අඩු වේලාවකින් ලස්සනට කොණ්ඩය හැඩ කරන කර්ලින් අයන්

රැළි කොණ්ඩය භාවිතාවෙන් ඉවතට නොයන අලංකාර කොණ්ඩා විලාසිතාවක්. කාලයෙන් කාලයට හිසකෙස් රැළි කිරීමට හෙයා රෝලස් ආදී විවිධ උපකරණ භාවිත කළා. මෙම උපකරණ භාවිතයට තරමක කාලයක් අවශ්‍යයි. එනිසා කාර්ය බහුල වර්තමානයේ පහසුම ක්‍රමය වන්නේ කර්ලින් අයන් (Curling iron) හෝ හෙයාර් ටොන් (Hair tong)ය.

හෙයා අයන් එකක ක්‍රියාකාරීත්වයට සමාන කර්ලින් අයන් බොහෝ විට ක්‍රියාත්මක කෙරෙන්නේ විදුලි බලයෙන්. මෙනිසා උසස් ප්‍රමිතියෙන් යුතු සහ ඉහළ තාක්ෂණයකින් යුතු කර්ලින් අයන් එකක් තෝරා ගැනීමට සැලකලිමත් විය යුතුයි. උෂ්ණත්වය පාලනය කල හැකි කර්ලින් අයන් එකක් නම් වඩාත් සුදුසුයි. තාවකාලික විලාසිතාවක් වන මෙය නිතරම භාවිතා කිරීමෙන් හිසකෙස් පළුදු විය හැක.

මෙම අලංකාර කොණ්ඩා විලාසිතාව ඒ සඳහා යොදාගන්නා කර්ලින් අයන් එකේ බැරලය අනුව වෙනස්වේ.  බැරලයක විෂ්කම්භය අඟල් 0.5 සිට (සෙන්ටිමීටර 1.3) සිට අඟල් 2 දක්වා (5.1 සෙ.මී.) විය හැකිය. හුරුවක් නැති අයෙකුට වූවත් පහසුවෙන් කර්ලින් අයන් එකක් භාවිතා කල හැකියි. කර්ලින් අයන් එක රස්නය ඇති විටකදී කිසි වෙකුගේ ඇඟේ නොගැටෙන තැනක තැබීමට ප්‍රෙව්ශම් වන්න.

මෙම කොණ්ඩා විලාසිතාව නිර්මාණය කිරීමේ දී පළමුව හිසකෙස් පිරිසුදු කර වියළා ගත යුතුය. හෙයාර් මූස් හෝ හෙයාර් ජෙල් ස්වල්පයක් හිසකෙස්වල ගල්වා කර්ල් කිරීමෙන් හෙයාර් ස්ටයිල් එක තවත් ලස්සන කරගත හැකියි. අවසානයට හෙයාර් ස්ප්‍රේ යෙදීමෙන් වැඩි වේලාවක් කර්ල්ස් ටික රඳවා තබාගත හැකියි.

යෞවනත්වය මනාවට පිළිබිඹු වන ආකර්ෂණීය විලාසිතාවක් වන රැළි කරන ලද කොණ්ඩය මනාලියන්, මනාලියගේ යෙහෙළියන්, විශේෂයෙන්ම මල් කුමරියන් සඳහා වූවත් සුදුසුයි. විවාහ මංගල්‍යයකට, විවාහ ගිවිස ගැනීමේ උත්සවයකට, උපන් දින සාදයකට වැනි උත්සව අවස්ථාවකට සහභාගී වන විටක දී පුංචි වෙනසකින් අලුත් පෙනුමක් එක්කළ හැකි කර්ලි හෙයාර් ස්ටයිල් එකකින් ඔබටත් ඉක්මනින්ම සැලූන් නොයා හැඩවන්නට හැකියි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles