බ්‍රිතාන්‍ය රජ මැදුරේ තවත් පෙරළියක්වන ලකුණු

බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රීතිමත් කුමාරයා ලෙස හඳුන්වන, චාර්ල්ස් සහ ඩයනා යුවලගේ කණිටු පුත්‍රයා වන හැරී කුමරු රජ පවුලම කළඹමින් තවත් පෙරළයකට මුලපුරල. ඒ හැරීගේ නවතම පෙම්වතිය නිසයි. ඒ ඇය සාම්ප්‍රදායික බ්‍රිතාන්‍ය රාජකීය මනාලියකගේ සාම්ප්‍රදායික රාමුවට කිසිසේත්ම නොගැලපෙන නිසයි. පසුගිය සති කිහිපය තුල බ්‍රිතාන්‍යයේ මෙන්ම ඇමරිකාවේද බොහෝ ටැබ්ලොයිඩ් පුවත්පත් නව යුවළ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළා.

හැරීගේ නවතම පෙම්වතිය Meghan Markle, ඇමරිකානු ජාතික ටෙලි නිළියකි. Suits නම් අති ප්‍රසිද්ධ කතා මාලාවෙහි, Rachel Zane නම් ප්‍රධාන චරිතයක් නිරූපණයකරයි.  පළමු විවාහය අවසන්කර සිටින ඈ කළු ඇමරිකානු ජන්මයකට උරුමකම් කියන්නීය.

මින්පෙර මෙවැනි මහා පෙරළයක් සිදුකළේ හැරීගේ අත්තායි. එනම් හයවන ජෝර්ජ් රජුගේ වැඩිමහල් සහෝදරයා වූ අටවන එඩ්වර්ඩ් රජු, දෙවරක් දික්කසාද වුණු  Wallis Simpson නම් ඇමරිකානු උසස් සමාජ කාන්තාව (socialite) විවාහ කරගැනිමට සිය රජ කිරුල අතහැරීමයි.

බ්‍රිතාන්‍ය රජ පවුලට එකතුවන්නේ නම් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ආගමවන එංගලන්ත සභාවට (Church of England), Act of Settlement 1701 අනුව ඇතුළු විය යුතුය. මීට පෙර රැජිණගේ  දියණිය වන ඈන් කුමරියගේ පුතා මෙන්ම රැජිණගේ පළමු මුණුබුරාද වන පීටර් කුමාරයා Autumn නම් කැනේඩියානු තරුණිය විවාහකරගත් විටදී ද ආගම පිළිබඳ ගැටලුව මතුවිය. රෝමානු කතෝලික භක්තිකයෙකු වූ Autumn හට ඇංග්ලිකානු දහම වැළඳ ගැනීමට සිදුවූයේ එසේ නොකලහොත් පීටර්ගේ රාජකීය සිහසුනට ඇති උරුමය (line of succession to the throne) අහිමිවන නිසයි.  පීටර් මේවන විට  සිහසුනට උරුමකම් කියනන් අතර 13 වැනියායි.

1772 රාජකීය විවාහ පණතට (Royal Marriages Act) අනුව සියලු රාජකීය විවාහ රැජිණගේ අවසරය මත සිදුවිය යුතුයි. මෙනිසා සියලුදෙනා කුතුහලයෙන් පසුවන්නේ හැරී සහ මේගන් විවාහවන්නට තීරණය කළහොත් කුමක් සිදුවේද යන්න පිළිබඳවයි.

බ්‍රිතාන්‍ය රජ පවුල වෙනස්වන්නේ ඉතාමත් සෙමින්බව සියල්ලෝ දනිති. ලෝකය කෙතරම් සීග්‍රයෙන් වෙනස් වූවත් බ්‍රිතාන්‍ය රජ පවුල සිය කෞතුක සම්ප්‍රදායන් අත්හැරීමට තවමත් සූදානම් නැත. විශේෂයෙන්ම රැජිණ මෙවැනි වෙනස්කම් පිළබඳව දක්වන්නේ දැඩි අප්‍රසාදයකි.

මීට පෙරද අති ප්‍රසිද්ධියට පත් පෙම් හබ දෙකක පැටලී සිටි හැරී, සිය සහෝදරයා මෙන් නොව සහැල්ලු සෙල්ලක්කාර දිවියක් ගතකරන්නෙකු බව ප්‍රසිද්ධ නොරහසකි. සිය මව මෙන්ම උණුසුම් පුවත් මවන හැරී ඈ හා සමානවම සමාජ සත්කාරයේ යෙදෙන හෙයින් ජනතාවගේ කුමාරයා ලෙස දැන් බොහෝ දෙනා ඔහුව හඳුන්වයි. හැරීට රජකම හිමිවීමේ අවස්තාවක් නොමැති නමුත් සිහසුනට උරුමකම් කියනන් අතර දැනට පස්වන තැන දරන්නේ ද ජනතා වගේ කුමාරයා ලෙස ජනහදවත් දිනා සිටින හැරී කුමරුයි.

 කල්හාරී

 

Related Articles

Don't Miss


Latest Articles