්තෙමි. හිත දියුණු කළ උත්තමයන් ගේ ශීර්ෂය වටා වන රැස් වළල්ලක් අපි පින්තූර වල දකිමු. එබන්දක් මුලින් ම ඇන්දේ කවුරුන් දැයි අපි නො දනිමු. සම්ප්‍රදාය එය පවත්වා ගෙන ආවත්, එවැන්නක් සජීවී ව දුටු කෙනෙක් සොයා ගත නො හැකි වුණත්, ඒ ආලෝකයේ රැස් වළල්ල අධ්‍යාත්මික දියුණුවට අදාල එකකැයි සිතිය නො හැකි ද? අප සියලු දෙනාට ම අඩු වැඩි වශයෙන් එකී රැස් වළල්ල වැඩි දියුණු කර ගන්නට හෝ නිශේධනය කර ගන්නට හැකිවා විය නො හැකි ද?

“ඒ අම්මණ්ඩි ටිකක් උද්දච්ච කෙනෙක් වුණාට යුගාන්ත පුතා ඒ ගැන ඒ තරං කළබල වෙන කෙනෙක් නෙවෙයි”

අත්තම්මා සමගින් සීයා එහෙම කීවේ මාත් ඉන්නා තැන ය. ඔවුන් පැමිණ ගිය පසු මා සිටින්නේ අභ්‍යන්තර කැළඹීමක බව සීයා ට දැනෙන්නට ඇත.

“හ්ම්”
අත්තම්මා හ්ම් මිටි තැබුවේ මදෙස නෙතගින් බලමිනි.

“ඔයාට මතකද නන්දා…අපි දෙන්න අතරෙ පටලැවිල්ලක් තියනව කියල දැනගත්ත වෙලාවෙ අපේ අම්මයි අක්කයි දුම්මල වරම අතට ගත්ත හැටි”

“එ් නිසා තමයි මමනං හිතා ගත්තෙ ළමයි ඒගොල්න්ගෙ කසාදෙ ගැන ගන්න තීරණ වලට නරක විදිහට අත පොවන්නෙ නෑ කියල. අපි එහෙම කළානෙ පුතාගෙ තාත්තෙ. ඒගොල්ලොංගෙ තෝර ගැනීමේ ප්‍රතිපල ඒගොල්ලොන්ටම බාර අරගන්න වගකීම පවරල පැත්තකට වෙන එක හැම දෙමව්පියෙක්ම කරන්න ඕන දෙයක්”

“ඒක හරි. හැබැයි ළමයින්ටත් වගකීමක් තියෙනව සිහි කල්පනාවෙං බුද්ධිමත් තීරණ ගන්න”

“අපේ කෝසලා වගේ නොවී. දෙසැරේම ගත්තෙ වැරදි තීරණනෙ පුතාලගෙ තාත්තෙ”

“අනිත් එක නන්දා…සොබා දහම අපි ඉස්සරහිං බන්දේසියක තියලම දේවල් ගෙනත් දුන්නහම…මේක අපිට ලැබෙන අවස්ථාවක්ය කියල තේරුං අරං ඒක බාර ගන්න තරං ජීවිතේ ගැන ඉවක් අපිට තියෙන්න ඕනෙ. දෙවෙනි අවසක් ලැබෙයිද කියල ඇත්තටම අපි දන්නෙම නෑ. ඒක නිසා ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න එක තමයි බුද්ධිමත් මනුස්සයෙක් කරන්න ඕනෙ”


හැම කෙනෙකු ගේ මුවින් ම ඒ වගේ කතා අසන්නට සැලැස්වීමත් සොබා දහම විසින් අටවන ලද උපායක්ද කියා මා දන්නේ නැත. කෙසේ වෙතත් මම මාත් එක්ක ම දිගින් දිගට කරන ලද තර්තයක පසු වීමි. මගේ බියගුළු ආත්මය පරාජය නොවී පවතිනු වස් ලොකු සටනක් කළේ ය. කෙසේ වෙතත් වෙනදා සේ ඇය නොවී, පිටතින් සිට ඇය ව දකින්නට හැකි වීම ම මගේ ජයග්‍රහණය කි.

“හොඳ කොල්ලෙක් හොයන එක කළු නික හොයනවටත් වඩා අමාරු කාලෙක…යුගාන්ත වගේ කොල්ලෙක්ව මොන හේතුවක් නිසා හරි මග ඇර ගන්න එක ගෙවා ගන්න බැරි තරං ජීවිතේටම කර ගන්න වරදක් කියලයි මමනං හිතන්නෙ”

යුගාන්ත මට පසක් කරවන්නට යෙදුණු කතා ගැන මගෙන් දැන ගත් පසු තුෂී කීවේ එබඳු කතාවකි. ඒ මුළු සන්ධ්‍යා කාලය පුරා දීර්ඝ වූ කප්පනාවකට වැටී උන් මම තීරණයකට ආවෙමි. ඒ මා වෙනුවෙන් පෙනී සිටින්නට ය.

“අවදානම බාර ගන්න මං ලෑස්තියි”

යුගාන්තට මම කෙටි පණිවුඩයක් තැබුවෙමි. ඉනික්බිති පුදුම සැහැල්ලුවක් මගේ ආත්මයට දැනෙන්නට ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...