විහඟ පියාපත් 19

0
3889

අම්මා ට අකලංක දැකීමම නිවන් ගියා හා සම විය. ඕ අකලංක මාතලේ පහු කලයැයි කී මොහොතේ පටන් වූයේ දොරකඩටවීගෙනය.

“මේක හරි කෝලමක්නේ… දවස් හතේම පුලුල් තිරයේ බලනවා. මේ මඟ බලන්නේ ගාසා තීරේ ඉඳන් එන සෝල්ජර් කෙනෙක් පිළිගන්න ගානටනේ….”

අකලංක ගේ මල්ලී තාත්තා සමඟ එක්ව අම්මාට ඇණුම්පද කොයමින් උන්නේය. එහෙත් ඇය ඒ වගක් හෝ නැතිවා සෙයින් මඟ බලමින් ම උන්නාය.

අම්මලාගේ පිළිගැනීම් සත්කාර මැද අකලංක ට ශයිනි සමඟ සංවාදයේ නොසන්සුන්කම තාවකාලිකව යටපත් වුවා සේ විය.  වත්ත පහළ පීල්ලෙන්ම නාගෙන දෙදෙනා ගෙට ගොඩ වූයේ සීතල උපරිමයෙන් විඳිමිනි.  අකලංක සරමකින් සහ අත් කොට ටී ශර්ටයකින් සැරසුණේය.  අම්මා ලැවරියා සමඟ ඉඟුරු තේ සකසා තිබුණි. ප්‍රබාත් ඒ වෙද්දීද ලැවරියා කිහිපයකටම වග කියා අම්මා සමඟ දොඬමලු වෙමින් උන්නේය.

“අම්මේ.. මමයි පුතා..මූ නෙවෙයි …..”

අකලංක ප්‍රබාත්ගේ හිසට තට්ටුවක් දමමින් අසල වු වැල් පුටුවකට වැටුණේය. අම්මා ලැවරියා පිඟාන ලං කලේය. 

“මේ දරුවා ඉන්න හින්දා තමා මගේ ඇහැ නිදහසේ පියවෙන්නේ…”

අම්මා එවර පවසද්දි මල්ලී ව්‍යාජ කැස්සක් පෑවේය. අකලංක ද එයට එක් විය 

“පනින රිළවුන්ට ඉණිමං තිව්වා වගේ ඇති….”

මල්ලී පවසද්දී ප්‍රබාත් ඔහු සමඟ කියවා ගත්තේය.

“පල පල… මං ඉන්න හින්දා හොඳයි මූට…”

“ඔව් ඔව්..උඹ මාව උස්සගෙන නේ ඉන්නේ..”

“උස්සගෙන තමා ඩෝ ඉන්නේ…”

එවර අකලංක සහ ප්‍රබාත් ද පැටලුණෝය. නිවෙස පිරී යමින් තිබුණි. තාත්තා වැවු මාලු රැගෙන පැමිණියාට පසු හිස් තැන් නොතිබුණි. අම්මා සමඟ උයන්නට අකලංක ද එක් විය. ප්‍රබාත් උන්නේ මල්ලී සමඟ කතා බහකට පැටලෙමිනි.

“අපේ අය්ය අර බන්ධනා කියන කෙල්ල එක්ක සෙට්ද හලෝ…”

“පිස්සුද බං.. එහෙම එකක් නෑ..”

“ඒකි මොකද එහෙනම් අර සෝශල් මීඩියා වල අච්චර රඟන්නේ… එක්කෝ මෙයාගේ මාර්කටින් ඇසිස්ටන් ද ?”

“ඒකි ඉතින් ඒ හැටි බං.. මූ එහෙම එව්වට අනුබල දෙන්නේ නෑ.. ඒකි බලන්නේ කරේ එල්ලෙන්න… “

“අපෝ ඒ බඩ්ඩ නම් හරියන් නෑ.මේ ලඟදි  මගේ යාලුවෙක් ගේ අය්ය කෙනෙක්…කාර්සේල් කාරයෙක්.. දවස් තුනක් සෙට් වෙලා තිබ්බා නුවරඑළියෙ…”

“අකලංකලා ඕව නොදන්නවා නෙවෙයි නෙහ් බං… “

“කුණු ගොඩවල් ජොලියවත් කරේ දාගන්නවා කියන්නේ ඉතින් ගඳමයි ඈ…”

