ලොව බලසම්පන්නම කාන්තාව

යුරෝපයේ බලවත්ම රටක්වන ජර්මනියේ මුල් පුටුවට පත්වූ ප‍්‍රථම කාන්තාව ඇයයි. දැන් තිබෙන්නේ එදා හිට්ලර් රජකළ ජර්මනිය නොවේ. මේ කියන ජර්මනිය අද පාලනය කරන්නේ කාන්තාවකි. බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිනි මාග‍්‍රට් තැචර් මෙන්ම ඇයද යකඩ කාන්තාවකි. ඇය ඈන්ජලා මර්කල්ය (Angela Merkel) .

1954 ජුලි 17 දා හැම්බර්හිදී උපත ලැබූ ඈන්ජලා ඩොරති කැස්නර් 1978 දී භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබ 1978 සිට 1990 දක්වා ජර්මනියේ විශ්වවිද්‍යාල කීපයකම මහාචාර්ය පදවිය හෙබවූ උගත් බුද්ධිමත් කාන්තාවකි. ඇය කුඩා කාලයේ ඇයව හඳුන්වන ලද්දේ ‘‘කාසි’’ (Kasi) යන සුරතල් නාමයෙනි. ඇයගේ නමේ කොටසක්වූ කැස්නර් යන වචනය කෙටිකර ‘‘කාසි’’ යන්න මෙසේ භාවිත කර ඇත.

ඈන්ජලා ජර්මනියේ ලීප්සිග් (Leipzig) විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ 1973 දීය. එවිට ඇය යාන්තම් 19 වැනි වියට පා තැබුවා පමණකි. ඈන්ජලා ඩොරති කැස්නර් තරුණ ශිෂ්‍යාවට උල්රිච් මාර්කල් නැමති තරුණ ශිෂ්‍යයා මුණ ගැසෙන්නේ මේ ලිප්සිග් සරසවි භූමියේදීය. දෙදෙනාම හැදෑරුවේ විද්‍යා විෂයයන්ය. ඈන්ජලා භෞතික විද්‍යාව හදාරද්දී උල්රිච් රසායන විද්‍යාව හදාරන දීප්තිමත් ශිෂ්‍යයෙකි. ඈන්ජලා සහ උල්රිච් දෙදෙනා ආදරයෙන් වෙළුණත් ඔව්හු එය අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කර නොගත්හ.   දෙදෙනාම සරසවියේදී ඉතා උනන්දුවෙන් ඉගෙන ගත් අතර වසර 4කට පසු එනම් 1977 වන විට ඈන්ජලා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබද්දී උල්රිච් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබීය. 1977 අවසාන භාගයේදී ඈන්ජලා සහ උල්රිච් අතර විවාහය සිදු වීය. ඈන්ජලා ඩොරති කැස්නර් ඈන්ජලා මර්කල් බවට පත්වුණේ මෙසේය. මේ දෙදෙනාගේ විවාහ දිවියේ සිදුවූ තවත් විශේෂ සිද්ධියක් නම් විවාහයෙන් වසර දෙකකට පසු දෙදෙනාම ඔවුන්ගේ විෂයයන් පිළිබඳ මහාචාර්යවරුන් බවට පත්වීමයි. නමුත් මේ යුවළගේ විවාහය පැවතියේ වසර හතරහමාරක පමණ සුළු කාලයකි. 1982 මුල් භාගයේ ඈන්ජලා සහ උල්රිච් අතර දික්කසාදය සිදුවිය. මේ දෙදෙනාට දරුවෝ නොසිටියහ. තම ස්වාමි පුරුෂයාගෙන් නීතියෙන් වෙන්වූ ඈන්ජලා, දේශපාලනයට පිවිසීම සඳහා ජර්මනියේ අගනුවරට ගිය ගමන ඇයගේ ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයක් විය. ඇයගේ දිවිය උඩු යටිකුරු කළේ මේ ගමනත් සමඟය. ඒ වනවිට ඇය 28 හැවිරිදි කාන්තාවකි.

