රෝග සුව කරන මහපැලැස්ස උණු දිය බෙහෙත් පොකුණ බලන්න යමු

එක් පසෙකින් මහ රහතුන් වැඩ සිටි ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනයට ද අනෙක් පසින් පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා පුද බිමක් මෙන් ම, ඉපැරැණි චිත්‍ර ඇති කරඹගල ආරණ්‍ය සේනාසනයටද මැදිව සුන්දර කුඹුරු යායක් මැද මහපැලැස්ස උණුවතුර ළිං එසේත් නැති නම් මදුනාගල උණුවතුර ළිං පිහිටා තිබේ. මදුනාගල උණුදිය උල්පත්වල ඇත්තේ ඖෂධීය ජලය බව සාමාන්‍යෙයන් විශ්වාස කෙරේ.

කීර්තිමත් පුරා විද්‍යාඥයකු වූ ආචාර්ය ආර්.එල්. බ්‍රෝහියර් පවසන පරිදි, අතීතයේදී අලි ඇතුන් අවසන් හුස්ම හෙළීම සඳහා මේ උණු දිය වළ වෙත පැමිණි බව සටහන්වේ. එවකට හම්බන්තොට දිසාපතිව සිටි ලෙනාඩ් වුල්ෆ් සිය දිනපොතෙහි වර්ෂ 1910 අගෝස්තු පළමු වැනි දින ලියූ සටහනකට අනුව, ඔහු මහපැලැස්ස උණුදිය උල්පත් වෙත ගොස් ඇත්තේ, වලවේ ගඟ හරහා පැදවූ බෝට්ටුවකිනි.

ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරවලට මැදිව, සූරියවැව නගරයට ආසන්නව පිහිටි මහපැලැස්ස උණු දිය උල්පත් නැරැඹීම සඳහා, ඇඹිලිපිටිය සිට පදලංගල හරහා සූරියවැව මාර්ගයේ කි. මී. 9 ක් පමණ සූරියවැව දෙසට පැමිණිවිට විහාරගල හතරමං හදිය හමුවේ. එතැනින් දකුණට හැරී කි.මී. 04 ක් පමණ ගිය කල, මේ ස්ථානය වෙත ළඟාවිය හැකිය. ගමන් විඩාව දුරු කරගගෙන, ඖෂධීය ගුණවලින් සම්පූර්ණ වූ උණු දිය ස්නානය කිරීමට, මහපැලැස්ස උණුදිය උල්පත් වෙතට පිවිසීමෙන් ඔබට හැකි ය.

තමන් කැමති උණුසුම් මට්ටමක ජලයෙන් ස්නානය කිරීමට, මෙය නැරැඹීමට පැමිණෙන සංචාරකයන්ට හැකියාව ඇත. මෙහි ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44ක් පමණ වන බවට සඳහන්වේ. මේ වනවිට මේ ස්ථානයේ ඇති උණු දිය උල්පත වටකර, ජල ටැංකි පහක් ඉදිකර ඇත. මේවායේ උෂ්ණත්වය එකින් එකට වෙනස් ය. උණු දිය උල්පත වටා බැඳ ඇති ජල ටැංකිය වැඩි ම උෂ්ණත්වයක් ඇති ටැංකිය වේ. මේ ජලයේ ඇති දැඩි උණුසුම නිසා, දිය බුබුළු මතුවනු දැකීමට පුළුවන. එහි ජලය ටැංකියෙන් ටැංකියට ගලා යමින්, ක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වන ආකාරයට සකස් කර තිබේ.

මෙහි ඇති ජලයේ පී.එච්.අගය 7.0කි. සන්නායකතාව 7.1කි. ඝණ ද්‍රව්‍ය මි.ග්‍රෑම්. 5288ක් අන්තර්ගත ය. මෙහි බයිකාබනේට මි.ග්‍රෑම්. 20.1 ක්ද, ක්ලෝරයිඩ් මි.ග්‍රෑම් 2590 ක් ද, සල්පේට , නයිට්‍රේට, පොස්ෆේට්, සිලිකා,කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, ලිතියම්, යකඩ, සින්ක්, ඊයම්, කැඩියම්, ෆ්ලෝරයිඩ්, සල්ෆයිඩ්, මැංගනීස් වැනි සංඝටක අන්තර්ගතව තිබේ. මෙහි ඇති ජලයට ඛනිජ ලවණ ගණනාවක් එකතුවී ඇති නිසා, ඖෂධීය ගුණ රැසක් ලැබෙන බවත්, ඒ නිසා මේ ජලය නිකම්ම නිකම් උණු වතුර නොවන, ඖෂධීය ගුණයෙන් පිරිපුන් ඒවා බවටත් සැලකනු ලැබේ.

මේ නිසා මේ ජලය ස්නානය කිරීමෙන්, සමේ ඇති වන අළුහම්, කුෂ්ඨ , බිබිලි, දද වැනි දිලීර රෝග ඇතුළු රෝග ගණනාවකට මෙන් ම, වාත වේදනා රැසකට සුවය ලැබෙන බවත් බෝ කාලයක සිටම ජනතාව අතර පවත්නා විශ්වාසයකි. මුළු ලෝකයේම මෙවැනි ස්වභාවික උණුදිය උල්පත් ඇත්තේ ස්වල්පයක් පමණකි. ඒ නිසා එය සොබාදහමේ දුර්ලභවූත්, විශිෂ්ටවූත් නිර්මාණයක් බව භූ විද්‍යාඥයෝ පවසති. මේ වනවිට මේ ස්ථානයෙහි කුරුළු උයනක්, මින් මැදුරක්, ළමා උයනක් ඉදිකර ඇත. මෙහි සංචාරය කරන ඔබට , ඒ ආසන්නයේම පිහිටි රිදියගම සෆාරි උද්‍යානය, රම්භා විහාර පුරාවිද්‍යා රක්ෂිතය, මදුනාගල ආරණ්‍ය සේනාසනය, කරඹගල ලෙන් ආදිය නැරැඹිය හැකිය.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles