පතිනියකගේ සටහන්- 23

වෛද්‍යවරයා චැනල් කරන්න ඇවිත් පෝලිමේ ඉන්නකොට විවිධාකාර මිනිස්සු මුණ ගැහෙන එක මේ දවස්වල පුරුද්දකට ගිහින්.  අලුත් බලාපොරොත්තු වලින් ඇස් පුරෝගත්තු ජෝඩු, තනියම ක්ලිනික් එන ගැහැණු, ලොකු බබත් එක්කම ඇවිත් නංගි/ මල්ලි ගැන එයාගේ හිතේ ආදරේ පුරවන අය.. විවිධාකාර උදවිය අපිට මුණ ගැහෙනවා.

පුටු පේළියේ කොණක ඉන්න යුවල මඳක් වියපත් බව මටත් වැටහුණා. ඒත් ඒ බව මට කිව්වෙ මට එහා පැත්තේ හිටිය යුවතිය.

“ඔය වයසෙන් ළමයි හදන්න පිස්සුද මන්දා”

ඇය උරහිස් නටවලා කියනවා.

කියවන්න :  චොක්ලට් බිස්කට් ගෙදරදීම හදමු…

හදාගන්න වත්කමත්,කාලයත් ඇති බව විශ්වාස නම් දරුවෝ හදන්න වයස් භේද මොකටද? අවදානම් අඩියක නම් වෛද්‍යවරු ඒ ගැන බලා ගනීවි.

මට හිතුණේ ඒ බොහෝ පහු වෙලා දරුවෙකුගේ සිහිනය සැබෑ කරගත් යුවළක් බව. ඒත් වරින් වර ඔවුන් අසලට ආපු තරුණ දියණියක් අම්මට ආදරෙන් සලකන හැටි මමත් බලා හිටියේ ආසාවෙන්. තමන්ගේ වාරය ඇවිත් ඒ යුවළ වෛද්‍යවරයා වෙත ගියාම යුවතිය අපි ළඟ නැවතුණා.

“ඒ නංගිගේ කවුද?”

අර ඕපාදුප කාරිට ප්‍රශ්නයක්.

“ඒ මගේ අම්මා අක්කි”

යුවතිය කියන්නේ සැහැල්ලුවෙන්.

කියවන්න :  ඔෆිස් යන්න මේකප් ඕනෑම ද?

“අම්මගෙ සෙකන්ඩ් මැරේජ් එකද ඒ”

ඇත්තටම ඕනෑ නැති දෙයක් නැති හැටි.

යුවතිය හිනාවක් නඟනවා. “නෑ ඒ මගේ අම්මයි තාත්තයි. මං අවුරුදු දාහතක්ම තනියෙන් හිටියේ. මම හිතන්නේ දැන් තමයි අපේ පවුල සම්පූර්ණ වෙන්නේ”

ඇය කියන්නේ සැහැල්ලුවෙන්.

තරමක ලොකු ළමයි හිටියට මොකද? හදිසි අමුත්තෙක් හෝ බොහෝ කල් එනතුරු බලා හිටිය අමුත්තෙක්ව ආදරෙන් පිළි ගන්න ඕනෑම යුවලක් ශක්තිමත් විය යුතුමයි. සමාජෙන් එන නින්දා වලට බයේ ඒ දරුවා නැති නොකර පිළිගැනීම ම මොන තරම් පුදුමාකාර ද?

-නිබන්ධිකා-