දෙදෙනා ඉන් පසුව බන්ධනා ගැනද, ක්ශේත්‍රයේ සිටින රංගන ශිල්පිනියන්ගේ ඕපාදූපද කතා කරමින් සෑහෙන්නම වෙලා ගෙවා දැමූහ. ප්‍රබාත් දන්නා කතන්දර වල සාන්ද්‍රණය සෑහෙන්නම අඩුවෙන් පැවසූ අතර, අකලංක ගේ මල්ලී අසා තිබුහ් කතන්දර ඉතා වැඩි සාන්ද්‍රණයෙන් කිව්වේය. රාත්‍රියේ ආහාර වේල වූයේ මංගල මේසයක සිරියකි. 

මල්ලී කීවේ මාසයකට වරක්වත් බලෙන්ම අකලංක ගෙදර උස්සාගෙන එන්නට මේ කෑම මේසය හේතු දෙන බවය. සිනා වැසි අඩු නැතුවම විය.

අකලංක අමයුරු ගේ ගිණුම තවම ජංගම දුරකතනය ට ස්ථාපනය කර තිබුණේ නැත. ඉතින් ; මිනි පරිඝනකය යළි පණ ගන්වන්නට විය. ඇය තවම අන්තර්ජාලයට සම්බන්ධ වී නැත. 

ඇතැම්විට ඇය තම යෝජනාව වඩා බර සාරව ගත්තා විය හැකිය. එසේත් නැතිනම් එය නොසලකාම සිටියාද විය හැකිය. නොඑසේනම්, ඒ පණිවිඩය කියවා එවැන්නක් මතකයේ පවානැතිවාවද විය හැකිය. තවම ඇය කියවා ගැනීම පහසු නැති ස්ත්‍රීත්වයකි. එහෙත් සිත පිරෙන ලෝබකම පිළිගත යුතුය.

ශයිනි එදින හෝටලයේ නැවතුණාය. සිතට දැනෙන වෙහෙස ගත ද පෙලන්නේය. එනිසාම පැය දෙකක් වාහනය තුල කොටුවීම පහසු නැත. අම්මා අමතා මෙහි සිටින බව කිව්වාය. කාමරය තුළට පිවිසියේ රාත්‍රී ආහාරය අනවශ්‍ය බව තිළිණි ට පවසමිනි.

ඉතා ඉක්මනින් , තිළිණි කිසිත් විමසන්නට හෝ පෙර දිය මත ලිස්සන්නෙකු විලසින් ලිස්සා ගියාය. ශයිනි බාත් ටබ් එක පුරවා එයට පිච්ච සුවඳැති බොඩි වොශ් බෝතලයෙන් සෑහෙන්නම ප්‍රමාණයක් හැලුවාය. පෙණ මැද්දට වැදුණාය.  පැය භාගයක් පමණම ඔහේ උන්නාය. 

“ඔයා ඇයි හැංගිලා ඉන්නේ ? මොකක්ද බලාපොරොත්තුව ?”

“තව කාලයක් ඉඳලා බලන්න… උත්තර ඉබේම ලැබේවි….”

මද උණුසුම් ජලය මැද ඇයට අතිශය දරුණු සීතලක් දැනුණේය.  ඇඟිලි තුඩු වලින් ඇරඹී, ඒ සීතල ගත තුළ ඉතා වේගයෙන්  පැතිරී යන වග දැනෙන්නට විය. ක්‍රම ක්‍රමයෙන් සීතල නිසා ඇඟිලි අග්ගිසි පුපුරා යාවි යැයි සිතෙන තරමට ඒ සීතල දැඩි විය. ඕ වහා ටබ් එකෙන් පිටතට පැන්නාය. තත්පර කිහිපයක් ශවරය යටට වූවාය.  බාත් රොබ් එක තුළ ඔහේ ගුලි වූවාය. 

අනතුරුව කාමරය තුළට පැන්නාය.

ශයිනි ඉතා වේගවත් හුස්ම කිහිපයකින් සීතල ක්ශය කරගන්නට උත්සාහ දැරුවාය. මද උණුසුම් ජලය වීදුරුවෙන් අඩක්ම පානය කලාය. අනතුරුව යහන මත දිග හැරුනාය.

