ගර්භනී මවකට කෑම වේලක් දෙන්න කලින් කියවන්න

අපේ හිතවතියකට දරුවෙකු ලැබෙන්නට යන විට ඇය කන්නට කැමති දේවල් අහන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඇත්තටම ගැබිණි සමය කියන්නේ ආහාර අප්‍රියජනක කාලයක්. තමන් උයන දේවල් කන්න නොහිතෙන කාලයක්. විවිධාකාර අමුතු කෑම වර්ග හිතට එන කාලයක්. ඉතින් මේ වගේ කාලයක ගැබිණි හිතවතියකට කෑම වේලක් දීම ඇත්තටම ආදරණීය දෙයක්.

නමුත් මේ ආහාර ඇයට දෙන්න කලින් ඔබට හිතන්න කාරණා කිහිපයක් තියෙනවා.

පළමුවෙනි දේ ඇය ප්‍රිය කරන දේවල්. සාමාන්‍යයෙන් ඇය කැමති ආහාර මතක් කරගෙන ඔබ ආහාර වේල සකස් කළත් මේ කාලයේ ඇගේ අප්‍රියජනකම ආහාර ඒවා වෙන්න පුලුවන්. ඒ නිසා ඇයට දුරකථන ඇමතුමක් දීලා ඇගේ ප්‍රියතා විමසන්න.

කෑම මුල් ඔතන්නේ නැතුව වෙන වෙනම භාජනවල අසුරන්න. එකට බෙදා දුන්නොත් ඇය එක ව්‍යාංජනයකට අකමැති නම් කෑම එකම ඉවට දාන්නට සිදු වේවි.එය ඔබේ මහන්සිය අපතේ යෑම ක් වගේම ඇයටත් සිත් වේදනාවක්. සමහරු කෙසෙල් කොළයේ ඔතන බත් කන්නට ආසා කරත් සමහරුන්ට කෙසෙල් කොළයෙන් එන සුවඳ අප්‍රියජනක වෙන්න පුලුවන්. ඒ ගැනත් කලින් විමසන එක හොඳ දෙයක්.

ඒ වගේම ඇයට පමණක් සෑහෙන කෑම එකක් ගෙනියන්න එපා. ඇයත් ස්වාමියාත් තනිව ඉන්න නිවසක නම් ඇයට නැවත උයන්නට සිදු වෙන නිසා දෙදෙනාටම සෑහෙන ලෙස රැගෙන යන්න.ඒ වගේම තවත් දරුවන් ඉන්නවා නම් ඔවුන් ද පිට තැනකින් ගෙනෙන කෑම කන්නට ආසා කරාවි.

ඒ වගේම කල් තබාගෙන ආහාරයට ගන්න පුලුවන් බටු මෝජු, චට්නි, පොළොස් කරියක් වැනි දෙයක් ද බෝතල් කර රැගෙන යන්න පුලුවන් නම් එයත් වටිනා දෙයක්..සුදුසු අතුරුපසක් ද රැගෙන යන්න අමතක කරන්න එපා.

අනිත් වටිනාම දේ පිරිසිදුකම. ඇය කුඩා දෙයින් පවා ආහාර අරුචි ඇති කර ගන්න නිසා හැකිතාක් පිරිසිදු ලෙස ආහාර පිසින්න. ගැබිණියකට අහිතකර ආහාර වර්ග ගැනත් සැලකිලිමත් වෙන්න. ඉතා සැර, උෂ්ණාධික සහ කෘත්‍රිම රසකාරක යෙදූ ආහාරත් ඒ තරම් සුදුසු නැති බව මතක තබා ගන්න..

දැඩි ආහාර අරුචිකම් ඇති ගැබිණි සමයේ සිටින කෙනෙකුගේ දොළදුක සන්සිඳුවන්න ඔබට හැකි වුණොත් එය හරිම, වටිනා දෙයක්..

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles