පිරිමින්ගේ කෲර වදහිංසා නිසා බිහිවූ යක්ෂණියකගේ කතාව රැගත් “Bulbbul”

ඉන්දියානු සමාජයේ ළමා විවාහයන්හි දුක්ඛිත බව අපි Water සහ චෝකර් බාලී කියන ඉන්දියානු සිනමා කෘති වලින් දැක තිබුණා. ඒ කඳුළු කතාවේ තවත් දිගුවක් Bulbbul හරහා දිග හැරෙනවා. මේ චිත්‍රපටියට පදනම් වෙන්නේ ඉන්දියාවේ පවතින ජනප්‍රවාදයක්. පිරිමින්ට නොයෙක් අකටයුතුකම් කරන Chudail නම් අවතාර කාන්තාවක් ගැන ඉන්දියාවේ ප්‍රචලිත ජනප්‍රවාදයක් තිබෙනවා. අපේ මෝහිනි, බෝදිලිමා වගේම ඇයත් අසන්නන් බියෙන් සලිත කරවන්නට සමතියක් නිසා ඒ චරිතය ද ගුරුකොට මේ චිත්‍රපටිය නිර්මාණය වී තිබෙනවා.

බුල්බුල් සහ සත්‍යා කුඩා කල පටන් හොඳ මිතුරන්. සත්‍යාගේ වැඩිමහල් සහෝදරයාට බුල්බුල්ව විවාහ කර දෙන්නේ බුල්බුල් ළමා වියේ පසුවන විට.ඇය මනාලයා ලෙස තමන්ගේ මිතුරා වූ සත්‍යා බලාපොරොත්තු වුණත් ඇගේ සැමියා වන ඨාකූර් ඇයට වඩා බොහෝ වයසින් වැඩි කෙනෙක්. වයසින් වැඩී යත්ම අතිශය රූමතියක වන බුල් බුල් සහ සත්‍යා අතර ප්‍රේමයක් ඇරඹෙන්නේ ඒ අතර. ඨාකූර්ගේ පළමු බිරිඳ ඒ බව ඨාකූර්ට දන්වනවා. ඨාකූර් සත්‍යාව ලන්ඩනයට පිටත් කර හරින අතර බුල්බුල්ට කකුලේ විලුඹ ගැලවී යන තුරු පහර කන්නට සිදු වෙනවා. ඨාකූර් එදා නිවසින් පිටවී යන අතර කකුල නිසා ඇඳෙන් බසින්නට නොහැකි බුල්බුල් ඨාකූර්ගේ මානසික රෝගී සහෝදරයා අතින් දූෂණයට ලක් වෙනවා. ඒ වග දැන ගන්නා ඇගේ ලොකු නෑනා බිනෝදනී බුල්බුල්ට පවසන්නේ ඉතා කුරිරු නිහීන කතාවක්.

“ලොකු ලොකු වලව් වල ලොකු රහස් තියෙනවා. ඒ නිසා ඕක අමතක කරන්න..”

නමුත් එය එතරම් සරලව විසඳෙන්නේ නැහැ. එදින රැයේ බුල්බුල්ට Chudail අවතාරය වැසෙන අතර ඉන්පසු සියල්ල වඩා බිහිසුණුව විසඳෙන්නට පටන් ගන්නවා. පසුව නිවසට එන සත්‍යා මෙය හඹා යන ආකාරය දැනගන්නට ඔබ මේ චිත්‍රපටිය නැරඹිය යුතුම වෙනවා.

මෙහි අධ්‍යක්ෂණය සහ තිර රචනය අන්විතා දත්ගේ. 1818 ඉන්දියානු සමාජය මින් නිරූපණය කෙරුණත් තවමත් ඉන්දියාවේ සහ ආසියාවේ ජීවත් වන තාඩන පීඩනවලට ලක් වන පසුගාමී ගැහැනිය මේ චිත්‍රපටියේ කතාබහට ලක් කෙරෙනවා.එපමණක් නෙවෙයි.ගැහැනියක වනසන්නට ගැහැනියකම මැදිහත් වන ආකාරය බුල්බුල්ගේ ලොකු නෑනා බිනෝදනී මනාව නිරූපණය කරනවා. බුල්බුල්ගේ සුන්දර රූපයට ඇති ඉරිසියාව සහ දේපල රන් භාණ්ඩ කෙරෙහි ඇති අසීමිත කෑදරකම බිනෝදනීට යහපත අමතක කරන්නට තරම් ප්‍රබලයි. එවැනි ගැහැනුන්ටත් ඨාකූර් සහ ඔහුගේ සහෝදරයා වැනි නිහීන මිනිසුන්ටත් එරෙහිව සටන් කරන්නට සියුමැලි තරුණියකට ශක්තිය නැති නම් ඈ හට පිහිට වන්නට අසාධාරණය නිසා මිය ගොස් යක්ෂණියක් බවට පත් වූ Chudail අවතාරය හෝ ඉදිරිපත් වීම එක් අතකට යුක්තිසහගත බව මෙය නරඹන විට ඔබට වැටහේවි.

පිතෘ මූලික සමාජයේ ළමා විවාහයන්ට සහ කෘර වද හිංසාවන්ට ද ලිංගික සූරාකෑමට ද ලක් වන කාන්තාවන් ලොවට නොකී දුක් කදුළු හෙළි කරන බුල්බුල් සංවේදි චිත්‍රපටියක් බව බොහෝ සිනමා රසිකයන් පවසනවා.එයට ලැබී ඇති ප්‍රතිචාර අතිමහත්.හොරර් ශානරයට අයත් බුල්බුල් අනුෂ්කා ෂර්මාගේ නිෂ්පාදනයක් ලෙස netflix හරහා නිකුත් වන්නේ 2020 ජූනි විසිහතර වැනිදා.ත්‍රිප්ති දිම්රී බුල්බුල්ගේ චරිතය නිරූපණය කරන අතර රාහුල් බෝස්, අවිනාශ් තිවාරි ආදීන් මෙහි සෙසු ප්‍රධාන චරිත රඟ දක්වනවා.

රත්පැහැ ගන්නා මැදියම් රෑ අහස යට වේදනාබර අඳෝනාවක් ඇසෙනවා. කාලි මෑණියන් දෙවොල ඉදිරිපිට හැරවුණු යටිපතුල් සහිතව දරා ගත් වේදනාවෙන් සාධාරණත්වයේ යක්ෂණිය බලා හිඳිනවා.

ඒ පලි ගැනීමට විය හැකියි.
නමුත් ඒ සාධාරණත්වයේ පලි ගැනීමක්!

බුල්බුල් හමු වී ඇගේ වේදනාබර කතාව අසන්න. දරාගත නොහැකි වේදනා සහ අසාධාරණය ගැහැනුන් යක්ෂණියන් කරන අන්දම ඔබට වැටහේවි. බිනෝදනී වර්ගයේ ගැහැනියක නොවන්නටත් බුල්බුල් තරම් හෝ අසාධාරණයට එරෙහි වන්නටත් මේ සිනමා පටය ඔබට උගන්වාවි.

Related Articles

Don't Miss


Latest Articles