ජංගම දුරකතනය අතේ ගැටුනේ ඒත් එක්කමය. ඕ වහා එය අතට ගෙන අන්තර්ජාලය ට පිවිසියාය. අමයුරු දිසානායක ;  ඔහු මැසෙන්ජරයේ උඩම වෙයි. කොළ පැහැ සලකුණද වෙයි. 

අවසන් පැනය ඔහුගෙනි. පැනයක් කීවාට එය වැකියකි. අණ කිරීමක් වැනි ස්වරයකින් එය කියැවෙන්නේ මන්දැයි ශයිනිට වැටහුණේ නැත.

“ඉන්නද කියන්නේ ?”

මැසෙන්ජරය හඬ දුණි. අකලංක තිගැස්සී ගියේය. ප්‍රබාත් සිනාසි ඇඳේ අනෙක් පස හැරී ඇතිරිල්ල යට ගුලි වූයේය. 

අකලංක පණිවිඩය ශයිනිගෙන් බව තහවුරු කරගන්නට මෙන් තත්පර කිහිපයක් බලා උන්නේය.   ඉන්  පසුව සැනින් පිළිතුරු යැවිණි.

“ඉන්න කියලා තමා කිව්වේ…..” 

අකලංක ගේ අමයුරු විලාශය එලෙස පැවසූයේය. ශයිනි එය යළි යළි කියෙව්වාය.

“භයානක වේවිද ?”

“මාව භයංකර හේතුවක් වගේ පේනවද?”

“නොදන්න කෙනෙක්…”

“මං දන්නවනේ…!!!”

“මට දැනගන්න ලැබෙන දවසට දරාගන්න පුලුවන් වේවිද?”

“කවදාවත් දැනගන්නේ නැතුව ඉන්න…”

“සාධාරණද එහෙම ?”

“මේ ලෝකේ කිසිම දෙයක් සාධාරණ නෑ…”

“අසාධාරණ බව දැන දැනම ඇයි එහෙම කරන්නේ…?”

“මෙවෙලේ එහෙම කරන්න ඕනි නිසා…”

“මට ඒක තේරෙන්නේ නෑ..”

“හෙමින් සීරුවේ තේරුම් ගන්න පුලුවන් වේවි…”

“ලේසි වෙන එකක් නෑ…”

“අමාරු වෙන්නේත් නෑ. මං කියවන්න අමාරු පොතක් නෙවෙයි …”

“මං පොත් කියවන්නම ආස නෑ..”

“එහෙනම් මං කවියක් වෙන්නම්.. මං  අහගෙන ඉන්න ලේසි කවියක්…”

“මං කවි අහලා නෑ කාලෙකින්…”

“ම්ම්ම්.. එහෙම නම්, මං සින්දුවක් වෙන්නද ?”

“හා… “

“හරි.. මං සින්දුවක්… බොහොම පැහැදිලිව ගැයෙන ගීයක්… අහගෙන ඉඳලා තේරුම් ගන්න…”

“හා…”

අකලංක තිත් පේළියක් අගය කොමාවක් යැව්වේය. ශයිනි ඉන් දිගට එලෙසම එව්වේය. 

“කාලා බීලද ? . …”

අකලංක එලෙස විමසුවේය. මේ හැඟීම නැවුම්ව දැනේ. කලකට පසු අමුතුම හැඟීමකින් පපුව බර වන බව දැනේ.

“නෑ…”

“දැන් දහයයි හතලිස් පහයි….”

“ඔව්.. වැඩ තිබුණා…”

“නොකා නොබී වැඩ කරලාද බෙස්ට් වෙන්නේ ?”

ශයිනි යහනේ අනෙක් පසට පෙරලුණාය. දෙතොල් අග්ගිසි තෙමී ඇත්තේ මන්දහාස වැස්සක පිනි වලිනි.

“අද මට බඩගිනි දැනුනෙ නෑ…”

“ඇයි? කවුරු හරි.. කොහෙ හරි ඉඳන් කෑම පිරිය නැති කරාද ? “

අකලංකට ගැහැණු කියවීම අපහසු නැත. එහෙත් මැය කියවීමෙහි ලා යම් පැටලීමක් විය. තවම මේ උත්සාහ කරනවා පමණය.

ටක්කේටම හරි බව දන්නේ ඔබත්, මමත්, ශයිනි ත් පමණි.

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here