බර්ලිනයේ හම්බෝල්ඞ් (Humboldt) විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු වූ ජෝචිම් සවර් (Joachim Saver) ඈන්ජලාට හමුවන්නේ මෙහිදීය. ඒ වනවිට ජෝචිම්ද තම මුල් බිරිඳගෙන් දික්කසාද වී සිටි දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඈන්ජලා දේශපාලන කටයුතුවල නිරතවී සිටියදීම භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්යවරියක වශයෙන් විශ්වවිද්‍යාල කීපයකම ඉගැන්වීමේ කටයුතුවලද නිරත වූවාය. ඈන්ජලා සහ ජෝචිම් යුරෝපය පුරා සංචාරය කළහ. මේ දෙදෙනාගේ හමුවීම සිදු වුණේ 1984 වර්ෂයේදීය. මේ පෙම් සබඳතාවය වසර 4ක් තිස්සේ පැවතුනි. ඈන්ජලා ‘‘ක‍්‍රිස්ටියන් ඩිමොක‍්‍රටික් යූනියන්’’ (CDU) පක්‍ෂයේ දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටි අතර ජෝචිම් ඇයගේ දේශපාලන කටයුතුවලට සහභාගි නොවීය. මේ දෙදෙනා අතර විවාහය සිදු වූයේ 1998 දෙසැම්බර් 30 දාය. මෙහි විශේෂත්වයන් වනුයේ ඈන්ජලා දෙවන වරටත් විවාහ වූයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු සමඟ වීම සහ ඈන්ජලා තම මුල් විවාහය තුළින් ලබාගත් මර්කල් (Merkel) නාමය අත් නොහැරීමයි. මෙම යුවළට දරුවන් නැත. ජෝචිම් තම බිරිඳ සහභාගි වන රාජ්‍ය උත්සවවලට සහභාගි නොවේ. විදේශ සංචාර වලදී දෙදෙනා එකට ගමන් ගන්නා බව ඇත්තය. ඈන්ජලාගේ රාජ්‍ය පාලන කටයුතුවලට ජෝචිම් ඇඟිලි නොගසයි. බලපෑම් සිදු නොකරයි. ඔවුන් රාජ්‍ය පාලන කටයුතුවලට ඥාතින් සම්බන්ධ කරගන්නේ නැත

2005 වසරේ නොවැම්බර් 22දා සිට ජර්මනියේ චාන්සලර් පදවිය හොබවන ඈන්ජලා මර්කල් 2007දී යුරෝපා සංගමයේ සහ ජී8 සමුළුවේ සභාපතිත්වයට පත්වීමද විශේෂත්වයකි. ඇය දිරිය කාන්තාවකි. වංචාව, දූෂණය, අල්ලස, මැර බලය, දේශපාලන ප‍්‍රචණ්ඩත්වය දුරස් කළ, පවුල් වාදය තුරන් කළ රාජ්‍ය නායිකාවකි.

1990දී ජර්මනියේ බන්ඩෙස්ටග් (Bundestag) ආසනයට තරග කොට මන්ත‍්‍රී පදවියට පත් ඈන්ජලා 6 වරක්ම එම අසුන දිනාගත්තාය. 2005 වනවිට ඇය ජර්මනියේ කොතරම් ප‍්‍රසිද්ධියට පත්වී සිටියේදැයි කිවහොත් ඇයට ක‍්‍රිස්ටියන් ඩිමොක‍්‍රටික් යුනියන් පක්‍ෂයේ සභාපති තනතුර දක්වා ඉහළට නැගීමට හැකිවිය. 2005 වනවිට ඇය ජර්මනියේ ප‍්‍රබල ඇමැති තනතුරු කීපයක්ද දරා තිබුණි. 2005 නොවැම්බර් 22දා ඇය ජර්මනියේ රාජ්‍ය නායිකාව වශයෙන් දිවුරුම් දුන්නාය. ඇය දෙවාරයක්ම ජර්මනියේ පාලන බලය සියතට ගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුකූලව පැවැත්වූ මහ මැතිවරණ වලිනි.

මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක සිටීම තුළින් ඇය ලෝකයා තුළ ගෞරවාදරයට පාත‍්‍ර වූවාය. ජර්මනියේ ආර්ථික තත්ත්වය නැංවීමට වසර 10ක් තිස්සේ ඇය ගත් ක‍්‍රියාමාර්ගවලට ජනතා ප‍්‍රසාදය නොමදව ලැබිණි. ලෝක ප‍්‍රකට ෆෝර්බ්ස් (Forbes) සඟරාව මඟින් 9 වැනි වරටත් ඇය ලොව බලසම්පන්නම කාන්තාව (Most powerful woman in the world) මෙන්ම ලෝක ප‍්‍රකට ‘‘ටයිම්’’ (Time) සඟරාව මඟින් ද 2015 වසරේ ශ්‍රේෂ්ඨතම චරිතය (Person of the year) වශයෙන් නම් කිරීම, ඇයගේ ශ්‍රේෂ්ඨ චරිතයට සිදු කළ උපහාරයකි.

ජර්මනිය වැනි රටවල් දියුණුවෙන් දියුණුවට පත් වන්නේ දූෂණය, වංචාව, අල්ලස, නාස්තිය පිටු දකිමින් ජනතා සුබසෙත සහ රටේ අභිවෘද්ධිය තකා ක‍්‍රියාකරන ඈන්ජලා මර්කල් වැනි පාලක පාලිකාවන් නිසාය.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles